ජෝෂප් ස්ටාලිං නම් කාලකන්නියා .....

ජෝෂප් ස්ටාලිං නම් කාලකන්නියා .....

17 July 2021 03:08 pm

ආණ්ඩුකාර ධූරයේ සිටින විට ජෝෂප් ස්ටාලිං තරම් මට වද දුන් තවත් වෘත්තීය සමිති නායකයෙකු නැත.  අවුරුදු 15 කට වඩා දැන හදුණාගෙන, එකම ප්‍රතිපත්ති වෙනුවෙන් සටන් කර තිබුණ නමුත්, ස්ටාලිං මාර ඇණයක්ම වූවේය.  

පළවෙනි අවස්ථාව, පගා අරගෙන පළමු වසරට දරුවන් ඇතුලත් කරන විට එය නවත්වන්නට අල්ලස් කොමිසමට බාර දුන්න අවස්ථාවේ දී ය. දෙවැනි විදුහල්පතිත් අල්ලස් ගන්නකොටම අල්ලපු දවසේ රෑ ස්ටාලිං කතා කළේය. පගා ගන්නා නම් ලැයිස්තුවක්ම කිව්වේය. අල්ලලා හිරේ දාන්න - බනින්න එපා! යැයි ද කීවේය.  වෘත්තීය සමිති නායකයෙකු වුනත්, තමාගේ එවුන් හිරේ ගියත් ‘සමාජ සාධාරණත්වයට - දුෂණයට විරුද්ධවීමට‘ ස්ටාලිං ගරු කළේය. අන්ත දුෂිතයින්ට එවැනි ස්ටාලිං ‘කාලකන්නියෙකුවීම‘ සාධාරණ ය. 

දෙවැන්න, ගාල්ල නගරයේ පාසල්වරු ගුරුවරුන් පුරවා සිටිය දී, දකුණේ ඈත ගම්වලට ගුරුවරුන් මාරු කිරීමට ස්ටාලිං ඇතුළු වෘත්තීය සමිති නායකයින් විරුද්ධ වූ අවස්ථාවේ දී ය.  අපි දෙදෙනා දුරකතනයෙන් මහ හයියෙන් බැන  ගතිමු. වෘත්තීය සමිති නායකයෙකු ලෙස ස්ටාලිං ගුරුවරුන් පෙනී සිටියේය.  මම ගුරුවරුන් නැති දරුවන් වෙනුවෙන් පෙනී සිටියෙමි. රැස්වීමේ වචන හුවමාරුවෙන් පසුව තේ එකක් වත් නොබී ස්ටාලිං යන්නට ගියේය.  අවුරුදු දහයකට වැඩි කාලයක් උද්ඝෝෂණ අවසානයේ කොළඹ පෙට්ටිකඩවලින් එක බනිස කඩාගෙන කෑ ස්ටාලිං මගේ ගෙදරින් තබා ආණ්ඩුකාර කාර්යාලයේ තේ එකවත් නොබී කොළඹ ගියේය. ස්ටාලිං තමන්ගේ වෘත්තීය සගයින් වෙුවෙන් ලාභ නොබලා පෙනී සිටියේය.  රැකගත්තේය. තරහා කාරයින් ඇති කර ගත්තේය.   

මේ කළු මහත මිනිහාගේ හදවත පිරිසිදු යැයි දශකයකට වඩා නොදැන සිටින්නට, එදා නම් මටත් ස්ටාලිං ‘කාලකන්නියෙකු‘ ලෙස පෙනෙන්නට තිබුණි. 

ස්ටාලිං කිසිම දවසක පුද්ගලික උදව්වක් ඉල්ලුවේ නැත.  කොච්චර ලොකු වුනත් වරදට තනියෙන් හෝ අභියෝග කළේය.  උසස්වීමක් ගන්නට නිලධාරීන්, දේශපාලනඥයින් පස්සේ ගිහින් නැත.  වෘත්තීය සමිති ජීවිතය විදුහල්පතිකමක්, අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරයක් ගන්නට භාවිත කළේ නැත.  

2015 ආණ්ඩුව බිහි කළ සිවිල් ක්‍රියාකාරීන් අතර පෙළපාලි ගිය ප්‍රධානතම චරිතයක් වූවේ ස්ටාලිං ය.  ආණ්ඩුව පිහිටුවා කාලෙකින් ස්ටාලිං යහපාලනය සමඟ ගැටුනේය.  සටන් කළේය.  කිසිම වරප්‍රසාදයක් ගන්නට උත්සහ නොකළ සිමිත පිරිස අතර ස්ටාලිං හා ජනරංජන සිටියේය.  අර්ජුන මහේන්ද්‍රන් නැවත මහ බැංකුවට පත් කරන්නට උත්සහ දරන විට ස්ටාලිං අපිත් සමඟ කොටුවේ පෙළපාලි ගියේය. ලංකා ගුරු සංගමය කවදා හෝ රාජ්‍ය බලය ලබාගන්නේ නම් එදාත් ඒ ආණ්ඩුවට විරුද්ධව ස්ටාලිං පෙලපාලි ගියොත් මම පුදුම නොවෙමි. ඒ අපේ කතා නායකයා ගේ හැටිය. (වරදක් කළොත් අපි තමයි ඉස්සරවෙලාම එළියට බහින්නේ. හග්... හග්.. හග්.. )

ස්ටාලිං ගුරුවරයෙක් ද? උගන්නන්නේ මොනාදැයි? පෝසට් ගොඩාක් වැටී තිබුණි. එයින් බහුතරය ස්ටාලිං කාලකන්නියෙකු කිරීමේ අරමුණින් පළ කර ඒවාය.  මේ පෝස්ට් තරඟය අවසන් වූවේ ස්ටාලිං කවුදැයි කියා රටම දැනගැනීමෙනි. සඳුන් ගස ‘කපත-සිදිත-දියත-දසත පැතිරෙන්නේ සුවඳ බව ප්‍රත්‍ය වූවේය. 
 
වරායේ වාමාංශික වෘත්තීය සමිති නායක බෙනඩික් නැමැත්තා සිය දේශපාලන ධර්මය කෙරෙහි තැබූ විශ්වාසය නිසා ජෝෂප් ස්ටාලිං යැයි තම පුතාට නම් තබා ඇත.  උතුරු නැගෙනහිර පමණක් නොව වතුකරයේ ද ද්‍රවිඩ වාමාංශික නායකයින්, අනුගාමිකයින් රැසක් (ශන්මුගදාසන් ආභාෂයෙන් යැයි සිතමි) තම දරුවන් දුසිම් දෙකකට ජෝෂප් ස්ටාලිං යැයි නම් තබා ඇත. බෙනඩික් සහෝදරයා පසු කළෙක රුසියානු - චීන - බටහිර අධිරාජ්‍යවාදයන් ත්‍රිත්වයට එරෙහිවූවේයැයි මම අසා ඇත්තෙමි.   

අද මුලතීව් ගුවන් හමුදා කඳවුරෙන් අපේ කථා නායකයා එළියට එන්නේ තම තාත්තාගේ විශ්වාසය බිඳ නොදැමූ පියානන් පසුකර ගිය පුතෙකු ලෙසය. 

‘යහපාලන සමයේ‘ පුද්ගලික විශ්වවිද්‍යාලයට විරුද්ධව ස්ටාලිං ලා සමඟ පෙළපාලි ගිය පිරිස දැන්, කොතලාවල පනතට විරුද්ධව උද්ඝෝෂනය කරන ස්ටාලිං ලා හමුදා කදවුරුවලට දක්කති.  ‘කාලකන්නි‘ යැයි කියමින් අපහාස කරති. 

සියළු සටන් දේශපාලනික වූ රටක ප්‍රතිපත්ති ගරුක අතලොස්ස ‘කාලකන්නි‘ ම නොවන්නේ ද? 

- රජිත් කීර්ති තෙන්නකෝන්