අඹ කැඩීම හා අඹ බෙදීම

අඹ කැඩීම හා අඹ බෙදීම

17 May 2021 07:00 pm

ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න. එවිට තවත් අමතර කරුණු ඉදිරිපත් කළ හැකියි.

මේ ප්‍රශ්නයට ලබා දිය හැකි පිළිතුරු තිබෙනවා. ඒ පිළිතුරු වලටද පිළිතුරු තිබෙනවා. එහෙත් කවුරු හෝ විසින් පළමුව නිසි පිළිතුරක් ලබා දෙන තුරු, අප විසින්ම මේ ප්‍රශ්න ඉදිරිපත් කර අප විසින්ම පිළිතුරුද සපයන්න අප අපේ කාලය නාස්ති කරන්නේ නැහැ. 

ආදායම් විෂමතා තිබීම මේ ප්‍රශ්නයට ලබා දිය හැකි පිළිගත හැකි පිළිතුරක් නෙමෙයි. ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් සේ දකින අයෙකු එයින් පියවරක් පසුපසට ගොස් ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් වන්නේ ඇයි කියන එක පැහැදිලි කළ යුතුයි. ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් සේ අප විසින්ද හඳුනා ගන්නා නමුත් ඒ ආදායම් විෂමතා තිබීම යන කරුණ මතම පදනම්ව නොව එහි ද්විතීයික ප්‍රතිඵල මත පදනම්වයි. ආදායම් විෂමතා තිබීම නිසා ඇති වන හෝ ඇති විය හැකි ප්‍රශ්න වලට විසඳුම් ලැබේනම් ආදායම් විෂමතා තිබීම තිබීම ප්‍රශ්නයක් නොවනවාක් මෙන්ම බොහෝ හේතු මත ආදායම් විෂමතා තිබීම සාධනීය දෙයක් ලෙස හඳුන්වන්නද පුළුවන්.

වසර හයකට ආසන්න කාලයක් අප සමාජවාදයට එරෙහිව ධනවාදය වෙනුවෙන් පෙනී සිටියා. එසේ සමාජවාදය විවේචනය කිරීමේ පදනම මේ වන විට පැහැදිලි කර අවසන්ව තිබෙනවා කියා මම හිතනවා. අපේ සමාජවාදී විරෝධය ජනතා විමුක්ති පෙරමුණ විසින් අසූඅට අසූනවය කාලයේ සිදු කළ බස් ගිණි තැබීම හා මිනී මැරීම ආදිය වැනි දේවල් මත පදනම් වූ සරල විරෝධයක් නොවන බව කාට වුවත් පැහැදිලි විය යුතුයි.

අප සමාජවාදයට එරෙහිව ලියද්දී ඇතැම් අය මෙහි පැමිණ ධනවාදයට හා ඇමරිකාවට එරෙහිව වට්ටෝරු ප්‍රතිචාර දමනවා. වැරදි කරුණු ඉදිරිපත් වන විට අපට වෙලාව තිබෙන අවස්ථා වලදී මේ වට්ටෝරු ප්‍රතිචාර වලටද ප්‍රතිචාර සපයා ඇතත්, අපට ධනවාදය හෝ ඇමරිකාව සමඟ අනුරාගී බැඳීමක් නැති බවද කිව යුතුයි. අප සමාජවාදයට එරෙහිව ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ කරුණු හා තර්ක මත පදනම්වයි. ඇමරිකාව ගැන බොහෝ විට කතා කරන්නේ සංසන්දනයක් කිරීමක් කළ යුතු වූ විටයි. ධනවාදය හා ඇමරිකාව කියන්නේ කරුණු දෙකක්. ඇමරිකාවේ සිදුවන හැම දෙයක්ම සිදු වන්නේ ධනවාදයේ මූලධර්ම අනුව නෙමෙයි.

ධනවාදය කියා කියන්නේ කෝකටත් තෛලයක් නෙමෙයි. එය සමාජවාදයට සාපේක්ෂව කාර්යක්ෂමයි. එය ඉතාම පැහැදිලියි. එහෙත් කාර්යක්ෂමතාවය හැම විටම සමාජයක එකම ඉලක්කය විය යුතු නැහැ. වෙනත් සමාජයීය අරමුණු වෙනුවෙන් කාර්යක්ෂමතාවය කැප කළ යුතු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම ධනවාදයේ සීමාවන් තිබෙනවා. මේ සීමාවන් ගැන කතා කරන්න කලින් සමාජවාදය පැත්තකට කර තියන්න වෙනවා. 

ධනවාදය පවතින තත්ත්වය එලෙසම නඩත්තු කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ධනවාදය තුළ සමාජ ප්‍රගමනය සිදු වන්නේ නිරන්තරයෙන්ම පවතින තත්ත්වය වඩා යහපත් ලෙස වෙනස් කර ගැනීම හරහායි. එහි ආරම්භක පියවර ලෙස පවතින තත්ත්වයේ අඩුපාඩු හඳුනාගෙන විවේචනය කළ යුතුයි. අප විසින්ද මෙය කරනවා. එහෙත් ඒ සමාජවාදී ප්‍රවේශයකින් නෙමෙයි. 

යහපත් වෙනසක් සඳහා පවතින තත්ත්වය එකවර උඩුයටිකුරු කළ යුතුයැයි අප සිතන්නේ නැහැ. ආර්ථික කළමනාකාරණයේ සිට දේශපාලනය වෙතට පැමිණියොත්, දේශපාලනය ස්ථානගත විය යුත්තේ දැන් අප ජිවත් වන මේ මොහොතේ මිස අතීත ශ්‍රී විභූතියක හෝ මනෝරාජික අනාගතයක නෙමෙයි. ධනවාදය යනු අතීතයෙන් පාඩම් ඉගෙන, අනාගත දැක්මක් ඇතිව, මේ මොහොත කළමනාකරණය කර ගැනීමයි. මේ මොහොත වෙනස් කර ගැනීමයි.

සම්පත් බෙදීම පිළිබඳ ධනවාදී පරමාදර්ශය වන්නේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ ශ්‍රම සම්පාදකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ප්‍රාග්ධන සම්පාදකයාටත් ලැබිය යුතු බවයි. මාක්ස්වාදය විසින් ඓතිහාසික තර්කනයක් මත පදනම්ව ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ප්‍රාග්ධන සම්පාදකයාට හිමි වීම ප්‍රතික්ෂේප කරනවා. එහෙත්, මාක්ස්වාදී පරමාදර්ශය තුළද වක්‍ර ලෙස මේ දෙයම සිදු වෙනවා. 

මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය ශ්‍රමයේම වෙනත් ස්වරූපයක් සේ හඳුනා ගන්නවා. ඒ අනුව, ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ වෙන් නොකෙරුණත්, ප්‍රාග්ධනය නිර්මාණය කිරීම සඳහා වැය කෙරුණු ශ්‍රමය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් කිරීම හරහා වක්‍ර ලෙස මේ දෙයම සිදු වෙනවා. මේ හේතුව නිසා පරිපූර්ණ ධනවාදයකත්, මාක්ස්වාදය මත පදනම් වූ පරිපූර්ණ සමාජවාදයකත්, ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ විශාල ලෙස වෙනස් වෙන්න හේතුවක් නැහැ. මෙහිදී මා ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ කියා කියන්නේ සියලුම ශ්‍රමිකයින් සමස්තයක් සේ සලකා මිස ශ්‍රමිකයන් තනි තනිව ගෙන නෙමෙයි. ශ්‍රමිකයන් තනි තනිව ගත්තොත්නම් අනිවාර්යයෙන්ම වෙනසක් තිබෙනවා. මේ කරුණට අපි පසුව එමු.

පරිපූර්ණ ධනවාදී හෝ පරිපූර්ණ සමාජවාදී සමාජ ලෝකයේ කොහේවත් නැහැ. කවදාවත් තිබිලත් නැහැ. එහෙත් වඩා ධනවාදී හා වඩා සමාජවාදී රටවල් අපට පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. මේ රටවල් වල නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී ගොස් තිබෙන ආකාරය පරීක්ෂා කළ විට ධනවාදී රටවල ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටසේ අඩුවක් නැති බව හා බොහෝ විට වැඩි බව අපට පැහැදිලිව පෙනෙනවා. මෙය ඉතා පැහැදිලිව පෙනෙන්න තියද්දී ප්‍රාග්ධනය විසින් ශ්‍රමය සූරාකෑම ගැන කතා කරන එක තේරුමක් නැති, පදනමක් නැති දෙයක්.

අතිරික්තය බෙදී යාමේ විෂමතා ගැන කතා කරන්න අපට ප්‍රාග්ධනය ගාවගන්න අවශ්‍ය නැහැ. ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් නොකෙරෙන ශ්‍රමය වෙනුවෙන් පමණක් ප්‍රතිලාභ වෙන් කෙරෙන මනඃකල්පිත ධනවාදයක් ගැන අපි හිතමු. ධනවාදී ක්‍රමයකදී ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙනවා කියන එක ඇත්තටම වෙන්නේ අපි ඉගෙන ගන්න, උගන්වන ධනවාදී ආකෘතිය ඇතුළේ. මේ ආකෘතියත් මාක්ස්වාදී ආකෘතිය වගේම වියුක්ත ආකෘතියක්. සැබෑ ලෝකය තියෙන හැටියටම තියෙද්දී අප‍ට වියුක්ත ලෙස මේ ධනවාදී ආකෘතිය පමණක් වෙනස් කරන්න පුළුවන්. මේ විකල්ප ආකෘතියේ ප්‍රාග්ධන හිමියෝ නැහැ. ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභත් නැහැ. එහෙත් ප්‍රාග්ධනය සම්පාදනය කිරීම සඳහා ශ්‍රමය යෙදවූ අයට ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙනවා. ආකෘතිය මේ විදිහට වෙනස් කළත් සැබෑ ලෝකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් වෙන දේ ඒ විදිහටම වෙනවා. වෙනස් වන්නේ එය අප තේරුම් ගන්න විදිහ පමණයි. මාක්ස්වාදී ආකෘතියේ තිබෙන සූරාකෑම දැන් තියෙන්නේ කොහේද?

ධනවාදී බෙදීම හා මාක්ස්වාදී බෙදීම එකිනෙකින් වෙනස් වන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස මත කියන එක මතුපිටින් පෙනෙන්න තියෙන දෙයක් පමණයි. එසේ පෙනෙන්නේ අපේ විග්‍රහයන් තුළ. ආකෘති තුළ. ආකෘති වෙනස් කළොත්, අඩු වශයෙන් පරමාදර්ශී තත්ත්වයන් තුළ, ලොකු වෙනසක් නැහැ. එහෙමනම්, මේ දෙකේ වෙනස කුමක්ද?

ප්‍රාග්ධනය පැත්තකටම කරලා මේ වෙනස පැහැදිලි කරන්න පුළුවන්. ප්‍රාග්ධනයේ කොටස අයින් කරලා ශ්‍රමයේ පංගුව නියතයක් සේ සැලකුවත්, ක්‍රම දෙකේදී එම පංගුව එක් එක් ශ්‍රමිකයන් අතර බෙදී යන්නේ එකම ආකාරයට නෙමෙයි. මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ ආදාන (input) මත පදනම් වූ බෙදීමක්. ධනවාදය විසින් යෝජනා කරන්නේ ප්‍රතිදාන (output) මත පදනම් වූ බෙදීමක්. 

මෙය තේරුම් ගැනීමට පහසු සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ගෙඩි පිරුණු විශාල අඹ ගසක් තිබෙනවා. අවශ්‍යනම් මෙය පොදු ප්‍රාග්ධනයක් කියා හිතමු. කුඩා දරුවන් කණ්ඩායමක් අඹ කඩා ගන්න අඹ ගහට පොලු ගහනවා. පොලු ගැහුවේ නැත්නම් අඹ කන්න ලැබෙන්නේ නැහැ. එහෙත් ගහන පොලු හැම එකක්ම අඹ වල්ලක වදින්නේ නැහැ. අඹ කන්නනම් පළමුව පොලු ගහන්න මහන්සි විය යුතුයි. එක දිගට වැඩි වෙලාවක් පොලු ගහන දරුවාට බොහෝ විට වැඩියෙන් අඹ ලැබෙනවා. දෙවනුව පොලු ගැහීමේ කුසලතාවයක් තිබිය යුතුයි. එක සමාන මහන්සියක් වෙන දරුවන් දෙදෙනෙකු අතරින් ඉලක්කයට පොලු ගැසීමේ කුසලතාවය තිබෙන අයෙකුට බොහෝ විට වැඩියෙන් අඹ ලැබෙනවා. මීට අමතරව ඇතැම් විට වාසනාවද බලපානවා. ලොකු අඹ වල්ලකට මුල් වරම කණා ෂොට් එකක් වදින්න පුලුවන්. ධනවාදයක් ඇතුළේ සාර්ථක වීමට ඔය කරුණු තුනම බලපානවා.

දැන් ධනවාදය විසින් යෝජනා කරන බෙදීම කුමක්ද? අඹ වල අයිතිය එම අඹ කඩා ගැනීම සඳහා පොල්ල ගැසූ දරුවාටයි. මේ පදනම මත සියලුම දරුවන් අතර අඹ සමසමව බෙදී යන්නේ නැහැ. එහෙත්, සියලුම දරුවන්ට අඹ කඩා ගන්න සමාන අවස්ථා තිබෙනවා. මහන්සි වී පොලු නොගැසීම නිසා හෝ ගහපු පොලු අඹ වලට නොවැදීම නිසා අඹ නොලැබුණු අයෙකුට අඹ කන්න ලැබෙන්නේ අඹ කඩාගත් අයෙකුගේ සහකම්පනය මතයි. ආදාන කොපමණ වුවත් ප්‍රතිදාන නැත්නම් එයින් පලක් නැහැ.

මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ ආදාන මත පදනම් වූ බෙදීමක්. ඒ අනුව, අඹ කැඩීම වෙනුවෙන් වැය කළ ශ්‍රම කාලය අනුව අඹ බෙදී යා යුතුයි. සියලු දෙනාම අඹ කඩන්න පැය බැගින් මහන්සි වුනානම් අඹ සමසමව බෙදෙනවා. බෙදෙනවා කියා කිවුවත් මේ බෙදීම කරන කෙනෙක් සිටිය යුතුයි. ලැබෙන අඹ ඉදුණු අඹද අමු අඹද කියා තීරණය වන්නේ මේ බෙදන්නා මතයි. ඒ වගේම බෙදන්නා එක අඹයක්වත් නොකැඩූ අයෙක් වෙන්න පුළුවන්. එක් දරුවෙකු අඹ කඩන්න ආවේ පැය බාගයකට පසුවනම්, එතෙක් කිසිවකු විසින් අඹ කිසිවක් කඩාගෙන නොතිබුණේ හා අඹ වැටුනේ ඔහුගේ පළමු පොලු පාරෙන් වුවත්, ඔහුට ලැබෙන්නේ අනෙක් අයට ලැබෙන අඹ ප්‍රමාණයෙන් බාගයක් පමණයි.

මාක්ස්වාදී බෙදීම තුළ කවුරුවත් ඉලක්කයට පොලු ගහන්න මහන්සි වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ පුළුවන් තරම් මහන්සි වී පොලු ගැසීම මිසක් ගහන පොලු අඹ වල වැදෙන එක නෙමෙයි. එහෙත්, ධනවාදය තුළ ඉලක්කය පුළුවන් තරම් අඹ කඩා ගැනීම මිසක් පුළුවන් තරම් මහන්සි වී පොලු ගැසීම නෙමෙයි. මේ වෙනස නිසා, ධනවාදී ක්‍රමයකදී වැඩියෙන් අඹ කැඩෙනවා. එහෙත් අඹ සමානව බෙදෙන්නේ නැහැ. සමාජවාදී ක්‍රමයකදී කැඩෙන අඹ ටික ආසන්න වශයෙන් සමානව බෙදෙනවා. 

ධනවාදී ක්‍රමයේදී සාධාරණත්වය තීරණය කිරීමේ බලය සතු අඹ කඩන දරුවා හොඳම අඹය කනවා. සමාජවාදී ක්‍රමයේදී සාධාරණත්වය තීරණය කිරීමේ බලය සතු අඹ බෙදන දරුවා හොඳම අඹය කනවා. අඹ වෙනුවට කෝවිඩ් එන්නත් වගේ ඕනෑම දෙයක් දමාගන්න පුළුවන්.

- ඉකොනොමැට්ටා