දියුණු වුණු මිනිහෙක් මනින අලුත්ම මිම්මේ කතාව ....

දියුණු වුණු මිනිහෙක් මනින අලුත්ම මිම්මේ කතාව ....

17 May 2021 08:39 am

දියුණුවුණු මිනිහෙක් මනින අලුත්ම මිම්ම තමයි "මම දියුණුවුණ මිනිහෙක්.." කියලා ඉන්ටවිව් එකක කියන එක. 

ඔය අපි අහන හැම සාර්තක මනුස්සයා කතාවම එක වගේ නැද්ද. ? එකම ටෙම්ප්ලේට් එක. මුලින් බජිරි කන්න සල්ලි නෑ. සමාජෙන් කොන් වුණා. වැම්පයර් කෙනෙක්වගේ නිදිමරාගෙන ආතල් කුඩු කරගෙන මැරුණා. දැන් i8 එකක් පදිනවා.

එක වේල සැමනුයි පරිප්පුයි කෑවෙ. පළවෙනි කීරි සම්බා මිටිය පොලොන්නරුවෙ ඉඳන් මැනිං මාකට් එකට ඔලුව උඩ තියාගෙන ආවෙ. ඓස්වර්‍යගෙන් අහලා දුප්පත් හින්දා බෑ කිව්වා. දැන් දීපිකා චැට් කරනවා. වගේ ත්‍රාසය බීතිය කුතුහලය පිරි කතාවක්.. 

 පොඩි පොඩි වෙනස්කම් තිබ්බට ඔක්කොම ඇවිල්ලා කියන්නෙ ඕක.

ඒ ඇයි. 
ඒ අපි අහන්න ආස කතාව ඕක හින්දා. නැත්තං ඔය අඩිකෝදු වලින්ම මැන්නම ඔය හා සමානවම හෝ ඊට වැඩියෙන් සල්ලි තියන සල්ලිකාරයො ඉන්නවා. හැබැයි අර වගේ මයිල් ඉස්මෛල් වෙන කතාවක් නැතුව ගැම්මක් නෑ. එහෙම කතාවක් නැතුව දියුණුයි කියන්නත් බෑ වගේ එකක් තියෙන්නෙ. 
උදාහරණයක් විදිහට ඔය එන අය වගේම හෝ ඊට වැඩිය සෑහෙන සල්ලි හොයන දොස්තරලා ලංකාවේ ඉන්නවා. හැබැයි ඉතින් ටෝක් ෂෝ එකකට ගෙන්නන්න බෑ.

ඔබ දියුනු වුණේ කොහොමද කියලා ඇහුවම, 
මම ඒලෙවල් පාස්වුණා
මෙඩිකල් කොලේජ් ගියා
දොස්තර කෙනෙක් වුණා
මං වැඩේ හරියට කරන හින්දා pp වලට මිනිස්සු ආවා.
කෝටියක කාර් එකක් ගත්තා. 

දැන් ඕක කවුරුත් බලන්නෙ නෑ. ඇයි ඒ. අපිට ඕන අර හින්දි චිත්‍රපටි කතාව නැති හින්දා. ඒක බලවන්නනං "අත අල්ලපු ගමන් ගලගණ්ඩය හොඳකළ ජීවකයාණෝ" වගේ ඉමෝෂනල් ෆැන්ටසි කතාවක් කියන්න ඕනෙ. 

එතකොට මේ දියුණු මිනිස්සුන්ගෙ කතන්දර කියලා පෙන්නන්නෙ "සල්ලිකාරයන්ගේ අපි අහන්න කැමති කතා" අපේ ෆැන්ටසිය තෘප්තිමත් කරන කතා. 
 සාරුක්කාන් කාජල්ව එක්කං ගිහින් තාත්තගෙන් ඇහුවම, තාත්තා එකපාර හා කියන චිත්‍රපටියක් අපි බලන්නෑ. 
ඔතන එකසිය විස්සකට විතර ගහලා, කෝමා එකක් හැදිලා, කෙල්ලව උස්සන් දුවලා, හෙලිකොප්ටර් වලින් පන්නලා, වෙඩි තියලා,  ගාසා තීරෙටත් ගහලා, දැඩිසත්කාරෙ ඉන්න ගමන් තැල්ල බැන්දම තමයි ගැම්මට අපි බලන්නෙ. 

ඔය වගේ  දියුණු සාර්ථක මිනිස්සුන්ගෙ කතන්දර කියලා දැන් මේ ට්‍රෙන්ඩ් වෙන්නෙ අපි දකින්න අහන්න කැමති සුපර්හීරෝ  කතා. ඒකයි ඒවා ඔක්කොම එක වගේ වෙලා තියෙන්නෙ.  ඒ කියන්නෙ අපි මේ අපිවම රවට්ටගන්න එකක් කරන්නෙ. 

ඔය ෆැන්ටසියෙම තමයි දේසපාලනේදි අපි ඉන්නෙ. ලී ක්වාන් යූ කෙනෙක් ඇවිල්ලා අපිව හය මාසෙන් සිංගප්පූරුව කරයි කියලා. දියසේන කුමාරයා පහළ වෙලා ජාතිය බේරගනියි කියලා. රාවණා නැගිටලා බටහිරටයි ඉන්දියාවටයි නෙලයි. හෙළ වෙද පැණියකින් කොරෝනා හොඳවෙයි වගේ ඒවා. ඉතින් ඒ කතා කියන, ඒවා පෙන්නන අයට අපි නිරායාසයෙන්ම කැමති වෙනවා. 

ඒ වගේ තමයි ඔය දියුණු සාර්ථක මනුස්සයෙක්ගෙ කතාව. 

සාර්ථක මනුස්සයෙක් වීම සාපේක්ෂයි. දියුණු මනුස්සයෙක් වීම සාපේක්ෂයි. උදාහරණයක් විදිහට ධම්මික පෙරේරා කියනවා එයා සාර්ථක දියුණු මනුස්සයෙක් කියලා.
ධම්මික තරං සල්ලි නැති අපේ තාත්තා කවදාවත් කියන්නෙ නෑ එයා අසාර්ථක මනුස්සයෙක් කියලා. එයා කියන්නෙ එයාගෙ ජිවිතේ එයා බලාපොරොත්තුවෙච්ච දේවල් ටික වෙලා තියෙන්නෙ කියලා. ඉතා තෘප්තියෙන් අපි එක්ක ජීවත්වෙන්නෙ. 

මේකෙන් මම කියන්න උත්සහ කරන්නෙ සල්ලි නෙමෙයි සාර්තකත්වය මනින්නේ වගේ පන්ඩිත කතාවක් නෙමෙයි. ආර්ථික ශක්‍යතාව තිබිය යුතුයි අනිවාර්යයෙන්. නමුත් ඒක තම තමන්ට සාපේක්ෂ දෙයක්. 

හැබැයි ඔය සාර්ථක කතා කියලා පෙන්නන ඒවාවල හොඳට බැලුවොත් ඒවාවල කියන්නෙ නෑ දියුණුව, සාර්ථකත්වය සාපේක්ෂයි කියලා. කියන්නෙ I8 එකක් ගන්නම ඕනෙ කියලා. මේක ගන්නමයි මං මැරුණෙ කියලා.  සිස්ටම් එක විසින්ම ඉරි ඇඳලා, ඒ ඉරි තියනවා කියලා අපේ ඔලුවල ආසාව ෆැන්ටසිය මවලා, සිස්ටම් එක විසින්ම අපිව ඒ ඉරිවලට පන්නනවා. අපිත් කිසිම විචාරයක් නැතුව ඔහේ ඒවා පස්සෙ දුවනවා..

 ඉස්සෙල්ලා තමන්ට ඕනෙ මොනවද, ඇත්තටම ඕනෙ මොනවද, ඒක ඇත්තටම ඕනෙද, ඒක වෙනුවෙන් දරන මිල කොච්චර ද කියලා කල්පනා කරලා බලන්නෙ නෑ අපි. 

 අර කතාවේ කතා නායකයගේ සාර්තකත්වයේ මිම්ම කාර් එකක් වුනාට මගේ සාර්තකත්වයේ මිම්ම ඔලිම්පික් පදක්කමක් වෙන්න පුලුවන්. තව කෙනෙක්ට ඒක චිත්‍රපටිකරුවෙක්වීම වෙන්න පුලුවන්. නැත්තං ලෝකෙ වටේ සංචාරය කිරීම, සියළු දේ අතෑරලා අධ්‍යාත්මික මාර්ගයක යාම වෙන්න පුලුවන්. 

කවුරුහරි හදපු හීනයක් තමන්ගෙ කියාගෙන හිතලා දුවලා ආපස්සට හැරිලා බලද්දි ඒකට වැයකරලා තියෙන්නෙ තමන්ගෙ දරුවත් එක්ක ඉන්න තියන කාලය නම්, ඒක මේ මුකුත් නොදන්න දරුවට අයහපත් විදිහට බලපාලා නම් අපි සාර්තකද ?

හැමෝම සාර්තක මිනිහෙක්. තමන්ටම ඒක කියන්න පුලුවන්නම්. 

සක්විති හිරේ යනකන් රටම හිතාගෙන හිටියෙ ලංකාවේ හොඳම ව්‍යවසායකයෙක් කියලා. කොටින්ම සක්විතිත් හිතන් හිටියෙ එහෙම. 

- චමල් අකලංක පොල්වත්තගේ