ශ්‍රමය සූරාකෑම වෙනුවෙන් සමාජවාදය !

ශ්‍රමය සූරාකෑම වෙනුවෙන් සමාජවාදය !

12 May 2021 08:00 pm

ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න.

කිසිවෙකු විසින් මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන තුරු මාක්ස්වාදය පිළිබඳ මගේ විවේචනය දිගින් දිගටම ඇදගෙන යන එකේ තේරුමක් නැතත්, තවදුරටත් පැහැදිලි කළ යුතුම කරුණු කිහිපයක් තිබෙනවා. එයින් පසුව, අනෙක් "වාද" ගැනත් එකින් එක හෙමිහිට කතා කරමු. 

ආර්ථික තලයේදී මාක්ස්වාදය ධනවාදයෙන් වෙනස් වන ප්‍රධානම කරුණ මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරීමයි. මාක්ස් ජිවත් වූ කාලයේ ඔහු නිරීක්ෂණය කළ දේවල් මත පදනම්ව ඔහු තමන්ගේ න්‍යාය හරහා මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම ඉතාම ස්වභාවික දෙයක්. ඔහු ජිවත් වූ යුගයේ මා ජීවත් වූවානම් "ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද?" කියා මා අසන එකක් නැහැ. මාක්ස්වාදයට විසඳුම් දිය හැකි, එහෙත් ධනවාදයට විසඳුම් දිය නොහැකි සේ පෙනුණු ප්‍රශ්න ඒ යුගයේදී පෙනෙන්නට තිබුණා. 

එතැන් සිට අද දක්වා කැපී පෙනෙන ලෙස කාලය තුළ වෙනස් වී තිබෙන්නේ නිෂ්පාදන තාක්ෂනය මිස ධනවාදය නෙමෙයි. එයින් කියන්නේ ධනවාදයේ ස්වරූපය වෙනස් වී නැති බව නෙමෙයි. ධනවාදය කියා කියන්නේම නිෂ්පාදන තාක්ෂනය සමග නිරන්තරයෙන් වෙනස් වන දෙයක්. නිෂ්පාදන තාක්ෂනයේ ප්‍රගමනය කෙරෙහි ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය බලපෑමක් කරනවා. ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය කෙරෙහි පවතින ධනවාදයේ ස්වරූපය බලපෑමක් කරනවා. ධනවාදයේ ස්වරූපය නැවත නිෂ්පාදන තාක්ෂනය මත තීරණය වෙනවා. මෙය චක්‍රීය සම්බන්ධයක්. 

මෙයින් වෙනස්ව මාක්ස් ඇතුළු බොහෝ සමාජවාදීන් විසින් දකින්නේ රේඛීය සමාජ ප්‍රගමනයක්. එහි අවසානයේ මනෝරාජික කොමියුනිස්ට් සමාජයක් තිබෙනවා. මේ අදහස මට ප්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙත් මෙය අනිවාර්යතාවක් සේ දකින්න හේතු කිසිවක් මට පෙනෙන්නේ නැහැ. වෙනත් විකල්ප අනාගතයන් ගණනාවක්ද මට පෙනෙනවා. උදාහරණයක් විදිහට රොබෝලා විසින් මිනිසුන්ව මුළුමනින්ම විනාශ කර දමන හෝ සුරතල් සතුන් සේ නඩත්තු කරන අනාගතයක් හැදෙන්න බැරිකමක් නැහැ. අනාගතය නිශ්චිත ලෙස තීරණය වී ඇතැයි මම සිතන්නේ නැහැ. එය තීරණය වනු ඇත්තේ අද අප කරන දේවල් මතයි. ඇතැම් විට ගොඩක් පොඩි, සරල දේවල් නිසා වෙන්න පුළුවන්.

ධනවාදය විසින් යෝජනා කරන්නේ ප්‍රාග්ධන හිමියන්ට ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හිමිවියයුතු බවයි. මේ හේතුව මත ප්‍රාග්ධන හිමියන් අනිවාර්යයෙන්ම එන්න එන්නම පෝසත් වෙනවාද? පැහැදිලිවම නැහැ.

ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රාග්ධන හිමියා විසින් පරිභෝජනය කරන කොටස අපි පැත්තකින්ම තියමු. ඒ කියන්නේ එම ප්‍රතිලාභ වලින් කිසිවක්ම පරිභෝජනය නොකරනවා කියා සිතමු. එසේ වුවද, ප්‍රාග්ධන හිමියකු විසින් උපයන ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හේතුවෙන් ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වන්නේ නැහැ. එයට හේතුව නිෂ්පාදනයේදී ප්‍රාග්ධනය වැය වී අවසන් නොවන නමුත් යම් තරමකින් ක්ෂය වීමයි. කාලයක් මිරිස් අඹරද්දී මිරිස් ගලක් වුවත් ගෙවෙනවා. කාලයක් වී කොටද්දී ගල් වංගෙඩියක් වුනත් හෑරෙනවා. පරිගණක, ගොඩනැගිලි, මහා මාර්ග, රථ වාහන, පාලම්, යන්ත්‍ර සූත්‍ර යම් කාලයක් යද්දී තවදුරටත් ප්‍රයෝජනයට ගත නොහැකි තරමට ක්ෂය වී යනවා. දිගින් දිගටම වගා කරද්දී ඉඩම් නිසරු වෙනවා. 

මෙසේ ක්ෂය වන ප්‍රාග්ධනය ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රතිපූරණය නොවුනොත් වෙන්නේ ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වීම වෙනුවට ක්ෂය වීමයි. මේ කාරණයේදී ධනවාදය ප්‍රාග්ධන හිමියාගේ පැත්ත ගන්නේ නැහැ. ක්ෂය වී යන තමන්ගේ ප්‍රාග්ධන සංචිත නඩත්තු කළ හැකි හෝ වර්ධනය කරගත හැකි තරම් ප්‍රතිලාභ ලැබෙන තැන් සොයමින් ඒවා ආයෝජනය කිරීම ප්‍රාග්ධන හිමියෙකු විසින් නිරන්තරයෙන් කළ යුතු වැඩක්. එහිදී ප්‍රාග්ධන හිමියෙකුට තරඟ කරන්න වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අනෙකුත් ප්‍රාග්ධන හිමියන් සමඟයි. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර තරඟයක් ඇති වන්නේත්, හෙට්ටු කිරීම් අවශ්‍ය වන්නේත්, වෙළඳපොළ තරඟය දුර්වල වී ඒකාධිකාර හැදුනු විටයි. 

මෙයින් වෙනස්ව මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය ක්ෂය වීම කියන කාරණයේදී ඇත්තටම කරන්නේ ප්‍රාග්ධනයේ පැත්ත ගන්න එකයි. මාක්ස්වාදී බෙදීමකදී අතිරික්තය ගණන් බලන්නේම ප්‍රාග්ධනය ක්ෂය වීම ප්‍රතිපූරණය කිරීමෙන් පසුවයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම නඩත්තු කිරීම වැනි අවස්ථා වලදී වෙන්නේ ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනයේ පැත්ත ගැනීමක්. ශ්‍රමයේ කොටස අඩු වෙලා ප්‍රාග්ධනයේ කොටස වැඩි වෙනවානම් ප්‍රාග්ධන හිමියා ඒකීය පුද්ගලයෙකු නොවී රජය වුනා කියලා ශ්‍රමිකයාට යහපතක් වෙන්නේ නැහැ.

ධනවාදී ක්‍රමයකදී ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ලෙස ලැබෙන්නේ ක්ෂය වන ප්‍රාග්ධනය පමණක්ද? ඇතැම් ප්‍රාග්ධන හිමියන්ට ධනවාදී ක්‍රමයකදී ක්ෂය වන ප්‍රාග්ධනය හෝ නොලැබෙන නමුත් සමස්තයක් ලෙස ප්‍රාග්ධන හිමියන්ට බොහෝ විට ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි යමක් ලැබෙනවා. ඒ වගේම ධනවාදී ක්‍රමයකදී සාමාන්‍යයෙන් කාලයත් සමඟ රටක ප්‍රාග්ධන සංචිත වර්ධනය වීමක්ද සිදු වෙනවා. ඒ නිසා, ධනවාදී ක්‍රමයකදී ශ්‍රමිකයන්ට සාපේක්ෂ අවාසියක් සිදු වෙනවද?

සමාජවාදී ක්‍රමයකදී වුවත් ප්‍රායෝගිකව අතිරික්තයෙන් ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්. ඕනෑම සමාජවාදී රටක් තමන්ගේ ප්‍රාග්ධන සංචිත වැඩි කර ගැනීමටත්, අනාගතය ඉලක්ක කර ආයෝජනය කිරීමටත් පෙළඹෙනවා. මුලින්ම අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් ඇමරිකාවටත් වඩා විශාල ආයෝජන කළේ සෝවියට් දේශයයි. දැන් චීනය ගත්තත් ඔවුන්ගේ ප්‍රාග්ධන ආයෝජන ගොඩක් වැඩියි. සෑම වසරකම චීනය ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කරන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්.

මෙයින් පැහැදිලි වනු ඇත්තේ ධනවාදය හා සමාජවාදය අතර මූලධාර්මික වෙනස්කම් කෙතෙක් වුවත් අවසාන වශයෙන් ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය ප්‍රායෝගිකව බෙදී යන ආකාරය පිළිබඳ වෙනස්කම් ඉතා සියුම් බවයි. ඒ නිසා, ධනවාදය යටතේ ප්‍රාග්ධනයට වාසි සැලසෙන බව හා සමාජවාදය යටතේ ශ්‍රමයට වාසි සැලසෙන බව වැනි කරුණු නිශ්චිතව ප්‍රකාශ කළ හැකි තර්කානුකූල පදනමක් අපට නැහැ. එවැනි වෙනස්කම් ඇත්දැයි අපට පරීක්ෂා කර බැලිය හැක්කේ අනුභූතික කරුණු මත පදනම්වයි.

අපි නැවතත් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය වෙත යමු. 

Y = F(K,L) = AKαLß 

මෙහි α හා ß පරාමිතීන්ගෙන් පෙන්වන්නේ කිසියම් නිෂ්පාදනයක් සඳහා ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ දායකත්වය. ධනවාදී ක්‍රමයකදී ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය බෙදී යා හැකි සේ සැලකෙන්නේ α හා ß අතර අනුපාතයටයි. එහෙත්, ඇමරිකාව හෝ ජර්මනිය වැනි, සෛද්ධාන්තික පූර්ණ ධනවාදයන් නොවන එහෙත් ධනවාදයට වඩා බර රටක් ගත්තොත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර මේ අනුපාතයටම බෙදී නොයනවා විය හැකියි. විශේෂයෙන්ම ප්‍රාග්ධන හිමියන් සතුව යම් ඒකාධිකාරයක් තිබීම හා ඒ මත පදනම්ව ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ වලට වඩා වැඩි යමක් ලබා ගැනීම අපට එකවර බැහැර කරන්න බැහැ. 

මේ α හා ß කර්මාන්තය අනුව වෙනස් වෙනවා. සංචාරක සේවා සැපයීම වැනි කර්මාන්තයකට ශ්‍රමයේ දායකත්වය වැඩියි. දුම්රිය ප්‍රවාහනය වැනි කර්මාන්තයකට ප්‍රාග්ධනයේ දායකත්වය වැඩියි. ස්වයංකරණය වැඩි වන තරමට ශ්‍රමයේ දායකත්වයද අඩු වෙනවා. කෙසේ වුවත්, කිසියම් රටක් හා අදාළව අපට මේ පරාමිතීන්ගේ සාමාන්‍ය අගයක් රටේ එම අගයයන් සේ සලකන්න පුළුවන්. ලෝකයේ රටවල් අතර නිෂ්පාදන තාක්ෂනයන්හි මේ කරුණ හා අදාළ වන විශාල වෙනස්කම් නොමැති නිසා පුළුල් ආර්ථිකයන් ඇති රටවල් අතර α හා ß අගයයන්හි විශාල වෙනස්කම් තිබිය නොහැකියි.   

ඇමරිකාව, චීනය හෝ ඉන්දියාව වැනි රටක් ඉතාම පහසුවෙන් පුළුල් ආර්ථිකයක් ඇති රටක් සේ හඳුනාගත හැකියි. එහෙත්, තෙල් මත රැඳුණු මැද පෙරදිග රටවල් හා සංචාරක කර්මාන්තය මත රැඳුනු ඇතැම් කුඩා දූපත් රාජ්‍ය එසේ සැලකිය නොහැකියි. එවැනි රටවල α හා ß අගයයන් ආර්ථිකයේ ප්‍රමුඛ කර්මාන්තයේ එම අගයයන්ට සමීප වෙනවා. රටක නිෂ්පාදන ශ්‍රිතයේ α හා ß අගයයන් අපට හරියටම නිශ්චිතව මැන ගැනීම අසීරු වුවත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ඇත්තටම බෙදී යන විදිහ අපිට හරියටම හොයා ගන්න පුළුවන්. ධනවාදී රටවල් සමාජවාදී රටවල් වලට වඩා කොපමණ ශ්‍රමය සූරාකනවද කියා පරික්ෂා කර බලන්න පුළුවන් හොඳම විදිහ මේ සංඛ්‍යාලේඛණ පරීක්ෂා කරන එකයි. මතක තියා ගන්න අපි මේ පරික්ෂා කරන්නේ සමාජවාදීන්ට ගොඩක් වැදගත් දෙයක් මිසක් ධනවාදීන්ට එතරම් වැදගත් දෙයක් නෙමෙයි.

බොහෝ බටහිර රටවල ශ්‍රමය වෙනුවෙන් වෙන් කෙරෙන පංගුව ජාතික ආදායමෙන් 60%කට ආසන්නයි. ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් වන කොටස 40%ක් පමණ.

ඇමරිකා එක්සත් ජනපදය - 59.4%
එක්සත් රාජධානිය - 59.1%
ප්‍රංශය - 62.2%
ජර්මනිය - 63.0%
ඕස්ට්‍රේලියාව - 58.2%
කැනඩාව - 65.3%
ඩෙන්මාර්කය - 62.5%
ෆින්ලන්තය - 59.2%
ස්වීඩනය - 54.9%
පෘතුගාලය - 58.8%
නවසීලන්තය - 55.7%

ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන ප්‍රතිශතය අනුව බැලුවොත්, අපේ පාඨකයන් අතර සිටින ඇතැම් අයගේ පරමාදර්ශී රාජ්‍ය ආකෘතිය ක්‍රියාත්මක වන ස්කැන්ඩිනේවියන් රටවල් හා අනෙකුත් බටහිර රටවල් අතර වෙනසක් නැහැ. ඒ වගේම, රුසියාව, චීනය වගේ රටවල් වලත් ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටස 60%කට ආසන්නයි.

රුසියාව - 56.0%
චීනය - 57.4%

එහෙත්, ලංකාවේ දැකිය හැක්කේ මේ අනුපාතය කණපිට හැරී ඇති තත්ත්වයක්. 

ශ්‍රමය - 38.8%
ප්‍රාග්ධනය - 62.2%

මෙහෙම වෙන්නේ ලංකාවේ නිෂ්පාදන ශ්‍රිතය වෙනස් නිසාද? ප්‍රාග්ධනය වෙනුවෙන් මේ තරම් ඉහළ ප්‍රතිලාභ ලැබෙන වෙනත් රටවල් නැද්ද? 

නැත්තේ නැහැ. එවැනි තවත් රටවල් තිබෙනවා. මේ මැද පෙරදිග රටවල ශ්‍රමයේ පංගුව.

ඉරානය - 32.3%
ඉරාකය - 29.6%
කුවේට් - 24.5%
ඕමාන් - 30.3%
කටාර් - 17.3%
සවුදි අරාබිය - 28.1%

මේ රටවල පුළුල් ආර්ථිකයක් නැහැ. ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම දුවන්නේ තෙල් මත. ශ්‍රමය සපයන බොහෝ දෙනෙක් විදේශිකයෝ. ඒ අයට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් ප්‍රාග්ධනය සමඟ සටන් කරන්න බැහැ. ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා අඩු දෙයක් වුවත් තමන්ගේ රටවල රැකියා කර ඔවුන්ට ඒ මුදලවත් උපයන්න බැහැ. ඒ නිසා දෙන දෙයක් බාර ගන්න වෙනවා. සමස්තයක් ලෙස ශ්‍රමය වෙනුවෙන් අඩු කොටසක් වෙන් කෙරුණත් මේ රටවල් වල ස්වදේශිකයන්ට එයින් වාසියක් මිස පාඩුවක් නැහැ.

එහෙත් ලංකාවේ මෙවැනි තත්ත්වයක් නැහැ. ලංකාව ප්‍රාග්ධන මූලික නිෂ්පාදනයක යෙදෙන රටක් නෙමෙයි. එහෙමනම් ලංකාවේ ශ්‍රමයේ පංගුව මෙතරම් අඩු ඇයි? මේ තමයි අවුරුදු 73ක ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති වල අවසන් ප්‍රතිඵලය!

මැද පෙරදිග රටවල් තෙල් මත දුවන, පුළුල් පදනමක් නැති ආර්ථිකයන් වනවාට අමතරව බොහෝ දුරට ප්‍රජාතන්ත්‍රවාදී නොවන රාජ්‍ය ඒකාධිකාරයන්ද වෙනවා. මේ රටවල ප්‍රාග්ධන හිමිකාරිත්වය සම්බන්ධව තිබෙන්නේ සමාජවාදයෙන් යෝජනා කරන ආකාරයේ ඒකාධිකාරයක්. මැද පෙරදිග රටවල වගේම කවුරුවත් සමාජවාදී රටක් සේ හඳුන්වන්නේ නැති, එහෙත් සමාජවාදී ආකෘතියේම රටක් වන සිංගප්පූරුවේ ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදෙන්නේත් වෙනිසියුලාව වැනි සමාජවාදී රටක ජාතික ආදායම බෙදී යන විදිහටමයි. මේ රටවල් මේ කාරණයෙන් ලංකාවෙන් වෙනස් නැහැ. එම රටවල ශ්‍රමයේ පංගුව පහත දැක්වෙනවා.

වෙනිසියුලාව - 41.7%
සිංගප්පූරුව - 44.0%

විවිධ රටවල ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාත දිහා බැලුවත් ලංකාවේදී ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩක් වැඩියි කියන කරුණ කැපී පෙනෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය - 7.4%
එක්සත් රාජධානිය - 8.7%
ප්‍රංශය - 4.6%
ජර්මනිය - 5.0%
ඕස්ට්‍රේලියාව - 4.7%
කැනඩාව - 5.0%
ඩෙන්මාර්කය - 5.5%
ෆින්ලන්තය - 6.0%
ස්වීඩනය - 5.9%
පෘතුගාලය - 5.5%
නවසීලන්තය - 8.3%
රුසියාව - 2.3%
චීනය - 8.5%
වෙනිසියුලාව - 5.6%
සිංගප්පූරුව - 15.9%
ඉරානය - 8.0%
ඉරාකය - 12.5%
කුවේට් - 12.8%
ඕමාන් - 11.8%
කටාර් - 20.7%
සවුදි අරාබිය - 11.7%
ලංකාව - 22.7%

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලංකාවේ මානව ප්‍රාග්ධන සංචිත වැඩි කරන්න කාලයක් තිස්සේ කරපු දේවල් වලින් ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් වී ඇති බවයි. එහෙත් ඇත්තටම එයින් සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් පවතින්නේත් එහි අනෙක් පැත්තයි. මානව ප්‍රාග්ධනය සුලභ වී ශ්‍රමය අතර තරඟය වැඩි වන තරමට එහි වාසිය ලැබෙන්නේ ප්‍රාග්ධනය හිමි සීමිත පිරිසටයි. ශ්‍රමය "සූරාකෑම" නැති වෙන්නේ ප්‍රාග්ධන හිමියන් වැඩි වී ඔවුන් අතර තරඟය තියුණු වන තරමටයි. 

කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේ වුවත් චීනය මේ පාඩම ඉගෙන ගෙන හොඳින් ක්‍රියාත්මක කරනවා. එහෙත් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ හැම දේශපාලන පක්ෂයක්ම වගේ දැන හෝ නොදැන කාලයක් තිස්සේ කරලා තියෙන්නේත්, තවමත් කරමින් ඉන්නේත්, ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනය වෙනුවෙන් සේවය කරන එකයි.

ඉකොනොමැට්ටා