ජනාධිපති මාධ්‍ය අංශය අනුග්‍රහයෙන් මෙන්න ප්‍රවෘත්ති ! තාත්තා ගෙදරට එයි !

ජනාධිපති මාධ්‍ය අංශය අනුග්‍රහයෙන් මෙන්න ප්‍රවෘත්ති ! තාත්තා ගෙදරට එයි !

7 May 2021 11:45 am

අපේ ගෙදරට අල්ලපු ගෙදර සමන්තගේ පොඩි පුතා මහ ඇට්ටරයෙකි. තවමත් දහ වන පන්තියේ ඉගෙන ගන්නා, දොඩම් ගෙඩි තුනක් උස නැති මේ කොලු පැන්චා වෙලාවකට හැසිරෙන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වගේ ය. හැබැයි හරි හුරුබුහුටි ය. ඊයේ හවස කොලුවා මා සොයාගෙන අපේ ගෙදරට ආවේය.

"අංකල්, අද ඔන්ලයින් ක්ලාස් එකේදි අපේ මීඩියා ටීචර් කිව්ව අපිට මොකක් හරි වැදගත් සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් ලියන්න කියල. ලියල ෆොටෝ එකක් ගහල ටීචර්ට බලන්න එවන්න කිව්ව." ඔහු කීවේය.

මා ද ගුරුවරයෙක් බව දන්නා නිසා කොල්ලා සමහර වෙලාවට පාසැලේ වැඩවලට මගේ සහය පතයි. අදත් පැමිණ ඇත්තේ එහෙම වැඩකට බව මට වැටහිණි.

"බොහොම හොඳයි පුතා ! දැන් මගෙන් වෙන්න ඕනෙ මොකද්ද? හොඳ සිදුවීමක් හොයල ඕනෙද, නැත්නම් ප්‍රවෘත්තිය ලියන්න ඕනෙ විදිය අහගන්න ඕනෙද?" මම ඇසුවෙමි.

"අයියෝ නෑ අංකල් ! මං සිදුවීමක් හොයාගෙන ප්‍රවෘත්තිය ලියලත් ඉවරයි. මට ඕනෙ ඒක ටීචර්ට යවන්න කලින් අංකල්ට පොඩ්ඩක් පෙන්නන්න." කොලුවා උජාරුවෙන් කීවේය.

"ෂා, නියමයිනෙ ! කෝ බලමු, බලමු එහෙනං." මමත් උද්‍යෝගයෙන් පැවසුවෙමි.

කොල්ලා ෆුල්ස්කැප් කොළ බාගයක් මගේ අතේ තැබුවේය. නිල් පාට බෝල අකුරින් ඔහු එහි ප්‍රවෘත්තිය ලියා තිබුණි. මම මුලින්ම මාතෘකාව කියැවීමි.

"තාත්තා ගෙදරට එයි !" මාතෘකාව එයයි. "හෑ, මේ මොන මාතෘකාවක්ද කොල්ලො?" මම පුදුමයෙන් විමසුවෙමි.

"හරි, හරි, අංකල් ඔක්කොම කියවන්නකො. ඊට පස්සෙ අපි කතා කරමු." කොල්ලා මට උපදෙස් දුන්නේය.

මම ප්‍රවෘත්තිය කියවන්නට පටන් ගතිමි.

"අපේ තාත්තා අද (06) පස්වරුවේ හොඳටම බීගෙන නිවසට පැමිණියේය.
අම්මා, ආච්චි අම්මා, අක්කා, මල්ලී, මා සහ අපේ බල්ලා විසින් දොරකඩ අබියස දී ඔහු වැටෙන්නට නොදී පිළිගනු ලැබීය.
නිවස වෙත පිවිසි තාත්තා බැරිමර ගාතයේ සාලයේ රැඳී සිටිමින් අම්මාගේ සහ ආච්චි අම්මාගේ සුපුරුදු දේශනවලට සවන් දුන්නේය.
අප මෙම නිවසට පදිංචියට පැමිණීමෙන් පසු තාත්තා බීගෙන නිවසට පැමිණි එක්ලක්ෂ හැට හත්දහස් නවසීය අනූ හතර වන අවස්ථාව මෙයයි."

එතැනින් ලියැවිල්ල අවසන්ව තිබුණු නිසා මම කියැවීම නවතා කොලුවා දෙස බැලීමි.

"මෙච්චරද ? අනික මොනවද මේ ලියල තියෙන්නෙ ? තාත්ත ඉඳල හිටල බීල එනව තමයි. ඒත් ඒක ප්‍රවෘත්තියක් ලියන්න තරම් වටින දෙයක්ද? ටීචර් කිව්ව කිව්වෙ මොකක් හරි වැදගත් සිදුවීමක් ගැන ලියන්න කියල නේද? මොනාද මේ ලියල තියෙන්නෙ? ප්‍රවෘත්ති ලියන්නෙ මෙහෙමද?" මම කොල්ලාට බැණගෙන බැණගෙන ගියෙමි.

"ඕකනෙ කියන්නෙ, ගුරුවරු වුණාට අංකල්ලත් අප්ඩේට් නැහැනෙ." කොල්ලා ඉතා සන්සුන්ව කීවේය. "කියන්න බලන්න අපේ රටේ මුල් පුරවැසියා කවුද?"

"ඕකත් කියන්න දෙයක්යැ. ජනාධිපතිනෙ."

"හරි, එතකොට ජනාධිපතිතුමා ගැන ප්‍රවෘත්ති ලියන, එතුමගෙ මාධ්‍ය කටයුතු කරන අංශය මොකද්ද?"

"ජනාධිපති මාධ්‍ය අංශයනෙ."

"අන්න හරි. එතකොට ඒක කියල කියන්නෙ මාධ්‍යවලින් ඉහළම, බොහොම වගකිව යුතු තැනක්නෙ. රටේ මුල් පුරවැසියා - ජනාධිපති ගැන ප්‍රවෘත්ති ලියන තැනනෙ."

"නැතුව, නැතුව !"

"එහෙනම් අංකල් කියන්නෙ මාධ්‍ය හදාරණ නවක පාසැල් ශිෂ්‍යයො විදියට අපි ප්‍රවෘත්ති ලියන විදිය ගැන එතැනින් ආදර්ශය ගන්නෙ නැතුව වෙන කොතැනින් ගන්න කියලද?"

"මොනාද කොල්ලො මේ කියන්නෙ? මට නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ."

"ඒකනෙ කියන්නෙ අප්ඩේට් නෑ කියල. ආ, මෙන්න මේක කියවල බලන්නකො. මේ ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඊයෙ පෙරෙයිද ප්‍රසිද්ධ කරපු ප්‍රවෘත්තියක්. මාධ්‍ය නිවේදනයක්."

කොල්ලා ඔහුගේ සාක්කුවේ තිබූ ස්මාර්ට් ජංගම දුරකතනය එළියට ගෙන මොනාද මොනාද ඔබා මට තිරයේ දිස් වූ ලිපියක් පෙන්නුවේය. මම එය කියවා බැලුවෙමි.

"අප්පද බෝල ! මේ මොකද්ද යකෝ මේ? අනේ පුතේ, මේ වගේ ප්‍රවෘත්ති එක්ක බලද්දී නම් පුතා ලියපු ප්‍රවෘත්තිය හොඳටම හොඳයි. අසල්වැසියො විදියට අපිට හරි ඒක කොච්චර ප්‍රයෝජනවත්ද?" මම කම්මුලේ අත තබාගෙන කොල්ලාට ප්‍රශංසා කළෙමි.

"ඒකනෙ අංකල් කියන්නෙ? දැන් තේරුණා නේද? මං එහෙනම් මේ ප්‍රවෘත්තිය අපේ මීඩියා ටීචර්ට යවන්නම්."

"ඔව්, ඔව්, යවන්න පුතේ !"

"ටීචර්ට ගොඩක් සතුටු හිතෙයි නේද?"

"නැතුව, නැතුව !"

"එහෙනම් මං ගිහින් එන්නම් අංකල් !"

කරදහිය මගෙන් ඉල්ලා ගත් කොල්ලා පිටත්ව ගියේය. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නැරඹීම සඳහා වෙලාව පැමිණ ඇති බව මට සිහිපත් විය. බලන්නට ඕනෑ ස්වර්ණවාහිණියේ ප්‍රවෘත්තිද, සිරසේ ප්‍රවෘත්තිද කියා කල්පනා කරමින් මම රූපවාහිනිය ක්‍රියාත්මක කළෙමි.

- සිහින විමුක්ති රණවීර