මොනව වුණාම මොකද බං හෙවත් ගාමිණී ලොකුගේ ගැන සමීප අත්දැකීමක්

මොනව වුණාම මොකද බං හෙවත් ගාමිණී ලොකුගේ ගැන සමීප අත්දැකීමක්

6 May 2021 05:05 pm

ගිය මහ මැතිවරණයෙදි ගාමිණී ලොකුගේ වෙනුවෙන් බොක්කෙන් වැඩ කරපු මගේ යාලුවෙක් ඉන්නව. ලොකුගේගෙ පිළියන්දල වික්‍රමයෙන් පස්සෙ මං මිනිහට කෝල් එකක් ගත්ත. මගේ කුප්ප අදහස වුණේ මහින්ද මහත්තය අර ඉස්සර ඇහුව වගේ "ආ,කොහොමද ? දැන් සැපද ?" කියල අහල පොරට පොඩි කින්ඩියක් දාන එක. හැබැයි මගේ කින්ඩිය තුට්ටුවකටවත් මායිම් කරපු නැති යාලුව මට කිව්වෙ මෙච්චරයි.

"මොනව වුණාම මොකද බං ? මිනිහ මගේ වැඩේ කරල දුන්න. ඉතිං මට ඒ ඇති. ලබන පාරත් මිනිහටම තමයි වැඩ කරන්නෙ, ඡන්දෙ දෙන්නෙ."

මට නෝන්ඩි සීයයි, කින්ඩි අසූවයි !

මගේ යාලුව රජයෙ දෙපාර්තමේන්තුවක නිළධාරියෙක්. යමක් කමක් තේරෙන උගත් මිනිහෙක්. ගිය අවුරුද්දෙ ජනවාරි මාසෙ විතර ඉඳල මිනිහ හිටියෙ අවුලක. අවුලට හේතුව එයාගෙ දුව. ගිය අවුරුද්දෙ තමයි දුව පළවෙනි ශ්‍රේණියට ඉස්කෝලෙට ඇතුළත් කරන්න තිබුණෙ. මිනිහයි බිරිඳයි දෙන්නම උනන්දු වුණේ සහ උත්සහ කළේ ජනප්‍රිය බාලිකා විදුහලකට දුවව ඇතුළත් කරන්න. නමුත් වැඩේ හරි ගියේ නෑ. පස්සෙ මිනිහ එක එක ක්‍රමවලින් ආයෙ ආයෙ උත්සහ කළා. තමන්ගෙ ආයතනයෙ ප්‍රධානියා ලවාත් ට්‍රයි කරල බැලුව. අන්තිමට බොරුකාරයෙකුට අහුවෙලා රුපියල් පනස්දාහකුත් නැති කරගත්ත. මොනව කළත් වැඩේ හරි ගියේ නෑ. පොඩි ඉස්කෝලෙකට තාවකාලිකව දුවව දාන්නත් බිරිඳ අකමැති වුණ නිසා ඒ ළමයට මාස කීපයක් ඉස්කෝලයක් නැතුව ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා. මගේ යාලුව මේ ගැන සෑහෙන්න අවුලෙන් හිටියෙ.

ඔහොම ඉද්දි තමයි ගිය අවුරුද්දෙ මහ මැතිවරණෙ ආවෙ. ප්‍රශ්නෙ දැනගත්ත මගේ යාලුවගෙ යාලුවෙක් මිනිහව ගාමිණී ලොකුගේ ළඟට එක්කගෙන ගියා. ප්‍රශ්නෙ කිව්ව. ඡන්දෙන් පස්සෙ මොනව හරි කරන්න බලමුකො කියල උත්තරේ ලැබුණ. ඉතින් මගේ යාලුව කොන්ද කඩාගෙන, බොක්ක ඉරාගෙන, උණ්ඩුකපුච්චෙ කපාගෙන ඡන්දෙට ලොකුගේ වෙනුවෙන් වැඩ කළා. දින්නා. ඡන්දෙන් පස්සෙ අර යාලුව එක්කම ගිහින් ආපහු ළමයගෙ වැඩේ ගැන මතක කළා. ඊට පස්සෙ විස්තරේ යාලුවගෙ වචනවලින්ම ලිව්වොත් මෙහෙමයි.

"එවෙලෙම ප්‍රින්සිපල්ට කෝල් එකක් ගත්ත බං. ප්‍රින්සිපල් කිව්ව ඊළඟ දවසෙ ළමයත් අරන් ඉස්කෝලෙට එන්න කියල. මං ඊළඟ දවසෙ වයිෆ් එක්ක ළමය ඉස්කෝලෙට යැව්ව. එදාම දුවව ඇතුළත් කරගත්ත. වැඩේ ගොඩ ! මගේ වැඩේ මං කරගත්ත."

ඔන්න ඕකයි කතාව !

එක පැත්තකින් හරිම මානුෂිකයි. දුව ඉස්කෝලෙට දාගන්න බැරුව, බොරුකාරයන්ට අහුවෙලා සල්ලිත් නැතිකරගෙන ඉන්න තාත්ත කෙනෙක්, දුව වෙනුවෙන් හඬා වැළපෙන - පොඩි ඉස්කෝලෙකට දුවව දාන්න කැමති නැති - අම්ම කෙනෙක් සහ මේ මෙලෝ මළ දානයක් දන්නෙ නැති 'තාත්තෙ, මං ඉස්කෝලෙ යන්නෙ නැද්ද ?' කියල අහන අහිංසක දරුවෙක්. ඇත්ත, මොකුත් කියන්න අමාරුයි. හැබැයි අනිත් පැත්තෙන් ?

අනිත් පැත්තෙන් ඉතින් ඕක තමයි රට යන විදිය. වෙන මොකුත් විශේෂත්වයක් නෑ. මිනිස්සු බහුතරයකට ඕනෙ මේ වගේ මන්ත්‍රීලා, ඇමතිලා තමයි. ඡන්දෙ දෙන්නෙ එහෙම අයට. ඉතින් කවදාවත් ලොකුගේලා පරදින්නෙ නෑ. මිනිස්සු එකා පිට එකා මැරිල වැටුණත් 'මොනව වුණාම මොකද බං' කියල අහන 'උගත්' මිත්‍රයො ඉන්න එක ගැන මට වෙලාවකට දැනෙන්නෙ මහ පුදුම ආඩම්බරයක් !

- සිහින විමුක්ති රණවීර