එකොළොස් දාහේ කොට කලිසම

එකොළොස් දාහේ කොට කලිසම

5 April 2021 07:00 pm

වත්පතේ විශාල ලෙස සංසරණය වුනායැයි සඳහන් සටහනක් අපේ වියුණුවේ ප්‍රතිචාර කොටසේ දෙවරක්ම පළ වී තිබුණා. පළමු වර ප්‍රතිචාරයක් නොදැම්මත්, දෙවන වරටත් මෙය නැවත පළ වීමෙන් පසුව කෙටි ප්‍රතිචාරයක් දැම්මා. ඒ ප්‍රතිචාරය ගැන අප සමඟ නිතර අදහස් හුවමාරු කර ගන්නා පාඨකයෙක් විසින් විමසීමක්ද කර තිබුණා.

කාගේ හෝ අදහසක් බොළඳ හෝ මෝඩ අදහසක් ලෙස වර්ග කර නොසලකා හැරීම හොඳ දෙයක් කියා මම හිතන්නේ නැහැ. අද ලෝකය මුහුණ පාන ගොඩක් ප්‍රශ්න වල හේතු වී තිබෙන්නේ උගතුන් හෝ බුද්ධිමතුන් ලෙස තමන් ගැන හිතන අය අනෙක් අයව කාලයක් තිස්සේ නොසලකා හැරීමයි. අන්තිමට ඒ වලේම වැටීම මගේ ඉලක්කයක් නෙමෙයි. මේ වියුණුව පටන් ගත්තේම බොළඳ හෝ මෝඩ අදහස් ලෙස බැහැර නොකර කාගේ වුවත් අදහස් වලට ඉඩක් විවර කර දිය යුතුයි කියන විශ්වාසය පෙරදැරිවයි. 

එය එසේ වුවත් අපගේ කාලයේ විශාල ආවස්ථික පිරිවැයක් තිබෙනවා. විවිධ පාඨකයින් අපගෙන් විවිධ දේ අපේක්ෂා කරන නමුත් ඒ හැම ඉල්ලීමක්ම ඉටු කිරීමේ හැකියාවක් අප‍ට නැහැ. ඒ නිසා ප්‍රමුඛතා හඳුනා ගැනීමක් කරන්න වෙනවා. බොළඳ හෝ මෝඩ අදහසක් ලෙස වර්ග කර බැහැර නොකළත් අපේ වියුණුව කියවන බවක් අප නොදන්නා කොහේවත් ඉන්න කෙනෙක් කොහේ හෝ කියා තිබෙන දෙයක් ගැන අදහස් දක්වන්න කාලය යොදවන එකේ ප්‍රයෝජනයක් තිබෙන්නේ එවැන්නක් අප මෙහි කතා කරන කරුණකට සම්බන්ධ වන මානයක් ඇත්නම් පමණයි. 

ප්‍රස්තුත ප්‍රතිචාරය ඇමරිකාවේදී රුපියල් 11,000ක පමණ මිලකට විකිණෙන රුපියල් 34,000ක මාසික වැටුපකට සේවය කරන ලංකාවේ ඇඟලුම් සේවිකාවන් විසින් මහන කොට කලිසමක් ගැනයි. ප්‍රතිචාරයේ ටොමී හිල්ෆයිටර් ලෙස සඳහන්ව තිබෙන්නේ ටොමී හිල්ෆිගර් සන්නාමය පිළිබඳව විය යුතුයි.

ෂැං‍ග්‍රිලා හෝටලය හදපු ශ්‍රමිකයෙකුට ෂැං‍ග්‍රිලා හෝටලය සල්ලි වලට ගන්න බැහැ වගේම එහි කාමරයක් කුලියට ගෙන නැවතී ඉන්න හෝ දිනපතා එම හෝටලයෙන් දවල් කෑම කන්න බැහැ. ඇමරිකාවේ බෝයිං සමාගමේ වැඩ කරන සේවකයෙකුට තමන්ගේ දායකත්වයෙන් හදපු ගුවන් යානයක් මිල දී ගන්න බැහැ. ටොමී හිල්ෆිගර් සන්නාමය දරන කොට කලිසමක් මහන්න දායකත්වය ලබා දෙන ඇඟලුම් සේවිකාවකට තමන් මහන කොට කලිසමක් මිල දී ගන්න පුළුවන් විය යුතුයි කියා සිතීම ඉතාම බොළඳ අදහසක්.

මේක අලුත් සංසිද්ධියක් නෙමෙයි. කතාවට කියන්නේ වඩුවාගේ ගෙදර පුටුවක් නැහැ කියලා. වඩුවාගේ ගෙදර පුටුවක් නැත්තේ වඩුවාට පුටුවක ලොකු වටිනාකමක් නැති නිසා. වඩුවා වැඩ නැතිව ගෙදර ඉන්න දවස් තිබෙනවා. එහෙම දවසක ඕනෑනම් මහන්සි වෙලා තමන්ගේ ගෙදර පාවිච්චියට පුටුවක් හදාගන්න බැරිකමක් නැහැ. නමුත් වඩුවාට ගෙදර පාවිච්චියට පුටුවක් හදනවාට වඩා ඒ දවස විවේකයෙන් ගත කරන එක වටිනවා. වටිනාකම් කියන ඒවා සාපේක්ෂයි.

දැන් මේ සකලබුජන් කොට කලිසම් තර්කයේ පදනම ලංකාවේ ඇඟළුම් සේවිකාව විසින් රුපියල් 11,000ක වාස්තවික වටිනාකමක් තිබෙන කොට කලිසමක් නිර්මාණය කරලා තිබෙනවා කියන එකයි. එහෙමනම් කාට වුනත් මේ කොට කලිසමක් රුපියල් 11,000ක් වටින්න ඕනෑ. ඒක එහෙම නොවන බව අපි දන්නවා. ඔය ඇඟලුම් සේවිකාවට මාසේ වැටුප් නොගෙවා හිල්ෆිගර් කොට කලිසම් හතරක් දුන්නොත් ඇය එය බාර ගනියිද?

කොට කලිසමක් රුපියල් 11,000ක් වටිනවානම් කලිසම් හතරක් රුපියල් 44,000ක් වටිනවා විය යුතුයි. ඒ කියන්නේ ඇඟලුම් සේවිකාවගේ මාසික වැටුප රුපියල් 10,000කින් වැඩි වෙලා. නමුත් එය එසේ නොවන බව කාට වුනත් තේරෙනවා කියා මම හිතනවා. මාසික වැටුප වෙනුවට ඔය කොට කලිසම් හතරක් නෙමෙයි දහයක් දුන්නත් ඇය එම අර්පණය භාර ගන්නේ නැහැ. ඇයට ඔය කොට කලිසමක් සමහර විට රුපියල් දාහක්වත් වටින්නේ නැහැ.

මෙතැන තියෙන්නේ ධනවාදය තමයි. හැබැයි ලංකාවේ ඇඟලුම් සේවිකාව විසින් නිර්මාණය කරන රුපියල් 11,000ක අතිරික්ත වටිනාකමකින් සොච්චමක් ඇයට ඉතිරි කර ඉතිරි කොටස ඇගෙන් සූරාගැනීමක් නෙමෙයි. මසා අවසන් වෙද්දී බොහෝ විට රුපියල් දාහක්වත් නොවටිනා කොට කලිසමේ අගය නිදහස් ගනුදෙනු හරහා රුපියල් 11,000ක් දක්වා ඉහළ යාමකුයි මෙහිදී වෙන්නේ. එහි වාසිය විශාල පිරිසක් අතර ඉතාම සාධාරණ ලෙස, ඔවුන්ගේ දායකත්වයට සමානුපාතිකව, බෙදී යනවා. මෙය සිදු වන ආකාරය ඉදිරියේදී විස්තර කරන්නම්.

දැන් ඩොලර් එක රුපියල් 200ක් පමණ. ඒ කියන්නේ රුපියල් 11,000ක් කියා කියන්නේ ඩොලර් 55ක් පමණ. ඔය වගේ මුදලකට හිල්ෆිගර් කොට කලිසමක් ඇමරිකාවේදී විකිණෙනවා කියන එක ඇත්ත. දැන් මේ කොට කලිසම ලංකාවේ මුදලින් රුපියල් 11,000ක් වෙන්නේම ඩොලරය රුපියල් 200ක් වීම නිසා. 

මීට අවුරුදු පණහකට පෙර ඇමරිකන් ඩොලරයක් රුපියල් පහක්වත් වුනේ නැහැ. විණිමය අනුපාතිකය ඒ මට්ටමේම තිබුණානම් මේ කොට කලිසමේ මිල රුපියල් වලින් 260ක් වගේ ගණනක්. ඒ වගේ මිලක් ලංකාවේ ඇඟලුම් සේවිකාවකට දරා ගන්න බැරි මිලක් නෙමෙයි. ඇමරිකන් ඩොලර් 55 රුපියල් 260ක් නොවී රුපියල් 11,000ක් වෙලා තියෙන්නේ ඩොලරයක මිල රුපියල් 4.76 ලෙස නොතිබී රුපියල් 200 වී තිබෙන නිසයි. මෙතැනදී වෙනස් වී තිබෙන්නේ ඇමරිකානුවන්ගේ වටිනාකම් ලංකාවේ මිනිස්සු දකින මිනුමයි.

රුපියල් 4.76ට තිබුණු ඩොලරය අවුරුදු පණහකට පස්සේ රුපියල් 200 වී තිබෙන්නේ කොහොමද? ඔය කාලය තුළ රුපියලේ වටිනාකම එපමණ බාල්දු වන තුරු සල්ලි අච්චු ගැසීම නිසා. සල්ලි අච්චු ගහන්න සිදු වී තිබෙන්නේ ඇයි? රජයේ අයවැය හිඟය නිසා. රජයේ අයවැය හිඟයට හේතුව කුමක්ද? ආදායම ඉක්මවා වියදම් කිරීම. 

නිදහසෙන් පස්සේ ලංකාවේ රජය විසින් දිගින් දිගටම කරලා තියෙන්නේ ආදායම ඉක්මවා වියදම් කිරීම. ඇමරිකාවේ ඩොලර් 55ට විකිණෙන ටොමී හිල්ෆිගර් කොට කලිසමක් රුපියල් 260ක් නොවී රුපියල් 11,000ක් වී තිබෙන්නේ ලංකාවේ රජය විසින් සල්ලි අච්චු ගැසීම හරහා දිගින් දිගටම කර තිබෙන, තවමත් කරන සූරාකෑම හරහා. ඔය සූරාකෑමට වග කියන්න ඕනෑ කවුද? එක පැත්තකින් මාක්ස්. අනෙක් පැත්තෙන් කේන්ස්.

ඇමරිකාවේ ඩොලර් 55කට විකිණෙන කොට කලිසමක රුපියල් අගය ලංකාවේ තරුණයෙකුට විහිළුවක් වන මට්ටමට රුපියල පිරිහී තිබෙන්නේ ලංකාවේ ඉපදුනු මාක්ස්ගේ දරුවන් හා කේන්ස්ගේ දරුවන් අතර සහජීවනය නිසා. 

- ඉකොනොමැට්ටා