ගංගාවක් පිළිකාකාරක වීම සහ පිළිකා ගම්මාන බිහි වීම !

ගංගාවක් පිළිකාකාරක වීම සහ පිළිකා ගම්මාන බිහි වීම !

5 April 2021 01:30 pm

පරිසරයට වඩා සංවර්ධනය වැදගත් යැයි සිතන ඔබ, මොහොතක් නැවතී කියවන්න. මේ ලෝකයේ දැවැන්තම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ, යැංසි ගංගාවයි. එය ලෝකයේ තෙවන විශාලතම ගංගාවද වෙයි.

නමුත් අවාසනාවන්ත තත්වය නම් ගඟ දෙපස ජනගහනයෙන් හරි අඩකටත් වඩා පිරිසිදු පානීය ජලය නොමැති වීමය. ඔවුනට විකල්ප දෙකක් ඇත. එක්කෝ පිළිකාකාරක මුසු වූ ජලය පානය කිරීමයි, නැත්නම් ජලය ස්වල්පයක් මිලට ගෙන පිපාසයෙන් සිටීමයි.

ගංගාව දෙපස ඇති කර්මාන්ත ශාලාවලින් දෛනිකව මුදාහැරෙන, විෂ අපද්‍රව්‍ය නිසා චීනයේ විශාලතම ගංගාව වූ යැංසි ගඟ අද වනවිට, ලෝකයේ වඩාත් දූෂිත ගංගා කිහිපය අතරට වැටෙයි. නමුත් ගැටලුව එය නොවේ. ගඟ දෙපස ඇති ගම්මාන ගණනාවක් පිළිකා ගම්මාන ලෙස හඳුනාගෙන ඇත.

මේ ගම්මානයේ සෑම නිවසකම පාහේ ආමාශය, උගුර හා අක්මාව ආශ්‍රිත පිළිකා තත්වයන්ගෙන් පෙළෙන නිවැසියන් කිහිප දෙනෙක් සිටියි. ගංගාව ආශ්‍රිත සෑම සත්වයෙකු තුළම අධික විෂ සහිත ද්‍රව්‍ය තැන්පත් වී ඇතැයි සැලකේ.

මේ  තත්වයෙන් මිදීමට චීනය කොතෙකුත් උත්සාහ කළද, එය සාර්ථක වී නැත. එයට හේතුව ඔවුන්ගේ පළමු අරමුණ 'සංවර්ධනය'යි. පරිසර සංර්ක්ෂණයට ඔවුන් දී ඇත්තේ ඊට බොහෝ පහළින් වූ ස්ථානයකි.

චීනයට යාබද භූතානයේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. භූතානය පළමු තැන දෙන්නේ පරිසර සංරක්ෂණයටය. ඔවුන්ගේ වන ගහනය වර්ධනය කර ගැනීම ඔවුන්ගේ මූලික ඉලක්කයකි. එසේම ඔවුන්ගේ ජල මූලාශ්‍ර අතිශයින්ම පිරිසිදුය. දළ ජාතික සතුට නම් දර්ශකයක් හඳුන්වා දුන් ඔවුන් ලෝකයේ ප්‍රීතිමත් මෙන්ම නිරෝගිමත් රාජ්‍යයන් අතර ඉදිරියට පැමිණෙමින් ඇත.

චීනය ලොව ධනවත්ම රටක් විය හැක. නමුත් එහි මිනිසුන් කායිකව මෙන්ම මානසිකවද දුප්පත්ය. භූතානය ලෝකයේ දුප්පත්ම රටක් විය හැක. නමුත් ඔවුන් කායිකව සහ මානසිකව පොහොසත්ය. රටක් ලෙස අප යා යුත්තේ කවර මඟකදැයි සිතා ගැනීම බුද්ධිමත් ඔබට භාරය.

 - Kokila Gihan Withanathanthri