හැත්තෑ එකේ කැරැල්ලට අදට වසර පනහක් ....

හැත්තෑ එකේ කැරැල්ලට අදට වසර පනහක් ....

5 April 2021 07:30 am

අදට හැත්තෑ එකේ අරගලයට වසර පනහක් සම්පූර්ණ වෙයි. පොදු මනුෂ්ය වර්ගයාගේ යහපත උදෙසා ප්රාණ පරිත්යාගයෙන් අරගලයට බට, මරා දමනු ලැබීමේ ඉරණමෙන් ගැලවුනු ඒ සහෝදර සහෝදරියන් අද යළි තම තමන් හමුවනු ඇත. එහෙත් ඒ ගිය වසරට වඩා කිහිප දෙනකු හෝ අඩුවෙන් බව නම් නිසැකය. දැන් හැත්තෑ එකේ අරගලයේ සහෝදරවරුන් වියපත්ය. ගතින් සමහරු දුබලය. ඇතැම් සහෝදරවරුන් නික්ම ගොසිනි. එහෙත් තවමත් ජීවත්ව ඉන්නා, එමෙන්ම නිරෝගීව ඉන්නා අයගෙන් සැලකිය යුතු කණ්ඩායමක් අද එකිනෙකා හමුවන බව නම් සහතිකය.

මාක්ස්වාදීන්, ප්රජාතන්ත්ර ධනවාදීන් මෙන්ම අවස්ථාවාදීන් යන කවරකුට වුව මේ පරපුරේ අරගලය පිලිබඳ විවේචන තිබිය හැකිය. එහෙත් ඒ කිසිවකුටත් බැහැර කළ නොහැකි සත්යයක් තිබේ. ඒ හැත්තෑ එකේ අරගලයට උරදුන් සියළු දෙනා එසේ කළේ ආත්මාර්ථයෙන් තොරව, උදක්ම යහපත් හෙටක් උදෙසා වන දැඩි අදිටනින් බවයි. සමාජවාදී රාජ්යයයක් නිර්මාණය කිරීමේ චේතනාවෙන් බවයි. ඒ නිදහස ලද දා පටන් මේ දක්වා රට කළ කිසිදු දේශපාලකයකු වෙත නොවූ අවංක චේතනාවකි. 

මේ අරගලකරුවන් ත්රරස්තවාදීන් ලෙස හඳුන්වන්නට ඉක්මන් වන කිසිවකුත් පසුගිය දශක හතකට වැඩි කාලයක් පුරා ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් මෙරට පාලනය හෙබවූ දේශපාලකයන් විසින් රට හෙලා දැමූ අගාධය, ඔවුන් විසින්ම ත්රස්තවාදීන් ලෙස හඳුවන්වන හැත්තෑ එකේ අරගලකරුවන්ගේ අරගලයෙන් සිදුවූවේ යයි ඔවුන් කියනා හානියට වඩා අතිශය බරපතල බව කල්පනා නොකරති.  

ඉදින් සහෝදර සහෝදරියනි, නුඹලාගේ නාමයට නිහඬවම හිස නමමි. ඉතිරිව සිටින්නවුන්ට නිරෝගී සුව පතමි. සමාජය වෙනස් කිරීමේ අරගලය අසාර්ථක වුවද, ඉන් පරාජය ලැබූවද, තවමත් නොසැලී ඉන්නා, අවස්ථාවාදියෙකුවී 'සමෘද්ධිය" ලැබීම වෙනුවට අවංකව සිය අරමුණ වෙනුවෙන් දෙපයින් සිටගෙන සිටිනා නුඹලාට හද පත්ලෙන්ම ආචාර කරමි.

- චූලානන්ද සමරනායක