සමාජය හැදීම

සමාජය හැදීම

31 March 2021 11:00 pm

අවුරුදු හැටකට විතර ඉස්සර අපේ පාසල හා තවත් පාසලක් අතර විවාදයක් තිබුණා. ඒ විවාදයේ යෝජක පක්‍ෂය මොකක් ද ප්‍රතියෝජක පක්‍ෂය මොකක් ද කියලවත් යෝජනාව මොකක් ද කියලවත් මට මතක නැහැ. මා කොහොමටත් දත්ත ගබඩාවක් නො වෙයි. ඒත් අප විවාද කෙළේ සමාජයක් හදන්න පුළුවන් ආගමෙන් ද නීතියෙන් ද කියන එක. අප කියා සිටියේ නීතියෙන් කියා. අපි විවිධ තර්ක ගෙනාවා. විවාදයෙන් දිනුවා. එය තවත් වැඩකට නැති දිනුමක් පමණයි.

ඔය පාසල් විවාද පාර්ලිමේන්තු විවාදවලට වඩා හොඳයි. පාසල් විවාදවල මාතෘකාව විවරණය කරනවා. සාමාන්‍යයෙන් මාතෘකාවට අදළ ව කතා කරනවා. පාර්ලිමේන්තු විවාදවල මාතෘකාව හරි පනත හරි දැන ගන්න ඕන. අදාළ ව කතා කරනව කියල එකකුත් නැහැ. ඕනෑම විවාදයක ඕනෑම දෙයක් කියන්න පුළුවන්. විවාදයේ ජය පරාජය කලින් ම තීරණය වෙලා. විවාදයක් නොකර ම ඡන්දයක් පැවැත්තුව නම් ප්‍රශ්නය වෙන්නෙ මාධ්‍යවේදීන්ට. ඔවුන්ට රස්සාව නැති වෙනවා. දේශපාලනඥයන් මොනව හරි කිවුවොත් තමයි ජනමාධ්‍යවේදීන්ට ඒක වාර්තා කරල කීයක් හරි හම්බ කර ගන්න පුළුවන්.

අර පාසල් විවාදයෙ ආගම කියන්නෙ මොකක් ද කියල කියන්න ඇති. නීතිය කියන්නෙ මොකක් ද කියලත් කියන්න ඇති. ඒත් හදනවා කියන එක මොකක් ද කියල කියන්නෙ නැතිව ඇති. හදනවා කියන එකට විවිධ තේරුම් තියෙනවා. මේ ළමය හොඳට හදාගන්න ඕන කියනවා. ඔහොම හැදුනොත් නම් උඹට අනාගතයක් නැහැ කියනවා. ජීම් එකට ගිහින් බොඩිය හදාගන්න ඕන කියනවා. කාරෙක පොඩි වැරැද්දක් තියෙනවා ඒක හදාගන්න ඕන කියනවා. සපත්තුව හදාගන්න දොර හදාගන්න කෑම හදාගන්න සහ තවත් කොච්චර හදාගන්න දේ තියෙනවා ද?

අර ඊයේ පෙරේදා පොලිස් කොස්තාපල්වරයකු කවුද රියැදුරෙකුගෙ ඇඟ උඩ හරඹ කළෙ කාගෙ බොඩිය හදන්න ද කියලයි මා කල්පනා කෙළේ.  පොලිස් කොස්තාපල්වරයාගෙ ද නැත්නම් රියැදුරාගෙ ද? එහෙමත් නැත්නම් දෙන්නගෙම ද? ඒ සිද්ධිය දැක්කම මට අවුරුදු හැටකට ඉස්සෙල්ල කරපු විවාදය මතක් වුණා. එදා අප මොනව කිවුව ද කියල මතක නැහැ. ඒත් සමාජය හදන්න පුළුවන් නීතියෙන් කියලයි කිවුවෙ. පන්නිපිටියෙ මොන විධියකට හරි රියැදුරා හදන්න උත්සාහ කෙළෙ නීතිය හා සාමය රකින නිලධාරියෙක්. නිලධාරීන් කියන්නෙ උසස් නිලධාරීන්ට පමණක් නොවෙයි.නිලයක් දරණ ඕනෑම අයෙක් නිලධාරියෙක්. නීතියට සමාජය හදන්න පුළුවන් ද?

හදනව කියන්නෙ සමාජය පිළිගන්න විධියකට ජීවත්වෙන්න හැදීම. එහෙම හැදුනු විට ඒකට හැදිච්චකම කියලත් කියනවා. ඔය හැදිච්චකම කියන එක තමයි තරමක් බරපතළ විධියට සංස්කෘතිය කියල කියන්නෙ. ඒ ඒ සමාජයේ තියෙන්නෙ ඒ ඒ සංස්කෘති. අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැත්නම් හැදිච්චකම ඉංගිරිසි සංස්කෘතියට නැත්නම් ඉංගිරිසින්ගෙ හැදිච්චකමට වෙනස්. අපි අතින් කනවා. ඉංගිරිසින් ටික දෙනෙක් දැන් අතින් කෑමට ප්‍රිය කළත් වැඩි දෙනකු එසේ නැහැ. ඉංගිරිසින් සමහර වෙලාවට අතින් මොනව හරි කෑවොත් ඇඟිලි සූප්පු කරනවා. අපි කරන්නෙ නැහැ. 

අප බොහෝ දෙනෙක් කලිසම අඳින්නෙ සරම අඳිනව වගේ. ඉංගිරිසින්ට සරම අඳින්න කිවුවොත් අමාරුවෙ වැටෙන්න පුළුවන්.  ඒවා පොඩි කතා තමයි.  අපි බටහිරයන් තරමට වියුක්ත ව හිතන්නෙ නැහැ. වියුක්තව හිතන එක යුදෙවු සංස්කෘතියට නම් එතරම් දෙයක් නො වෙයි. ඒ විවිධ සංස්කෘතීන් අතර තියෙන වෙනස්කම්.

ඒ අතර එකම සංස්කෘතිය වුණත් වෙනස් වෙනවා. ඔය නිර්මල සංස්කෘතිය කියන එක තේරුමක් නැති දෙයක්. නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නෙ දේවානම්පිය තිස්ස යුගයෙ සංස්කෘතිය ද ගැමුණු යුගයෙ සංස්කෘතිය ද විජයබාහු යුගයෙ සංස්කෘතිය ද වෙන මොකක්වත් ද? සංස්කෘතියත් වෙනස් වෙනවා. ඒත් යම් සීමා ඇතුළෙ. සීමාවලින් පිට ගියොත් හඳුනගන්න බැරි සංස්කෘතියක් ලැබේවි.

නීතිය කියන්නෙ එදා අපි කිවුවෙ නැති වුණාට යම් සංස්කෘතියක පනවන කොන්දේසි ටිකක්. ඒ කොන්දේසි පිළිගත්තෙ නැත්නම් කඩකළොත් දඬුවම් කරනවා. ඒ සඳහා රාජ්‍යය බලය ලබා ගෙන තියෙනවා. රාජ්‍යය කියන්නෙ ම එවැනි බලයක් තියෙන ආයතනයකට. ඒත් අද නීතිය කියන්නෙ අපේ සංස්කෘතියෙ ඇති කර ගත් දෙයක් නො වෙයි. අපට පිටින් ගෙනත් අටවපු දෙයක්. ඒ නීතියත් අපේ සංස්කෘතියත් අතර ගැටුම් ඇති වෙනවා. එතැන දි නීතියට ජය අත්කර දෙනවා. ඒ වෙනත් කරුණක් නිසා නොවෙයි නීතිය පදනම් වෙලා තියෙන ඉංගිරිසි සංස්කෘතියෙ තියෙන ආධිපත්‍යය නිසා.

අපි හැදෙන්නෙ අපේ සංස්කෘතියෙ. දෙමව්පියන් ළමයි හදන්නෙ අපේ සංස්කෘතියෙ. ඒත් සංස්කෘතික ආධිපත්‍යය නිසා අපට වෙනත් සංස්කෘතියකත් හැදෙන්න වෙලා. ඒ හැදිල්ල කෙරෙන්නෙ අධ්‍යාපනය හා ජනමාධ්‍යය මගින්. අපි අද දෙබිඩ්ඩො. ඒ දෙබිඩිකම නිසා අසහනයක් තියෙනවා. ඒ අසහනයෙ ප්‍රතිඵල හැම තැන ම දකින්න පුළුවන්. අර රියැදුරා සමහර විට අධික වේගයෙන් රිය පදවන්නෙ ඇත්තෙ අසහනයෙන්. ඒ පොලිස් නිලධාරියාත් ඒ විධියට ප්‍රතික්‍රියා කරන්න ඇත්තෙත් අසහනයෙන්. මේ අසහනය එන්න එන්න වැඩි වෙනවා. රිය ගැටුමක් ඇති වූ විට අපට බලන්න පුළුවන් අසහනයේ තරම. (මතු සම්බන්ධයි)   

- Kalaya