PCRවලින් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම තමයි බටහිර වෙදකමේ තියන ලොකුම ප්‍රෝඩාව - මහාචාර්ය නලින් ද සිල්වා

PCRවලින් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම තමයි බටහිර වෙදකමේ තියන ලොකුම ප්‍රෝඩාව - මහාචාර්ය නලින් ද සිල්වා

5 March 2021 07:00 pm

වර්තමානයේදී බටහිර වෛද්‍ය විද්‍යාව සිදුකරන විශාලම ප්‍රෝඩාව වන්නේ PCR පරීක්ෂණ සිදුකර කොවිඩ් රෝගීන් හඳුනා ගන්නා බවට ගෙනයන ප්‍රෝඩාව බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති, මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසනවා. කාලය වෙබ් අඩවිය වෙත ඊයේ ඔහු ලියූ ලිපියේ මහාචාර්යවරයා සඳහන් කරන්නේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම PCR පරීක්ෂණවලින් නොහැකි බවයි.

PCR පරීක්ෂණවලින් සිදු කරන්නේ කොවිඩ් වෛරසය ශරීරගත වී ඇතිද යන්න සොයා ගැනීම පමණක් බවත්, වෛරසය ශරීරගත වූ පමණින් ඔහු රෝගියෙකු ලෙස සඳහන් කළ නොහැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් දේශීය වෙදකම හරහා කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව පමණක් නොව එම රෝගීන් සුවපත් කිරීමේ හැකියාවද පවතින බවයි නලින් ද සිල්වා මහතා පවසන්නේ.

සංඛ අමර්ජිත්ගේ ප්‍රශ්නය හා ජනමාධ්‍ය

ඊයේ අලුත් පාර්ලිමේන්තුවේ අලුත් මුහුණු සමග අලුත් අදහස් සාකච්ඡා වුණා. දැනුම් පද්ධති ගැන, බටහිර විද්‍යාව ගැන, බටහිර හා පෙරදිග වෙදකම ගැන කතා වුණා. එහි දී සංඛ අමර්ජිත් ඇසූ වැදගත් ප්‍රශ්නයකට පිළිතුරු දීමේ අවස්ථාව මග හැරී ගියා. ඔවැනි සංවාදවල දී එසේ වන අවස්ථා එමටයි. මගේ අත්දැකීමෙන් ද මා ඒ බව දන්නවා. ප්‍රශ්නයක් අසා උත්තරයක් දෙමින් සිටිය දී අතුරු මාතෘකාවක් අනුව ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අතුරු මාතෘකාවක් ඔස්සේ කතාව ඇදී යන්න පුළුවන්. එවිට අර පළමු ප්‍රශ්නය අමතක වෙනවා.

සංඛ ඇසූවේ පාරම්පරික වෙදකමේ කොවිඩ් 19 රෝගය හැඳිනගන්න පුළුවන් ද කියා. එයට එහි සිටි වෙදමහතා පිළිතුරක් දුන්නා. ඒ පිළිතුරෙන් කියැවුණෙ  රෝගය නොව රෝගියා හැඳින ගැනීමේ ක්‍රමයයි. වෙදමහතා තුන්විධ පරීක්‍ෂාවක් ගැන කිවුවා. අවසන නාඩි ඇල්ලීම ද සඳහන් කළා. එපමණක් නොව කොවිඩ් 19 හා කප්ප නැත්නම් සෙම කිපීම අතර සම්බන්ධයක් ද සඳහන් කළා. සංඛ බැරි වෙලාවත් කොවිඩ් 19 රෝගියකු වුවත් සංඛගේ නාඩි ඇල්ලීමෙන් පමණක් වෙදමහතාට රෝගය බෝ නොවෙන බවත් සඳහන් කළා.

එහි කිසිම ගැටළුවක් නැහැ. එහෙත් සංඛගේ ප්‍රශ්නයෙන් උලුප්පා ගත යුතු කොටසක් මග හැරී ගියා. සංඛ ප්‍රශ්නය ඇසුවේ බටහිර වෙදකමෙන් කොවිඩ් 19 රෝගය හැඳින ගැනීමට හැකිය යන උපකල්පනයෙන් කියායි මය හැඟී ගියේ. පාරම්පරික වෙදකමේ කොවිඩ් 19 රෝගීන් හැඳින ගැනීමට හැකියාව ඇති අතර එසේ හඳුනාගත් රෝගීන් සඳහා ප්‍රතිකාර ද තියෙනවා. එය එක ප්‍රතිකාරයක් නොව වෙද මහතාගෙන් වෙද මහතාට වෙනස් වෙන ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන ප්‍රතිකාර. වෙද මහතා ඒ බව ද පැහැදිලි කළා. මා එවැනි කතාවක් මුලින් ම ඇහුවෙ බොරුපන නැත්නම් රුහුණු වෙදමහතාගෙන්. රුහුණු වෙද මහතා අවුරුදු හතළිහකට පමණ උඩ දි මට කියා දී තිබුණා පාරම්පරික වෙදකම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වීම හා එයට බලපාන හේතු.

බටහිර වෙදකමේ කොවිඩ් 19 රෝගයට (ඔවුන් කියන විධියට රෝගීන්ට නොවෙයි. දශක තුනකට පමණ පෙර බටහිර වෙදමහතුන්ගෙ ගුරුවරයකු වූ කාලෝ ෆොන්සේකා මේ රෝගය හා රෝගියා අතර වෙනස ගැන  දිවයින පුවත්පතේ මා සමග වාදයකට ද එළඹියා) ප්‍රතිකාරයක් නැතිවා පමණක් නොව රෝගය හඳුනා ගැනීමට ද නොහැකියි. රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රචාරයේ හැමදාම කොවිඩ් තත්වය වාර්තා කරනවා. අද ආසාදිතයන් මෙපමණයි. මෙපමණ රෝගීන් සුව වී ගොස් තිබෙනවා. දැනට සමස්තයක් ලෙස 95%ක් පමණ සුව වී තිබෙනවා කියනවා. අපත් මේ සුරංගනා කතාව හැමදාමත් අහනවා.

එහෙත් බටහිර වෙද මහතුන් මොනවා කිවුවත් මේ කියන්නේ පීසීආර් පරීක්‍ෂණ ගැන. අර කොවිඩ් අලුත්ගේ නිතර කියන්නේ පීසීආර් පරීක්‍ෂණ තව තවත් වැඩි කරන්න කියා. ඒක හොඳයි. කාට කාටත් වැඩ තියෙන්න එපායැ. ඒත් මේ පීසීආර් පරීක්‍ෂණවලින් ලබා ගන්න දත්තවලින් කියන්නෙ මොකක් ද? කොවිඩ් 19 වෛරසය යමකුගේ ශරීරයට ඇතුල් වී ඇත් ද යන්න පමණයි. එයත් ක්‍රමය මත රඳා පවතින සාපේක්‍ෂ දත්තයක්.

යමකුගෙන් ගන්නා සෙම් පටළයක් දෙගුණයක් හතරගුණයක් ආදී වශයෙන් අභිවර්ධනය කරනවා. ඒ අනුව ශරීරගත වී ඇති වෛරසය ගැනත් කියන්න පුළුවන්. කොවිඩ් 19 ධන කියන එකෙන් කියන්නෙ අදාළ වෛරසය ශරීරගත වී ඇති බව පමණයි.පරීක්‍ෂාවට ලක් වූ තැනැත්තා කොවිඩ් 19 රෝගියකු ද යන්න ඉන් කියැවෙන්නේ නැහැ. වෛරසයක් ශරීරගත වූ පමණින්  යමකු රෝගියකු වන්නේ නැහැ. එහි දී ඒ පුද්ගලයාගේ ශරීර සෞඛ්‍යය ඔරොත්තු දීමේ ශක්තිය ආදිය බලපානවා.

කොවිඩ් 19 වෛරසය ශරීරගත වූ පමණින් යමකු රෝගියකු යැයි නම් කර සුද්දන්ගේ 1898 නිරෝධායන රෙගුලාසිවලට යටත් කර ඊනියා සුව කිරීමක් සඳහා බටහිර රෝහලකට හෝ ඊනියා නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීම රජයටත් මහාජනයාටත් කරන වදයක්. ඇතැම් විට එසේ යවන පුද්ගලයා තම වයෝවෘද්ධ දෙමව්පියන්ට උපස්ථාන කරන එක ම දරුවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කුඩා දරුවන්ගේ දෙමව්පියන් වෙන්න පුළුවන්.

කොවිඩ් 19 ආසාදිතයන් කියන එකෙන් රෝගීන් බවක් කියන්නේ නැහැ. අවශ්‍ය ම නම් කියන්න පුළුවන් කොවිඩ් 19 ආසාදිතයකුට කොවිඩ් රෝගියකු වීමේ සම්භාවිතාවක් තියෙනවා කියා. එහෙත් එය අහවල් සම්භාවිතාව කියා බටහිර වෙදකම අනුව කියන්න බැහැ. මේ ආසාදිතයන් රෝහලකට හරි වෙනත් තැනකට හරි යැවීමෙන් පසු සිදුවන්නේ කුමක් ද? ඔවුන්ට ප්‍රතිකාරයක් කෙරෙනවා ද? සමහර තැනක දුම් හට්ටිය අල්ලනවා වෙන්න පුළුවන්.

ප්‍රතිකාරයක් නැතත් ටික දිනකින් පසු පීසීආර් සෘණ වෙනවා. එවිට කියනවා රෝගය සුව වී කියා. රෝගීන් 95%ක් පමණ දැනට සුව වී ඇතැයි කියනවා. බටහිර වෙද මහතකු අපට කියනවා ද ඒ ඊනියා රෝගීන් සුව වුණේ ප්‍රතිකාරයකින් ද නැත්නම් කාලෝ ක්‍රමයට ද කියා. රෝගීන් නොවන්නන්ට කොහොමත් සුව වෙන්න දෙයක් නැහැ. අර මධ්‍යස්ථානයේ ටිකක් විනෝද වීමෙන් පසු ඔවුන් ගෙදර යනවා, එපමණයි.

මේ ප්‍රෝඩාව නඩත්තු කිරීම රජයට මෙන් ම ජනතාවට ද කරදරයක්. බටහිර වෙදකමට කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාරයක් නැතිවා පමණක් නොව රෝගියකු හඳුනා ගැනීමට ද නොහැකියි. අද කෙරෙන්නේ ආසාදිතයන් රෝගීන් ලෙස නම් කීිරීමක් පමණයි. එය රෝගීන් හඳුනාගැනීමක් නොව නම් කිරීමක්. 

බටහිර වෙද මහත්තුරු තම නොහැකියාව කියන්න ඕන. එසේ නොකියා තමන්ට කොවිඩ් 19 රෝගීන් හඳුනාගැනීමට ක්‍රමයක් ඇති බව ඇඟවීමෙන් කෙරෙන්නේ සංඛ වැනි ජනමාධ්‍යකරුවන් නොමග යැවීමක් පමණයි. අද ජනමාධ්‍යයෙන් තමයි ජනතාව බොහෝ දේ දැනගන්නේ. ජනමාධ්‍යකරුවන් ද එක්තරා ආකාරයකින් අතරමැදියන්. ඔවුන් අර පඬියන් හරි වෘත්තීයකයන් හරි හා ජනතාව අතර ඉන්නන්. බටහිර වෙද මහතුන් අද එසේ ඉන්නන් තම ඉත්තන් කර ගෙන. ඒත් ජනමාධ්‍යකරුවන් හිතන්නෙ තමන් කාගෙවත් ඉත්තන් නොවන බව.