රත්තරන් මංකොල්ලය

රත්තරන් මංකොල්ලය

4 March 2021 07:00 pm

සල්ලි කියන්නේ මොනවාද? සත්තු සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. මිනිස් සතා පරිණාමය හරහා අනෙක් සතුන්ගෙන් වෙනස් සතෙක් විදිහට බිහි වෙද්දී සල්ලි කියා හැඳින්විය හැකි දෙයක් තිබුණේ නැහැ. එහෙත්, මිනිස් සමාජය පරිණාමය වෙද්දී සල්ලි කියන සංකල්පය හොයා ගත්තා. මිනිස්සු සල්ලි හොයා ගැනීම කියන එක මිනිස්සු ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීම කියන එකට සමාන්තරව තේරුම් ගන්න පුළුවන්.

මුල්ම කාලයේදී ප්‍රාග්ධනය කියා කියන්නේ මොන වගේ දෙයක්ද? සමහර විට මරා ගත්ත ලොකු සතෙක්. සමහර විට ආයුධයක් ලෙස යොදා ගත හැකි ගල් පතුරක්. ඔය මොකක් වුනත් ප්‍රාග්ධනය කියන්නේ ශ්‍රමය වැය කර ලබාගත යුතු දෙයක්. 

සල්ලි කියන්නේත් එවැනිම දෙයක්. ශ්‍රමය වැය කර හදා ගත් ගල් ආයුධයක් ශ්‍රමය වැය කර මරා ගත් සතෙක් එක්ක හුවමාරු කර ගනිද්දී සතා වගේම ගල් පතුරත් සල්ලි බවට පත් වෙනවා. මුල් කාලයේදී සල්ලි වුනේ ඔය වගේ වැඩක් තියෙන, පරිභෝජනය කළ හැකි භාණ්ඩ. සල්ලි කියා මම කිවුවත් මෙහිදී අදාළ භාණ්ඩයම හුවමාරු වෙනවා මිසක් සල්ලි කියා විශේෂ හෝ අමුතු දෙයක් නැහැ.

කාලයක් හද්දී මේ ක්‍රමය ටිකෙන් ටික වෙනස් වුනා. සමහර භාණ්ඩ ගනුදෙනු වලදී භාවිතා වුනේ ඒ වෙලාවේ පරිභෝජනය කරන්න අවශ්‍ය වූ නිසා නෙමෙයි. පසුව ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි වූ නිසා.

මහන්සියෙන් හදාගත් ගල් ආයුධ දීලා මරපු සත්තු ලබාගන්න පුළුවන් වුනත් ඒ  මරපු සත්තු කාලයක් තියා ගන්න බැහැ. ධාන්‍ය වගේ දෙයක් ලබා ගත්තොත් කාලයක් තියා ගන්න පුළුවන්. මරපු සතෙක් අවශ්‍යවූ වෙලාවට ධාන්‍ය සමඟ හුවමාරු කර ගන්නත් පුළුවන්. ඔය විදිහට මිනිසුන් අතර ගනුදෙනු වැඩි වීම, ප්‍රාග්ධනය රැස් වීම වගේම ගනුදෙනු හරහා මිනිසුන් අතර සාමූහිකත්වය වර්ධනය වීම කාලයක් තිස්සේම සිදු වුනු දෙයක්.

මුල් කාලයේදී මුදල් හැටියට භාවිතා වුනේ කාලයක් සුරක්ෂිතව තබා ගත හැකි අතරම යම් පරිභෝජන වටිනාකමක් තිබුණු දේවල්. කාලයත් සමඟ මේ වැඩේට යොදාගත් දේවල් අතරින් රත්තරන් මුල් තැනට පත් වුනා. 

රන් ත්‍රිශූලයේ ගැට ගැසූ රිදී පඬුර

රත්තරන් වලින් ප්‍රයෝජනයට ගත හැකි විවිධ දේ හැදිය හැකියි. රත්තරන් මාල, මුදු, කරාබු, දේව රූප, ඔටුනු, රන් ත්‍රිශූල, රත්තරන් අස්සයෝ ඔය ඕනෑ දෙයක්. රත්තරන් සියවස් ගාණක් වුනත් තියා ගන්න පුළුවන්. නරක් වෙන්නේ නැහැ. ඒ නිසා, විවිධ විකල්ප අතරින් මුදල් විදිහට රත්තරන් උඩට ආපු එක පුදුමයක් නෙමෙයි. හැම රටකම රත්තරන් නිධි නොතිබීම මෙයට බාධාවක් වුනේ නැහැ. 

රත්තරන් නරක් නොවුනත් හොර හතුරන්ගෙන් පරිස්සම් කර ගෙන එහා මෙහා ගෙන යන එක ටිකක් අමාරු වැඩක්. කෝච්චියක යද්දී මාලේ කඩා ගන්න බැරි නැහැනේ. ලොකු රත්තරන් ප්‍රමාණයක් ෂොපින් බෑග් එකක දාගෙන බස් එකේ ගෙනිච්චොත් කොහොමද? 

ඔය වගේ ප්‍රශ්න නිසා ගනුදෙනු වලදී රත්තරන් භාවිතය වෙනුවට රන් සහතික භාවිතය ජනප්‍රිය වෙන්න ගත්තා. දැන් කවුරු හෝ වෙළෙන්දෙක් ධාන්‍ය මිල දී ගත්තහම රන් වලින් ගෙවන්නේ නැතිව, රන් වල අයිතිය සහතික කළ ලියවිල්ලක් දෙනවා. "මා සතුව ඔබේ රන් මෙපමණ තිබෙනවා" වගේ. වෙළෙන්දා විශ්වාසනම් ප්‍රශ්නයක් නැහැනේ. කැමති වෙලාවක ගිහින් තමන්ට ලැබිය යුතු රත්තරන් ටික ඉල්ල ගන්න පුළුවන්.

මේක හරියට ඉඩම් ඔප්පුවක් වගේ. ඉඩම් ඔප්පුවක් කියන්නේ කිසිම වටිනාකමක් නැති කඩදාසි ටිකක් විතරයිනේ. නමුත්, ඉඩමක ඇත්ත වටිනාකමක් තියෙනවා. ඒ ඇත්ත වටිනාකම ඔප්පු කිරීමට තිබෙන සාක්ෂිය තමයි ඉඩම් ඔප්පුව.

මුල් කාලයේ මුදල් නෝට්ටු කියා කියන්නෙත් ඔය ඉඩම් ඔප්පු වගේම දෙයක්. කාට හෝ කෙනෙක්ට බැංකුවක රත්තරන් තැන්පත් කරලා ඒ වෙනුවට මුදල් නෝට්ටු ලබා ගන්න පුළුවන්. මේ මුදල් නෝට්ටු නිකම්ම නිකම් කඩදාසි  පමණයි. නමුත්, බැංකුවේ තිබෙන රත්තරන් වල අයිතිය තහවුරු කරන්නේ ඔය නෝට්ටු. කැමති වෙලාවක බැංකුවට නෝට්ටු දීලා රත්තරන් ආපහු ගන්න පුළුවන්.

නෝට්ටු ලබා ගන්න බැංකුවට දෙන්න රත්තරන් හොයා ගන්නේ කොහොමද? එක්කෝ රත්තරන් හාරලා හොයා ගන්න ඕනෑ. එහෙම නැත්නම් හාරලා හොයා ගත්ත කෙනෙක්ට වෙන මොනවා හෝ ප්‍රයෝජනවත් දෙයක් දීලා ලබා ගන්න ඕනෑ. ඔය කොයි විදිහට ලබා ගත්තත් රත්තරන් කියා කියන්නේ ශ්‍රමය වැය කර අයිති කර ගත යුතු දෙයක්. ඒ කියන්නේ රත්තරන් හුවමාරුවට ලැබෙන නෝට්ටුත් ශ්‍රමය වැය කර අයිති කර ගත යුතු දෙයක්. සෘජුව නැතත් වක්‍ර ලෙස හෝ මේ කඩදාසි වල සැබෑ වටිනාකමක් තිබෙනවා. 

මේ වෙද්දී ලෝකයේ බොහෝ රටවල මුදල් නෝට්ටු නිකුත් කිරීමේ ඒකාධිකාරය තියෙන්නේ රටේ මහ බැංකුවට. සමහර විට රටවල් ගණනාවකට පොදු එක මහ බැංකුවකට. සමහර විට මුදල් අධිකාරියකට.

කාලයකට පෙර මහ බැංකු විසින් මුදල් නිකුත් කළේ තමන් සතු රන් සංචිත වල වටිනාකමට යම් ආකාරයකින් ගලපමින්. එක්කෝ එම මුළු වටිනාකමම හෝ එයින් යම් අවම ප්‍රතිශතයක් රන් වලින්ම තියා ගන්නවා. එහෙම නැත්නම් විදේශ මුදලකින් තියා ගන්නවා. විදේශ මුදල නිකුත් කළ මහ බැංකුවත් එහි වටිනාකමට රන් සංචිත ගැලපීමක් කර තිබෙන නිසා ඔය දෙකේ වෙනසක් නැහැ. සල්ලි නිකම්ම කඩදාසි වුනත් එහි සැබෑ වටිනාකමක් තිබෙනවා. 

ලංකාව පැත්තකින් තියලා ඇමරිකාව ගම්මුකෝ. 1933 වන තුරු ඇමරිකන් ඩොලරය හා රන් වටිනාකම අතර සෘජු සම්බන්ධයක් තිබුණා. ඇමරිකානුවන්ට කැමති පරිදි ඩොලර් හෝ රත්තරන් තියා ගැනීමේ නිදහස තිබුණා. ඒ නිසා කවුරු හෝ කෙනෙක් රත්තරන් ඩොලර් කළේ පැවති රන් මිල යටතේ ඩොලර් හා රත්තරන් වල වටිනාකම් සමාන සේ සැලකූ නිසයි. 

ඩොලර් ගන්න දිය යුතු රත්තරන් තරමට ඩොලර් වටින්නේ නැතැයි සිතූ කෙනෙක්ට තමන්ගේ වත්කම් ඩොලර් වලට මාරු නොකර රත්තරන් විදිහටම තියාගන්න පුළුවන්කම තිබුණා. නමුත්, යුද තත්ත්වයක් යටතේ ලැබුණු බලතල මත 1933 අප්‍රේල් 5 වනදා නිකුත් කළ ජනාධිපති රූස්වෙල්ට්ගේ විධායක නියෝගයක් මගින් සියලුම ඇමරිකානුවන්ට තමන් සතු වූ රත්තරන් 1933 මැයි 1 දිනට පෙර ඇමරිකාවේ මහ බැංකුව වූ ෆෙඩරල් සංචිත බැංකුවට ලබා දීමට නියෝග කෙරුණා.

රත්තරන් කිවුවහම රත්තරන් විතරක්ම නෙමෙයි. බැංකු වල තිබුණු රත්තරන් වල අයිතිය වෙනුවෙන් ලබා ගෙන තිබුණු රන් සහතිකපත්ද ෆෙඩරල් සංචිත බැංකුවට ලබා දිය යුතු වුනා. රන් ආභරණ ආදිය හැර විශාල ප්‍රමාණ වලින් රන් ළඟ තබා ගැනීම මේ නියෝගය අනුව දැඩි දඬුවම් ලැබිය හැකි, නීති විරෝධී කටයුත්තක් වුනා. 

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපනය කළේ 1913 අවුරුද්දේදී. මුල සිටම වුනත් ෆෙඩරල් සංචිත බැංකුව විසින් නිකුත් කළ ඩොලර් වල වටිනාකමටම රත්තරන් තියා ගන්න අවශ්‍ය වුනේ නැහැ. එහෙත්, අවම වශයෙන් නිකුත් කළ මුදල් වලින් 40%ක වටිනාකමට රත්තරන් සංචිත පවත්වා ගත යුතු වුනා. 1933 වන කොට ෆෙඩරල් සංචිත බැංකුව විසින් මේ පදනම මත නිකුත් කළ හැකි මුදල් ප්‍රමාණය මුළුමනින්ම වගේ නිකුත් කරලයි තිබුණේ. 

මහ බැංකුවේ තිබෙන රත්තරන් ප්‍රමාණයට සාපේක්ෂව සංසරණයට එකතු කරන ඩොලර් ප්‍රමාණය වැඩි වෙද්දී රත්තරන් වලට සාපේක්ෂව ඩොලර් එකක අගය පහළ බහිනවා. ඩොලර් නෝට්ටු වලට වඩා රත්තරන් වටින බව තේරිලා තිබුණු නිසා මිනිස්සු තමන්ගේ වත්කම් රත්තරන් වලින් තියා ගන්න පටන් ගත්තා. මිනිස්සුන්ගේ රත්තරන් මහ බැංකුවට ගන්න නියෝග කරන්න සිදු වුනේ ඒ නිසයි.

මහ බැංකුව විසින් පවරාගත් රත්තරන් වෙනුවෙන් අවුන්සයකට ඩොලර් 20.67 බැගින් ගෙවීමක් කළා. ඉන් පසුව එක් පුද්ගලයෙකුට ලඟ තබා ගත හැකි වූයේ ඩොලර් 100කට අඩු වටිනාකමක් තිබෙන රත්තරන් පමණයි. ඒ කියන්නේ අවුන්ස 5කට ටිකක් අඩු ප්‍රමාණයක්. ඉන් පසුව ඇමරිකානුවන්ට තමන්ගේ වත්කම් රත්තරන් වලින් තබා ගැනීම, රත්තරන් ගනුදෙනු සඳහා යොදා ගැනීම, රටින් පිට කිරීම ආදිය තහනම් වුනා. මේ තහනම් ටිකෙන් ටික ඉවත් වුනේ 1965 වසරේ සිටයි.

මුදල් විදිහට රත්තරන් භාවිතා කිරීමේ විකල්පය නැති වුනාට පස්සේ ඇමරිකානුවන්ට ගනුදෙනු කිරීම සඳහා තිබුණු එකම විකල්පය ඩොලරයයි. රාජ්‍ය බලහත්කාරය හරහා ඩොලරයට ඒකාධිකාරයක් හැදුනා. මේ ඒකාධිකාරය ඇමරිකානු රජය ශක්තිමත් කිරීමට වගේම ඇමරිකාවේ ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමටත් අද දක්වාම උපකාරී වෙනවා. 

මේ වෙද්දී රත්තරන් අවුන්සයක මිල ඩොලර් 1,800ක් පමණ වෙනවා. 1933දී ඇමරිකාවේ රජයේ නියෝගය අනුව තමන්ගේ රත්තරන් ෆෙඩරල් සංචිත බැංකුවට භාර දුන්න ඇමරිකානුවන්ට ලැබුනේ ඩොලර් 20කට පොඩ්ඩක් වැඩියෙන්. ඒ වෙලාවේ ලැබුණු ඩොලර් විස්සේ කොළයක් අද වෙනකම් තියා ගත්තානම් එහි වටිනාකම අදටත් ඩොලර් විස්සම තමයි. පරණ නෝට්ටු එකතු කරන කෙනෙක් සමහර විට කීයක් හරි වැඩියෙන් දෙයි. 

මේ ගණන් දෙක අතර වෙනස, ඒ කියන්නේ ඉතිරි ඩොලර් 1,780, ඇමරිකානු රජය හා මහ බැංකුව එකතු වී පහුගිය කාලය පුරා ඇමරිකානුවන්ට නොදැනී ඇමරිකානුවන්ගේ පොකට් ගහපු මුදලක්. ලෝකයේ අනෙක් රට වලත් ඔය වැඩේම වෙනවා. එය සිදු වෙන්නේ සල්ලි අච්චු ගැහීම හරහා. 

ඇමරිකානුවන් සතුව තිබුණු රත්තරන් ටික එකතු කර ගෙන අවුන්සයට ඩොලර් 20.67 බැගින් ඩොලර් නෝට්ටු දීලා අනෙක් අතට  ඇමරිකන් රජය ඩොලරයේ අගය අවප්‍රමාණය කළා. 1933 මැයි එක සිට සාමාන්‍ය පුද්ගලයින්ට රත්තරන් ළඟ තබා ගන්න බැරි වුනත් මොනවා හෝ වැඩකට රත්තරන් අවශ්‍ය වූ අයෙකුට අවශ්‍යතාවය පෙන්වා ඩොලර් 20.67 බැගින් ෆෙඩරල් සංචිත බැංකුවෙන් රත්තරන් මිල දී ගන්න පුළුවන්කම තිබුණා. ඒ දවස් වල මිනිස්සු රත්තරන් දත් දැම්මනේ. ලංකාවෙත් සමහර අය දැම්මේ. ඔය රත්තරන් දත් හදන්න වගේ වැඩකට දන්ත වෛද්‍ය වරයෙකුට අවශ්‍යනම් ෆෙඩරල් සංචිත බැංකුවෙන් ඉහත මිලට රත්තරන් මිල දී ගන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ ඩොලරයක වටිනාකම රත්තරන් අවුන්සයකින් 22.67න් පංගුවක් ලෙස තව දුරටත් පැවතුණා. හැබැයි බොහොම ටික කාලයයි.

1934 ජනවාරි 30 සිට බලාත්මක කෙරුණු නීතියකින් රත්තරන් අවුන්සයක මිල ඩොලර් 35කට සමාන කෙරුණා. ඒ එක්කම, එතෙක් පැවති ඩොලර් දීලා අවශ්‍යතාවයකට මහ බැංකුවකින් රත්තරන් මිල දී ගන්න තිබුණු හැකියාවත් ඇමරිකානුවන්ට නැති කරනු ලැබුවා. වෙනත් විදිහකට කිවුවොත් ඩොලර් 22.67 බැගින් රටේම තිබුණු රත්තරන් ටික බලහත්කාරයෙන් එකතු කර ගෙන ඒ වෙනුවට මිනිස්සුන්ට ඩොලර් නෝට්ටු දුන්නට පස්සේ ඇමරිකන් රජය ඒකපාර්ශ්විකව ඒ ඩොලර් එක බාල්දු කළා. 

අපි මෙහෙම කියමුකෝ. ඔය රත්තරන් එකතු කර ගැනිල්ල වෙද්දී කවුරු හෝ ඇමරිකානුවෙකුට රත්තරන් අවුන්සයක් දීලා බඩු මල්ලක් ගන්න පුළුවන්කම තිබුණානම් ඩොලර් 20.67ක් දීලත් ඒ බඩු මල්ලම ගන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඩොලර් එක බාල්දු කළාට පස්සේ දැන් මේ බඩු මල්ල ගන්න ඩොලර් 35ක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ අතේ තිබුණු රත්තරන් අවුන්ස 1.69ක් වෙනුවෙන් ලැබුණු ඩොලර් ප්‍රමාණය. රත්තරන් අවුන්සයක් දීලා මිල දී ගත හැකිව තිබුණු බඩු ටික ගන්න දැන් රත්තරන් අවුන්ස 1.69කට සමාන ඩොලර් ඕනෑ. ඩොලර් වල වටිනාකම 41%කින් අඩු වෙලා.

මේක සමාන කරන්න පුළුවන් වෙන්නේ 41%ක බද්දක් අලුතින් අය කරන එකටයි. නමුත්, බදු විදිහට නැතිව සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ගේ පොකැට් එකට ගැහුවම ඕක මිනිස්සුන්ට එක පාරට තේරෙන්නේ නැහැ. උද්ධමනය කියන්නේ නිහඬ මාරයෙක්. බදු වගේ එක පාරට මරන්නේ නැහැ. ටික ටික මැරෙන්න අරින්නේ.

ඇමරිකානුවන් අතේ තිබුණු රත්තරන් ෆෙඩරල් සංචිත බැංකුවට ගන්න අවශ්‍ය වුනේ ඒ වෙද්දී තිබුණු නීතිය අනුව ඩොලර් එළියට දැමිය හැකි වුනේ ඩොලර් වල වටිනාකමෙන් 40%කට සමාන රත්තරන් බැංකුවේ සංචිත වල තියාගෙන පමණක් වූ නිසා. එතෙක් කල් ඩොලර් එළියට දමන්න පුළුවන් වුනේ කවුරු හරි තමන්ගේ කැමැත්තෙන්ම රත්තරන් ගෙනත් දීලා ඩොලර් ඉල්ලුවොත් පමණයි. 1933 නියෝගය අනුව බලහත්කාරයෙන් රත්තරන් ලබා ගෙන ඩොලර් එළියට දමන්න පුළුවන් වුනා. හැබැයි එහෙම කරලත් ඩොලර් එළියට දමන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඩොලර් එක බාල්දු කරපු ගමන්ම ෆෙඩරල් සංචිත බැංකුවට ඩොලර් ප්‍රමාණය 69%කින් වැඩි කරන්න පුළුවන් වුනා. 

ඔය වැඩේ ඔතැනින් නැවතුනේ නැහැ. ෆෙඩරල් සංචිත බැංකුව දිගින් දිගටම සල්ලි අච්චු ගහමින් ඩොලර් එක බාල්දු කළා. රත්තරන් අවුන්සයක මිල ඩොලර් 35 විදිහට නමට තිබුනත් ඒ මිලට ගන්න රත්තරන් කොහේවත් තිබුණේ නැහැ. ෆෙඩරල් සංචිත බැංකුව හෝ ෆෙඩරල් සංචිත බැංකුවේ රත්තරන් පසුව අයිති කරගත් ඇමරිකන් රජය ඇමරිකානුවන්ට මේ රත්තරන් කවදාවත් ආපසු දුන්නේ නැහැ. නමුත්, විදේශ රටවල් එක්ක මේ මිලට රත්තරන් හුවමාරු කර ගත්තා. ගොඩක් රටවල් ඇමරිකාවට රත්තරන් විකුණලා අවුන්සයට ඩොලර් 35 ගානේ ලබා ගත්තා. රත්තරන් අවශ්‍ය වෙලාවට ඩොලර් දීලා ආපහු රත්තරන් ගත්තා. 

කාලයක් මේ වැඩේ ඔය විදිහට ගියා. රට ඇතුළේ කොහොම වුනත් රටින් පිටට ඩොලර් 35ක රන් අවුන්සයකට වඩා වටිනාකමක් තිබුණු නිසා ඇමරිකාවේ රත්තරන් එකතු වෙලා ඩොලර් ඇමරිකාවෙන් පිටට ගියා. ලෝකය පුරාම ඇමරිකන් ඩොලරය ව්‍යාප්ත වුනා. එහෙත්, 1970 පමණ වෙද්දී ඩොලර් එකට තිබුණු ඉල්ලුම අඩු වුනා. අනෙක් රටවල් ඩොලර් දීලා රත්තරන් ආපහු ගන්න පටන් ගත්තා. ඇමරිකාවට ඩොලර් හා රත්තරන් එක්ක තිබුණු සම්බන්ධය කඩලා දමන්න වුනා. රත්තරන් මිල නිදහසේ තීරණය වෙන්න ගත්තා. වෙනත් විදිහකින් කිවුවොත් රත්තරන් වලට සාපේක්ෂව ඩොලර් එකේ මිල නිදහසේ තීරණය වෙන්න ගත්තා.

දැන් රත්තරන් අවුන්සයක් ඩොලර් 1,800ක්. 1933දී රජයට ගත්ත රත්තරන් අවුන්සයක් වෙනුවෙන් දුන්න කඩදාසි කොළේ වටිනාකම තවමත් ඩොලර් විස්සමයි. ඩොලර් වෙනුවට රත්තරන් අතේ තියා ගන්න පුළුවන් වුනානම් අද වෙද්දී ඩොලර් 1,800ක වටිනාකමක් තිබෙනවා. ඉතුරු ඩොලර් 1,780ම බදු නොකියා ගහපු බදු. ඔය වැඩේ තවමත් දිගින් දිගටම වෙනවා. ඇමරිකාවේ විතරක් නෙමෙයි. වෙන රටවලත්.

- ඉකොනොමැට්ටා