විස්ස දී හිස් අතින් ?

විස්ස දී හිස් අතින් ?

26 February 2021 11:00 pm

මට මතක ඇති කාලයේ සංසරණයේ තිබුණු ලොකුම වටිනාකමක් තිබුණු කාසිය රුපියලේ කාසියයි. ඉඳහිට රුපියලේ කොළයක් හමු වුනත්, ඒ වෙද්දී රුපියලේ කොළය සංසරණයෙන් ඉවත් වෙලා. රුපියලේ කාසියෙන් පහළට සත පණහ, සත විසිපහ, සත දහය, සත පහ, සත දෙක හා සතය භාවිතයේ තිබුණා. සතයකින් හෝ සත දෙකකින් මිලදී ගත හැකි දෙයක් නොතිබුනත් මොනවා හෝ දෙයක් මිලදී ගනිද්දී සතයක් අඩුනම් එය මිලදී ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඉතුරු දෙනකොට නම් සතය නොදී ඉන්න වෙලාවල් තිබුණා.

රුපියලෙන් ඉහළට කාසි තිබුණේ නැහැ. රුපියල් දෙකේ කොළයෙන් පටන් ගත්තහම රුපියල් පහේ, දහයේ, පනහේ හා සීයේ කොළ තිබුණා. ලොකුම කොළේ රුපියල් සීය. විස්සේ කොළ තිබුණේ නැහැ. දැනුත් ඔය කතාවට කියනවනේ දෙකේ කොළේට වැටුනා කියලා. මම මුලදී හිතාගෙන හිටියේ ඔය කියන්නේ රුපියල් දෙකේ කොළේ ගැන කියලා. ඇයි ඒ දවස්වල තිබුණු වටිනාකමෙන් අඩුම කොළේ ඒකනේ. පස්සේ තමයි බූරු කුට්ටම ගැන දැන ගත්තේ. බූරු කුට්ටමේ වටිනාකම අඩුම කොළේ දෙකේ කොළේ කියා කිවුවත් දෙකේ කොළේ ගොඩක් සෙල්ලම්වලට ගන්නවා. එහෙමවත් ගන්නේ නැති කොළ දෙකකුත් තියෙනවා. 

කොහොම වුනත් දෙකේ කොළේට ඒ දවස්වල සැලකිය යුතු වටිනාකමක් තිබුණා. ගෙදරට ආපු කෙනෙක් දෙකේ කොළයක් මිට මෙලෙවුවා නම් එය වටිනා මුදලක්. ඒ කාලයේ සත ගණන්වලට මුද්‍රිත පොත් මිලදී ගන්න පුළුවන්කම තිබුණා.

විස්සේ කොළයක් මුලින්ම ආවේ ජේආර් බලයට ඇවිත් සල්ලි අච්චු ගහන මැෂිම දවල් රෑ නැතුව වැඩ කරන්න ගත්තට පස්සේ. හරියටම කියනවනම් 1979 මාර්තු මාසේ.  මම හිතන්නේ ජේආර් අලුතෙන් හදපු සමාජවාදී ජනරජය මොන වගේ එකක්ද කියලා හරියටම තේරෙන්න පටන් ගත්තේ ඔය කාලයේදී. අළුතෙන් ජපන් වාහන, විශේෂයෙන්ම රීකන්ඩිෂන් මෝටර් සයිකල්, රට පුරා සුලභ වෙද්දී රෝහල්වල අලුතෙන් zහොන්ඩා වාට්ටුz හැදෙන්න පටන් ගත්තා. කාන්තාවෝ ඩුබායි යන්න පටන් ගත්තා. ෂොපින් බෑග් මුලින්ම දකින්න හම්බ වුනා. 

මුලින්ම මේ ෂොපින් බෑග්වලට කිවුවේ ඩුබායි බෑග් කියලා. රුපියල් පහ ගානේ මුලදී විකුණපු ඩුබායි බෑග් සතියක් දෙකක් යද්දී පහට තුන වුනා. සැපයුම්කරුවන් වැඩි වෙද්දී ඉල්ලුම සමානුපාතිකව වැඩි නොවුන නිසා ඉතාම කෙටි කාලයක් තුළ ඩුබායි බෑග් ෂොපින් බෑග් වෙලා සත විසිපහට හෝ සත දහයට බැස්සා. පස්සේ කඩදාසි ගොටු වෙනුවට ආදේශ වුනා. නිකම් දෙන ගානට වැටුනා. 

ඔය කාලයේ දවසක් මගේ පන්තියේ යාළුවෙක් ලස්සන දිලිසෙන සුදු සත පහක් පෙන්නුවා. ඒ දවස්වල තිබුණේ සත පහේ හා දහයේ තඹ කාසි. තඹ සත පහක් අරගෙන සුදු සත පහක් ගෙදරින් ගෙනත් දෙන්න මේ යාලුවා මට පොරොන්දු වුනා. පොරොන්දුව ඒ විදිහටම ඉටු වුනා. 

යාළුවාට බැගෑපත් වී තඹ සතයකට ඇලුමිනියම් සත පහක් මාරු කරගත්තත් අවුරුද්දක් පමණ යද්දී තඹ සත පහේ හා තඹ සත දහයේ කාසි අතුරුදහන් වී ඇලුමිනියම් සත පහේ හා සත දහයේ කාසි සුලභ වුනා. ගනුදෙනුවලදී සතයට හා සත දෙකට තිබුණු වැදගත්කම නැති වෙලා ගිහින් ෂොපින් බෑග් තත්ත්වයට පත් වුනා. අසූව දශකයේ මුල් කාලය වෙද්දී ප්‍රායෝගික තත්ත්වයන් යටතේ අඩුම වටිනාකමක් තිබෙන කාසිය සත පහ බවට පත් වුනා. සතයට රවුම් වී තිබුණු බොහෝ මිල ගණන් සත පහට රවුම් වුනා.

රට සංවර්ධනය කිරීම සඳහා විදේශ ණය ගන්නවාට අමතරව ජේආර්ගේ ආණ්ඩුව මහා පරිමාණයෙන් සල්ලි අච්චු ගැහුවා. රජයේ සේවකයින්ගේ වැටුප් එලෙසම තියෙද්දී බඩු මිල විශාල ලෙස ඉහළ ගියා. ඔය පසුබිමේ ජූලි වර්ජනය ආවා. වර්ජකයින්ව ගෙදර යවපු ජේආර් සල්ලි අච්චු ගහන මැෂිම අක්‍රිය කළේ නැහැ. අසූ එකේදී පන්සීයේ හා දාහේ කොළ ආවා. දෙසීයේ කොළ ආවේ ඊට පස්සේ. චන්ද්‍රිකාගේ කාලයේදී දෙදාහේ කොළ ආවා. ඊටත් පස්සේ මහින්ද රාජපක්ෂ හා කබ්රාල් අත්සන් කරලා පන්දාහේ කොළයක් එළියට දැම්මා. 

ලොකු කොළ සංසරණයට එකතු වෙද්දී පොඩි කොළ එකෙන් එක අතුරුදහන් වෙමින් කාසි ආදේශ වුනා. දෙකේ කාසි, පහේ කාසිවලින් දෙකේ කොළ, පහේ කොළ විස්ථාපනය වුනා. ඊට පස්සේ දහයේ කාසිය ආවා. සතවලට වටිනාකමක් නැතුව ගියා. මම හිතන්නේ රුපියලේ කාසියකට වුනත් දැන් ප්‍රායෝගිකව වටිනාකමක් නැති තරම්.

දැන් මහ බැංකුව සිය හැත්තෑ වන සංවත්සරය සමරන්න රුපියල් විස්සේ කාසියක් සංසරණයට එකතු කරනවා. වැඩි කල් නොයා රුපියල් විස්සේ කොළත් සංසරණයෙන් ඉවත් වෙලා යයි. මහ බැංකුවේ හැත්තෑ වසරක කාර්යභාරය දෙකේ කොළේට දැමිය හැකි නොවූවත්, අවුරුදු හැත්තෑවක් තිස්සේ මහ බැංකුව විසින් කරලා තියෙන්නේ ලොකු කොළ එකින් එක දෙකේ කොළේට දැමීම කියන එකනම් නොකියාම බැහැ. 

විස්සයි විස්ස ඉවර වෙන්නේ විස්සත් ඉවර කරගෙනයි. වේගවත් ආර්ථික සංවර්ධනයක් කරා යාම සඳහා තුනෙන් දෙක මදි වී විස්ස හරහා උපරිම බලතල ලබාගත් ආණ්ඩුව දැන් විසි හතර පැයේම සල්ලි අච්චු ගහනවා. ඒ අච්චු ගහන්නේ ලොකු කොළ. විස්ස හොඳටම බාල වෙලා නිසා විස්ස අච්චු ගහලා එළියට දමන එක නවත්වලා. ඒ වෙනුවට විස්සේ කාසියක් එනවා. මේ දවස්වල සල්ලි අච්චු ගහන හැටියට විස්සේ කාසියකින් ගන්න පුළුවන් දෙයක් ඉතුරු වෙයිද ? විස්ස දැනටමත් දෙකේ කොළේට වැටිලද ? විස්ස දීලත් අන්තිමට ලැබෙන කිසිම දෙයක් නැති වෙද්දී ඇති වන අපේක්ෂා භංගත්වය මොන විදිහට පුපුරයිද ?

ඉකොනොමැට්ටා