සීයා හා දෙදාස් පන්සීයා

සීයා හා දෙදාස් පන්සීයා

19 January 2021 07:00 pm

තව දවස් තුනකින් (ජනවාරි 21) කොළඹ සරසවියේ ශාස්ත්‍ර හා විද්‍යා පීඨ වල සියවස සැමරෙනවා. කොළඹ සරසවිය මමත් අවුරුදු හතර පහක් තිස්සේ ගාටපු තැනක්. එහෙත්, මගේ පළමු සම්බන්ධය තිබෙන්නේ පේරාදෙණිය සරසවිය සමඟයි. යම් හෙයකින් මට පේරාදෙණි යාමේ අවස්ථාව නොලැබුනානම් මා බොහෝ විට මුලින්ම යන්නේ කොළඹ සරසවියටයි. මුලින් පේරාදෙණි යන්න අවස්ථාව ලැබුණු නිසා කොළඹ යන්න වුනේ දෙවනුවයි. 

උසස් පෙළ කර සරසවි යාම ගැන හිතද්දී හැම විටම වගේ මගේ හිතේ මැවුණේ පේරාදෙණිය සරසවියයි. පේරාදෙණි ගොස් ඉගෙන ගැනීමේ සිහිනයටත් වඩා උඩින් තිබුණේ පේරාදෙණිය සරසවිය ආශ්‍රිතව වසර හතරක් ගත කිරීමේ සිහිනයයි. මොරටුව සරසවියට යන්නට මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. යම් හෙයකින් මොරටු යන්න සිදු වීමේ අවදානම වලක්වා ගැනීම සඳහා මම සරසවි පාඨමාලා අයදුම් කරද්දී මොරටුවේ පාඨමාලා කිසිවක් සඳහා අයදුම් කළේම නැහැ. 

අයැදුම්පත්‍රයේ මගේ පළමු කැමැත්ත ලෙස මා සඳහන් කළේ, අපේක්ෂා කළ පරිදිම මට යන්නට අවස්ථාව ලැබුණු, පේරාදෙණි පාඨමාලාවයි. මගේ දෙවන හා තුන්වන මනාප ලැබී තිබුණේ කොළඹ සරසවියේ පීඨ දෙකක පාඨමාලා දෙකකටයි. කැමති පාඨමාලා දහයක් දක්වා සඳහන් කළ හැකිව තිබුණත්, මා ඉල්ලා සිටියේ ඉහත කී පාඨමාලා තුනෙන් එකක් පමණයි.

පේරාදෙණියේ ගත කළ කාලය මගේ ජීවිතයේ හොඳම කාලය කියා කියන්න අසීරු වුනත් හොඳම කාලයක්. එම කාලය ගැන අදටත් සතුටු විය හැකියි. එහෙත් පේරාදෙණියෙන් මා ලබාගත් අධ්‍යාපනය පිළිබඳව මා සතුටු වනවා කියා කියන්න බැහැ. මට ලැබුණු කියා නොකියා මා ලබාගත් කියා කියන්නේ මෙහි යම් වරදක් ඇත්නම් එය බොහෝ දුරට මගේ පැත්තෙන් සිදු වූ වරදක් නිසා.

වෙනත් දේ කෙසේ වෙතත් අධ්‍යාපනය හා අදාළව පේරාදෙණියේදී මගේ ඉලක්කය වුනේ හැකි අවම මහන්සියකින් විභාග සමත් වීමයි. ඒ වන විට අධ්‍යාපනයේ ඉලක්කය ලෙස මා හඳුනාගෙන තිබුණේ අදාළ විභාග සමත් වී ජීවිතය සාර්ථක කර ගැනීමේ ඊළඟ පියවර දක්වා ගමන් කිරීමයි. සරසවි ප්‍රවේශය දක්වාම මේ ඊළඟ පියවර වුනේ තවත් විභාගයක්. පාසැල් සිසුවකු ලෙස මා දැන සිටියේ අධ්‍යාපනය හරහා ජීවිතය සාර්ථක කර ගැනීමේ අවසන් හා පරමාදර්ශී ඉලක්කය වනුයේ, ඒ දින වල සිතා සිටි පරිදි ඉහළ ආදායමක් උපයන්නට ඉඩ සලසන, වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු වැනි වෘත්තිකයෙකු වීම බවයි. 

සරසවි විභාග සමත් වීම අභියෝගයක් බව වෙනත් බොහෝ දෙනෙකු මෙන්ම මා ද දැන ගත්තේ නවක වද සමයේදීයි. ඒ නිසා, පළමු වසර විභාගයට පෙර ප්‍රතිඵලය පිළිබඳ යම් බියක් නොතිබුණා නෙමෙයි. පළමු වසරේ පුනරීක්ෂණ විභාග අවස්ථාවක් තිබීම හේතුවෙන් මේ බය යම් තරමකින් තුනී වුවත්, ඉදිරි තෙවසර තුළ හදාරන අනු ක්ෂේත්‍රය මෙන්ම ඒ වන විට හිතාගෙන සිටි පරිදි ඉදිරි ජීවිත කාලය තුළම කරන්නට සිදුවන රැකියාවද තෝරා ගැනීමේ අවස්ථාව මේ විභාගයේ ප්‍රතිඵලය මත තීන්දු වන නිසා විභාගය යාන්තමින් සමත් වීම ඒ තරම්ම සතුටු විය හැකි දෙයක්ව තිබුණේ නැහැ. 

පළමු වසරේ විභාග ප්‍රතිඵලය ඒ තරම් නරක එකක් නොවුනාක් මෙන්ම එම ප්‍රතිඵලය මත කැමති ඕනෑම අනු ක්ෂේත්‍රයක් තෝරා ගැනීමේ අවස්ථාවද හිමි වූ නිසා එක පැත්තකින් නරකක්ද සිදු වුනා. ඒ සරසවි විභාග වලට තිබුණු සුළු හෝ බය ඉවත්ව යාමයි. ලැබෙන උපාධිය අවසන් වශයෙන් තීරණය වුනේ අවසන් වසරේ විභාග ප්‍රතිඵලය මත නිසා දෙවන, තුන්වන වසර වල විභාග හොඳින් සමත් වුනා කියා අමුතුවෙන් ලබා ගත හැකි දෙයක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ නිසා, දෙවන තුන් වන වසර වලදී මගේ ඉලක්කය වුනේ අඩුම කාලයක් වැය කර යාන්තමින් විභාග ගොඩ දමා ගැනීමයි. අධ්‍යාපනය වෙනුවෙන් "නාස්ති" නොකර ඉතිරි කර ගන්නා කාලය වෙනත් කටයුතු සඳහා යෙදෙවීමට හැකි වුනා. ඇත්තටම කියනවානම් ඒ වෙනත් කටයුතුද සරසවි අධ්‍යාපනයේම කොටස් තමයි.

ඔය හැම දෙයක්ම කරමින් පාඨමාලාවේ කෙළවරට පැමිණෙද්දී අවසන් විභාගය හැකි තරම් හොඳින් සමත් වීමේ උවමනාවක් ඇති වී තිබුණා. ලැබෙන උපාධි සාමාර්ථය කුමක්ද කියා තීරණය වුනේ අවසන් විභාගයේ ප්‍රතිඵලය මත වීම ඊට හේතුවයි. ඒ නිසා, මේ අවසන් විභාගයට පෙර විභාග සඳහා වැය කළාට වඩා වඩා කාලයක් වැය කරමින් සූදානම් වුනා. කෙසේ වුවත්, ලැබුණේ අනපේක්ෂිත ප්‍රතිඵලයක්. අවසන් විභාගයේ ප්‍රතිඵල අනුව මා විභාගය සමත්ව තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස නැවත විභාගයට පෙනී සිටින්නට වසරක කාලයක් බලා ඉන්න සිදු වුනා. අවසන් විභාගයේ සියලුම විෂයයන් එක වර සමත් නොවුවහොත්, පුනරීක්ෂණ විභාගයක ප්‍රතිඵල කෙතරම් හොඳ වුවද කවර හෝ පන්ති සාමාර්ථයක් ලබා ගැනීමේ අවස්ථාවක් නැති නිසා එම අවස්ථාව ද ගිලිහී ගියා.

පාඨමාලාව හැදෑරුවේම විභාගය සමත් වීමේ අරමුණින් මිස ඉගෙන ගැනීමේ අරමුණින් නොවූ නිසා මේ අනපේක්ෂිත විභාග ප්‍රතිපලය විසින් මා තල්ලු කර දමනු ලැබුවේ ගොඩ එන්නට ඉතා අසීරු අගාධයකටයි. ගුරු රස්සාව හා ඊටත් පෙර කළ වෙනත් රස්සා වලින් ඉතිරි කරගත් සැලකිය යුතු මුදලක් පේරාදෙණි යද්දී අතේ තිබුණා. ඒ නිසා, පේරාදෙණි සිටි කාලයේ යම් තරමකින් අත දිග හැර මුදල් වියදම් කළ හැකි වුනා. පාඨමාලාව අවසානයේදී රැකියාවක් ලැබෙන එක ගැන සැකයක් නොතිබුණු නිසා මුල සිටම සැලසුම් කළේ ඉතිරි කරගත් මේ සල්ලි වසර හතර තුළ ක්‍රමානුකූල ලෙස වියදම් කර දමමින් සරසවියේ ගත කරන කාලය වැඩිපුර දුක් නොවිඳ ගෙවන්නටයි. එය එසේම සිදු වුනා. දැන් වසර හතර අවසන් වෙද්දී උපාධියත් නැහැ. රැකියාවකුත් නැහැ. අතේ සතේත් නැහැ. 

පේරාදෙණියේ අවසන් විභාගය ලියා අවසන් කිරීමෙන් පසුව ගත වුනේ මගේ ජීවිතයේ අඳුරුම කාලයක්. මේ වසර මා ගත කළේ ඉතා දැඩි මානසික පීඩනයකින්. විභාගය අවසන් කළ වහාම, වෙනත් රැකියාවක් ලැබෙන තුරු, පීඨයේ විද්‍යාගාර උපදේශකයෙකු (ඉන්ටෙක්) ලෙස සේවය කිරීමේ අවස්ථාව බොහෝ දෙනෙකුට හිමි වන නමුත් එම වසරේ පැවති තරඟය නිසා මට ඒ අවස්ථාව හිමි වුනේ නැහැ. එම වසරේ පැවති සුවිශේෂී ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය නිසා රැකියා වෙළඳපොළේ තිබුණේත් ඉතාම තරඟකාරී තත්ත්වයක්. මෙය පුනරීක්ෂණ විභාගයට ලියන තුරු මුහුණ දෙන්නට සිදුව තිබුණු තාවකාලික තත්ත්වයක් නිසා වෙනත් ස්ථිර රැකියාවකට අයදුම් කරන එකේත් තේරුමක් තිබුණේ නැහැ. 

එකවරම මා කිසිදු මූල්‍ය ප්‍රාග්ධනයක් අතේ නැති, වසර ගණනාවක් තිස්සේ එකතු කරගත් මානව ප්‍රාග්ධනයෙන්ද වහාම ගත හැකි කිසිම ප්‍රයෝජනයක් නැති, අතපය හතර පමණක් තිබෙන සාමාන්‍ය තරුණයෙකු වී සිටියා. කළ හැකිව තිබුණේ අත පය හතර ප්‍රයෝජනයට ගැනීම පමණයි. කැලෑ වී තිබුණු වත්ත එළි පෙහෙළි කර කෙසෙල් හිටෙවුවා. තවත් දේවල් ද වගා කළා. පසුව හතු හදන්නත් පටන් ගත්තා. ඔය දේවල් වලින් අතට මුදලක් ලැබෙන්න කිට්ටු වෙද්දී වසරක් ගෙවුනා. අපේක්ෂා කරමින් සිටි ආකාරයේ රැකියාවක්ද ලැබුණා. කොළඹ එන්න සිදු වුනා. 

පේරාදෙණියේ සිටි කාලය අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු පෞද්ගලික ආයෝජනයක් ද කළ කාලයක් වුවත් මේ පාඨමාලාව වෙනුවෙන් පාඨමාලා ගාස්තුවක් අතින් ගෙවන්න සිදු වුනේ නැහැ. යම් හෙයකින් එසේ මුදලක් අතින් ගෙවන්න සිදු වුනානම් එම කාලය තුළ හොඳින් අධ්‍යාපනය ලබා ගැනීම කෙරෙහි යොමු වන්නට මීට වඩා පෙළඹවීමක් ඇති වෙනවා.

පේරාදෙණි නොගියානම් මා බොහෝ විට දිගටම ගුරු රස්සාව කරනවා. එසේ කළානම් බොහෝ විට ඉතා ඉක්මණින් අමතර ආදායමක් ඉපැයීම සඳහා පෞද්ගලික උපකාරක පන්තිද ආරම්භ කරන්න ඉඩ තිබුණා. පෞද්ගලික උපකාරක පන්ති පවත්වා මුදල් සෙවීම මා වයස අවුරුදු එකොළහක කාලයේ සිට කළ දෙයක්. ගුරු රස්සාවෙන් හා පෞද්ගලික උපකාරක පන්ති කිරීමෙන් වසර හතරක් පුරා ඉපැයිය හැකිව තිබුණු, පේරාදෙණි යාම නිසා අහිමි වූ මුදලද අදාළ උපාධිය මිල දී ගැනීම වෙනුවෙන් දැරූ ආවස්ථික පිරිවැයක්. අධ්‍යාපනය වෙනුවෙන් මා සිදු කළ පෞද්ගලික ආයෝජනයේ කොටසක්.

කොළඹ සරසවියේ පීඨ දෙකක පශ්චාත් උපාධි පාඨමාලා දෙකක් වෙනුවෙන්ද මා පාඨමාලා ගාස්තු ලෙසම සැලකිය යුතු මුදලක් ගෙවුවා. ඉංජිනේරුවෙකු ලෙස රැකියාව කර උපයා ගත් මුදල් වලින් වැඩි කොටසක් වැය වුනේ මේ ආකාරයෙන් නැවත අධ්‍යාපනය වෙනුවෙන්ම ආයෝජනය කරන්නයි. ඔය වගේ රැකියාවන් කරමින් ඔය වයසේ සිටි වෙනත් බොහෝ දෙනෙකු සේ හැසිරුනානම් මෝටර් රථයක් මිල දී ගැනීමට හෝ නිවසක් හදා ගැනීමට වැය කළ හැකිව තිබුණු මුදලක්. 

මේ වසර හතර පහක පමණ කාලය තුළද පාඨමාලා ගාස්තු සේ ගෙවූ මුදල මා දැරූ සමස්ත පිරිවැය නෙමෙයි. මේ කාලය තුළ මා නීත්‍යානුකූල හා සාධාරණ ලෙස ඉතා ඉක්මණින් මුදල් ඉපැයිය හැකි ව්‍යාපාරික අවස්ථාවක් හඳුනා ගෙන තිබුණා. එම ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් මාස හයක් පමණවත් සැලසුම් කළා. මේ වැඩේ කල් දමන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එසේ කළානම් වෙනත් අයෙකු විසින් මේ ව්‍යාපාරික අවස්ථාව හඳුනා ගනු ලබනවා. ඊට පෙර වැඩේට අත ගැසිය යුතුව තිබුණා. වැඩේ පටන් ගත්තානම් මුල් කාලයේ කළ යුතු කැපවීමත් එක්ක අධ්‍යාපන කටයුතු ඉදිරියට කර ගෙන යන්න වෙන්නේ නැහැ. මේ දෙගිඩියාව සමඟ මාස හයක් පමණ දෙපැත්තට වැනි වැනී සිටීමෙන් පසුව අන්තිමේදී වැඩේ අත අරින්න තීරණය කළා.

මේ කාලය තුළ මගේ මේ සැලසුම පිළිබඳව ඒ දවස් වල ලඟින් ඇසුරු කළ මිතුරෙකු සමඟ දිනපතාම වගේ සාකච්ඡා කළා. ඔහු තීක්ෂණ බුද්ධියක් තිබුණු, දක්ෂ හා මහන්සියෙන් කටයුතු කරන තරුණයෙකු වුවත් උසස් පෙළ කඩඉම පැන සරසවි යාමේ වරම ලබා නොතිබුණු නිසා ඒ වෙද්දී විධිමත් අධ්‍යාපන සුදුසුකමක් ලොකුවට තිබුණේ නැහැ. මා වැඩේ අතඅරින බව ස්ථිර ලෙසම පැවසීමෙන් පසුව ඔහු වැඩේට අත ගැසුවා. ඒ වන විට ඔහුට එසේ කිරීම නිසා මට මෙන් නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ. ඔහු සමඟ සම්බන්ධ වන සේ මගෙන් ඉල්ලා සිටියත් මා ඔහුගේ ව්‍යාපාරික හවුල්කරුවෙකු සේ සම්බන්ධ වුනේ නැහැ. එහෙත්, මුල් කාලය තුළ දිගින් දිගටම ඔහුට අවශ්‍යව තිබුණු තාක්ෂනික සහාය ලබා දෙමින් හිර වූ හැම විටකම ගොඩ යන්නට උදවු කළා. ඔහු ඉතා ඉක්මනින් ලංකාවේ ප්‍රමුඛ ධනවතෙක් වුනා වගේම පසුව ඉගෙනීම වෙනුවෙන්ද දිගටම කාලය හා මුදල් වැය කර බටහිර රටක සරසවියකින් ආචාර්ය උපාධියක්ද ලබා ගත්තා.

මා මෙය ලිවුවේ කිසිදු පසුතැවිල්ලකින් නෙමෙයි. ලොකු ධනවතෙකු වීමේ උවමනාවක් මට කවදාවත්ම තිබුණේ නැහැ. දැනුත් නැහැ. මගේ සරල කෙසේ වෙතත් එතරම් සංකීර්ණ නැති ජීවිතය ගෙවන්න ප්‍රමාණවත් ආදායමක් ලැබේනම් මට එය හොඳටම ඇති. පෙර කී ව්‍යාපාරික අවස්ථාව අත ඇරීම මගේ තේරීමක්. ඒ ගැන මා අදටත් සතුටු වෙනවා. කෙසේ වුවත්, එම ව්‍යාපාරය ආරම්භ කර ඉපැයිය හැකිව තිබුණු මුදලද මා අධ්‍යාපනය වෙනුවෙන් සිදු කළ පෞද්ගලික ආයෝජනයේ කොටසක්. 

ප්‍රථම උපාධියේදී මෙන් නොව මේ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේදී මගේ ඉලක්කය වුනේ විභාග සමත් වී ලබා ගන්නා උපාධි සහතිකයම නෙමෙයි. උපාධිය ලබා ගැනීමද එක් ඉලක්කයක් වුවත්, පාඨමාලා සඳහා මුදල් ගෙවුවේ දැනුම හා අධ්‍යාපනය මිල දී ගැනීමටයි. කොළඹ විද්‍යා පීඨයෙන් හැදෑරූ පශ්චාත් උපාධි පාඨමාලාවේ වසර අවසාන විභාග හා ඒ දිනවලම හැදෑරූ නීති විද්‍යාල පාඨමාලාවේ විභාග සමපාත වීම නිසා එම පාඨමාලාවේ අවසන් විභාගයට මුහුණ දීමේ අවස්ථාවද ගිලිහී ගියා. ඉන් පසුව මෙම පාඨමාලාව විද්‍යා පීඨයෙන් ඉවත් වී එහි ස්වරූපයම වෙනස් වීම නිසා අදාළ පශ්චාත් උපාධිය ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැතත් උගත් දේ යම් තරමකින් හෝ ඉතිරි වුනා. අනෙක් පශ්චාත් උපාධියනම් ලබා ගත්තා.

කොළඹින් වගේම පේරාදෙණියෙන්ද ලැබුණේ බටහිර ආකෘතියේ අධ්‍යාපනයක්. මා කොළඹින් ලබා ගත් හා ලබා නොගත් පශ්චාත් උපාධි දෙකෙන් එකක්වත් පර්යේෂණ උපාධි නෙමෙයි. පර්යේෂණ උපාධියක් ලබා ගන්නා කෙනෙකු එය කරන්නේ උපදේශක වරයෙකුගේ අධීක්ෂණය යටතේ. ආචාර්ය උපාධියක්නම් උපදේශක මණ්ඩලයක් සිටිනවා. එහි ප්‍රධාන උපදේශකයෙකු හෝ ඇතැම් විට දෙදෙනෙකු සිටිනවා. මෙවැනි පර්යේෂණ උපාධියක සෘජු ගුරු ගෝල සම්බන්ධයක් තිබෙනවා. අදාළ වාර්තා තිබේනම් මේ ගුරු ගෝල සම්බන්ධතා පසුපසට හඹා යන්න පුළුවන්. 

ආචාර්ය උපාධි ලබා දීම ආරම්භ වුනේ යුරෝපයේ. මුලින්ම ආචාර්ය උපාධි ප්‍රදානය කළේ යුරෝපයේ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල්. ඇමරිකාව හා එංගලන්තය වැනි ඉංග්‍රීසි කතා කරන ලෝකයේ ආචාර්ය උපාධි ලබා දීමේ පුරුද්ද ඇති වුනේ පසුකාලීනවයි. එතෙක්, එංගලන්තයේ සරසවි වලින් ප්‍රදානය කළේ මාස්ටර්ස් උපාධි. මේ මාස්ටර්ස් උපාධි සම්ප්‍රදායේත් ගුරු ගෝල සම්බන්ධය තිබුණා. 

අධ්‍යාපනය ගුරු ගෝල සම්බන්ධතා හරහා සම්ප්‍රේෂණය වෙන්න පටන් ගත්තේ අද දැකිය හැකි සම්මත ආකාරයේ විශ්ව විද්‍යාල බිහිවී, එම විශ්ව විද්‍යාල පද්ධතීන් තුළ පර්යේෂණ උපාධි ප්‍රදානය කිරීම් සිදුවෙන්න පටන් ගැනීමෙන් පසුව නෙමෙයි. ගුරු ගෝල සම්බන්ධතා වල අතීතය ඊට වඩා පැරණියි. බටහිර අධ්‍යාපන සම්ප්‍රදාය ආරම්භ වන්නේ ග්‍රීසියෙන් කියා කියන්න පුළුවන්. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා ප්ලේටෝ. තරමක් විවාදිත කරුණක් වුවත් සොක්‍රටීස් ප්ලේටෝගේ ගුරුවරයෙක්. අද ලංකාවේ ලබා දෙන සරසවි අධ්‍යාපනයේ මුල් තිබෙන්නේත් පැරණි ග්‍රීසියේ කියා කිවුවොත් එහි වැරැද්දක් නැහැ. සොක්‍රටීස්ගේ කාලයේ සිට පැවත එන සම්ප්‍රදායකට මේ වෙද්දී වසර දෙදාස් පන්සීයකට ආසන්න ඉතිහාසයක් තිබෙනවා.

අධ්‍යාපනය තුළ ගුරු ගෝල සම්බන්ධතා දාම දැකිය හැක්කේ බටහිර සම්ප්‍රදාය තුළ පමණක් නෙමෙයි. වෙනත් හොඳම උදාහරණයක් වන්නේ ලංකාවේ සංඝ ශාසනයයි. හොරෙන් සිවුරු පොරවා ගත් අයෙක් නොවේනම්, ලංකාවේ ඕනෑම බෞද්ධ භික්ෂුවකට ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ ගුරු හාමුදුරුවන්ටත් ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවා. වාර්තා හොයා ගන්න පුළුවන් වුවත්, බැරි වුනත් ඔය දාමය ආරම්භ වන්නේ බුදු හාමුදුරුවන්ගෙන්. ඒ අතර, දාමයේ පුරුක් සියම, බුරුමය වගේ රටවල් වලට ගිහින් ආපහු ඇවිත් ඇති. මගධයේ සිට ලංකාවට ඇවිත් ඇති.

සංඝ ශාසනය ඇතුළේ වගේම වෙනත් ලෞකික කර්මාන්ත හා දැනුම් සම්ප්‍රේෂණය වෙලා තිබෙන්නේත් ගුරු ගෝල සම්බන්ධතා හරහා. උදාහරණ විදිහට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වෙදකම, රන් හා ලෝහ වැඩ පිළිබඳ දැනුම, නැටුම් වගේ ගොඩක් දේවල්. ගුරු ගෝල සම්බන්ධයක් කියන්නේ ගුරුවරයා උගන්වන දේ ඒ විදිහටම ගෝලයාට කියා දෙන එක නෙමෙයි. ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් හා ප්ලේටෝගේ ඉගැන්වීම් අතර විශාල වෙනස්කම් තිබෙනවා. අඛණ්ඩව පහළට යන්නේ දැනුම සම්ප්‍රේෂණය කිරීමේ සම්ප්‍රදාය මිසක් වෙනස් නොවන දැනුමක් නෙමෙයි. එහෙත් ආගමික සම්ප්‍රදායන් ඇතුළේ දැනුම නොවෙනස්ව සම්ප්‍රේෂණය කරන එක අදාළ සම්ප්‍රදායේම මූලික ලක්ෂණයක්. එහිදී සම්ප්‍රේෂකයාගේ කාර්යය වන්නේ පවතින දැනුමට එරෙහිව යන අලුත් දැනුම් නිෂ්පාදනය කරන්නට උත්සාහ නොකර පවතින දැනුම ඇති සැටියෙන් සම්ප්‍රේෂණය කිරීමයි. බටහිර විද්‍යාත්මක සම්ප්‍රදාය මෙයින් වෙනස් වන්නේ පවතින දැනුමට අභියෝග කිරීම සම්ප්‍රදායේම කොටසක් වීම තුළයි.

- ඉකොනොමැට්ටා