අපි ලොකුවට හිතමු

අපි ලොකුවට හිතමු

15 January 2021 11:00 pm

ලංකාව පොඩි රටක්. ඇත්ත. චීනය ලොකු රටක්. ඇත්ත. ලංකාවෙ ජනගහණය ටිකයි. ඇත්ත. චීනයෙ ජනගහණය ගොඩයි. ඇත්ත. ඒත් ලෝකයේ පැරණි ම ජාතීන් සිංහල හා චීන. චීනය ලොකු වෙලා තියෙන්නෙ රටේ ලොකු කමෙන්වත් ජනගහණයෙ ලොකු කමෙන්වත් නො වෙයි. ඔවුන් ලොකුවට හිතන නිසා. ලොකුවට වැඩ කරන නිසා. ඉංගිරිසින් අප සියල්ලන් ම පුංචි කළා. එංගලන්තයත් පොඩි රටක්. ඒත් ඔවුන් ලොකුවට හිතුවා. ලොකුවට හිතුව විතරක් නොවෙයි අනෙක් රටවල් ජාතීන් පුංචි කළා. ඒක ලංකාවටත් කළා චීනයටත් කළා. ඒත් චීනය චියැං කායි ෂෙක් මාඕ ආදීන් පස්සෙ ගිහිල්ල අද තමන්ගෙ ම මගකට වැටිලා. ඔවුන් ලොකුවට හිතනවා.

අප තාමත් හිතන්නෙ පොඩියට පුංචියට. අපි පුංචි රටක් කියල අපි කියනවා. සමහර වෙලාවට මා අහල තියෙනවා කියවල තියෙනවා සිංහලයන්ට තියෙන්නෙ මේ රට විතරයි වගේ කතා දෙමළ ජාතිවාදී ප්‍රශ්නෙදි සමහර සිංහලයන් කියනවා.  සිංහලයන්ට ලෝකයකුත් තියෙනවා. අපි ලෝකෙට ම කතා කරන්න ඕන. ලෝකෙට ම අභියෝග කරන්න ඕන. අපි දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙළෙ ලෝකයා කියන එක අහගෙන ඉඳලා නො වෙයි. ලෝකයට ම අභියෝග කරලා. පනුවන් කන සාම පරෙවියන් මොන බයිල කිවුවත් අපි කියා හිටියා ප්‍රභාකරන් හා ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් කියල. අපට අවසාන වශයෙන් කතා කරන්න ආපු ඉංගිරිසි හා ප්‍රංශ විදේශ ඇමතිවරුන්ට මහින්ද රාජපක්‍ෂ ඇඹිලිපිටියට ගෙන්නල කිවුව අපි කියන එක අහගෙන ඉඳලා ආපහු යන්න කියලා. අපි පුංචි රටක් නො වෙයි.

අවුරුදු දහස් ගණකට පෙර අපි කරපු දේ ගැන ආඩම්බර වෙනවා. ඒ ගැන ආඩම්බර වෙන්න ඕන. ඒ මදි. අපි දැනුත් එවැනි දේ කරන්න ඕන. ලෝකයා අප ලොකුවට ගණන් ගත්ත බව ටොලමිගෙ සිතියමෙන් පැහැදිලි වෙනවා. ඒකෙ ලංකාව ලොකුවට ඇඳලා තියෙන්නෙ. පඬි නැට්ටකු කියාවි ඒ කාලෙ විද්‍යාත්මක උපකරණ තිබුණෙ නැහැ කියල. ලෝක සිතියමෙන් එක් පැත්තකින් කියැවෙන්නෙ ලෝකය ගැන ඒ ඒ අය හිතන විධිය. ඊයේ මා ලිවුවෙ වෙද මහත්තුරු ගැන. මා වෙද මහතුන් ගැන ලොකුවට හිතනවා. මා කාට හරි වෙද මහතා කියන්නෙ මදි පුංචි කමක් කරන්න නො වෙයි. මා පැණිය ගැනත් ලොකුවට හිතනවා. වෙනත් දේශීය ප්‍රතිකාර ගැනත් ලොකුවට හිතනවා.  ඊයෙ ලිපිය කියවල පඬි නැට්ටකු අහල තිබුණ පඬි නැට්ට කියන්නෙ අපහාසයට නෙවෙයි ද කියල. ඔව් පඬි නැට්ට කියන්නෙ අපහාසයට තමයි. පඬි නැට්ටන් තමන් ගැන පොඩියට හිතන බටහිරයන්ගෙ හරි ඉන්දියාවෙ හරි කාගෙ හරි කතා අනුකරණය කරන අපටත් පොඩියට හිතන්න කියන පුස්සන් ටිකක්. ඔවුන්ට මා අපහාස කරනවා. ඒකෙ දෙකක් නැහැ.

බටහිරයන් අද ලෝක සිතියම ඇඳලා තියෙන්නෙ මර්කේටර් ප්‍රක්‍ෂෙපණය අනුව. ඒකෙ යුරෝපීය රටවල් ලොකුවට පෙන්නුම් කරනවා. අප වැනි රටවල් පොඩි කරනවා. සිතියමෙ පොඩි කරනවා. ආර්ථිකව පොඩි පට්ටම් කරනවා. හිතින් කුරුමිට්ටන් කරනවා. චීනය අද අළු ගසා දාල නැගිටින්නෙ ඔවුන් ලොකුවට හිතන නිසා. ඒත් අප එකල චීනයට පොඩි වුණෙ නැහැ. එකල අප භාරතයට පොඩි වුණෙත් නැහැ.

මා දැන් ඉන්නෙ අග්නිදිග ආසියාවෙ. අග්නිදිග ආසියාව ගැන අද නැවතත් කතා වෙනවා. ඒ අර ටයර් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන්. ඒක අග්නිදිග ආසියාවෙ ලොකුම ටයර් කර්මාන්ත ශාලාව කියල. පඬියන් අහනව අපි ඉන්නෙ අග්නිදිග ආසියාවෙ ද කියල. භූගෝලිය වශයෙන් නම් නැහැ තමයි. ඒත් ඔය කියන්න හදන්නෙ දකුණු ආසියාවත් අග්නිදිග ආසියාවත් එකට ගත්ත ම ඔය හොරණ ටයර් කර්මාන්ත ශාලාව තමයි ලොකු ම එක කියලා. පඬියන් පඬි නැට්ටන් දන්නෙ වචයක එල්ලිලා හෙළුවෙන් හරඹ කරන්න.

අග්නිදිග ආසියාවෙ ඉන්න කොට හොඳට තේරෙනවා ලංකාවෙ ලොකුකම. මේ රටවල තියෙන්නෙ සිංහල බුද්ධාගම. මේ සංස්කෘතියෙ ප්‍රධාන සංරචකය (කොටස) චීනවත් භාරතීයවත් නො වෙයි. සිංහල බෞද්ධ. අපි ඉංගිරිසින් වගේ මේ රටවල් යටත් කරගත් නිසා නො වෙයි ඒක සිද්ධ වුණෙ. අපට ඒ දවස්වල ලොකුවට හිතන්න පුළුවන් වුණු නිසා. ටොලමි විතරක් නොවෙයි අග්නිදිග ආසියාවත් ලංකාව ගැන ලොකුවට හිතුව. කවුරුන්වත් අප ගැන ලොකුවට හිතන්නෙ නැහැ අප ලොකුවට හිතන්නෙ නැත්තන්.

අපට ලෝකයක් තියෙනවා කියල අපි හිතන්න ඕන. අපට තියෙන්නෙ ලෝක දැක්මක්. ඒ ලෝක දැක්ම අපේ චින්තනය මත පදනම් වූ එකක්. අපේ දැක්ම ලංකාවට පමණක් සීමා වූ එකක් නො වෙයි. ක්වොන්ටම් කතා පට්ටපල් බොරු වුණත් අංශුවක් එක විට දෙතැනක පිහිටන්නෙ අපේ ලෝක දැක්ම අනුව. අද චතුස්කෝටිකයට පඬියන් පඬි නැට්ටන් හිනහවෙනවා.  ඔවුන් කියනව අපි රෙදි ඇඳලයි ඇඳල නැහැයි දෙක ම කියල. අර ක්වොන්ටම් අංශු එතැනත් ඉන්නවා මෙතැනත් ඉන්නවා. සමහර වෙලාවට එක තැනක ඉන්නත් පුළුවන්. ඇරිස්ටෝටල්ගෙ ද්විකෝටිකයෙන් පමණක් කතන්දර හදන එක තවදුරටත් කරන්න බැහැ.

අපි දේශීය ව හිතනවා. ඒ කියන්නෙ අපි ලංකාවට කොටු වෙලා කියන එක නො වෙයි. අප අපේ චින්තනය මත පදනම් ව හිතනවා. ඒත් අපි ගෝලීය ව වැඩ කරනවා. අපට ලෝකයක් තියෙනවා. අප කතා කරන්නෙ ලෝකයට ම. හරියට ම කියනව නම් තුන් ලෝකයට ම.

පසුගිය දා මට මියන්මාරයෙ ඊජිප්තු තානාපතිතුමා හමු වුණා. කතා කරන අතරෙ ඔහු කිවුව පිරමිඩ් හැදුවෙ කොහොමද කියල තාම දන්නෙ නැහැ කියල. මා ඔහුට කිවුවෙ අපත් පිරමිඩ් හදල තියෙන බව. ටිකක් වියුක්ත වුණත් මා පිරමිඩයක් කියන්නෙ ද්විමාන පදනමක යම් ජ්‍යාමිතික රූපයක සියලු ලක්‍ෂ පදනමේ තලයට බාහිර ව  පිහිටි ලක්‍ෂ්‍යයකට (ශිර්ෂයකට) යා කිරීමෙන් ලැබෙන ත්‍රිමාන වස්තුවකට.  ග්‍රීකයන් පිරමිඩ් කිවුවෙ ත්‍රිකෝණාකාර තල ටිකක් ශිර්ෂයකට යා කිරීමෙන් ලැබෙන වස්තුවලට. ග්‍රීක ජ්‍යාමිතියෙ තියෙන්නෙ එහෙමයි. එලෙස ත්‍රිකෝණ ලැබෙන්නෙ පදනමේ තියෙන්නෙ සරල රේඛාවලින් හැදෙන රූප නිසා. ඊජිප්තුවෙ තියෙන්නෙ එවැනි පිරමිඩ.

අපි අපේ පිරමිඩ නිර්වචනය හදල තියෙන්නෙ චෛත්‍යයක් ද පිරමිඩයක් වෙන පරිදි. චෛත්‍යයක් කියන්නෙ පදනමේ වෘත්තයක පිහිටි ලක්‍ෂ්‍ය ශීර්ෂයට (වක්‍ර) රේඛා මගින් යා කිරීමෙන් සෑදෙන ත්‍රිමාන වස්තුවක්. ඒ වක්‍ර රේඛාවල ස්වභාවය අනුව අපට බුබ්බුලාකාර, ඝන්ඨාරාකාර ආදී වශයෙන් චෛත්‍ය ලැබෙනවා. අප චෛත්‍ය හදපු හැටි මහාවංසෙ තියෙනවා. ඒක මේ ලෝකෙට පමණක් අයිති කතාවක් නො වෙයි.

මා මේ සියල්ල කිවුවෙ හොරණ අලුත් ටයර් කර්මාන්ත ශාලාව ගැන කියන්න. අපට විශාල වෙළෙඳපොළක් නැහැ කියන්න ඕන නැහැ. අපේ වෙළෙඳපොළ ලෝකය ම. අපි ලෝකයට ම නිෂ්පාදනය කරමු. එහෙත් දේශීය ව හිතමු. හැකිතාක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමු. අපේ ව්‍යවසායකයන් ලොකුවට හිතන්න ඕන. ලෝක වෙළෙඳපොළක් තියෙනවා. අපට ලෝකයට දෙන්න බොහෝ දේ තියෙනවා. දැනුම එකක් පමණයි. අප අපේ ආධිපත්‍යයක් ගැන හිතන්නෙ නැහැ. අග්නිදිග ආසියාවෙ සිංහල බුද්ධාගමේ ආධිපත්‍යයක් නැහැ. අපි ආධිපත්‍යයක් නැතිව ලෝකය සමග ගණුදෙනු කරමු.

නන්දන ලොකුවිතාන මහතාට අපි තෙරුවන් සරණින් ජය පතනවා. ඔහු කාට කාටත් පාඩමක් කියල දීල. 

- Kalaya