ෆයිසර් වැක්සීනය මාක්ස්වාදීද?

ෆයිසර් වැක්සීනය මාක්ස්වාදීද?

4 December 2020 12:01 pm

ෆයිසර් වැක්සීන් එක තමයි අද වෙනකොට වැක්සීන් සීන් එකේ ඉස්සරහින්ම දුවන අශ්වයා. මිළත් වැඩියි. භෞතික කළමණාකරණයත් අමාරුයි. ප්‍රවාහනයත් අමාරුයි. -70C වගේ අඩු උෂ්ණත්වයක් නැතුව තියාගන්නත් අමාරුයි. නගරයෙන් එළියේ දුෂ්කර තැන්වලට ගෙනියන්නත් අමාරුයි. අමාරුයි කියල මිනිස්සු අරින්නෙත් නැහැ.

එංගලන්තය කොහොම හරි ඉක්මණින් තමන්ගේ මිනිස්සුන්ට මේ එන්නත දෙන්න දැන් සුදානම් කරලා ඉවරයි. මධ්‍යස්ථාන විස්සක් හරහා නොමිළේ තමන්ගේ රටේ ජනතාවට තව දවස් කීපයකින් මේ එන්නත ලබා දෙනවා. ඒ හදිසි නීතිගත කිරීමක් ඔස්සේ. (emergency approval)

මිනිස්සු උනත් ඉන්නේ යම් හදිසියක. කවද්ද මේ සිරගත වීමෙන් එළියට එන්නේ කියල. ඉතිං මේ හදිසි තත්වය ඇතුලෙම එංගලන්තය කොහොමින් කොහොමින් හරි ෆයිසර් එන්නත අනික් රටවල්වලට කලින් තමන්ගේ රටට ගෙන්වා ගන්නවා. මේක පැරඩොක්ස් එකක්. (paradox) ඒ කියන්නේ බ්‍රෙක්සිට් (Brexit) ගැන කතා කර කර හිටපු එංගලන්තය - යුරෝපා සංගමයෙන් කැඩිලා වෙන් වෙන්න ඕනි කියල පරසක්වළ ගහපු එංගලන්තය - වැක්සීන් සීන් එකේදී අර යුරෝපා සංගමයේ දේශ සීමා ළිහිල් බව සහ තවත් දේවල් තමන්ගේ වාසියට හරවා ගත්ත.

නිකම් හිතන්න ෆයිසර් කාරය ගැන. ඌ ගෝලීය ඖෂධ දැවැන්තයෙක් (global pharmaceutical giant). උගේ කොම්පැණි එක තියෙන්නේ ඇමරිකාවේ. කොවිඩ් ඇවිල්ල කෙළවිලා රටවල් හෝ ගාල උගෙන් වැක්සීන් එකක් ඉල්ලලා නාහෙන් අඬන්න ගත්තම ඌ ඒකෙ සබ් කොන්ට්‍රැක් එක (sub-contract) දෙනවා බයෝඑන්ටෙක් එකට (BioNTech). මොකද ඌට ඕනි විශේෂඥ ඥානය සහ පළපුරුද්ද තිබ්බේ එතන. ඌ ඒක දැනගෙන හිටයා. වසර විස්සක් තිහක් බයෝඑන්ටෙක් එක හිට්යේ මේ පන්නයේ වැඩ වල නිසා එයාල ෆයිසර් එකේ ටයිම් ලයින් එකට වැඩේ ගොඩ දාල දුන්නා. මෙතෙක් කර කර හිටිය පිළිකා ශෛල මර්ධන එන්නත් වැඩේ පොඩ්ඩක් පැත්තකින් තිබ්බ එක විතරයි පාඩුවකට උණේ. ඒකත් පාඩුවක් නෙවෙයි මේ වැඩේ එක්ක ගත්තම.

එතකොට ෆයිසර් කොම්පැණිය ඇමෙරිකාවේ. මේ වගේ වැඩවලට දාන උගේ බයෝඑන්ටෙක් විශේෂඥයා තුර්කියේ. ඒ තුර්කි කාරයාගේ විද්‍යාගාරය ඒ කියන්නේ ලැබ් එක තියෙන්නේ ජර්මණියේ. ජර්මන් ලැබ් එකේ හදන එන්නත් සාම්පලය ගෝලීය වෙළඳ භාණ්ඩයක් ලෙස වර්ධනය කරන්නේ ෆයිසර් කොම්පැණියේ ප්‍රධාන පිරියතයේ (plant).

ඒක තියෙන්නේ බෙල්ජියම් වල. බෙල්ජියම් වල හදන එන්නත ටිකක් හොර රහසේ වගේ යුරෝ ටනලය (Euro-tunnel) ඔස්සේ අල්ලපු එංගලන්තයට ගොඩ බා ගන්නවා (smuggle). ඒකට පාවිච්චි කරන්නේ ෆයිසර් වෙළඳ නාමය ගහලා නැති කන්ටේනර් ටිකක්. මඟදී මුහුදු හොරු අරගනී කියල බයට (pirates). ඒකත් මේ නව නිදහස් ලෝකයේ අපූරු වෙළඳාමක්. දැන් එයාල හයියෙන් පාර්ලිමේන්තුවේ කියනවා 'අඩෝ බලාපල්ලා ...අපි දැන් ඉස්සරහින් ඉන්නේ ....එංගලන්තය එකට ...(England first..we are the best!)'.

ෆයිසර් කාරය හිතෙන් කියනවා ඇති 'පල ඩෝ යන්න...' ඒත් ඌට පස්සේ හිතෙනවා ඇති කමක් නැහැ ඔය වගේ ළඳරු ආතල් ගත්තාවේ කියල. නිකම් බිස්නස් නැති කර ගන්න ඕනි නැහැනේ කට ඉස්සර කරලා.

ඔන්න ඕක තමයි කතාව. ඒ කියන්නේ භූ දේශපාලන කතාව. ඇත්තටම කිව්වොත් එංගලන්ත ජාතික රාජ්‍යයට හොර රහසේ ගෝලීය වෙන්න බලකරපු පාර -ගෝලීය කතාව. හිමින් හිමින් අඩිය තියා තියා ගෝලීය වෙච්ච කොවිඩ් කතාව.

කොවිඩ් වැක්සින් පැත්තක තියන්නකෝ. හරියට මාළු ටිකක් අල්ල ගන්න ඕනි උනත් ජාතික රාජ්‍යයට තමන්ගේ සීමාවෙන් එළියට යන්න වෙනවා. සෑහෙන ලොකු හයේ පාරක් ගහන්න ඕනි උනත් තමන්ගේ සීමාවෙන් එළියට යන්න ඕනි....

ප්‍රාග්ධනය ගෝලීයයි කියල මාක්ස් කිව්වේ ගොඩක් කාලෙකට කලින්. ඒ උනාට ඒවා කියවන්න දැන් යන්න එපා. ඔයාල හොඳ පුතාල වගේ දැන් දේශීය පැණි බොන්න.

අපේ ඓතිහාසික මතකයක් තමයි වදකහ සුදිය...

 - මහේෂ් හපුගොඩ