78 සහ 20

78 සහ 20

22 October 2020 11:00 pm

ඊයේ අධිකරණ ඇමතිතුමාගෙ කතාවෙ ඔහු කීප සැරයක්ම අවධාරණය කරපු දෙයක් තමා 20 වන සංශෝධනයෙන් නැවත 78 ව්‍යස්ථාවට යන බව. මේක ආණ්ඩුවේ ක්ෂමාලාපකයන්ද තහවුරු කරන්න හදන මතයක්. අයියෝ මේක 78ටනෙ යන්නෙ ඉතිං මොකක්ද අවුල වගේ අදහසක්.

78 ව්‍යවස්ථාව reference model එකක් විදියට යොදා ගැනීම ප්‍රශ්නයක්. මොකද ලංකාව අද මුහුණදෙන අර්බුදය ගණනාවකට එය හේතු වී තියෙනවා. ඉමිතියාස් මන්ත්‍රීවරයා කියපු විදියට සිරිමාවෝ මැතිණියගෙ ප්‍රජා අයිතිය අහෝසි කරෙත් ඒ ව්‍යවස්ථාව යටතේ ඇති බලතලවලින්. 83 කලු ජූලිය, ජූලි වර්ජනය, 88-89 භීෂණය වගේම 30 අවුරුදු ත්‍රස්තවාදී යුද්ධයටත් එය බලපෑව. එල්ටීටීඊය සමග ඩීල් දමමින් සාකච්ඡා තිබ්බෙත් ඔය ව්‍යස්ථාව යටතෙම තමා (ඇත්තටම ජාතික ආරක්ෂාව ඒකාධිපති බලයකින් ආරක්ෂා වෙනවා කියන එකට එය හොද ප්‍රති උදාහරණයක්. ඒකාධිපති බලයකින් ජාතික ආරක්ෂාව බිද වැටෙන්ඩත් පුළුවන්).

ඒ වගේම 13වන සංශෝධනය අධිපතිවාදී විදියට ගෙනාවෙත් මෙහි ඇති ඒකාධිපති බලතල පාවිචිච් කරලා. එතනදි ඒකාධිපතිත්වයකින් රටේ ස්වෛරීත්වය රැකුණද?

83 ලාම්පු කළගෙඩි සෙල්ලම හරහා පටන්ගෙන විවිධාකාරයෙන් මැතිවරණ ක්‍රියාවලිය දූෂිත සහ දේශපාලනික එකක් කරන්ඩත් එය බලපෑව. රාජ්‍ය සේවය දේශපාලනිකරණය කරන්ඩ බලපෑව. ඒ හරහා පොලිසියේ සහ අධිකරණයේ ස්වාධීනත්වය බිද වැටුනා. 78 ව්‍යවස්ථාව ගෙනල්ලා තියෙන්නෙත් ආර්ථිකය දියුණු කරන්ඩ කියා. නමුත් පහුගිය අවුරුදු 40 තුළ ලංකාව ආාර්ථික අතින් මෙන්ම හැම පැත්තකින්ම ආපස්සට ගිහින් තියෙනවා. අද 20 සංශෝධනය ගේන්නෙත් 78දි කියාපු ආර්ථික සමෘද්ධිය කියන මිරිගුව පෙන්නලයි.

මේ නිසා 78 කියන එක ව්‍යවස්ථා පිලිබද ideal එකක් විදියට යොදාගන්න එක ප්‍රශ්නකාරිය. එයට අණ්ඩ දැමීමෙන් සහ/හෝ එය වඩාත් ඒකාධිපතිත්වයකට ගෙන යාමෙන් වෙන්නෙ මේ අර්බුද තවත් උග්‍ර වීමයි.

 කොටින්ම ඒකාධිපති බලයකින් බිහිවන්නෙ අස්ථාවර රාජ්‍යයක් කියන එකට 78 හොද උදාහරණයක්. ස්ථාවර රාජ්‍යයක් බිහිවීමටනම් බලය සමතුලිත වීමට අවශ්‍යයි. ඒකාධිපති බලය සහ රාජ්‍යයේ ස්ථාවරත්වය යනු එකක් නොව දෙකක්.

සෞභාග්‍යය දැක්ම ලියපු අයත් මේ ගැන දන්නවා. ඒ නිසා තමා ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශයනෙ ඇතුළත් කරලා තිබ්බෙ අලුත් ව්‍යවස්ථාවක් ගේන බව. 2/3 බලයකට ආසන්න බලයක් එක්ක ඊට අනගි අවස්ථාවක් ලැබී තිබුනා. නමුත් අද ඒක උල්ලංඝනය වෙලා තියෙනවා. එකී ජනවරම අවභාවිත වෙමින් තියෙනවා.

 ඒ බොහෝ විට ආණ්ඩුවට අප්‍රසිද්ධියේ සහය දෙන පිරිසකගෙ උවමනාවට විය හැකියි. වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ කොරෝනා මර්ධන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ආර්ථික අර්බුදය හමුවේ ලංකාව ඉදිරියේ වෙන්දේසි වීමෙදි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය යටපත් කිරීමට සහ මහජන විරෝධය මර්ධනය කිරීමට ඒකාධිපති ව්‍යවස්ථාවක් අවශ්‍යයි. එය කිසිසේත් රටේ හෝ මහජනයාගෙ යහපත පිණිස වෙනුවෙන් නොවේ.

- ජාතික චින්තනයට අටුවාවක්