ලීවරය අදින අත

ලීවරය අදින අත

21 October 2020 11:04 pm

කලින් විස්තර කරපු ට්‍රොලි ප්‍රශ්නය නිකම්ම නිකම් විහිළු කතාවක් නෙමෙයි. මිනිස්සු හිතන පතන ආකාරය හා මිනිස්සුන්ගේ රුචි අරුචිකම් තේරුම් ගැනීම සඳහා ප්‍රායෝගිකව යොදා ගන්නා ප්‍රශ්නයක්.

මේ ප්‍රශ්නය හරහා පරීක්ෂා කෙරෙන මූලික කරුණ වන්නේ හොඳ නරක කියන දේවල් තීරණය වන්නේ කොහොමද කියන එකයි. ප්‍රශ්නයට මිනිස්සු ප්‍රතිචාර දක්වන ආකාරයෙන් පෙනෙන්නේ මිනිසුන්ගේ තේරීම් හොඳ නරක කියා නිශ්චිත ලෙස ඉරකින් වෙන් කිරීම ඉතා අසීරු කාර්යයක් බවයි. වෙනත් අයුරකින් කිවුවොත් හොඳ නරක කියා නිරපේක්ෂ දේවල් නැති බවයි.

උපයෝගීතාවාදීන්ගේ තර්කය වන්නේ අවසන් ප්‍රතිඵලය විසින් කිසියම් කාර්යයක හොඳ නරක තීරණය කරනවා කියන එකයි. උදාහරණයක් ලෙස ලීවරය ඇද සයිඩ් ට්‍රැක් එකේ සිටින පුද්ගලයාට මැරෙන්න අරින එකත්, මහත මිනිහා පාලමෙන් පහළට තල්ලු කරන එකත් දෙකම සමානයි. අවස්ථා දෙකේදීම වෙන්නේ ජීවිත පහක් බේරීමේ අරමුණින් එක් ජීවිතයක් බිලි දීමයි. එහෙමනම්, එකක් නිවැරදි වෙන්නේත්, අනිත් එක වැරදි වෙන්නේත් කොහොමද?

එහෙත්, බොහෝ සාමාන්‍ය මිනිසුන් හිතන්නේ උපයෝගීතාවාදීන් ලෙස නෙමෙයි. බොහෝ දෙනෙකුට අවසන් ප්‍රතිඵලය වගේම එම ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගයද වැදගත්. බොහෝ දෙනෙකුට සාපේක්ෂව හොඳ නරක තීරණය වෙන්නේ අනුගමනය කරන ක්‍රියාමාර්ගය මත මිස අවසන් ප්‍රතිඵලය මත නෙමෙයි. 

මෙහිදී අනුගමනය කරන ක්‍රියාමාර්ගය කියන එකෙන් අදහස් වෙන්නේ චේතනාව නෙමෙයි. ලීවරය අදින පුද්ගලයා එය කරන්නේ ජීවිත පහක් බේරාගැනීමේ අරමුණින් මිස සයිඩ් ට්‍රැක් එකේ ඉන්න පුද්ගලයාව මරණයට පත් කිරීමේ අරමුණින් නෙමෙයි. එහෙත්, එය දැන දැනමයි. පාලම උඩින් මහත මිනිහාව තල්ලු කරන කෙනෙක් කරන්නේත් ඒ දෙයමයි. ඒ නිසා අවස්ථා දෙකේදීම චේතනාව සමානයි කියා කෙනෙකුට තර්ක කළ හැකියි. මෙහි අවුල හොඳ නරක පිළිබඳ අදහස හැම විටම තර්කයට ගෝචර නොවීමයි.

සාධාරණ වශයෙන් ගත්තොත් සමාජවාදය උපයෝගීතාවාදයක්. ඒ අනුව, නිවැරදි ක්‍රියාමාර්ගය තීරණය වන්නේ අපේක්ෂිත අවසන් ප්‍රතිඵලය මතයි. සෛද්ධාන්තිකව මේ අවසන් ප්‍රතිඵලයේ හොඳ නරක තීරණය වන්නේ සමාජවාදීන්ගේ මූලික විශ්වාස මතයි. ප්‍රායෝගිකව එය එසේ නොවිය හැකි වීම වෙනම කරුණක්.

සමාජවාදය අනුව, සියලුම මිනිස්සු සමානයි. සියලුම මිනිස්සු සමාන නිසා හැම මිනිහෙකුගේම ජීවිත වල වටිනාකම් සමානයි. මිනිස් ජීවිත පහක වටිනාකම එක මිනිස් ජීවිතයක වටිනාකම මෙන් පස් ගුණයක්. ඒ අනුව, මිනිස් ජීවිත පහක් බේරා ගැනීම සඳහා එක මිනිස් ජීවිතයක් බිලි දීම නිවැරදියි. එසේ කිරීමෙන් ශුද්ධ වශයෙන් මිනිස් ජීවිත හතරක් බේරෙනවා. එසේ නොකිරීම වැරදියි. එය වගකීම පැහැර හැර මිනිස් ජීවිත හතරක් නිකරුණේ විනාශ වෙන්න ඉඩ හැරීමක්.

සාමාන්‍ය මිනිස්සු හිතන ආකාරය අනුව සියලුම මිනිස්සු සමාන නැහැ. ඒ නිසා, මිනිස් ජීවිත වල වටිනාකම් සමාන නැහැ. තමන්ගේ ජීවිතය වඩා වටිනවා. තමන්ගේ පවුලේ සමීප අයගේ ජීවිත වඩා වටිනවා. ලීවරය ඇදීමෙන් විනාශ වෙන්නේ තමන්ගේ දරුවෙකුගේ ජීවිතයනම් කෙනෙක් එය කරන්නේ කලාතුරකින් කෙනෙක්. එවැනි දේ කරන අය නැතැයි මා කියන්නේ නැහැ. එහෙත්, එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි.

කෙසේ වුවත්, උපයෝගීතාවාදය සමාජවාදීන්ට පමණක් සීමා වූ අදහසක් නෙමෙයි. පොදුවේ ආර්ථික විද්‍යාවේදී සමාජ සැලසුම්කරුවෙකු විසින් බොහෝ විට තීරණ ගන්නේ උපයෝගීතාවාදය මත පදනම්වයි. ප්‍රධාන මාර්ගයේ සිටින පස්දෙනා වගේම අතුරු මාර්ගයේ සිටින පුද්ගලයාත් නාඳුනන, අහඹු පුද්ගලයින්නම් ලීවරය ළඟ සිටින සමාජ සැලසුම්කරුවෙකුට ඔවුන්ගේ ජීවිත වල වටිනාකම් සමාන සේ සලකන්න වෙනවා. ජීවිත පහක් බේරා ගැනීම සඳහා එක් ජීවිතයක් විනාශ වෙන්න ඉඩ අරින්න වෙනවා. එසේ නොකිරීම වැරැද්දක්.

එසේනම්, ධනවාදී රටක සමාජ සැලසුම්කරුවෙකු විසින් පාලම උඩ සිටින මහත මිනිහා දුම්රිය මාර්ගයට තල්ලු කළ යුතුද? උපයෝගීතාවාදී පදනමකින් බැලුවොත් එසේ කළ යුතුයි. එහෙත්, අවම වශයෙන් ඇමරිකාව වැනි රටක මිනිස්සු (සමීක්ෂණ දත්ත අනුව) එවැන්නක් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා, බටහිර රටක එවැන්නක් වෙන්නේ නැහැ. මිනිස්සු බහුතරයක් විසින් අනුමත කරන නිසා, එහෙමත් නැත්නම් ජනමතය එතරම් වැදගත් නැති නිසා, සමාජවාදී රටක එවැන්නක් වෙන්න පුළුවන්. උපයෝගීතා පදනමකින්, තර්කානුකූලව එය වැරදියි කියා කියන්න බැහැ.  

මහත මිනිහාව පාලමෙන් පහළට තල්ලු කිරීම බටහිර රටක වැඩි දෙනෙකු අනුමත නොකරන්නේ පෞද්ගලික නිදහස හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සංකල්ප මත පදනම්වයි. පොදු යහපත තකා වුවත්, මහත මිනිහාගේ කැමැත්ත නොවිමසා ඔහුව පාලමෙන් පහළට තල්ලු කිරීමේ අයිතියක් වෙනත් අයෙකුට නැහැ. එය ඔහුගේ ජීවත් වීමේ අයිතිය නැති කිරීමක්. දුම්රිය මාර්ගයේ සිටින පස්දෙනාගේ ජීවිත විනාශ වීම ඔහුගේ වැරැද්දකින් සිදුවන දෙයක් නෙමෙයි. ඒ නිසා, ඒ ගැන මහත මිනිහාට කරන්න දෙයක් නැහැ. තමන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම ඒ අයගේ වැඩක්. 

එහෙමනම් ලීවරය අදින අවස්ථාවේදී අතුරු මාර්ගයේ සිටින පුද්ගලයාගේ ජීවත් වීමේ අයිතිය අහිමි කෙරෙන්නේ නැද්ද? තර්කානුකූලව බැලුවොත් එසේ වෙනවා. නමුත්, ඇමරිකාවේ බොහෝ දෙනෙක් ඒ ක්‍රියාමාර්ගය අනුමත කරනවා. පැත්තක තිබෙන ලීවරයක් ඇදීම මහත මිනිහාව දුම්රිය මාර්ගයට තල්ලු කිරීම වැනි "අපරාධයක්" නෙමෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස දුම්රියේ ගමන් පථය වෙනස් වෙනවා. ඒ ගැන සැලකිලිමත්ව සිට දුම්රිය මාර්ගයෙන් ඉවත් වෙන එක ඔහුගේ වැඩක්.

මෙහි තිබෙන්නේ පෞද්ගලික නිදහස කියන සංකල්පයේ සීමාවන් පිළිබඳ ප්‍රශ්නයක්. මෙය ලකුණු කළ හැකි නිශ්චිත වාස්තවික බෙදුම් ඉරක් නැහැ. සමාජ සම්මතයට ඉඩ දෙන රටක ඒ ඉර අඳින්න වෙන්නේ සමාජ සම්මතය මත පදනම්වයි. මිනිසුන්ගේ රුචි අරුචිකම් මත පදනම්වයි. ට්‍රොලි ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර පිළිබඳ දත්ත වැනි දේ ඒ සඳහා උදවු වෙනවා.

සැබෑ ලෝකයේ සමාජ සැලසුම්කරුවෙකු මුහුණ දෙන බොහෝ ප්‍රශ්න ට්‍රොලි ප්‍රශ්නයට වඩා සංකීර්ණයි. බටහිර රටකදී වුවත්, සමාජවාදී රටකදී වුවත් සැබෑ ප්‍රශ්නයක පරාමිතීන් ට්‍රොලි ප්‍රශ්නයේදී තරම් නිශ්චිත නැහැ. ප්‍රධාන මාර්ගයේ හෝ අතුරු මාර්ගයේ සිටින පුද්ගලයින් ගණන බොහෝ විට හරියටම දන්නේ නැහැ. ඒ වගේම, ඒ පුද්ගලයින්ට මාර්ගයෙන් ඉවත් වීමටද යම් හැකියාවක් තිබෙනවා. මහත මිනිහාව දුම්රිය මාර්ගයට තල්ලු කිරීමෙන් පසුවත් ට්‍රොලිය නොනැවතී ඉදිරියට යන්න පුළුවන්. මෙවැනි අවිනිශ්චිතතා රාශියක් එක්ක තීරණ ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි.

මහජන මතය යටපත් නොකරන පසුබිමකදී, බොහෝ පරාමිතීන් අවිනිශ්චිතව තිබියදී, ලීවරය අතේ තිබෙන පුද්ගලයා විසින් මොන තීරණය ගත්තත් කිසියම් පිරිසකගේ විවේචනයට ලක් වෙන්න සිදු වෙනවා. අපි හිතමු ලීවරය ඇද්දා කියලා. අර සයිඩ් ට්‍රැක් එකේ ඉඳලා මැරුණු පුද්ගලයා අයින්ස්ටයින් වගේ "වටිනා" පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔය වගේ කෙනෙක් අහම්බෙන් රේල්පාරක ඉන්න බැරිකමක් නැහැනේ. රේල්පාරේ සූස්තියක් අදින ජනප්‍රිය කලාකාරයෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ශිෂ්‍ය ව්‍යාපාරයක කැඳවුම්කරුවෙක් හරි ජනමාධ්‍යවේදියෙක් හරි වෙන්නත් පුළුවන්.

ලීවරය ඇදලා අතුරු මාර්ගයේ හිටපු "වැදගත්" පුද්ගලයෙක් මිය ගියොත් මිනිස්සු වැඩිපුර කතා කරන්නේ ඒ මරණය ගැන මිසක් අර බේරිච්ච ජීවිත ගැන නෙමෙයි. ගොඩක් වෙලාවට ලීවරය ඇදපු නිසා ජීවිත බේරාගත් අය ඒ බව නොදන්නවා වෙන්නත් පුළුවන්. ඇයි ඒ පාරේ ට්‍රොලියක් ආවේ නැහැනේ. ඔවුන් පරිසිද්ධික තත්ත්වය මිස ප්‍රතිපරිසිද්ධික තත්ත්වය දකින්නේ නැහැ. 

සමහර විට අර වැදගත් පුද්ගලයාගේ මරණය ගැන විරෝධය දක්වන අය අතර ලීවර ක්‍රියාකරු විසින් ලීවරය ඇදපු නිසාම පණ බේරාගත් අයගෙන් කොටසක් වුනත් ඉන්න බැරිකමක් නැහැ. "ලීවරය ඇදලා අහිංසක මනුස්සයෙක්ව මරපු එක වැරදියි. ඒක කළේ අපිව බේරගන්න කියලා කියන්නේ කොහොමද? ට්‍රොලිය අපේ පැත්තෙන් ආවානම් අපි කොහොමත් පාරෙන් අයින් වෙනවා." කියලා පස්සේ ඒ අයට කියන්න පුළුවන්කම තිබෙනවා.

අනෙක් අතට ලීවරය ඇද්දේ නැත්නම් ඒත් කිසියම් පිරිසකගේ චෝදනා වලට ලක් වෙන්න වෙනවා. මේ තරම් ජීවිත විනාශයක් වුනේ නිසි වෙලාවට නිසි තීරණ නොගත් නිසා කියලා කොමිසමකට යන්න වෙන්න වුනත් පුළුවන්. ඒ වගේ වෙලාවක අර සයිඩ් ට්‍රැක් එකේ හිටපු මනුස්සයා ලීවරය ක්‍රියාත්මක නොකළ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින්න ඉදිරිපත් වීම පිළිබඳ කිසිම සහතිකයක් නැහැ.

විවේචන වලට පාත්‍ර නොවී සමාජ සැලසුම්කරුවෙකු වෙන්න බැහැ. හැමෝටම සතුටු විය හැකි විසඳුම් නැහැ. හැබැයි එහෙම වුනා කියලා විවේචන වලක්වන එක හොඳ දෙයක් නෙමෙයි. සාධාරණ වශයෙන් ගත්තොත් විවේචන සාධනීයයි. විවේචකයින් නැති තැනකදී කෙනෙකුට සමාජ සැලසුම්කරණයේ නාමයෙන් ලීවරය ඇදලා උපාය මාර්ගික ලෙස කෙනෙක්ව විනාශ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට තමන්ට දිරවන්නේ නැති කලාකාරයෙක් රේල්පාරේ සූස්තියක් අදින වෙලාවට ලීවරය ඇදලා ට්‍රොලිය ඒ පැත්තට හරවන්න පුළුවන්. ඊට පස්සේ එහෙම කළේ ප්‍රධාන මාර්ගයේ හිටපු පස් දෙනෙක්ව බේරාගන්න කියලා කියන්න පුළුවන්. ඕනෑනම් වොයිස්කට් දෙන්න පස් දෙනෙක්ව කොහෙන් හරි හොයාගන්න වුනත් අමාරු නැහැනේ.

‍ඉකොනොමැට්ටා