ද නිවුස්පේපර්

ද නිවුස්පේපර්

23 September 2020 07:30 pm

ඊයේ හවස් වරුවේ පොඩි නිවාඩුවක් ලැබුන නිසා ෆිල්ම් එකක් බලන්න යන්න හිතුනා. ඉතින් ගියා ජා ඇල සිනමැක්ස් සිනමා ශාලාවට. චිත්‍රපටය තමා ‘ද නිව්ස්පේපර්’. හවස හයයි තිහට බලන්න ගියේ. මුලු ෆිල්ම් හෝල් එකටම මාත් එක්ක තව දොළොස් දෙනෙක් ඉන්න ඇති. මම යද්දි හයයි තිස් පහයි. පරක්කු උනා කියල හිතුවට මම විනාඩි විස්සක් කලින්.

කතාව ගෙතීගෙන් යන්නෙ මෙහෙමයි. එම්.කේ. ශාන්ත කියන තරුණයා හමුදා බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විදිහට පැනලා මැරෙන සිදුවීමක් හැම පත්තරේකම මුල් පිටේ ‘ලොකු අකුරින්’ පල වෙනවා. මේක දැනගත්තු ගමේ උදවිය එම්.කේ. ශාන්ත තරුණයාගේ අයියගේ කකුල් දෙක කඩලා වැටිලා ඉන්න තිබුන ගේත් ගිනි තියනවා. අවුරුදු නමයකට පස්සේ මේ අයියා දකිනවා පත්තරේ නිවැරදි කිරීමක්. තමන්ගේ මල්ලී නිවැරදියි කියලා. හැබැයි ‘පොඩි කොටුවක පොඩි අකුරින්’. අම්මගේ පෙරැත්තට ගුණයයි එයාගෙ යාලුවා ලුයියයි කොළඹ යනවා මේ දැන්වීම පත්තරේ ‘ලොකු අකුරින්’ දාගන්න. කතාව ගලාගෙන යන්නේ ඔය විදිහට. මම මුලු කතාවම කියන්න යන්නෙ නෑ. කතාවම කියලා ඔයාලගේ කුතුහලයට බාධාවක් වෙන්න මම කැමති නැහැ. ගිහින් බලන්න. ගෙදර ටී.වී. එකේ ඇඩ් අස්සේ ෆිල්ම් එක බලන එකයි ෆිල්ම් හෝල් එකේ චිත්‍රපටය බලන එකෙයි ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස අත්දකින්නවත් ප්‍රදර්ශන වාර ගනන අවසන් වෙන්න කලියෙන් බලන්න යන්න.

චිත්‍රපටයේ රඟපෑම ගැන විචාරන්න මම රඟපෑම ගැන ලොකුවට දන්න කෙනෙක් නෙමේ. භරතමුණි පඬිවරයා නවනළු රසයන් කියලා රස නමයක් ගැන කියනවා. චිත්‍රපටයෙන් බොහෝ ජවනිකාවල ඍජුව කතාව කියන්නේ නෑ. ගම්මුන් ගයියගේ කකුල් දෙක කඩපු බවක් දැනගන්නේ ව්‍යංගයෙන්. ඒකට මම කැමතියි. ඒ රසයන් මම මේ චිත්‍රපටයෙන් අත්දැක්කා කියලා කියන්න පුලුවන්.

මේ චිත්‍රපටයෙන් ‘ඇත්ත’ කියන දේට මේ සමාජයේ ඇති තැන ගැන ප්‍රබලව කතාබහකට ලක් කෙරෙනවා. මිනිස්සු බොරුවට කැමතියි. ඇත්ත තිත්තයි කියනවනේ. මිනිස්සු ඇත්ත දැන දැනත් ඇත්ත තිත්ත නිසා බොරුව වැළඳගන්නවා. තමන් කරන්නේ වැරැද්දක් කියල දැන දැනම. ඇත්ත වසන් වීමෙන් මිනිස්සු විඳින දුක දැනෙන්න ඇත්ත වසන් කරපු අයගේ හිත් සංවේදී නෑ තවදුරටත්.

යම්කිසි ප්‍රවෘත්තියක් වාර්තාකරනකොට ඒකේ සත්‍ය අසත්‍ය භාවය හොයන මාධ්‍ය ආයතන හිඟයි. බරපතල කාරණා පැත්තක තියමුකෝ ටිකකට. කාලෙකට කලින් විදෙස් පුවතක් තිබුනා අඟහරු වලින් ‘Building Blocks of Life’ හොයාගත්තා කියලා. ඒ කිව්වේ ජීවය පැවතීමට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වන සල්ෆර්, පොස්පරස්, ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් සහ හයිඩ්‍රජන් යන ඒවා අඟහරු වලින් හමුවුනා කියලා. ඕක අපේ පත්තරේක ගියා ‘අගහරු වලින් බ්ලොක් ගඩොල් හොයාගත්තා’ කියලා. ඔය අස්සේ ලෙනින්ගේ මූන යටින් කාල් මාක්ස් කියල ලියවිච්ච ඒවත් තිබුනා. ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න යනකොට නොදැනුවත්වම ගුණාත්මකභාවයත් අඩු කරලයි දෙන්නේ.

බොරු චෝදනාවක තියෙන බරපතලකම තවමත් අපේ සමාජයේ මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. චෝදනා ලැබූවෙක් කියන්නේ වැරදිකරුවෙක් නෙමේ. නමුත් කිසිවක් ඔප්පු වෙන්නත් කලින් මිනිස්සු නිගමන වලට එළඹිලා ඉවරයි. ඊට පස්සේ ඒ චෝදනා ලැබූ කෙනා නිවැරදිකරුවෙක් බවට ඔප්පු වුනත් අර කලින් නිගමන වලට එළඹුන අයට ඒ පුද්ගලයා වැරදිකරුවෙක් තමා. තිත්ත ඇත්ත විඳින්න තියෙන අකමැතිකම.

චිත්‍රපටය ගැන පොඩි සටහන ලිව්වෙත් චිත්‍රපටය විචාරන්න නෙමේ. චිත්‍රපටය ගැන මට දනුන පොඩි අදහසක් ඔයාලත් එක්ක බෙදාගන්න ඕන වුන නිසයි. රඟපෑමෙන් හා තිර රචනයෙන් කුමාර තිරිමාදුර මහතා හා සරත් කොතලාවල මහතා චිත්‍රපටයෙන් මිනිස්සුන්ට හිතන්න යමක් ඉතුරු කරලා තියෙනවා.

වාසිතය