හතරවෙනි 25 ?

හතරවෙනි 25 ?

21 September 2020 08:00 pm

මෑතකදී දිලිත් ජයවීර විසින් ව්‍යවසායකත්වය පිළිබඳ බෞද්ධ අදහස ගැන හෝ ඊට සමාන දෙයක් ගැන කතා කර තිබුණා. මේ කතාවේ පදනම සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් බුදු හිමියන් විසින් සිඟාලකට දුන් අවවාද අතර තිබෙන පහත කොටසයි.
ඒකේන භෝගේ භුඤෙජය්‍ය

ද්වීහි කම්මං පයෝජයෙ

චතුත්ථංච නිධාපෙය්‍ය

ආපදාසු භවිස්සති

මේ ගාථා ඛණ්ඩය අර කාලාම සූත්‍රයේ ජනප්‍රිය පාඨය වගේම අධිනිශ්චය වී ඇති පාඨයක්. පුද්ගලයෙක් තමන්ගේ ආදායම වැය කළ යුත්තේ කොහොමද කියා උගන්වන එක බුදු හාමුදුරුවන්ගේ ඉලක්කයක් වුනේ නැහැ. බුදු හාමුදුරුවන් ඉලක්ක කළේ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ අතරේ බුදු දහමේ මූලික කරුණු වලට අදාළ නැති වෙනත් අවශේෂ කරුණු ගැන සඳහන් කළ මෙවැනි අවස්ථාද තිබෙනවා. ඒවාට ඕනෑවට වඩා බරක් දැමිය යුතු නැති බව බොහෝ බෞද්ධයින් විසින් පිළිගනු ඇතැයි මා සිතනවා. කොහොම වුනත් අපේ කතාවට ප්‍රවේශයක් විදිහට අපි මේ ගාථා ඛණ්ඩය යොදා ගනිමු.

දැන් මෙහි කියන ආකාරයට කිසියම් පුද්ගලයෙක් විසින් තමන්ගේ ආදායම කොටස් හතරකට බෙදා එයින් එක් කොටසක් පරිභෝජනය කළ යුතුයි. කොටස් දෙකක් කර්මාන්තයෙහි ආයෝජනය කළ යුතුයි. හතරවන කොටස හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදන් කළ යුතුයි. දිලිත් ජයවීර කියන විදිහට ඔහු සාර්ථක වී තිබෙන්නේ මේ ක්‍රමය අනුගමනය කරලා. ඔහු එසේ කියනවානම් මට ඔහුගේ ඒ ප්‍රකාශයට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ.

සිඟාලෝවාද සූත්‍රය අනුව බුදු හිමියන් විසින් මේ අවවාදය දී තිබෙන්නේ එක් නිශ්චිත පුද්ගලයෙක්ටයි. මෙහි සඳහන් 1:2:1 අනුපාතය සිඟාලකගේ ආදායම් මට්ටම අනුව ප්‍රශස්තම අනුපාතය වෙන්න පුළුවන්. සමහර විට මේ අනුපාතය දිලිත් ජයවීරටත් ගැලපෙනවා වෙන්න පුළුවන්. නමුත්, එම අනුපාතය ඕනෑම කෙනෙකුට හරියනවාද නැද්ද කියා අපට කියන්න බැහැ. බුදු හිමියන් විසින් මෙහි කර තිබෙන්නේ එවැනි සාධාරණ ප්‍රකාශයක් කියා කියන්න අපට සාධක නැහැ. 

කොහොම වුනත් මට කතා කරන්න අවශ්‍ය කරුණ එය නෙමෙයි. මෙහි පළමු කොටස ඉතා පැහැදිලිවම පරිභෝජන වියදම්. දෙවන කොටස ආයෝජන වියදම්. එතකොට හතරවෙනි කොටස කුමක්ද? දිලිත් ජයවීර තේරුම් අරගෙන තිබෙන ආකාරයටනම් බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ හතරවෙනි කොටසත් ආයෝජනය කරන්න කියලයි. ඒ කියන්නේ, 25%ක් පරිභෝජනය කරලා 75%ක් ආයෝජනය කරන්න කියලා. එහෙමනම්, ඒ බව කෙළින්ම නොකියා හතරවෙනි කොටසක් ගැන වෙනම කතා කරන්නේ ඇයි? 

මෙහි කියැවෙන හතරවන පංගුව තවත් ආයෝජනයක් නෙමෙයි. එය හරියටම එම ගාථා ඛණ්ඩයෙන් කියැවෙන දෙයමයි. එය හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදන් කරන කොටසක්. අද ලෝකයේ ව්‍යාපාරික භාෂාවෙන් කියනවානම් රක්ෂණ වාරිකයක්. 

රක්ෂණ වාරිකයක් කියා කියන්නේ එක පැත්තකින් බැලුවොත් පරිභෝජන වියදමක් හෝ ආයෝජන වියදමක් නෙමෙයි. අනෙක් පැත්තෙන් බැලුවොත් පරිභෝජන වියදමක් වගේම ආයෝජන වියදමක්. පරිභෝජන වියදමක් කියන්නේ තමන්ගේ ආදායමෙන් තමන්ගේ මේ මොහොතේ සතුට වෙනුවෙන් වැය කර අවසන් කරන කොටසක්. එයින් වෙනත් අනාගත ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ආයෝජන වියදමක් කියා කියන්නේ අනාගත ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අද වැය කරන මුදලක්. අනාගතයේදී එම අපේක්ෂිත ප්‍රතිලාභ නොලැබී යාමේ අවදානමක්ද තිබෙනවා. 

රක්ෂණ වාරිකයක් කියන්නේ අවදානමක් අරගෙන කරන ආයෝජනයක් නෙමෙයි. අනාගත අවදානම් වල හානිය අවම කර ගැනීම සඳහා වෙන් කර තබා ගන්නා මුදලක්. මේ කොටස ආයෝජන කොටස මෙන් දිගින් දිගටම සමුච්ඡය වන කොටසක් නෙමෙයි. නමුත්, පරිභෝජන කොටස මෙන් කිසිසේත්ම සමුච්ඡය නොවන කොටසක්ද නෙමෙයි. කෙටිකාලීනව සමුච්ඡය වන එහෙත් දිගුකාලීනව සමුච්ඡය නොවන කොටසක්. ආයෝජන කොටස දිගින් දිගටම සමුච්ඡය වීම සඳහා මෙවැනි සිවුවන කොටසක් අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතුයි. දිගුකාලීනව පරිභෝජන කොටස ටිකෙන් ටික වර්ධනය කර ගැනීම සඳහා ආයෝජන කොටස දිගින් දිගටම සමුච්ඡය විය යුතුයි. මේ අනුව, දිගුකාලීනව පරිභෝජනය වැඩි කර ගැනීම සඳහා ඉහත හතරවන කොටස අනිවාර්යයෙන්ම අවශ්‍යයි. 

ලංකාවේ ගොවියාගේ ප්‍රශ්නය ආයෝජන කොටස පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එය මූලික වශයෙන්ම හතරවන කොටස පිළිබඳ ප්‍රශ්නයක්. 

පොදුවේ ගත් විට ලංකාවේ ගොවීන් පාඩු ලබන්නේ නැහැ. ඔවුන්ට තමන්ගේ පරිභෝජන වියදම් හැර සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත හැකිවාක් මෙන්ම ඔවුන් එම මුදල ආයෝජනය කරනවා. ඒ කියන්නේ ඔවුන් අපේක්ෂිත අනාගත ප්‍රතිලාභ වෙනුවෙන් අවදානමක් ගන්නවා. බොහෝ විට එම අපේක්ෂිත ප්‍රතිලාභ ලැබෙනවා. එහෙත් සමහර වෙලාවට අවදානම මතු වෙනවා. එවිට ගොවියන් අන්ත අසරණ තත්ත්වයකට පත් වෙනවා. ගොවියන් ගැන මූලිකවම කතා කළත් මෙය වෙනත් ව්‍යවසාය වලටත් අදාළයි.

ඇතැම් විට බොහෝ ලාංකිකයින් ව්‍යවසායකයින් සේ අසාර්ථක වීමට හේතුව, දිලිත් ජයවීර කියනාවක් මෙන්, ආයෝජන භාගය ප්‍රමාණවත් නොවීම වෙන්න පුළුවන්. එහෙත්, දිලිත්ගේ ප්‍රකාශය හරහා මතුවන වැරදි අදහස ආයෝජන භාගය වැඩි කරන තරමට ප්‍රතිලාභද වැඩි වන බවයි. ඇතැම් අය හා අදාළව "වාසනාවට" එසේ විය හැකි වුවත්, අධි-ආයෝජනය යනු සූදුවක්. එය හානිකරයි. ආයෝජනයේ ප්‍රතිලාභ ලබාගත යුතු අතරම අවදානම් කලමණාකරණය කර ගැනීමද ඉතා වැදගත්. ඒ නිසා අන්තිම හතරෙන් පංගුව කිසිසේත්ම ආයෝජනය කළ යුතු නැහැ.

කෘෂිකර්මය ගත්තොත් කෘෂිකාර්මික ව්‍යවසායකයෙකු මුහුණ දෙන ප්‍රධාන අවදානම් දෙකක් තිබෙනවා. පළමුවැන්න වගා හානි අවදානමයි. වියලි කාලගුණය, අධික වර්ෂාව, සේනා දළඹුවන් වැනි කෘමි උවදුරු, වල් අලි වැනි සතුන් වගාව විනාශ කිරීම ආදිය උදාහරණ සේ පෙන්වන්න පුළුවන්. ආයෝජන වැඩි කළ පමණින් මෙවැනි හානි දුරු වන්නේ නැහැ. දෙවන අවදානම මිල පහත වැටීමේ අවදානමයි. බොහෝ විට මිල පහත වැටෙන්නේ අස්වනු ඉහළ යාමට සමාන්තරවයි. අස්වනු ඉහළ යද්දී දැනෙන සතුට මිල දැනගත් වහාම නැති වී යනවා.

මේ අවදානම් වල හානිය අවම කර ගත හැකි ධනවාදී විසඳුම රක්ෂණයයි. වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ ප්‍රචලිතව ඇත්නම් ගොවීන්ගේ ජීවිත අදට වඩා බොහෝ සැපවත් වෙනවා. සිඟාලකගේ යුගයට ගියොත්, ගොවීන්ට මේ හානි අවම කර ගත හැකි වූයේ තමන්ගේ ආදායමෙන් හතරෙන් එකක් නැවත ආයෝජනය නොකර, පරිභෝජනයද නොකර, නිදන් කර තබා ගැනීමෙනුයි. වසර හතරක් මෙසේ කළ විට තමන්ගේ වාර්ෂික ආදායමට සමාන කොටසක් පැත්තක එක්රැස් වෙනවා. ඒ නිසා, වසර හතරකට වරක් තමන්ගේ අපේක්ෂිත ආදායම නැත්තටම නැති වී ගියත් ඒ හේතුව නිසා ගොවියාගේ සාමාන්‍ය පරිභෝජන මට්ටම පහළ බහින්නේ නැහැ. ආයෝජන අඩුවී ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම නවතින්නේත් නැහැ. වට්ටක්කා විකුණා ගන්න බැරි වුනා කියා හෝ හේනට අලි ගැහුවා කියා හෝ වගා ණය ගෙවන්න විදිහක් නැහැ කියා රජයට බැගෑපත් වෙන්න හෝ කණේරු ඇට කන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ හරහා තමන්ගේ අවදානම් කළමනාකරණය කර ගත හැකි බව අවබෝධ කර ගැනීමට ගොවීන්ට කාලයක් යන්න පුළුවන්. එතෙක්, රජයට මැදිහත් වී යම් දිරිගැන්වීමක් කළ හැකියි. ඇමරිකාවේ රජය විසින් ගොවීන් සුබසාධනය කරන ප්‍රධානම ආකාරය වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ සඳහා ගෙවිය යුතු වාරික මුදල් වලින් කොටසක් සුබසාධනය කිරීමයි. 

ලංකාවේ තිබෙන වී සඳහා වන සහතික මිල ක්‍රමයෙන් කෙරෙන්නේද මිල හානි අවදානම අඩු කරන එකයි. මෙහි ඇති ගැටළුව රජයට සහතික මිලට මිල දී ගත හැකි වී ප්‍රමාණය රජය සතු ගබඩා පහසුකම් ධාරිතාවට සීමා වීමයි. වී ගොවියන්ගෙන් සහතික මිලට වී මිලදී ගන්නවා වෙනුවට ඔවුන්ට වෙළඳපොළ මිලට වී විකුණන්නට ඉඩ හැර ඒ හේතුව නිසා සිදුවන පාඩුව රජය විසින් ප්‍රතිපූරණය කරනවානම් මේ ප්‍රශ්නය මතු වන්නේ නැහැ. මේ ක්‍රමය තක්කාලි හෝ වට්ටක්කා වැනි වෙනත් ඕනෑම වගාවක් සඳහාද ක්‍රියාත්මක කළ හැකියි. මෙහිදී පිරිවැය ආවරණය කර ගැනීම සඳහා ගොවීන්ට රක්ෂණයක් විකිණිය හැකියි. එවිට එම රක්ෂණ වාරිකයේ වියදමද ඔවුන්ගේ සාමාන්‍ය වියදම් වලම කොටසක් බවට පත් වෙනවා. කාලයක් යද්දී රජයේ මැදිහත්වීමක් නැතිවම රක්ෂණ වෙළඳපොළ ක්‍රියාත්මක වෙයි.

ඉකොනොමැට්ටා