තම තමන්ගේ ආරක්ෂාව තම තමුන්ම සලසා ගනිල්ලා .....?

තම තමන්ගේ ආරක්ෂාව තම තමුන්ම සලසා ගනිල්ලා .....?

21 September 2020 09:12 am

අප වැනි කුඩා බිම් කඩකට ඉසිලිය නොහැකි තරම් අධික ජනගහන ඝනත්වයකින් තෙරපෙමින් ඕනෑම වගුරු බිමක, කඳු බෑවුමක, ගo ඉවුරක නිවහනක් අටවාගෙන වටේටම තාප්පයකුත් බැඳගත්විට සියල්ල සම්පූර්ණයයි සිතීමට බල කෙරෙන සමාජයක මහනුවර බූ වැලිකඩ ප්‍රදේශයේ ඊයේ සිදුවී ඇති නාය යාම වැනි දේවල් කුමන අරුමයක්ද?

ආරක්ශිත කඳු බෑවුම් වල පිහිටි ඉඩම් දේශපාලන බලය යොදා කොල්ලකා ඒවා හෙලි පෙහෙලි කොට ගෙවල් හෝටල් තනමු. පාරවල්ද තනමු. 

ඉඩම් කට්ටිකර විකිනීමේ ව්‍යාපාරයෙහි යෙදෙන්නවුන්ට දේශපාලනඥයකු හට කප්පමක් ලබාදී ඕනෑම වගුරු බිමක් ගොඩකර විකිනීමට හැකි රටක නාගරික ගoවතුර පාලනය කරන්නේ කෙසේද? 
එවැනි ඉඩම් අධික මිලකට මිලදී ගෙන නිවසක් ඉදිකර ඒ වටා තාප්පයක් බැඳගත් විට සියල්ලම සුරැකේයයි සැලකෙන සමාජයක ගoවතුර බැස යාමට නොහැකිව දින ගනනක්ම අවතැන් වූවන්ගේ සෙන්ටර් වල ලගින්නට සිදුවීමේ අරුමය කුමක්ද? 

මේවා පිලිබඳව වගකීම් දරන්නට සිටින ආයතන වලට සුදුස්සන් තෝරාගැනීම වෙනුවට රැකියා ප්‍රශ්නයට පිලිතුරක් වශයෙන් තොග වශයෙන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ක්‍රමයක් තුල මේ ප්‍රශ්න කෙරෙහි සoවේදීව අවධානය යොමුකර කැපවීමෙන් වැඩ කරන රාජ්‍ය ආයතන කොහිද?

ඒ නිසා කල යුත්තේ තම තමන්ගේ ආර්ථික තේරීමේ හැකියාව අනුව "තම තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින්ම සලසා ගැනීම" නොවේද? 

වැසි සමය පහව ගොස් නැවත අධික හිරු රැසින් දහවල උණුසුම් වන්නට පටන් ගත් විට අප සියල්ලෝම සුපුරුදු පරිදි බෑවුම් වල අනවසර ඉදිකිරීම් සඳහා රාජ්‍ය නිලධාරීන්ට අල්ලස්දී අවසර ලබා ගනිමු. ඉඩම් ගොඩ කිරීම සඳහා දේසපාලුවන්ට කප්පම් දී අවසර ලබා ගනිමු. ඉන්පසුව කා බී ජාතියේ අභිමානය ගැන පුරසාරම් දොඩවමින් සතුටු වෙමු. ඊලඟ වැසි සමය එලැඹෙන තෙක්ම අපි ස්වෝත්තම වාදී වින්දනයෙන් සතුටු වෙමු.

- චන්න කරුණාරත්න