ගෝටාට අසූව ඩබල් කළ හැකිද?

ගෝටාට අසූව ඩබල් කළ හැකිද?

14 August 2020 06:30 pm

පෙර ලිපියකට ප්‍රතිචාරයක් දමමින් එක් පාඨකයෙකු විසින් සඳහන් කර තිබුණේ මේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන් සියල්ලන්ම එසේ කළේ "ජාතිය බේරා ගැනීමට" නොවන බවයි. මේ කතාව බොරුවක් නෙමෙයි. ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන් පිරිස විෂමජාතීය පිරිසක්. ඒ තුළ විවිධ අභිලාශ තිබෙන කණ්ඩායම් ගණනාවක් සිටිනවා. ආණ්ඩුවට මුහුණ දෙන්න වී තිබෙන ප්‍රධානම අභියෝගයක් වන්නේද එයයි. අප විසින් පහත ප්‍රතිචාරය තව දුරටත් විශ්ලේෂණය කරන්නේ මේ කරුණ පිළිබඳව සැලකිල්ලට ගනිමිනුයි.

"Only thing I know , we had GDP less than USD 20 Bil since 1948-2005 and it went up to 80 Bil USD by 2015. (Wijebahu)"

ඉහත ප්‍රතිචාරය අනුව 2005 වසර වන විට, එනම් පසුගිය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වන විට, ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 20කට අඩුයි. 2015දී එම ආණ්ඩුව ගෙදර යන විට එම අගය ඇමරිකන් ඩොලර් බිලියන 80 ඉක්මවලා. ඒ කියන්නේ, බැලූ බැල්මටම පෙනෙන පරිදි වසර දහයක් ඇතුළත රටේ ජාතික ආදායමේ ඩොලර් අගය හතර ගුණයකින් වැඩි වෙලා. 

මේ ආණ්ඩුව වෙනුවෙන් සහයෝගය දෙන බොහෝ දෙනෙක් එසේ කරන්නේ ආර්ථික සාධක වලට ප්‍රමුඛත්වය දෙමින් නෙමෙයි. එය පුද්ගල කැමැත්ත පිළිබඳ ප්‍රශ්නයක්. එහි වැරැද්දක් නැහැ. ඇතැම් විට ආර්ථිකයේ දරුණු කඩා වැටීමක් හමුවේ වුවත් එම පිරිස ආණ්ඩුව අත නොහැර සිටීමට ඉඩ තිබෙනවා.

කෙසේ වුවත්, පසුගිය රාජපක්ෂ දශකය තුළදී පෙනෙන්නට තිබුණු හා/හෝ මවා පෙන්වනු ලැබ තිබුණු "ආශ්චර්යය" හමුවේ දෑස් නිලංකාර කරගෙන සිටින, ඒ හේතුව නිසා මේ ආණ්ඩුවට සහයෝගය දෙන යම් පිරිසක්ද ඉන්නවා. එම පිරිස මේ ආණ්ඩුවට සහයෝගය දෙන අය අතරින් සුළුතරයක් යන්න මගේ අදහසයි. 

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව රටේ ජාතික ආදායමේ ඩොලර් අගය හතර ගුණයකින් වැඩි කළේය ආදී කරුණු වලට බරක් තබන්නේ මේ පිරිසයි. මේ විශ්වාසය ඇතුළේ මේ ආණ්ඩුව විසින් ඉදිරි අවුරුදු පහ ඇතුළත රටේ ජාතික ආදායමේ ඩොලර් අගය අවම වශයෙන් දෙගුණ කරනු ඇතැයි යන විශ්වාසය ගැබ්ව තිබෙනවා කියා මා හිතනවා. 

චන්ද්‍රිකා ආණ්ඩුවේ අවසන් කාලයේදී නිදහසින් පසු මුල් වරට ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුනා. ඉන් පසු බලයට පත් වූ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පැවති කාලය තුළ රටේ ආර්ථිකය නැවත හිස එසෙවුවා. ඊට පෙර, 1970-77 සමාජවාදී පරීක්ෂණයෙන් දුර්වලව සිටි රටේ ආර්ථිකය ජේආර් ජයවර්ධන බලයට පත් වීමෙන් පසුව අළුත් පණක් ලබා නැගී සිටියා. මේ ආදී කරුණු නිසා රටේ ආර්ථිකය ගොඩ දැමිය හැක්කේ එජාපයටය යන ජනප්‍රිය මතයක් ඇති වී තිබුණා. 2015දී බලයට පත් වන විට එජාප ආණ්ඩුවේ හා එහි නායක රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කළමනාකරණ හැකියාව පිළිබඳව රටේ බොහෝ දෙනෙකුට අවිශ්වාසයක් තිබුණේ නැහැ. එහෙත්, ඒ බොහෝ දෙනෙක් දැන් කියන්නේ හොඳින් තිබුණු ආර්ථිකය යහපාලන ආණ්ඩුව විසින් විනාශ කර දැමූ බවයි. 

ලංකාව නිදහස ලබන විට රටේ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය පිළිබඳ ප්‍රශ්නයක් හෝ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ ප්‍රශ්න දෙකම නිදහසින් පසුව ඇති වූ ප්‍රශ්න. නිදහස් වූ ලංකාවට ජාතික අභිලාශ තිබුණා. ජාතික අභිලාශ ඉටු කර ගැනීම වෙනුවෙන් ඇතැම් විට ආර්ථික අභිලාශ කැප කරන්න සිදු වෙනවා. එය බොහෝ විට රටක පුරවැසියන් කැමැත්තෙන් කරන දෙයක්. නැගෙනහිර ජර්මනිය නැවත බටහිර ජර්මනියට එකතු කර ගැනීම නිසා බටහිර ජර්මන් වැසියන්ගේ අනාගත අපේක්ෂිත ජාතික ආදායම් මට්ටම 10%කින් පමණ පහළ ගියත් ඒ පිළිබඳව කිසිවකු මැසිවිලි නගන්නේ නැහැ.

නිදහස ලැබූ ලංකාවේ ආර්ථික වටිනාකමක් ඇති සම්පත් හා ව්‍යවසායයන් බොහොමයක් විදේශිකයින් සතුව තිබුණා. ජාතික අභිලාශ අනුව යමින් එම සම්පත් රජය සතු කර ගනු ලැබුවා. එහෙත්, මෙසේ රජය සතු කරගැනීම් හැම විටම සිදු වුනේ ජාතික අභිලාශ පෙරදැරිව නෙමෙයි. සමාජවාදී අභිලාශ පෙරදැරිවයි. රටේ දේශීය ව්‍යවසායකයින් සතු සම්පත් හා ව්‍යවසාය රජය සතු කර ගැනීම නිසා දිගින් දිගටම රටක් වශයෙන් ගෙවන්න සිදු වුනේ නොගෙවිය යුතුව තිබුණු මිලක්. එවැන්නක් සිදු වුනේ සමාජවාදී අභිලාශ මත පදනම්ව මිස ජාතික අභිලාශ මත පදනම්ව නෙමෙයි.

රටේ සම්පත් ටිකෙන් ටික මධ්‍යම රජයේ පාලනයට නතු වීම නිසා එක පැත්තකින් පෞද්ගලික අංශයේ නිෂ්පාදන හැකියාව පහත වැටී රජයට අය කරගත හැකිව තිබුණු බදු ආදායම් ක්‍රමයෙන් අඩු වෙද්දී, අනික් පැත්තෙන් අකාර්යක්ෂමතාවය නිසා පාඩු ලබන්නට වූ රාජ්‍ය අංශය රජයේ අයවැයට බරක් වී රජයේ අයවැය හිඟය ටිකෙන් ටික පුළුල් වෙන්න පටන් ගත්තා. කාලයක් තිස්සේ ලංකාවට ආදායම් උපයා දුන් කෘෂි නිෂ්පාදන වල අපනයන තරඟකාරීත්වය අඩු වී ගෙවුම් ශේෂය මතද පීඩනයක් ඇති වන්නට වුනා. රටේ විදේශ වත්කම් වලට සාපේක්ෂව බැරකම් ඉහළ යන්න පටන් ගත්තා.

ලංකාවේ ආර්ථිකයේ මේ නිදන්ගත රෝග දෙකට විසඳුම් සෙවීමේ ඉතිහාසය අවම වශයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව කාලය දක්වා පැරණියි. සමගි පෙරමුණේ උපාය මාර්ගය වූ ආනයන පාලනය හේතුවෙන් රටේ ආර්ථික වර්ධනය විශාල ලෙස සීමා වුනා වගේම රට තුළ විශාල භාණ්ඩ හිඟයක් ඇති වුනා. එවර ලංකාව සමාජවාදය පිළිබඳව ඉගෙනගත් පාඩම් රටේ සාමූහික විඥානය තුළ තවමත් රැඳී තිබෙනවා.

අසාර්ථක වූ සමගි පෙරමුණු පරීක්ෂණය කෙළවර වුනේ ජේආර් ජයවර්ධනට හයෙන් පහක බලයක් ලැබීමෙන්. නිදහස ලැබුණු කාලයේ සිටම ජේආර්ගේ සිහිනය වුනේ සිංගප්පූරු මාදිලියේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ මෙහෙයවෙන, ණයෙන් දුවන ආර්ථිකයක්. ලංකාවේ බොහෝ දෙනෙක් ධනවාදය ලෙස හඳුනා ගන්නේත්, එතෙක් මෙතෙක් ලංකාවේ ආණ්ඩු විසින් අනුගමනය කරන මූලික ආර්ථික-දේශපාලන ආකෘතිය වන්නේත් ජේආර් විසින් හඳුන්වා දුන් ක්‍රමයයි. 

මේ පවතින ක්‍රමය තුළ ධනවාදී ක්‍රමයකදී මෙන් යම් පුද්ගලයෙකුට මුල සිට ආර්ථික හිණිපෙතේ ඉහළ නගින්න ඉඩකඩ ඇතත්, ඒ කවර ආකාරයකින් හෝ රාජ්‍ය යාන්ත්‍රනය සමඟ බද්ධ වීමෙන් මිසක් තමන්ගේ ව්‍යවසායකත්වය මත පදනම්ව නෙමෙයි. ඒ නිසා, දිගින් දිගටම සිදුවන බලය හා ප්‍රාග්ධනය අතර වන කැත ගනුදෙනුවක් මේ ක්‍රමය ඇතුළේ තිබෙනවා. මතුපිටින් පෙනෙන්නට ඇති පරිදි නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයක් තිබුණත්, ඒ වෙළඳපොළට නිදහසේ හැසිරීමේ සැබෑ ඉඩකඩක් විවරව නැහැ. මේ තිබෙන සීමිත වෙළඳපොළ නිදහසටද එරෙහි දේශපාලන ව්‍යාපාර තිබුණත් වෙළඳපොළ නිදහසට ඇති බාධා ඉවත් කිරීම වෙනුවෙන් හඬක් නොනැගෙන තරම්.

ජේආර්ගේ ආකෘතිය යටතේ රටේ ආර්ථික වර්ධන වේගය කැපී පෙනෙන ලෙස ඉහළ ගියා. එයට සාපේක්ෂව රජයේ අයවැය හිඟය හා රටේ ශුද්ධ විදේශ බැරකම්ද ඉහළ ගොස් අනාගත ආණ්ඩු වලට එම ප්‍රශ්න ඉතුරු වුනා. මේ ප්‍රශ්න වලට චන්ද්‍රිකා ආණ්ඩුවේ විසඳුම වුණේ රාජ්‍ය ව්‍යවසායයන් විකිණීමයි. එමගින් තාවකාලිකව රජය මුහුණ දෙමින් සිටි මූලික ප්‍රශ්න දෙකම විසඳාගත හැකි වුනා. ලැබුණු අරමුදල් වලින් අයවැය හිඟය පියවා ගැනීමට ඉඩ සැලසෙද්දී, විදේශ ව්‍යවහාර මුදලින් ලැබුණු අරමුදල් වලින් ගෙවුම් ශේෂ ප්‍රශ්නය තාවකාලිකව විසඳුණා. එහෙත්, මේ ප්‍රශ්න දෙකෙන් එකක්වත් ස්ථිරව විසඳුනේ නැහැ. ඒ ප්‍රශ්න අනාගතයට ඉතුරු වුනා.

රනිල් වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ මෑතකාලීන පාලකයන් අතරින් ජේආර් ජයවර්ධනගේ රාජ්‍යමූල්‍ය ආකෘතියෙන් යම් තරමකින් බැහැරව කටයුතු කළ කෙනෙක්. ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ වල ආණ්ඩු පවා ජේආර්ගේ ආකෘතිය ආදරයෙන් වැළඳගෙන සිටිත්දී ජේආර්ගේ බෑණාගේ තේරීම වුනේ කීනීසියානු පිම්බීමක් වෙනුවට රාජ්‍යමූල්‍ය විනය පිලිබඳව සැලකිලිමත් වීමයි. ඒ හරහා ආර්ථිකයේ නිදන්ගත ප්‍රශ්න වලට ප්‍රතිකාර කිරීමයි. 

ඔහුට ඒ සඳහා අවශ්‍ය ධෛර්යයද නොඅඩුව තිබුණා. 2001-2004 අතර වසර දෙකහමාරක කෙටි කාලයක් තුළදී රටේ ආර්ථික වර්ධන වේගයද එහි දිගුකාලීන සාමාන්‍ය අගයට වඩා ඉහළින් තබා ගනිමින්, රජයේ වියදම් විශාල ලෙස සීමා කිරීම මගින් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අයවැය හිඟය ප්‍රතිශතාංක තුනකින් පමණ අඩු කර ගැනීම හරහා ණය ගැනීම සීමා කර උද්ධමනය හා පොලී අනුපාතික වාර්තාගත මට්ටමකට පහත හෙලීමටත්, ජංගම ගිණුම් ශේෂය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස හැත්තෑ හතෙන් පසු මෙතෙක් වාර්තා වී ඇති අවම මට්ටමට ගෙන එන්නටත්, ගෙවුම් ශේෂ අතිරික්තයක් පවත්වා ගන්නටත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සමත් වුනා. ඒ අනුව, ආර්ථික කළමනාකරණය සම්බන්ධව බොහෝ දෙනෙක් රනිල් පිළිබඳව විශ්වාසය තැබීම හේතු සහගතව කළ දෙයක්.

පසුගිය යහපාලන ආණ්ඩුව විසින්ද ඉහත කී රාජ්‍යමූල්‍ය විනය පවත්වා නොගත්තා නෙමෙයි. ඔවුන් බැනුම් අසාගෙන බදු වැඩි කරමින් හා රාජ්‍ය වියදම් සෑහෙන තරමකින් සීමා කරමින් ඉතා අසීරුවෙන් ප්‍රාථමික ශේෂය ධන පැත්තට හැරෙවුවා. ඇතැම් විට මෙවර ඔවුන් පෙර අවස්ථාවේදී ගියාටත් වඩා දුර ගියා වෙන්න පුළුවන්. එහෙත්, 2005දී රනිල් වික්‍රමසිංහට භාර ගන්න වූ ආර්ථිකය 2001දී මෙන් වසර දෙකහමාරකින් ගොඩ දැමිය හැකි එකක් නෙමෙයි. ඒ නිසා, පසුගිය ආණ්ඩුවට ආර්ථිකයේ ක්ෂණික කඩා වැටීමක් වලක්වා ගනු හැර වැඩිමනත් දෙයක් කළ හැකි වූයේ නැහැ.

පසුගිය මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට ආරම්භයේදීම හා මැද භාගයේදී සුවිශේෂී බෝනස් දෙකක් හිමි වුනා. පළමුව, මානව කේන්ද්‍රීයව බැලුවොත් විශාල ඛේදවාචකයක් වුවත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හා අදාළව විශාල පාරිතෝෂිකයක් වූ සුනාමිය පැමිණීමෙන් පසුව ගලා ආ විදේශාධාර හා ලැබුණු ණය සහන නිසා ශුද්ධ විදේශ විණිමය ප්‍රවාහ ඉහළ ගොස් රටේ බොහෝ ආර්ථික නිර්ණායකයන් තිබිය යුතුවාට වඩා හොඳින් පෙනෙන්න පටන් ගත්තා. පසුව දිගින් දිගටම විදේශ ණය ලබා ගනිමින් එම ණය වල උදවුවෙන් රුපියල ශක්තිමත්ව තියා ගැනීම සඳහා උත්තේජනයක් සපයන්න ඇත්තේ මේ සුනාමි ආධාර සුනාමියයි.

දෙවන පාරිතෝෂිකය යුද්ධය කෙමෙන් නිමාව දකිද්දී රටේ ආර්ථික වර්ධන වේගය පෙර සිතාගත නොහැකි වූ තරමට ඉහළ යාමයි. යුද්ධය මුළුමනින්ම අවසන් වීමට පෙර, නැගෙනහිර බිම්පෙදෙස් නිදහස් වීමෙන් පසුව, මේ තත්ත්වය නිරීක්ෂණය කළ හැකි වුනා. ආර්ථික වර්ධන වේගය මෙතෙක් වාර්තා වී තිබුණු මට්ටම් ඉක්මවා ඉහළ නැංවීමේ හැකියාවක් තිබෙන බවට ආණ්ඩුවට විශ්වාසයක් ඇති කරන්න ඇත්තේත්, පසුව ණයෙන් දුවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ආදිය හරහා ඉහළ ආර්ථික වර්ධන වේගයක් කෙසේ හෝ පවත්වා ගැනීමට ආණ්ඩුවට පෙළඹවීමක් ඇති කරන්න ඇත්තේත් මේ දෙවන පාරිතෝෂිකයයි.

දැන් මේ ආණ්ඩුව මුහුණ දී සිටින තත්ත්වය එක් අතකින් පසුගිය යහපාලන ආණ්ඩුව මුහුණ දුන් තත්ත්වයට සමානයි. රනිල් වික්‍රමසිංහට මහින්ද රාජපක්ෂ භාර දුන් ආර්ථිකය ඔහුට ඊට කාලයකට පෙර චන්ද්‍රිකා කුමාරතුංග විසින් භාර දුන් ආර්ථිකය තරම් පහසුවෙන් ගොඩ දැමිය හැකි එකක් නෙමෙයි. ඒ නිසා, 2002-2004 උපක්‍රම 2015දී ප්‍රමාණවත් වුණේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂට දැන් මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේත් එවැනිම ප්‍රශ්නයකටයි. රනිල් වික්‍රමසිංහ විසින් 2019දී ගෝඨාභයට භාර දුන් ආර්ථිකය පහළොස් වසරකට පෙර ඔහු විසින්ම ගෝඨාභයගේ වැඩිමල් සොයුරාට භාර දුන් ආර්ථිකයට වඩා බොහෝ සේ දුර්වල වී ඇති ආර්ථිකයක්. ඒ නිසා, මහින්ද රාජපක්ෂට ලැබුණු සාපේක්ෂ වාසි බොහොමයක් ගෝඨාභයට නැහැ. ඒ නිසා, ඇතැම් අය විශ්වාස කරන පරිදි මහින්ද විසින් වසර දහයකින් රටේ ආර්ථිකයේ ඩොලර් අගය හතර ගුණයක් කළත්, මහින්දගේ සොහොයුරාට එවැන්නක් කිරීම පහසු වැඩක් නෙමෙයි. මැතිවරණයට පෙර කෙසේ වුවත්, මහින්ද යුගයේ ආර්ථික සෞභාග්‍යය ගැන මැතිවරණයෙන් පසුවත් දිගටම කතා කරන ආණ්ඩුවේ ආධාරකරුවන් විසින් දැන හෝ නොදැන කරමින් සිටින්නේ ගෝඨාභයගේ ආණ්ඩුවේ ගෙල සිර කිරීමක්.

මා එසේ කියන්නේ ඇයි?

ලංකාවේ වත්මන් ඒක පුද්ගල ආදායම තුන් ගුණයකට මඳක් වැඩියෙන් වැඩි වුවහොත් ලංකාව සංවර්ධිත රටක්. 2005-2015 අතර කාලයේ ලංකාවේ ඒක පුද්ගල ආදායම හතර ගුණයකට ආසන්නව වැඩි වී තිබෙනවා. එහෙමනම් ගෝඨාභය රාජපක්ෂගේ වසර පහක ධුර කාලය අවසන් වන විට ලංකාව සංවර්ධිත රටක මායිමට ඇවිත් තියෙයිද? තව අවුරුදු හත අටක් යන කොට ලංකාව සංවර්ධිත රටක් වෙලා තියෙයිද?

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපට මුලින්ම පෙර කී පරිදි රාජපක්ෂ පාලන කාලයේදී හතර ගුණයකින් පමණ වැඩි වුණු ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය එය සෑදී තිබෙන සංරචක වලට විසංයෝජනය කරන්න සිදු වෙනවා. මේ කාර්යයේදී ඉන් පසුව යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූ දේ වැදගත් නැතත් අපි සංසන්දනය පිණිස එම කාලයත් ගනිමු.

නාමික දළ දේශීය නිෂ්පාදිතය (ඩොලර් බිලියන)

2004      20.7

2014      79.4

2019      84.0

මේ අනුව, 2005-2014 කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වසරකට 14.4% බැගින් ඉහළ ගොස් ඇතත් 2015-2019 කාලයේ එම ඉහළ යාම 1.1%ක් පමණයි.

මේ ආකාරයට නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය දෙස බලන එකේ තිබෙන එක් මූලික වැරැද්දක් වන්නේ ඇමරිකන් ඩොලරයේ වටිනාකම වසරින් වසර වෙනස් වල බව මෙහිදී සැලකිල්ලට ගෙන නොතිබීමයි. මා මේ කියන්නේ ඇමරිකන් ඩොලරයක රුපියල් අගය වෙනස් වීම ගැන නෙමෙයි. ඒ කරුණට අපි පසුව එමු. මේ කතා කරන්නේ ඇමරිකාවේ උද්ධමනය නිසා ඇමරිකානු ඩොලරයටම සාපේක්ෂව එහි අගය වෙනස් වීම ගැනයි. ඒ නිසා, අපට ඇමරිකාවේ උද්ධමනයේ බලපෑම ඉවත් කර මේ සංඛ්‍යා සංසන්දනය කරන්න වෙනවා. 

ආසන්න වශයෙන් 2004 ඇමරිකානු ඩොලරයක දැන් වටිනාකම ඩොලර් 1.36ක්ද, 2014 ඩොලරයක දැන් වටිනාකම ඩොලර් 1.08ක්ද, 2019 ඩොලරයක දැන් වටිනාකම ඩොලර් 1.01ක්ද වෙනවා. නියම අනුපාත යොදා ඉහත ගණන් 2020 මූර්ත ඩොලර් වලට (වසරේ මැද ජූනි මාසයේ අගය සලකමින්) පරිවර්තනය කළ විට ඉහත සංඛ්‍යා වෙනස් වෙන්නේ මේ ආකාරයටයි.

දළ දේශීය නිෂ්පාදිතය (2020 ඩොලර් බිලියන)

2004      28.13

2014      85.88

2019      84.54

දැන් මේ ගණන් වල උද්ධමනයේ බලපෑමක් නැති නිසා හරිනම් සැබෑ ආර්ථික වර්ධනය පෙන්විය යුතුයි. මේ ගණන් අනුව, 2005-2014 කාලය තුළ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 13.1%ක් විය යුතුයි. 2015-2019 කාලය තුළ ලංකාවේ ආර්ථිකය වසරකට 0.2% බැගින් හැකිලී තිබිය යුතුයි. නමුත්, එය එසේ නොවූ බව අපි දන්නවා. එහෙමනම් මෙහි වැරැද්ද කුමක්ද? 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ රුපියල් වලින් මිසක් ඩොලර් වලින් නෙමෙයි. එම ගණන් ඩොලර් වලට හරහා පෙන්වීම තුළ තිබෙන්නේ රැවටිල්ලක්. 2005-2014 අතර ලංකාවේ මූර්ත වර්ධන වේගය ඉහළ මට්ටමක වූ බව සැබෑවක් වුවත් එය 13.1% මට්ටමේ තිබුණේ නැහැ. එම වසර දහය තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය වුනේ 6.4%ක් පමණයි. නමුත්, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය 14.4% බැගින් ඉහළ ගොස් තිබෙනවා. එයින්, 1.3%කට හේතුව ඇමරිකාවේ උද්ධමනයයි. එසේනම්, ඉතිරි 6.7% ආවේ කොහෙන්ද?

මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපට ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ රුපියල් අගයෙන් පටන් ගන්න වෙනවා. කොහොමටත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ රුපියල් වලින් බව මම කිවුවනේ.

නාමික දළ දේශීය නිෂ්පාදිතය (රුපියල් බිලියන)

2004        2,091

2014      10,361

2019      15,016

මේ අනුව, 2005-2014 කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ රුපියල් අගය වසරකට 17.4% බැගින් ඉහළ ගොස් ඇතත් 2015-2019 කාලයේ එම ඉහළ යාම 7.7%ක් පමණයි. රටේ ජාතික ආදායමේ සැබෑ වැඩිවීම, එහෙමත් නැත්නම් මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධන වේගය හොයාගන්න මේ ගණන් වලින් අදාළ කාල වල පැවති උද්ධමනයේ බලපෑම ඉවත් කරන්න වෙනවා. 2005-2014 කාලයේ සාමාන්‍ය උද්ධමනය 11.0%ක්. 2015-2019 කාලයේ සාමාන්‍ය උද්ධමනය 3.9%ක්. මේ අනුව, අදාළ කාලවල් වල සැබෑ ආර්ථික වර්ධනය පිළිවෙලින් 17.4% -11.0% = 6.4%ක් සහ 7.7% - 3.9% = 3.8%ක් වෙනවා.

දැන් මේ 6.4% ආර්ථික වර්ධනය ඩොලර් වලින් බැලූ විට 14.4% දක්වා වැඩි වී පෙනෙන්නත්, 3.8% ආර්ථික වර්ධනය 1.1% වී පෙනෙන්නත් හේතුව කුමක්ද? 2005-2014 කාලය තුළ ඇමරිකාවේ සාමාන්‍ය උද්ධමනය 2.3%ක්.  2015-2019 කාලය තුළ එය 1.5%ක්. ඒ නිසා, හරිනම් මේ ගණන් 6.4% + 2.3% = 8.7%ක් හා 3.8% + 1.5% = 5.3%ක් විය යුතුයි. එහෙත්, එය එසේ නොවූයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විණිමය අනුපාතිකය ඇමරිකාව හා ලංකාව අතර උද්ධමන වෙනසට ගැලපෙන පරිදි වෙනස් නොවීම නිසයි.

ඇමරිකාවේ බඩු මිල 2.3% බැගින් ඉහළ යද්දී ලංකාවේ බඩු මිල 11.0% බැගින් ඉහළ යනවා කියා කියන්නේ ඇමරිකන් බඩු ලංකාවට සාපේක්ෂව වසරකට 8.7% බැගින් ලාබ වෙනවා කියන එකයි. පොදුවේ මෙය ආනයනික බඩු දේශීය නිෂ්පාදන වලට සාපේක්ෂව ලාබ වීමක් කියා කියන්න පුළුවන්. එහි ප්‍රතිඵලය වන්නේ අපනයන සමඟ තරඟ කළ නොහැකිව දේශීය කර්මාන්ත වැසී යාමයි. එසේ නොවන්නටනම් රුපියල ඩොලරයට සාපේක්ෂව 8.7%කින් අවප්‍රමාණය වෙන්නට සලස්වන්න වෙනවා. එහෙත්, 2005-2014 කාලය තුළ රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වුනේ නැහැ  අනෙක් අතට 2015-2019 කාලය තුළ රුපියල අවප්‍රමාණය විය යුතුව තිබුණේ 3.9% - 1.5% = 2.4%කින් පමණක් වුවත්, පෙර වසර වල රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වී නොතිබුණු නිසා ඊට වඩා තරමක් හෝ වැඩියෙන් අවප්‍රමාණය වීමට ඉඩ හැරිය යුතු වුනා.

මේ අනුව පැහැදිලි වනු ඇති පරිදි ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය මෙසේ විශාල ලෙස වැඩි වී පෙනෙන්නට ප්‍රධානම හේතුව "වැරදි" විණිමය අනුපාතිකයක් යොදා ගනිමින් රුපියල් වලින් මනින අගයක් ඩොලර් වලින් පෙන්වීමයි. මේ ආකාරයෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් ලෙස රාජ්‍ය ණය පෙන්වන විට ඩොලර් වලින් මනින විදේශ ණය රුපියල් වලට හැරවෙන්නේ "වැරදි" විණිමය අනුපාතිකයක් යොදා ගනිමින් නිසා එම ණය ප්‍රමාණය අඩුවෙන් පෙනෙනවා. වෙනත් නිර්ණායකද වැඩි කර පෙන්වන්නට අවශ්‍ය වූ විට රුපියල් ඩොලර් වලිනුත්, අඩු කර පෙන්වන්නට අවශ්‍ය වූ විට ඩොලර් රුපියල් වලිනුත් පෙන්වීමෙන් නැති සෞභාග්‍යයක් පෙන්විය හැකියි.

අපි නැවත මුල් ප්‍රශ්නයට එමු. මොන විදිහකින් හරි 2005-2014 කාලය තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය හතර ගුණයකින් වැඩි කරලා පෙන්නුවනේ. මේ ආණ්ඩුවටත් ඒ වැඩේ ඒ විදිහටම කරල පෙන්නන්න පුළුවන්කමක් තියෙනවද? 

අපි කතාව අවුරුදු පහකට සීමා කරමු. 2025 වෙද්දී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය දෙගුණයක් කරලා පෙන්වන්න මේ ආණ්ඩුවට පුළුවන් වෙයිද? මේ වැඩේ කරන්නනම් වසරකට 14.9%කින් ඔය අගය වැඩි කරන්න වෙනවා. ඔය අවුරුදු පහේ රටේ ඇත්ත ආර්ථික වර්ධනය කොයි මට්ටමට උස්සගන්න පුළුවන් වෙයිද? 2005-2014 අතර ලැබුණු යුද්ධය අවසන් කිරීමේ බෝනස් එක නැවත ලැබෙන්නේ නැහැ. එය සුවිශේෂී තත්ත්වයක්. ඒ නිසා, කීනිසියානු පිම්බීම් වලින් පමණක් අපහසුවකින් තොරව ඒ දශකයේ ලබාගත් 6.4% සාමාන්‍යයට නැවත යන්න පුළුවන්කමක් ඇතැයි මම හිතන්නේ නැහැ. 

හැත්තෑ හතෙන් පස්සේ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 5%කට කිට්ටුයි. පහුගිය අවුරුදු හතරේදී ආර්ථික වර්ධනය ඔය මට්ටමට පහළින් තිබුණු නිසා එහි වාසියකුත් තිබෙනවා. තව පුළුවන් උප්පරවැට්ටි හැම එකම දමලා 6%ක සාමාන්‍ය වර්ධනයක් ගත්තා කියලා අපි හිතමු. තව 8.9%ක් ඕකට එකතු කළ යුතුයි. ඒක කරන්න වෙන්නේ විණිමය අනුපාතිකය උද්ධමන වෙනස සමඟ ඉහළ යාම යටපත් කිරීමෙන්.

ඉදිරි අවුරුදු පහේ ඇමරිකාවේ උද්ධමනය 2%ක් පමණ වෙයි. ඇමරිකාව මේ ඉලක්ක මට්ටම ඒ තරම් වෙනස් වෙන්න ඉඩ හරින්නේ නැහැ. ඩොලරයක රුපියල් මිල මොන විදියෙන් හරි අවුරුදු පහක්ම දැන් මට්ටමේම තියා ගත්තා කියා හිතමු. එහෙම තත්ත්වයක් යටතේ මේ ඉලක්කයට යන්න ලංකාවේ සාමාන්‍ය උද්ධමනය 11% මට්ටමට යන්න ඉඩ දෙන්න වෙනවා. නමුත්, දැන් කාලයක් තිස්සේම මහ බැංකුව විසින් උද්ධමනය 5-6% මට්ටමේ තියාගෙනයි ඉන්නේ. උද්ධමනය ඉහළ ගියොත් ඊට අනුරූපව පොලී අනුපාතිකත් ඉහළ යනවා. එවිට, ආණ්ඩුවේ වියදම් ඉහළ ගොස් අයවැය හිඟය තවත් පුළුල් වෙන නිසා එය ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙනවා. අනෙක් අතට උද්ධමනය ඉහළ යා නොදී තියා ගන්න එකත් ආණ්ඩුවේ ඉලක්කයක්. ඒ කියන්නේ ලංකාවේ උද්ධමනය 6% මට්ටමේවත් තියා ගන්න වෙනවා. 

මේ අනුව උද්ධමන වෙනස 4%ක්. ඩොලරයක අගය කිසිදු වෙනසක් නැතිව දැන් මට්ටමේම තියා ගත්තොත් ආර්ථික වර්ධනයේ ඩොලර් අගය ඉහළ යාම 10% මට්ටමට ගන්න පුළුවන්. එය 14.9% මට්ටමට ගන්නනම් අවුරුද්දකට 4.9% බැගින් ඩොලරයේ අගය පහළ දමා ගන්න වෙනවා. ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඩොලරය අවුරුදු පහක් දැන් තිබෙන මට්ටමේ තියාගන්න එකත් මොන විදිහකින්වත් කරන්න බැරි දෙයක්. ඒ නිසා, කලින් වතාවේ වගේ අවුරුදු පහකින් ජාතික අදායම දෙගුණ වෙයි කියලා කවුරු හරි බලා ඉන්නවානම් ඒක අර එළුවාගේ මොකක්ද වැටෙනකම් බලා ඉන්නවා වගේ වැඩක්!

ඉකොනොමැට්ටා