කෝවිඩ් වලින් වැසුණු හෙළුව

කෝවිඩ් වලින් වැසුණු හෙළුව

10 August 2020 06:59 pm

මුළු රටම මහ මැතිවරණය වෙත අවධානය යොමු කර සිටිද්දී ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2020 පළමු කාර්තුව හා අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කළා. මේ ඇස්තමේන්තු අනුව 2020 පළමු කාර්තුව තුළ ලංකාවේ ආර්ථිකය 1.6%කින් කුඩා වී තිබෙනවා.

සාමාන්‍යයෙන් ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරන නිශ්චිත දිනයක් තිබෙනවා. 2020 පළමු කාර්තුව සඳහා වන ඇස්තමේන්තු ප්‍රකාශයට පත් විය යුතුව තිබුණේ ජූනි 15 දිනයි. කොරෝනා හේතුවෙන් රට වසා දැමීම නිසා නියමිත දිනයට මෙම ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කළ නොහැකි වීම පිළිගත හැකි දෙයක් වුවත්, එය මහ මැතිවරණ දිනය තෙක් පමා වීම අහම්බයක්ම නොවිය හැකියි.

රටක ආර්ථිකය සාමාන්‍යයෙන් වසරින් වසර ප්‍රසාරණය වෙනවා. ජනගහණය වර්ධනය වීමත්, කාර්යක්ෂමතාවය ඉහළ යාම නිසා ඒක පුද්ගල නිෂ්පාදිතය ඉහළ යාමත් ඊට හේතු වෙනවා. එහෙත්, දිගුකාලීනව එසේ වර්ධනය වන ආර්ථිකයක් කෙටිකාලීනව සංකෝචනය වන අවස්ථා තිබෙනවා. ආර්ථික අවපාත ලෙස අප විසින් හඳුනාගන්නේ මෙවැනි අවස්ථා.

ආර්ථික අවපාත හැම විටම තාවකාලිකයි. ආර්ථික අවපාත වලින් රටක දිගුකාලීන වර්ධන වේගයට බලපෑමක් සිදු වන්නේ නැහැ. එය තීරණය වන්නේ කිසියම් රටක කාර්යක්ෂමතාවය ඉහළ යාමේ වේගය මතයි. මෙය වැඩි දියුණු වන තාක්ෂණය, නවෝත්පාදන බිහි වීම, ව්‍යවසායකත්වය වැනි කරුණු මත තීරණය වන දෙයක්. ඒ නිසා, ආර්ථික අවපාතයකින් ආර්ථිකයක් සංකෝචනය වන හැම අවස්ථාවකින් පසුවම ආර්ථිකයක් එහි සාමාන්‍ය වර්ධන වේගයට වඩා වැඩි වේගයකින් වර්ධනය වී තාවකාලිකව සිදු වූ හානිය පූරණය කර ගන්නවා. මෙය ස්වභාවිකවම සිදු වන නිසා ආර්ථික අවපාතයකින් ගොඩ යාමට  රජයේ හෝ මහ බැංකුවේ මැදිහත් වීම් අවශ්‍ය වන්නේ නැහැ. 

මැදිහත්වීම් මගින් දිගුකාලීනව සිදුවන වෙනසක් නැතත්, කෙටිකාලීනව ආර්ථික අවපාතයක හානිය අඩු කරගන්න පුළුවන්. ස්වභාවිකව ආර්ථික අවපාතයකින් ගොඩ යාමට ගත වන කාලය වගේම ආර්ථික අවපාතයක තීව්‍රතාවයත් මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල උපකාරයෙන් අඩු කරගන්න පුළුවන්. එහෙත්, මෙවැනි ක්‍රියාමාර්ග ඕනෑවට වඩා දුරදිග ගියොත් ලෙඩේ හානියට වඩා ප්‍රතිකාර වල හානිය වැඩි වෙන්නත් පුළුවන්.

ඇමරිකාව වැනි ආර්ථික සංවර්ධන හිණි පෙතේ ඉහළින් සිටින රටවලට ආර්ථික අවපාත දුලබ දේවල් නෙමෙයි. එහෙත්, ලංකාව වැනි ආර්ථික සංවර්ධන හිණි පෙතේ පහළින් සිටින රටවලට එසේ නිතර ආර්ථික අවපාත වලට මුහුණ දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කවර හෝ හේතුවක් නිසා ආර්ථික සංවර්ධනය අතින් ඉදිරියෙන් සිටින, මිනිස් ශ්‍රමයේ කාර්යක්ෂමතාවය ඉතා ඉහළ මට්ටමක තිබෙන රටකට එම කාර්යක්ෂමතාවය තව දුරටත් ඉහළ දමා ගැනීමට නොහැකි වන අවස්ථාවකදී පවා ලංකාව වැනි රටකට එසේ එය පහසුවෙන් කළ හැකියි. ඉදිරි පෙළේ ආර්ථිකයක් ඇති රටක් රෝදය සොයා ගත් විට ලෝකයේ අනෙක් හැම රටක්ම නැවත රෝදය හොයා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රෝදය හයි කරගෙන ගමන යන එක පමණයි කරන්න තියෙන්නේ. ඒක පුද්ගල ආදායම අඩු රටවලට වැඩි වේගයකින් වර්ධනය විය හැක්කේ මේ නිසා.

මා හිතන විදිහට මීට පෙර ලංකාව ආර්ථික අවපාතයකට මුහුණ දී තිබෙන්නේ 2001 වසරේදී පමණයි. මේ දෙවෙනි අවස්ථාව.

නිදහසින් පසු මුල් වරට හා 2020 දක්වා අවසන් වරට ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුනේ 2001 වසරේදී. එම වසරේදී ලංකාවේ ආර්ථිකය 1.5%කින් සංකෝචනය වුනා. මීට ප්‍රධාන වශයෙන් හේතු වුනේ එම වසරේ දෙවන භාගයේදී සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා දෙකක්. 

එල්ටීටීඊ සංවිධානය විසින් 2001 ජූලි 24 දා කටුනායක ගුවන් තොටුපොළට හා ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ලංකාව තාවකාලිකව සංවෘත රටක් බවට පත් වුනා කියා කිව හැකියි. ඒ තත්ත්වය වැඩි කාලයක් නොපැවතියත් ඒ සිද්ධියෙන් පසුව ලංකාව මත පනවනු ලැබූ රක්ෂණ අධිභාර ආදිය නිසා ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වුනා.

කටුනායක ප්‍රහාරය මෑතකදී සිදු වූ පාස්කු ප්‍රහාරයට සංසන්දනය කළ හැකි එකක් නෙමෙයි. එහි හානිය හැම අතින්ම ඊට වඩා බොහෝ වැඩි එකක්. එහෙත්, කටුනායක ප්‍රහාරයෙන් පසුවද ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් හිස එසවූවා. 2001 සැප්තැම්බර් 11 දින අල්-කයිඩා සංවිධානය විසින් ඇමරිකාවේ නිවුයෝර්ක්හි ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළේ කටුනායක ප්‍රහාරයෙන් පසුව ලංකාවේ ආර්ථිකය හිස ඔසොවමින් සිටින විටයි. කටුනායක ප්‍රහාරයෙන් තරම් නොවුනත් මෙයින්ද ලංකාවට යම් බලපෑමක් වුනා.

ලංකාවේ ආර්ථිකය 2001 වසර තුළදී සංකෝචනය වීමට ප්‍රධාන හේතුව ඉහත කී ත්‍රස්තවාදී ප්‍රහාර වුවත් එම ප්‍රහාර නිසා පහර වැදුනේ ඒ වන විට කොහොමටත් දුර්වල වී තිබුණු ආර්ථිකයකටයි. 2000 වසරේ සිට ලංකාව මුහුණ දෙමින් සිටි දරුණු නියඟය නිසා කෘෂිකාර්මික අංශය දුර්වල වෙමින් තියෙද්දී දිගින් දිගටම සිදුකළ විදුලි කප්පාදුව නිසා අනෙකුත් අංශද දුර්වල වෙමින් තිබුණා. ඒ වගේම, 2000 මැද භාගයේ සිට ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල ආර්ථික වර්ධන වේගයද සීඝ්‍ර ලෙස අඩු වී ලංකාවේ අපනයන ආදායම් වලට බලපෑම් කරමින් තිබුණා.

මුල් ඇස්තමේන්තු අනුව 2001 දෙවන කාර්තුවේ ලංකාවේ ආර්ථිකය වර්ධනයක් පෙන්වා තිබුණත් 2002දී ප්‍රකාශිත සංශෝධිත ඇස්තමේන්තු අනුව 2001 දෙවන කාර්තුවේදීද ලංකාවේ ආර්ථිකය සුළු වශයෙන් (0.06%කින්) සංකෝචනය වී තිබුණා. කටුනායක ප්‍රහාරය එසේ පැවති හිඟන්නාගේ පාත්තරයට වැටුණු හෙනහුරෙක් වුනා. 2001 තෙවන කාර්තුවේදී ලංකාවේ ආර්ථිකය 3.89%කින්ද, සිවුවන කාර්තුවේදී 3.61%කින්ද හැකිලුනා. වසර තුළ ආර්ථික සංකෝචනය 1.5%කට සීමා වුනේ පළමු කාර්තුව සාපේක්ෂව හොඳ එකක් වීම නිසයි.

කාර්තු දෙකකින් හෝ තුනකින් පසුව ලංකාව 2001 ආර්ථික අවපාතයෙන් ගොඩ ගියා. 2002 වසරේදී ලංකාවේ ආර්ථිකය 4.0%කින් වර්ධනය වී පෙර වසරේ වූ හානිය ආවරණය කර ගත්තා. ඒ කටුනායක ප්‍රහාරයේ දැවැන්ත ආර්ථික බලපෑමට වගේම ඉතා අහිතකර ජාත්‍යන්තර තත්ත්වයන්ටද මුහුණ දෙමිනුයි. නැවත ලංකාව ආර්ථිකය අවපාතයක් කරා ගමන් කර තිබෙන්නේ එයින් වසර විස්සකට පසුවයි.

මෙවර ආර්ථිකය සංකෝචනය වීමට ප්‍රධාන හේතුව කොරෝනා වසංගතය හා එය මර්ධනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග බවට සැකයක් නැහැ. එහෙත්, කොරෝනා වැළඳුනු ලංකාවේ ආර්ථිකය සනීපෙන් හිටි එකක් නෙමෙයි. කොරෝනා ආවේ නැතත් මේ අවුරුද්දේ ලංකාවේ ආර්ථිකයට උඩින් කණ කොක්කු පියාඹන්න ඉඩ තිබුණා. කොරෝනා නිසා වුනේ ආර්ථිකයේ හෙළුව වහගන්න ආවරණයක් ලැබුණු එකයි.

කොරෝනා බලපෑම ලංකාවේ ආර්ථිකයට දැනෙන්න ගත්තේ මාර්තු මැද සිටයි. ජාතික ගිණුම් ඇස්තමේන්තු ඉදිරිපත්ව තිබෙන්නේ මාර්තු 31න් අවසන් වන කාර්තුව සඳහායි. එම කාර්තුවේ අවසන් දෙසතිය දක්වා ලංකාවට කොරෝනා වල බලපෑමක් තිබුණේ නැහැ. ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත්තේ අවසන් දෙසතියේ රටේ ආර්ථික කටයුතු ඇණ හිටීම නිසා වෙන්න පුළුවන්. එහෙත්, එසේ නොවුනානම් ආර්ථිකය ලොකු වර්ධනයක් පෙන්විය හැකිව තිබුණා කියා කවුරු හෝ කියනවානම් එය විශාල බොරුවක්. 

ඇමරිකාවට කොරෝනා බලපෑම දැනෙන්න පටන් ගත්තේත් මාර්තු මැද සිටයි. එහෙත්, 2020 පළමු කාර්තුවේදී ඇමරිකාවේ ආර්ථිකය සංකෝචනය වුනේ නැහැ. ආර්ථික වර්ධන වේගය සැලකිය යුතු ලෙස අඩු වුනත් පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව ඇමරිකාවේ ආර්ථිකය 0.6%කින් ප්‍රසාරණය වුනා. කෝවිඩ් බලපෑම ඇමරිකාවේ ආර්ථිකයට දරුණුවට දැනුනේ දෙවන කාර්තුවේදීයි. පසුගිය වසරට සාපේක්ෂව දෙවන කාර්තුවේදී ඇමරිකාවේ ආර්ථිකය 9.5%කින් සංකෝචනය වුනා. මෙය ඇමරිකානු ඉතිහාසය තුළ වාර්තා වී ඇති නරකම තත්ත්වයක්. ඇමරිකාව ගැන සඳහන් කළේ ඉදිරියට ලැබෙන්නට නියමිත 2020 දෙවන කාර්තුව සඳහා වන ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු ගැන අදහසක් ගන්නයි.

දෙවන කාර්තුව වගේම තෙවන කාර්තුවත් කෝවිඩ් බලපෑමෙන් නොතොර බව ඉතා පැහැදිලියි. සිවුවන කාර්තුවේදී මේ තත්ත්වය යථා තත්ත්වයට පත් වෙයි කියා හිතන්න අමාරුයි. ඒ අනුව, මේ අවුරුද්දේ ලංකාවේ නූතන ඉතිහාසය තුළ වාර්තා වී ඇති විශාලම ආර්ථික අවපාතයට රටට මුහුණ දෙන්න සිදු වන බව පැහැදිලියි.

වත්මන් ආණ්ඩුව විසින් මෙතෙක් ලංකාවේ කෝවිඩ් වසංගතය මනා සේ පාලනය කර තිබෙනවා. ඒ සඳහා ගෝඨාභයගේ නායකත්වය උපකාරී වුනා කියන එක බැහැර කළ හැකි කරුණක් නෙමෙයි. ඒ වෙනුවෙන්, ජනතාව මහ මැතිවරණයේදී කෘතගුණ සලකා ඇති බවත් පෙනෙනවා.

ලෝකයේ වගේම දකුණු ආසියානු කලාපයේ දැනට පවතින තත්ත්වය අනුව ලංකාවේ කෝවිඩ් පාලනය දිගටම පවත්වා ගැනීමට සැලකිය යුතු මිලක් ගෙවන්න වෙනවා. එයින් ආර්ථිකයට තුවාල සිදු වෙනවා. කෙසේ වුවත් මේ හානි තාවකාලිකයි. කෝවිඩ් වැනි හේතුවක් නිසා සංකෝචනය වන ආර්ථිකය කෝවිඩ් වලින් පසුව නැවත ප්‍රසාරණය වෙයි. ඒ නිසා, කෝවිඩ් වල ආර්ථික බලපෑම තාවකාලික එකක්. එසේ වුවත්, තාවකාලික හෝ හානි හානිම තමයි. 

කකුලක තුවාලයක් හැදුනාම තාවකාලිකව සුපුරුදු විනෝදය නැති වෙනවා වුනත් තුවාලය සනීප වුනාට පසුව නැවත පරණ පුරුදු ජීවිතයටම යන්න බාධාවක් නැහැ. ඒ නිසා, දිගුකාලීනව බලනවානම් වඩා වැදගත් වන්නේ දිගුකාලීනව සාමාන්‍ය ජීවිතය වඩා යහපත් කර ගැනීම මිසක් මේ වෙලාවේ කකුලේ තිබෙන තුවාලය සනීප කර ගැනීමට මුළු බර යොදවන එක නෙමෙයි. එහෙම කියලා මේ මොහොතේ තුවාලයේ වේදනාව විඳින්න කවුරුවත් කැමති වෙන්නේත් නැහැ.

මේ වෙලාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී තුවාල වල වේදනාව අඩු කරන පිළියම් ගැන හිතන්න වෙනවා. එහෙත්, ඒ අතරම දිගුකාලීනව වද දෙන වේදනා කැක්කුම් නිට්ටාවටම සනීප කර ගන්න එක ගැනත් හිතන්න වෙනවා. තුවාල වී ඇඳට වී ඉන්න වෙලාව එවැනි දිගුකාලීන උපාය මාර්ග ගැන හිතන්න හොඳ අවස්ථාවක්.

පසුගිය වසර හතර තුළ ලංකාවේ ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් පහළ ගිය බව කවුරුත් දන්නා කරුණක්. 2019දී ආර්ථිකය වර්ධනය වුනේ 2.3%කින් පමණයි. 2015-2019 වසර පහ තුළ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය වසරින් වසර පහළ ගියා. මේ ආණ්ඩුවට සම්බන්ධ බොහෝ දෙනෙක් එය දකින්නේ යහපාලන ආණ්ඩුවේ වැරැද්දක් ලෙසයි.

පසුගිය කාලයේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩුවෙන්න යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හේතු වුනා කියන එක බොරුවක් නෙමෙයි. එහෙත්, එය වැරැද්දක්ද නැද්ද කියන එක විෂයමූලික කරුණක්. යහපාලන ආණ්ඩුව මුල සිටම ඉහළ වර්ධන වේගයක් ඉලක්ක කළේම නැහැ. ඒ වෙනුවට ඔවුන් ඉලක්ක කළේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයයි. එවැනි ආර්ථික ප්‍රතිපත්තීන් අවශ්‍ය වුනේ මහින්ද රාජපක්ෂගේ ධුර කාලය තුළ ලංකාවේ ආර්ථිකය එහි විභවය ඉක්මවා ප්‍රසාරණය කරන්නට යාමෙන් අස්ථාවර තත්වයකට පත්ව තිබීම නිසයි.

පසුගිය වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 84ක්. මාල දිවයිනේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 5.7ක්. කිසියම් ආකාරයකින් මාල දිවයින ලංකාවේ කොටසක් වුවහොත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය එක වරම 6.8%කින් ඉහළ යනවා. ඊට අමතරව ලංකාවේ ආර්ථිකය කොහොමටත් වර්ධනය වන ප්‍රමාණයක්ද තිබෙනවා. 

යම් හෙයකින් මාල දිවයින එක වරම ලංකාවේ කොටසක් නොවී වසර හතරක කාලයක් තිස්සේ එහි දූපත් ලංකාවේ කොටස් බවට පත් වුනොත් වසරකට 1.7%ක වර්ධන වේගයක් ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයට එකතු වෙනවා. සාමාන්‍ය වර්ධන වේගය 5%නම් එම වසර හතර ඇතුළත ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6.7%ක් බවට පත් වෙනවා. නමුත්, එම වසර හතරෙන් පසුව ආර්ථික වර්ධන වේගය නැවත 5% මට්ටමටම යනවා.

උතුරේ සිවිල් යුද්ධය අවසන් වෙද්දී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉහළ යන බව පෙනුනේත් මේ සංසිද්ධිය නිසා. නමට ලංකාවම වුනත් සිවිල් යුද්ධය පැවතුනු කාලයේ ලංකාව සහ එයින් පසු ලංකාව රටවල් දෙකක්. ආර්ථිකයේ සීමා පුළුල් වෙද්දී ආර්ථිකය එක වර වර්ධනය වීම කාර්යක්ෂමතාවය ඉහළ යාමෙන් සිදු වූ සාමාන්‍ය වර්ධනයක් නෙමෙයි. 

අපි හිතමු ලංකාවේ කොටසක් වෙන්න කලින් මාල දිවයිනේ සාමාන්‍ය ආර්ථික වර්ධනය තිබුණේ 2% මට්ටමේ කියලා. ලංකාවේ එම මට්ටම 5%යි. දැන් මාල දිවයින ලංකාවේ කොටසක් වුනාට පස්සේ සාමාන්‍ය වර්ධනය වෙන්නේ 5%ද නැත්නම් 2%ද? මෙය බොහෝ විට 5%ට තරමක් අඩු ආර්ථික වර්ධනයක්. මොකද අලුතෙන් එකතු වූ කොටස මුල් කොටස තරම්ම වේගයෙන් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා එකවර සිදු වූ වාසිය දිගුකාලීන අවාසියකින් කෙළවර වෙන්න පුළුවන්. නැගෙනහිර ජර්මනිය බටහිර ජර්මනිය හා එක්වීමෙන් පසුව සිදු වුනේත් මෙවැන්නක්.

ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වෙන්න ආසන්න කාලයේදී ලංකාවේ ආර්ථික වර්ධනය අනපේක්ෂිත ලෙස ඉහළ ගියා. ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් එය කියවා ගත්තේ යුද්ධය අවසන් වීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ විභව වර්ධන වේගය ඉහළ යාමක් විදිහටයි. එහෙත් ඇත්තටම සිදුව තිබුණේ මා ඉහත විස්තර කළ සංසිද්ධිය මිසක් රටේ විභව ආර්ථික වර්ධන වේගය ඉහළ යාමක් නෙමෙයි.

මේ ආකාරයේ ප්‍රතිපත්ති අත්වැරදී ඉතාම සාමාන්‍යයි. වසර 26ක සිවිල් යුද්ධයක් අවසන් වීමෙන් පසුව ඇති වන තත්ත්වයන් එක වර පහසුවෙන් තේරුම් ගන්න අමාරුයි. ඒ වෙලාවේ ලංකාවේ විභව වර්ධන වේගයේ ඉහළ යාමක් සිදු විය හැකිව තිබුණා. ඒ නිසා, මෙය ඒ අවස්ථාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් අතින් සිදු වූ අත් වැරැද්දක් මිස ඔවුන් විසින් කළ වැරැද්දක් නෙමෙයි.

සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව සැලකිය යුතු ලෙස ඉහළ ගිය ආර්ථික වර්ධන වේගය නිසා රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු ආණ්ඩුවේ ඇස් නිලංකාර වුනා. ගිණිකන වැටුණා. ඔවුන් එම වර්ධන වේගය තවත් වැඩි කර ගැනීමට ඉලක්ක කළා. එය හොඳ චේතනාවෙන් කළ දෙයක්. 2010 පමණ වෙද්දී යුද්ධය අවසන් වීමේ බෝනස් එක ඉවර වුනා. ඉන් පසුව, අර බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගැනීම අමාරු බව පෙනෙද්දී රජය මැදිහත් වී අවශ්‍ය පමණ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට ආණ්ඩුව උත්සාහ කළා. ඒ සඳහා අනාගතය අස්ථාවර කරමින් ණය ගන්න සිදු වුනා. 

මෙසේ දෙවන අදියරේදී ආර්ථිකය ප්‍රසාරණය වුනේ එහි විභව මට්ටම ඉක්මවමින්. රටේ ආර්ථිකය ප්‍රසාරණය වූ තරමට එහි විභවය ප්‍රසාරණය වී තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් කෘතීම හා අස්ථාවර තත්තත්වයක්.

මහින්ද රාජපක්ෂගේ කාලයේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පෙර කාල වලට වඩා ඉහළ මට්ටමක තිබුණේ සිවිල් යුද්ධය අවසන් වීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙසයි. සිවිල් යුද්ධය අවසන් වුනේ එම ආණ්ඩුවේ දේශපාලන නායකත්වය යටතේ නිසා ඒ හේතුවෙන් ඉහළ ගිය ආර්ථික වර්ධනය වෙනුවෙන්ද ඔවුන්ට ගෞරවය හිමි විය යුතුයි. නමුත්, මෙහිදී එම ආණ්ඩුව විසින් යුද්ධය අවසන් කිරීම හා ඒ අතරම ආර්ථිකය ගොඩ දැමීම ලෙස කටයුතු දෙකක් කළේ නැහැ. ඒ නිසා, රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් වෙනම අමතර නම්බු දෙන්න අවශ්‍ය නැහැ. රටක විභව වර්ධන වේගය ඉහළ යාම හොඳ දෙයක් වුවත් රාජ්‍ය මැදිහත් වීම මත විභව මට්ටම ඉක්මවා ආර්ථිකය ප්‍රසාරණය වීම සැලකෙන්නේ නරක දෙයක් ලෙසයි. එවැන්නක් මගින් පිළිබිඹු වෙන්නේ දුර්වල ආර්ථික කළමනාකරණයක්.

යහපාලන ආණ්ඩුව විසින් කළේ ඕනෑවට වඩා පිම්බී පුපුරා යාමට නියමිතව තිබූ ආර්ථිකයට තුවාල කර හෙමින් එහි හුලං බැස්සවීමයි. එය ජනප්‍රිය නොවන දේශපාලනික සිය දිවි නසාගැනීමක් වැනි වැඩක් වුවත් ඔවුන් එය කළා. පසුගිය කාලයේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩාල වීම යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වල වැරැද්දක් කියා කිව නොහැක්කේ ඒ නිසයි. මේ කරුණ පිළිබඳව මේ ආණ්ඩුව එකඟ නොවනවානම් එයින් අදහස් වෙන්නේ පසුගිය ආණ්ඩුව ලංකාවේ විභව ආර්ථික වර්ධන වේගය පවත්වා ගැනීමට අසමත් වුනා කියන එකයි. එය එසේනම් දැන් මේ රජය කිසිවක් නොකළත් රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය විය යුතුයි.

කෙසේ වුවත්, යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති පරිපූර්ණ නැහැ. ඔවුන් කෙටිකාලීනව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා කළ යුතු දේ කළත් ආර්ථිකයේ නිදන්ගත රෝග සඳහා පිළියම් යෙදුවේ නැහැ. ඒ රෝග තවමත් එසේම තිබෙනවා. මේ වසරේ පළමු කාර්තුවේදී රටේ ආර්ථික වර්ධන වේගය සෘණ අගයක් වීමට කෝවිඩ් වලට අමතරව එම නිදන්ගත රෝගද හේතු වී තිබෙනවා.

පසුගිය වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය නිසා ආර්ථිකයට බලපෑමක් සිදු වුනා. එම ප්‍රහාරය වලක්වා නොගැනීම පසුගිය ආණ්ඩුවේ වැරැද්දක්ද කියා මා හරියටම දන්නේ නැහැ. මට ආරක්ෂක කටයුතු හා අදාළ විශේෂඥ දැනුමක් නැහැ. එය එසේනම්  වක්‍ර ලෙස පාස්කු ප්‍රහාරයේ ආර්ථික බලපෑමේ වගකීමද පසුගිය ආණ්ඩුව මත පැටවෙනවා. එහෙත්, එම බලපෑම මේ වසරේ පළමු කාර්තුව දක්වාම තිබෙනවා කියන එක පදනමක් නැති කතාවක්. 

එක පැත්තකින් පාස්කු ප්‍රහාරයේ ආර්ථික බලපෑම 2001 කටුනායක ප්‍රහාරයට සාපේක්ෂව ඉතා අඩු මට්ටමක එකක්. කටුනායක ප්‍රහාරයෙන් පසුවත් ආර්ථිකය ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත් වුනා. පාස්කු ප්‍රහාරයේ ආර්ථික බලපෑම තිබුණේ 2019 දෙවන කාර්තුවේදී. තෙවන හා සිවුවන කාර්තු වෙද්දී එම බලපෑම සමනය වී තිබුණා. පාස්කු ප්‍රහාරයේ බලපෑමක් නැවත 2001 පළමු කාර්තුවේදී පෙනෙන්න හේතුවක් නැහැ.

වැටී සිටින තැනින් නැගිටිනු පිණිස සැලසුම් හැදීමේදී ආණ්ඩුව විසින් මුල් තැන දිය යුත්තේ කෝවිඩ් නිසා ඇති වූ තුවාල ඉක්මණින් සනීප කර ගැනීමට වඩා කාලයක් තිස්සේ තිබෙන නිදන්ගත රෝග සුව කර ගැනීමටයි. කෝවිඩ් තුවාල කොහොමටත් සනීප වෙයි. නමුත්, අර නිදන්ගත රෝග එසේ සුව වෙන්නේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහ බැංකුවට ගොස් හැසිරුණු ආකාරය මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. එවැනි හැසිරීම් රටේ බොහෝ දෙනෙක් අනුමත කිරීමෙන් නොනැවතී අගය කරනවා වෙන්න පුළුවන්. එය වෙනම කරුණක්. එම හැසිරීම මා අනුමත නොකළත් ආණ්ඩුවේ අදාළ යෝජනාව සාධනීය එකක්. මේ වෙලාවේ කළ යුතු හොඳම දෙය තෝරාගත් ක්ෂේත්‍ර වල සුළු හා මධ්‍යම පරිමාණ ආයෝජකයින් දිරිමත් කිරීමයි. මම හිතන්නේ එන්ටප්‍රයිස් ලංකා හරහා පසුගිය ආණ්ඩුව උත්සාහ කළේත් එවැන්නක්. වැඩේ කෙරෙනවානම් නම එන්ටප්‍රයිස්ද සෞභාග්‍යාද කියන එක වැදගත් නැහැ. 

එසේ නැතුව, පසුගිය රාජපක්ෂ දශකයේ ක්‍රමයට මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම වෙනුවෙන් ආයෝජනය කරලා ආර්ථිකය ක්ෂණිකව පුම්බන්න ගියොත්නම් ලෝක විනාශය සිදු වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. දැන් නොපෙනුණත්, කෝවිඩ් ප්‍රශ්නය ඉවර වෙද්දී ෆේස් මාස්ක් වලින් වැහිල තිබෙන ආර්ථිකයේ හෙළුව පෙනෙන්න ගනියි.

ඉකොනොමැට්ටා