පාර ක්ලියර් !

පාර ක්ලියර් !

8 August 2020 11:35 am

ලංකාවේ මහ මැතිවරණයට කිසිසේත්ම සම්බන්ධයක් නැති වෘත්තීය කටයුතු කිහිපයක් නිසා බ්ලොග් එක පැත්තේ එන්න වෙලාව හොයා ගන්න අසීරු වුනත් හැමදාම කරන පරිදි මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ යම් විශ්ලේෂණයක් නොකරත් බැහැනේ. මා හැම විටම කියන පරිදි මිනිස්සු වෙනස් වනවිට ආණ්ඩු වෙනස් වෙනවා. ආණ්ඩුවලට වියුක්ත පැවැත්මක් නැහැ.

පෙර ලිපියක ලියූ පරිදි 1956, 1970, 1977, 1994, 2010, 2015, 2018, 2019 ආදී සෑම අවස්ථාවකම මහජන මතය ප්‍රබල ලෙස මතු වුනා. දැන් 2020 දී නැවතත් ඒ දෙයම සිදු වී තිබෙනවා. මා හිතන්නේ මේ ප්‍රතිඵලය මැතිවරණයට පෙර කිසිවෙකුටත් මෙලෙසම පුරෝකථනය කළ නොහැකි වූ බවයි.

මේ මැතිවරණයෙන් ආණ්ඩුව ජයගනු ඇති බව කිසිදු සැකයක් තිබුණු කරුණක් නෙමෙයි. මගේ ඇස්තමේන්තුව වුනේ ආණ්ඩුව 125-130 අතර මන්ත්‍රී ධුර ප්‍රමාණක් ලබා ගනු ඇති බවයි. එමෙන්ම මගේ විශ්වාසය වූයේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය යම් තරමකින් හෝ අඩු වී ඇති බවයි. ඒ නිසා, පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ යම් පිරිසකට කෝවිඩ් අවදානම හමුවේ ඡන්දය දීමට තරම් ගැම්මක් මේ වනවිට නැති විය හැකි බවයි. 

එජාපය දෙකට බෙදීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කළ විශාල පිරිසක් මෙවර ඡන්දය භාවිතා නොකරනු ඇති බවත්, එජාපය ඉතා දරුණු පරාජයක් ලබනු ඇති බවත් මා පුරෝකථනය කළත් එජාපය නැත්තටම නැති වී යාම මා කිසිසේත්ම පුරෝකථනය කළ දෙයක් නෙමෙයි. මගේ අවම තක්සේරුව වූයේ එජාපයට අඩු වශයෙන් කොළඹින් හා ගම්පහින් මන්ත්‍රී ධුර දෙකක් බැගින්, කුරුණෑගලින් හා කළුතරින් මන්ත්‍රී ධුරය බැගින් හා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර දෙකක් ලෙස මන්ත්‍රී ධුර 8ක් වත් ලැබෙයි කියා. උපරිම ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර 15 ක පමණ ප්‍රමාණයක්.

ජවිපෙ සම්බන්ධව මගේ අවම ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර හතරක්. ඒ දැනට ලබා ගෙන ඇති මන්ත්‍රී ධුර තුන සහ මාතරින් තවත් මන්ත්‍රී ධුරයක් ලෙසයි. උපරිම ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර 7 ක පමණ ප්‍රමාණයක්. අපේ ජනබල පක්ෂය විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි කර ගැනීමට තිබුණු ඉඩකඩද මා විසින් පුරෝකථනය කළා. ශ්‍රීලනිපය වෙනම තරඟ කළ දිස්ත්‍රික්කවලදී මන්ත්‍රී ධුර කිසිවක් හිමි කර ගනු ඇතැයි මා පුරෝකථනය කළේ නැහැ. 

සමගි ජන බලවේගය පිළිබඳ මගේ ඇස්තමේන්තුව වුනේ මන්ත්‍රී ධුර 50-60 අතර ප්‍රමාණයක්. එය එතරම් වැරදි නැහැ. එහෙත්. මා ඇස්තමේන්තු කළේ සජබ හා එජාප මන්ත්‍රී ධුර එකතුව 65-75 ආසන්න ප්‍රමාණයක් වනු ඇති බවයි. සමස්තයක් ලෙස ඡන්ද භාවිතය මා ඇස්තමේන්තු කළාට වඩා වැඩියි. මගේ ඇස්තමේන්තුව වූයේ 65% ක පමණ ප්‍රතිශතයක්. 

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක විසින් ලැබූ ඡන්ද ප්‍රමාණය අනුව එම පක්ෂයට ලැබිය හැකිව තිබුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි. එහෙත්, ඔවුන් එම ඡන්ද ප්‍රමාණයම ලබද්දී ප්‍රධාන පක්ෂවල ඡන්ද භාවිතය අඩු වූවා නම් ජවිපෙ ප්‍රතිශතය ඉහළ ගොස් ඔවුන්ට වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් හිමි වෙනවා. මෙය යම් තරමකට සිදු වුනත් මා ඇස්තමේන්තු කළ තරමටම සිදු වුනේ නැහැ. පොදුජන පෙරමුණේ ඡන්ද යම් ප්‍රමාණයකින් අඩු විය හැකි වුවත්, එජාප කඳවුරේ ඡන්ද භාවිතය ඊට වඩා වැඩියෙන් පහළ යන නිසා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශත ඉහළ යනු ඇතැයි මා නිවැරදිව පුරෝකථනය කළත්, පොදුජන පෙරමුණේ ඡන්ද ඉහළ යනු ඇතැයි මා සිතුවේ නැහැ.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය 69,24,255 ක්. මෙවර ශ්‍රීලනිපය වෙනම තරඟ කර ලබාගත් ඡන්දද ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් ලබා ඇති ඡන්ද ප්‍රමාණය 69,20,272ක්. මේ ගණන් ඉතාම ආසන්නයි. කරුණා අම්මාන්ගේ, පිල්ලෙයාන්ගේ, ඩග්ලස් දේවානන්දාගේ හා අතාවුල්ලාගේ පක්ෂ පසුගිය ජනාධිපතිවරණයේදී සහාය දුන්නේත් ගෝඨාභය රාජපක්ෂටයි. ඒ නිසා, ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට එම පක්ෂවල ඡන්දත් යම් ප්‍රමාණයක් ඇතුළත්. මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් ලබා ඇති ඡන්දවලට ඉහත පක්ෂවල ඡන්දද එකතු කළ විට එකතුව 71,18,731 ක්. මේ අනුව, කෝවිඩ් තර්ජනය මධ්‍යයේ වුවත් ගෝඨාභය කඳවුර විසින් 1,94,476 ක ඡන්ද ප්‍රමාණයක් අලුතින් එකතු කර ගැනීමට සමත් වී තිබෙනවා. 

කෙසේ වුවත්, ගෝඨාභය කඳවුර විසින් සමස්තයක් ලෙස ලක්ෂ දෙකක පමණ ඡන්ද ප්‍රමාණයක් වැඩි කර ගෙන තිබීමෙන් එම කඳවුරේ ඡන්ද ගිලිහී නොමැති බවක් අදහස් වෙන්නේ නැහැ. ගෝඨාභය කඳවුරේ මූල කඳවුරු පිහිටි දකුණේ සිංහල බෞද්ධ නාගරික දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ. කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවලදී ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ ඡන්දවලින් ලක්ෂ දෙකක් පමණ, හරියටමනම් 1,96,287 ක් අඩු වී තිබෙනවා. එයින් 1,82,404 ක්ම අඩු වී තිබෙන්නේ බස්නාහිර හා දකුණු පළාත්වල නාගරික දිස්ත්‍රික්ක පහේදී.

මේ අඩුව ආවරණය වී තිබෙන්නේ දෙමළ ජනයා වැඩිපුර වෙසෙන උතුරු නැගෙනහිර පළාත්වලින් හා නුවරඑළිය බදුල්ල දිස්ත්‍රික්කවලින් අමතර ඡන්ද 3,28,986 ක් එකතු කර ගැනීමට එම කඳවුර සමත්ව තිබීම නිසයි. කඳුරට දෙමළ ජනතාව යම් ප්‍රමාණයක් වාසය කරන ඉතිරි දිස්ත්‍රික්කවලදී හා පොළොන්නරුවේදී ගෝඨාභය කඳවුර විසින් තවත් ඡන්ද 61,777 ක් එකතු කරගෙන තිබෙනවා. ලක්ෂ හතරකට ආසන්න මේ ඡන්දවලින් 1,98,459 ක් කරුණා අම්මාන්ගේ, පිල්ලෙයාන්ගේ, ඩග්ලස් දේවානන්දාගේ හා අතාවුල්ලාගේ පක්ෂ හරහා ලබා ගෙන ඇති ඡන්ද වුවත් ඉතිරි ලක්ෂ දෙකක පමණ ඡන්ද ප්‍රමාණය ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය විසින් සෘජුවම ලබාගත් ඡන්දයි.

මේ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ඡන්ද අඩු වී නැහැ. ඇතැම් අය ජවිපෙ ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියත් ජවිපෙ සතු ඡන්ද ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්. එම ප්‍රමාණය ඔවුන්ට ලැබී තිබෙනවා. මාතර හා කොළඹ හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවලදී ජාතික ජන බලවේගය විසින් මෙවර ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 3,41,222 ක් පමණයි. එම දිස්ත්‍රික්කවලින් පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක විසින් ඡන්ද 3,41,311 ක් ලබා ගත්තා. මේ ඡන්ද ප්‍රමාණ ඉතාම ආසන්නයි. ජාතික ජන බලවේගයේ ඡන්දවල සැලකිය යුතු වැඩි වීමක් සිදු වී තිබෙන්නේ කොළඹ හා මාතර දිස්ත්‍රික්කවලදී පමණයි. කොළඹදී වැඩිවීම 13,797 ක් වන අතර මාතරදී වැඩිවීම 13,697 ක්.

මෙවර මැතිවරණයේදී සුනිල් හඳුන්නෙත්ති පරාජය වීම ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙකු ලෙස පොදුජන පෙරමුණේ හා එජාප දේශපාලනඥයින් විසින් පවා හැඳින්වීම එයට හේතුවයි. සුනිල් හඳුන්නෙත්තිගේ ජයග්‍රහණය තකා බොහෝ දෙනෙකු බර දමන බව පෙනෙන්නට තිබුණා. 

මාතරින් ජාජබට මන්ත්‍රී ධුරයක් හිමි නොවුණත් මේ බර තැබීම්වලින් වැඩක් වී නැති බව කියන්න බැහැ. ජාජබ විසින් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන්නේ මාතර දිස්ත්‍රික්කයෙන්. එමෙන්ම ප්‍රතිශතයක් ලෙස වැඩිපුරම ජාජබ ඡන්ද ඉහළ ගොස් තිබෙන්නේත් මාතරදී. එය 58.4% ක විශාල වැඩි වීමක්. එසේ තිබියදීත් මාතරින් ජාජබට මන්ත්‍රී ධුරයක් අහිමි වීමෙන් පිළිබිඹු වන්නේ උපක්‍රමයක් ලෙස කොටයෙන් ගොඩයන්න බලා සිටීමේ අවදානමයි. කොටය බොහෝ විට ජවිපෙ වාසියට හිටියත් හැමදාම නත්තල් නැහැ. 

මාතරදී සුනිල් හඳුන්නෙත්ති සාධකය මෙන් කොළඹදී අනුර කුමාර සාධකය බලපෑවා වෙන්න පුළුවන්. එසේ නැත්නම් ලැයිස්තුවේ සිටි විමල් කැටපේආරච්චි වැනි අලුත් මුහුණුවලට යම් ඡන්ද ප්‍රමාණයක් ආකර්ෂණය වුනා වෙන්න පුළුවන්. මාතර වැඩි වීමට ආසන්නව සමාන මේ වැඩි වීම නොවන්නට ජාජබ කොළඹ මන්ත්‍රී ධුරයත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ජවිපෙ පදනම් ඡන්ද හැරුණු විට ජාජබ විසින් සුළු හා පාවෙන ඡන්ද යම් ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් ඒ කොළඹදී හා මාතරදී පමණයි.

සජිත් ප්‍රේමදාස විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 55,64,239 ක් ලබා ගත්තා. මෙවර සජබ හා එජාප ඡන්දවල එකතුව 30,21,419 ක් පමණයි. මෙයට ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දුන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂවල ඡන්දද එකතු කළ විට එකතුව 35,96,422 ක්. ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට ලැබුණු ඡන්දවලින් ලක්ෂ 20 කට පමණ ආසන්න ප්‍රමාණයක් මෙවර භාවිතා වී නැහැ. මෙවර ප්‍රතිඵලය වෙනස් කිරීමට හේතු වුනානම් ඒ මෙසේ භාවිතා නොවුණු ඡන්දයි. මේ අඩු වීම සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ඡන්දවලට සාපේක්ෂව උතුරු නැගෙනහිරදී 20-30% අතරත් දකුණේදී 40% පමණත් බව පෙනෙනවා. උතුරු නැගෙනහිර පළාත් හා නුවරඑළිය දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්කවලදී සජිත් ප්‍රේමදාස විසින් ලබාගත් ඡන්දවලින් මෙවර සජබට ලැබී තිබෙන්නේ 54.6% ක් පමණයි. එජාපය විසින් තවත් 5.1% ක් ලබා ගනිද්දී ඉතිරි 40.3% වාෂ්ප වී ගොස් තිබෙනවා. එම ඡන්ද ගෝඨාභය කඳවුරට හෝ ජාජබටද ලබාගත හැකි වී නැහැ. මේ ඡන්ද මොනවාද ?

රනිල් වික්‍රමසිංහ ප්‍රධාන එජාපය තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වීම මා මතුපිටින් කියවන්නේ නැහැ. මතුපිටින් බැලුවොත් රනිල්ව ප්‍රතික්ෂේප වී සජිත් මතු වී තිබෙනවා. එජාපය ප්‍රතික්ෂේප වී සමගි ජන බලවේගය මතු වී තිබෙනවා. එය යම් ආකාරයකින් ශ්‍රීලනිපය ප්‍රතික්ෂේප වී පොදුජන පෙරමුණ මතු වීමට සමානයි. එහෙත්, මේ මතුපිටින් පෙනෙන කාරණයෙන් මා බැරෑරුම් ලෙස ගන්නේ රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප වීම කියන කාරණය පමණයි.

එජාපය දෙකඩ වීමෙන් පසුව එජාපයේ ජනප්‍රිය චරිත වැඩි ප්‍රමාණයක් හිටියේ සමගි ජන බලවේගය සමඟයි. එහෙත්, මේ වැඩි දෙනෙක්ට සජිත්ව අවශ්‍ය වුනේ එජාපය ජයග්‍රහණය කරා මෙහෙයවීම සඳහා පහුරක් සේ යොදාගැනීමට පමණයි. එය රනිල්ට කළ නොහැකි බව කාලය විසින් තහවුරු කරද්දී එජාපය අත නොහැර ඉතිරිව සිටි අයට වූ විකල්පය වූයේ අලුත් මූණක් දමා බැලීමයි. එසේ නැතිව රනිල්ව එළවා ගැනීමට වූ උවමනාව නෙමෙයි. රනිල් යටතේ පක්ෂය ජයග්‍රහණය කරවීමේ හැකියාවක් තිබුනා නම් ඔය ගොඩක් අයට රනිල්ව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පක්ෂයේ මහජන නියෝජිතයින්ට වගේම පහළ මට්ටමේ ඉතිරි වී සිටින සාමාජිකයින්ටත් අවශ්‍ය වුනේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි ජොකියෙක් මිස සජිත් ප්‍රේමදාස කියන විශේෂිත පුද්ගලයා නෙමෙයි. ඒ අර්ථයෙන් බැලු විට සමගි බලවේගය ඉතාම අසාර්ථක පරීක්ෂණයක්.

එජාපයේ ප්‍රශ්නය එහි නායකයා රනිල් වික්‍රමසිංහව සිටීම නෙමෙයි. එය ඊට වඩා මූලික මට්ටමේ ප්‍රශ්නයක්. එජාපය කලක සිට දිගින් දිගටම පැරදෙන්නේ එජාපයේ ප්‍රතිපත්තිවලට ඉල්ලුම අඩු වීම නිසා මිසක් එහි නායකයා පිළිබඳ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ජවිපෙට තිබෙන ප්‍රශ්නයත් මෙයමයි. එහෙම නැතුව මිනිස්සු ඇත්ත මිනිස්සුද බොරු මිනිස්සුද කියන එකේ අවුලක් නෙමෙයි. ප්‍රතිපත්ති අවුල්නම් ඇත්ත මිනිස්සු කරන්න ඉඩ තිබෙන්නේ ඒ අවුල් ප්‍රතිපත්ති ඇත්තටම ක්‍රියාත්මක කරන එක බව ඡන්දදායකයා දන්නවා. අවුල් ප්‍රතිපත්ති වෙනුවෙන් ඇත්තටම පෙනී සිටින මිනිස්සුන්ට වැඩිය වඩා හොඳ සේ පෙනෙන ප්‍රතිපත්ති වෙනුවෙන් බොරුවට හෝ පෙනී සිටින මිනිස්සු හොඳයි. පළමු තේරීමේ ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම අවුල්. දෙවැනි තේරීම හරියන්න යම්කිසි හෝ ඉඩක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස විසින් එජාපයේ පාක්ෂික ඡන්දවලින් විශාල ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒවා කොහොමටත් පක්ෂයට ලැබෙන ඡන්ද. මේ වෙලාවේ එජාපය කියා කියන්නේ අලියා නෙමෙයි ටෙලිෆෝනය කියන එජාප පාක්ෂිකයා තීරණය කර තිබෙනවා. හරියට පසුගිය පළාත් පාලන ඡන්දයේදී ශ්‍රීලනිපය කියන්නේ අත නෙමෙයි පොහොට්ටුව කියා තීරණය කළා වගේ. නමුත්, රනිල්ගේ නායකත්වය යටතේ ලැබිය හැකිව තිබුණු ඡන්ද සෑහෙන ප්‍රමාණයක් සජිත්ගේ පක්ෂයට ලබා ගත හැකි වී නැහැ. එහෙමනම් ඒ ඡන්ද රනිල්ට නොලැබුනේ ඇයි ?

මගේ අදහසනම් මෙයට හේතුව මේ නොවැටුණු ඡන්ද එජාප ඡන්ද නොවීමයි. ඒ ඡන්ද 2015 දී මෛත්‍රීපාලට ලැබෙන්න ඇති. 2019 දී සජිත්ටත් ලැබෙන්න ඇති. එහෙත්, ඒ ඡන්ද රාජපක්ෂ විරෝධී පාවෙන ඡන්ද මිසක් එජාප ඡන්ද නෙමෙයි. රාජපක්ෂ විරෝධී ඡන්ද කිවුවත් ඒවා කොටස් දෙකකට දමන්න පුළුවන්. පළමු කොටස 2015 ට පෙර තිබුණු රාජපක්ෂලාගේ ක්‍රමයට විරුද්ධ ඡන්ද. දෙවන කොටස ඒ පොදු විරෝධය ඉක්මවා ගිහින් පෞද්ගලිකව රාජපක්ෂලාට වෛර කරන මට්ටම දක්වා ගිය අයගේ ඡන්ද. පළමු කාණ්ඩයේ අයට මහින්ද හා ඔහුගේ කණ්ඩායම ප්‍රශ්නයක් වුනත් ගෝඨාභය ප්‍රශ්නයක් නෙමෙයි. දෙවෙනි කණ්ඩායමට මහින්ද වගේම ගෝඨාභයත් අවුල්. සමහර විට ගෝඨාභය වැඩිපුර අවුල්.

මහින්දගේ ආණ්ඩුව එක්ක ප්‍රශ්න තිබුණු ඇතැම් අය 2015 දී යහපාලනයට ඡන්දය දී දැන් ගෝඨාභය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එහෙත්, 2015 දී යහපාලනයට ඡන්දය දුන් අයගෙන් යම් කොටසකට දැන් විකල්පයක් නැති වෙලා. එජාප පාක්ෂිකයින්ට සජිත් අලුත් බලාපොරොත්තුවක් වුනත් ඉහත කී පාවෙන ඡන්දායකයින්ට සජිත් විකල්පයක් නෙමෙයි. ඒ කොටස දැන් රනිල්ව වගේම ජවිපෙත් අත ඇරලා ඕනෑ මගුලක් කියා වෙන දෙයක් බලා ගෙන ඉන්නවා වගෙයි පෙනෙන්නේ. 

පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වී තිබෙන ඡන්ද ප්‍රමාණය 1,35,452 ක් පමණයි. මෙවර මහ මැතිවරණයේදී 7,44,673 ක්. මේ පස් හය ගුණයක වැඩි වීමෙන් පෙනෙන්නේත් මා කියන කාරණය වෙන්න පුළුවන්. ඡන්දදායකයින්ගේ සාක්ෂරතා මට්ටම අඩු ග්‍රාමීය දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කොළඹ ඇතුළු නාගරික දිස්ත්‍රික්කවල ඡන්ද වැඩිපුර ප්‍රතික්ෂේප වීමෙන් මේ කරුණ තවත් තහවුරු වෙනවා.

සමගි ජන බලවේගය හරහා චම්පික රණවකට ඊළඟ පියවරට යන්න පාර කපා ගැනීමේ උත්සාහයක්ද තිබුණු බව ගොඩක් දෙනෙක්ට රහසක් නෙමෙයි. ඒ ව්‍යාපෘතියද එතරම් සාර්ථක වී නැති බවයි පෙනෙන්න තිබෙන්නේ. මේ කරුණු සියල්ලම ගත්තහම එක දෙයක් පැහැදිලියි. ගෝඨාභය කඳවුරට බාධාවක් නැතුව වාහනය එළවන්න පාර ක්ලියර් !

විරුද්ධ දිශාවෙන් වාහන කිසිවක් එන්න නැහැ කියා කියන්නේ වාහනය එළවන්න විශාල නිදහසක් ලැබෙනවා කියන එකයි. හැබැයි එයින් කියැවෙන්නේ අනතුරු සිදු වෙන්න ඉඩක් නෑ කියන එක නෙමෙයි. ඉස්සරහ බලාගෙන එළෙවුවේ නැත්නම් වාහනේ පාරෙන් එළියට පනින්න පුළුවන්. 

ගෝඨාභය ඉදිරියේ තිබෙන ප්‍රධානම අභියෝගයත් මේ ලැබුණු ඡන්ද ප්‍රමාණයම තමයි. ඡන්ද කියා කියන්නේ බලාපොරොත්තු. රාජපක්ෂ විරෝධී කඳවුරේ ලොකු කොටසක් විකල්පයක් නැති වීම නිසා ඡන්දය දීමෙන් වැලකී සිට ඇතිවාක් මෙන්ම පොහොට්ටුවට ඡන්දය දුන් අයගෙන් සැලකිය පිරිසක් එසේ කර තිබෙන්නේද වෙනත් විකල්පයක් නැති නිසා බව මගේ අදහසයි. එක පැත්තකින් සරත් වීරසේකර, නාලක ගොඩහේවා, චන්න ජයසුමන වගේ අය මනාපවලින් ඉහළටම ඇවිත් තිබෙනවා. අනෙක් පැත්තෙන් මහින්දගේ පරණ ආණ්ඩුවේ සිටි බොහෝ විට විවේචනවලට පාත්‍ර වූ අයත් මනාප ලැයිස්තුවල උඩට ඇවිත් තිබෙනවා. 

යහපාලන ආණ්ඩුවට ආණ්ඩුවෙන් එළියේ වගේම ආණ්ඩුව ඇතුළෙත් බරපතල ප්‍රශ්න තිබුණා. මේ ආණ්ඩුවට එළියේ ලොකු ප්‍රශ්න නැතත් ඇතුළේ විසඳාගත යුතු ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම එළියේ දේශපාලන ප්‍රශ්න නැතත් විශාල අභියෝග තිබෙනවා. ඒ අභියෝග සුළුපටු නැහැ. ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා ආණ්ඩුව මේ ලැබුණු ජනවරම ප්‍රයෝජනයට ගනු ඇතැයි ප්‍රාර්ථනා කරමින් අපි අළුත් ආණ්ඩුවට සුබ පතමු !

ඉකොනොමැට්ටාගේ බොජුන්හල