නිවාඩු නොදීමෙන් පරිපාලනමය වශයෙන් කප්පාදු කරන ලද ජනතා පරමාධිපත්‍යය

නිවාඩු නොදීමෙන් පරිපාලනමය වශයෙන් කප්පාදු කරන ලද ජනතා පරමාධිපත්‍යය

5 August 2020 07:17 am

අද දිනයේ ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වේ. පැවැත්වෙන්නේ මහිලා සමිතියක සභාපති ලේකම් තෝරන නිලවරණයක් නොව රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම අවස්ථාව වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරන මහ මැතිවරණයයි.

නමුත් අද දිනය රටටම පොදුවේ බලපාන නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර නැත. ඇතැම් අධිකරණ වල පමණක් මේ දිනයේ කැඳවෙන නඩු වෙනත් දිනයක කැඳවෙන බවට දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ. ඇතැම් ඒවායේ සුපුරුදු පරිදි කටයුතු සිදුකරන බව දැනගන්නට ලැබේ. රටටම බලපාන පරිදි පොදු ප්‍රතිපත්තියක් මැතිවරණ නිවාඩු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අසමත් වීම එක් පැත්තකින් සමස්ථ රාජ්‍යයේ අසමත්කම කියාපාන්නකි.

තවත් පැත්තකින් එය ශ්‍රී ලංකාවේ මා දන්නා ඉතිහාසයේ ජනතා පරමාධිපත්‍යයට පරිපාලනමය වශයෙන් එල්ල කරන ලද දැවැන්තම මරු පහරයි.

විශේෂයෙන්ම මැතිවරණය පැවැත්වෙද්දී අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම කවරාකාරයකින්වත් සාධාරණීකරණය කළ නොහැක. නඩු සඳහා බොහෝ මිනිසුන් පැමිණෙන්නේ දුරබැහැර සිටය. ඇතැම් අය එදිනම පාන්දරින් පිටත් වෙති. අධිකරණයට නිසි වේලාවට ළඟා වීමට පෙර දින රාත්‍රියේ පිටත් වන අයද සිටිති. එයට හේතුව ජනතාව අධිකරණයට ගෞරව සම්ප්‍රයුක්ත බියක් දැක්වීමය. තමන්ගේ නඩු දිනයේ අධිකරණයට යාමට අසමත් වීමෙන් වරෙන්තු නිකුත් වීම, සිවිල් නඩු ඒකපාර්ශ්වික විභාගයට නියම වීම ආදී ප්‍රතිවිපාක මිනිසුන් අත්දැක තිබේ. එම අත්දැකීම් හේතුවෙන් "පුළුවන් අය එන්න. බැරි අය එන්න එපා. වරෙන්තු කරන්නෙ නෑ. එක්ස් පාර්ටේ දාන්නේ නෑ" ආදී වශයෙන් නිවේදන දහසක් නිකුත්කළද පලක් නැත. අධිකරණයට ජනතාව තුල ස්ථාපිත වී ඇති බිය හේතුවෙන් එවන් නිවේදන තිබියදීත් තමන්ට ලැබෙන පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීම පසෙක තබා අධිකරණයට මූලිකත්වය දීමට මිනිසුන් පෙළඹෙනවා ඇත.

අනෙක් ආයතන වල තත්වයද එයමය. ඒවායේ සේවය කරන ඇතැම් අය දැනටමත් තැපැල් ඡන්ද භාවිත කර තිබෙන බව ඇත්තකි. නමුත් යම් කාර්යයක් ඉටුකරගැනීම සඳහා නිශ්චිතව හෙට දිනයේ වේලාවක් වෙන්කරගෙන ඇති ජනතාව පිළිබඳව කිව හැක්කේ කුමක්ද? ඔවුන්ට හෙට දිනයේ වෙන්කරගත් වේලාව අහිමි වුවහොත් නැවත දිනයක් ලබා ගැනීමට තවත් සති ගණනක් ඇතැම් විට මාස ගණනක් ගතවනවා ඇත. ඒ අනුව ඔවුන්ටද සාධාරණ බියක් ඇතිවේ. ඒ බිය මත ඔවුන්ද පෙළඹෙන්නේ අදාළ රාජකාරියට අංක එක ලබාදී පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ අයිතිවාසිකම යටපත් කර ගැනීමටය.

පෞද්ගලික අංශයේද සේවය කරන අයට මැතිවරණය සඳහා නිවාඩු ලබාදිය යුතු බවට වන ලේඛනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය විය. නමුත් පෞද්ගලික අංශයේ සේවය කරන ඕනෑම අයෙකු දන්නා ප්‍රායෝගික සත්‍යය නම් පෞද්ගලික අංශයේ නිවාඩු යනු ආණ්ඩුවේ මඟ පෙන්වීමට වඩා සේව්‍යයා සහ සේවකයා අතර සබඳතාවය මත තීරණය වන බවය. එය එසේ නොවිය යුතු බවට තර්ක කලාට පළක් නැත. එය සිදුවන්නේ එසේය.

ජනතා පරමාධිපත්‍යය අත්හැරිය නොහැකි අයිතිවාසිකමකි. එය නිදහසේ ක්‍රියාත්මක කිරීමේ අවකාශය පුරවැසියන්ට තිබිය යුතුය. නිවාඩු දිනයක් ප්‍රකාශ නොකර "පුළුවන් අය වැඩට එන්න. බැරි අය එන්න එපා" යැයි කීම තවත් පැත්තකින් "පුළුවන් අය ඡන්දෙ දාන්න. බැරි අය දාන්න එපා" කීම වැනි අතිශය බරපතළ තත්වයකි. ජනතා පරමාධිපත්‍යය එය අවශ්‍ය අය වුවමනාවෙන් මහන්සියෙන් කැපකිරීම් සිදුකර ක්‍රියාත්මක කරගතයුතු එකක් බවට මේ හරහා පත්වී ඇත.

තවත් අතෙකින් බලන කල මෙය මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව අතිශය සැක සහිත වාතාවරණයක් නිර්මාණය කරයි. ශ්‍රී ලංකාව අන්ත දූෂිත මැතිවරණ ඉතිහාසයකට හිමිකම් කියන රටකි. එසේ නොවන මැතිවරණ ලෙස මට සිහියට නගාගත හැක්කේ ජනාධිපති ඩී.බී. විජේතුංග යටතේ පවත්වන ලද මැතිවරණ දෙක සහ පසුගිය මහමැතිවරණය සහ පළාත්පාලන මැතිවරණය පමණි.

එවන් රටක ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සහ ඡන්ද ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම දක්වාම ජනතාව සමස්ථ ක්‍රියාවලිය දෙස දැඩි අවධානයෙන් බලා සිටීම අත්‍යවශ්‍ය වේ. ජනතා පරමාධිපත්‍යයයේ සැබෑ සත්‍යවාදී ප්‍රතිඵලයක් ඇතිවීම සඳහා එසේ අවධාන⁣යෙන් බලා සිටීමද ඡන්ද දායකයන්ගේ අප්‍රකාශිත අයිතිවාසිකමක් බවට පත්වේ. මේ ක්‍රමය යටතේ කියන්නේ "උඹලා ඡන්දෙ දාලා පලයල්ලා. අපි ගැණලා ප්‍රතිඵල කියනකල් උඹලාගේ වැඩ කරගනිල්ලා" වැනි අතිශය හිතුවක්කාරී ඒකාධිපතිවාදයකට දෙස් දෙන ක්‍රමයක් බව නොකියාම බැරිය. එසේ පවත්වන ඡන්දයක ප්‍රතිඵලය පිළිබඳව විශ්වාසය තැබිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව දැඩි සැකයක් මතුවේ.

ඒ අනුව අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ මා දන්නා ඉතිහාසයේ ජනතා පරමාධිපත්‍යයේ තටු පරිපාලනමය වශයෙන් අන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කප්පාදු කරන ලද මැතිවරණයක් බව නැවත නැවතත් අවධාරණය කළ යුතුය. මේ වගකීම් විරහිත ක්‍රියාකළාපය හමුවේ මැතිවරණ ක්‍රියාවලිය තුල ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබෙන ඡන්දයක් පාසා මැතිවරණ කොමිසම සහ රජය ඊට වගකිවයුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල සාපරාධී ලෙස ගිනි තැබීමකට කිසිසේත් දෙවෙනි නොවේ.

- නීතීඥ අථිල අතාවුද