ඊනියා දෙවැනි රැල්ල

ඊනියා දෙවැනි රැල්ල

14 July 2020 01:00 pm

නැවතත් කොරෝනා රෝගීන් එහෙන් මෙහෙන් වාර්තා වෙන බව මාධ්‍ය කියනවා. ඒ අනුව ගම් පිටින් නිරෝධායනය කරනවා. කෙසේ වෙතත් මීට ටික දවසකට පෙර ආණ්ඩුව කිව්වෙ කොරෝනා පැතිරීම පාලනය කරපු බව. එය දේශපාලනිකවත් ජයක් ලෙස මාකට් උනා.

එසේ නම් මේ ඊනියා දෙවැනි රැල්ල පටන් ගත්තෙ කොහොමද? කන්දකාඩු ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින් එය පටන්ගත් බව මාධ්‍ය කියනවා. මෙතන ඇත්තටම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙ පුනරුප්ථාපන මධ්‍යස්ථානයකුත් තියෙන බව කියවෙනවා. මේ දෙකම මෙතන තියෙන්නෙ කොහොමද කියන එක පැහැදිලි නෑ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙ පුනරුප්ථාපන මධ්‍යස්ථානයක් කියන්නෙ විශේෂිත සේවාවක් සපයන තැනක්. එතනට මිනිස්සු යන එන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම එහි ඉන්නෙ සාමාන්‍ය රජයේ සේවකයන්. ඒ අයට නිවාඩුවට ගමේ යන එකත් සාමාන්‍ය දෙයක්. ඒ වගේ තැනක නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම නුවණට හුරු ක්‍රියාවක්ද?

නිරෝධායන මධ්‍යස්ථාන තියෙන්නෙ කොරෝනා පැතිරීම පාලනය කිරීමට උවත් මෙතන වෙලා තියෙන්නෙ නිරෝධායන මධ්‍යස්ථානය කෙරෝනා බෝ කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීමක් වගේ පේන්නෙ. අතරින් පතරින් කියවුනේ විදේශවලින් ආපු කෙරොනා ආසාදිතයන් එහි රදවා හිටපු බව. කෙසේ වෙත් ජඩමාධ්‍යවල වගේම සමාජමාධ්‍යවලත් මේ ගැන පැහැදිලි තොරතුරක් වාර්තා වෙන්නෙ නෑ. ෂර්ලොක් හෝම්ස් ගෙන්වලාවත් මේක පටන් ගත්තෙ කොහොමද කියා හොයන්ඩ බැරි තත්වයක් ඇත්තේ.

කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීම ඉතා වැදගත්. මන්ද ඒක දැන ගත්තෙ නැත්තං ඉදිරියෙදි නැවතත් එවැනි තත්ව නිර්මාණ්‍ය විය හැකි නිසා. ලෝකයේ අනෙක් රටවල මේ වගේ සාමූහික නිරෝධායන මධ්‍යස්ථාන නැහැ. ඒ වෙනුවට ඇත්තෙ සැකසහිත අය ටෙස්ට් කිරීම සහ වෙන් කිරීම. නිවෙස්වල ස්වයං නිරෝධායනය කිරීම. ස්වයං නිරෝධායනය 100%ක් සාර්ථක නැතත් ආසාදිතයන් සහ ආසාදිත නොවන අය සමූහ ලෙස රදවලා ඊට පස්සෙ ඒ අයව රට පුරා විසිරුවා යවන එකට වඩානං ඒක දාහෙන් සම්පතයි කියන එක පොඩි ළමයෙකුට උනත් තේරෙන්ඩ ඕන දෙයක්.

කොරෝනා හැදුනයි කියන සාමාන්‍ය මිනිස්සු බස් එකේ ගිය ඒව, වැසිකිළියට ගිය ඒව හිටං වාර්තා කරන ජඩමාධ්‍ය මේ ඊනියා 'කොරෝනා පොකුර' පටන් ගත්තෙ කොහොමද කියල වාර්තා නොකරන්නෙ ඇයි?

දැන් නැවතත් යංතං හිස ඔසවගෙන ආපු ව්‍යාපාර, ළමුන්ගෙ අධ්‍යාපනය වගේම ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා වැදගත් පාර්ලිමේන්තු ඡන්දයත් අභියෝගයට ලක් වෙලා තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයක් හරහා මේක පැතිරුනානං ඒව බාරව හිටපු අය මේකට වගකිව යුතුයි. නමුත් අවාසනාවකට ඒකට වන්දි ගෙවන්නෙ සාමාන්‍ය මිනිස්සු.

අනෙක් අතට සමාජ ජාලවල ඉන්න සමාජ විරෝධීන් (මේ සමාජ විරෝ්ධීන් ජාතිකවාදී කදවුරේ මෙන්ම ඊනියා ලිබරල්වාදී කදවුරේත් ඉන්නවා) නැවතත් මිනිස්සුන්ට බැණ අඩ ගහන්ඩ පටන් අරන් තියෙනවා. මේ අයට ඇත්තෙ හීනමානයක්. අනුන් පහත් කරලා තමන් උසස් කිරීමේ ආසාවක්. ඒකට ඔවුන් අනෙක් මිනිස්සුන්ගෙ 'වැරදි සෞඛ්‍ය පුරුදු' හයිලයිට් කිරීම තමා යොදා ගන්නෙ. නමුත් නිරෝධායන මධ්‍යස්ථානයක් හරහා කොරෝනා රටපුරා ව්‍යාප්ත විමට වගකිව යුත්තේ සාමාන්‍ය මිනිස්සුද? මාස්ක් දැම්මෙ නෑ කියලා, ට්‍රිප් ගියා කියලා, ඊනියා සමාජ දුරස්ථ නීති පනවලා ඒක නවත්වන්ඩ පුළුවන්ද?

දර්ශන කස්තුරිරත්න