උසේන් බෝල්ට් ට වෙච්ච වැඩේ මහින්ද මහත්තයටත් වෙයිද ?

උසේන් බෝල්ට් ට වෙච්ච වැඩේ මහින්ද මහත්තයටත් වෙයිද ?

8 July 2020 02:48 pm

පහුගිය දවසක චමුදිත එක්ක තිබුණු සාකච්ඡාවකදි ප්‍රසන්න රණතුංගගෙ දේශපාලන අනාගතයට සෑහෙන්න බලපාන්න පුළුවන් ප්‍රශ්නයක් ඔහුට දමලා ගහනවා.

ඔහු අහනවා මෙවර ඉලක්කය මනාප ඡන්ද 500,000 ක් ලබා ගැනීම නේද කියලා. ඇත්තටම මේක අහපු වෙලේ මාව Shock වුණා. හේතුව මේ පාර මහ මැතිවරණයේ අග්‍රාමාත්‍යවරයා වීමට නියමිත මහින්ද රාජපක්ෂ මහතාට වඩා මනාප සංඛ්‍යාවක් වෙනත් අවශේෂ අපේක්ෂකයෙක් ගනියි කියන එක ඒ මොහොත වෙනකන් මගේ ඔලුවෙ වැඩ කරේ නැති කරුණක් නිසා.

හැබැයි මේ ප්‍රශ්නෙ ඇහුණ වෙලා ඉදන් මට හැම වෙලේම හිතෙන දේ තමයි මෙවර මේක වෙන්න බැරි දෙයෙක් නෙවෙයි නේද කියන එක. වෙන අපේක්ෂකයෙක් මහින්ද මහත්තයට වඩා ඡන්ද ගන්නවා කියන එක මේ මොහොතේ දේශපාලනය කොයි විදියට දරාගනියි ද කියන ලොකු ප්‍රශ්නයක්.

ඉලක්කම් දිහා බැලුවම 2015 දි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද 500,566ක් අරන් වාර්තාවක් තියලා අගමැති වෙනවා. ඒක ඓතිහාසික මනාප සංඛ්‍යාවක්. මෙවර විමල් කොළඹින් මේ කිට්ටුවට එන්න පුළුවන් වුණත් ඔහුගේ අතින් මේ වාර්තාව කැඩෙන්නට ඉඩක් නැත.

2015දි මහින්ද රාජපක්ෂ මහත්තයා ඡන්ද 423,529ක් අරගෙන සන්ධාන ලැයිස්තුවේ ලංකාවේම පළවෙනියා වෙලා තමන්ගේ "තැන" රැකගන්නවා.

පක්ෂයේ ඡන්ද දෙකට බෙදීම නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයට තමන්ගේ වාර්තාව රැකගන්න බැරිවෙන බව දැනටම පැහැදිළියි. ඒ නිසා ඒකෙ ලොකු අවුලක් රටට පේන්නෙ නැහැ.

මහින්ද මහත්තයගේ පැත්තෙන් ගත්තම මේක මාරාන්තික කේස් එකක්. 2015 දි ඡන්දෙන් පැරදුණත් දේශපාලනයේ Super Star මහින්ද මහත්තයාම තමයි. ඉතින් ඒ වෙලාවෙ අභියෝගයක් තිබුණේම නැහැ.

හැබැයි ඉලක්කම් බැලුවම මහින්ද මහත්තයා මනාප 423,529ක් ගනිද්දි වැඩි සද්දයක් බද්දයක් නැතිවම ගම්පහින් ප්‍රසන්න රණතුංග මනාප 384,448ක් අරගෙන. වෙනස බැලුවම මනාප 39,081 යි. ඒ වෙනස කොච්චර පොඩි ද කියන එක ගැන අමුතුවෙන් කියන්න උවමනාවක් නැත.

2019 ජනාධිපතිවරණයේදි ගම්පහ දිස්ත්‍රික්කට පොහොට්ටුව ඡන්ද 855,870ක් ගන්නවා. මේ ගාණ මේ විදියටම එන එකක් නැති වුණත් නිසැක වශයෙන්ම දැවැන්ත ජයග්‍රහණයක් ගම්පහින් පොහොට්ටුව ගන්නවා කියන එක පැහැදිළිනේ. ඉතින් එහෙම තත්වයක් මත මහින්ද මහත්තයා පැරදුණු දවසේ ඉදන් උදේ නැගිටපු මොහොතේ ඉදන් රෑ නිදාගන්න ඇදට යනකන්ම මහින්ද මහත්තයව "තනි නොකරපු" ප්‍රසන්න රණතුංගට මනාප ලක්ෂ 5ක් යනු ඉටු කරගත නොහැකි හීනයක් නොවේ. පහුගිය දවස් වල ප්‍රසන්න රණතුංගට මෙතෙක් එල්ල නොවුණු බරපතල චෝදනා කිහිපයක් එල්ලවන්නේ මෙවැනි පසුබිමෙක වීම වෙනම මානයකින් තේරුම් ගත යුතුය. මේවා අහම්බයන් නොවීමට සෑහෙන්න ලොකු ඉඩක් ඇත.

දැන් එතකොට ඊළග මාරාන්තික ප්‍රශ්නෙ මහින්ද මහත්තයා තමන්ගෙ "තැන" රැකගනීද කියන එක. බැරි වෙලාවත් ප්‍රසන්න රණතුංග පොහොට්ටුවේ අසහාය නායකයා වෙච්ච මහින්ද මහත්තයට වඩා එක ඡන්දයක් හරි ගත්තොත් ඒක මාර අවුලකි. කුරුණෑගල ඡන්ද සංඛ්‍යාවට වඩා ගම්පහ ඡන්ද සංඛ්‍යාව වැඩිය අරකය මේකය කතන්දර වලින් ඒ අවුල සමනය කරන්නට හැකිවේ යැයි මා සිතන්නේ නැත.

අර ඕනෑම උත්සව සභාවකට එනකොට ජනාධිපතිත් පුටුවෙන් නැගිට්ටවෙන "අමුතු මෙව්වා එක" රැකගැනීමට වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටු ලැයිස්තුවේ අංක 01 වීම අත්‍යාවශ්‍යය. ඔහුට මේ අභියෝගයට මුහුණ දීමට සිදුවන්නේ ගෝඨාභයට ඡන්දය දුන් සමහර කණ්ඩායම් මහින්ද දැන් විශ්‍රාම ගත යුතුය යන කතාව එහෙන් මෙහෙන් කියන්නට පටන් අරන් ඇති පසුබිමකය. ඒ නිසා ඔහුට මේ අභියෝගය ජයගැනීමට සිදුවන්නේ තනිකරම ඔහුගේ ඡන්ද බැංකුව මතින්මය. මේක මාරම Interesting වැඩකි..!!!

මට මේක පේන්නෙ උසේන් බෝල්ට්ගේ අවසාන තරගය වගේ. ධාවන පථය තමාගේ අණසකට යටත් කරපු බෝල්ට් තම ක්‍රීඩා ජීවිතය අවසන් කරන්නෙ ඉතාම අවාසනාවන්ත ලෙස දෙවැනියා විදියටය.

2005 සිට වර්තමානය දක්වාම ශ්‍රී ලාංකේය දේශපාලනය තම අණසකට ගත්තේ මහින්ද රාජපක්ෂය. 2015 පරාජය වුවද මහින්ද රාජපක්ෂ සාධකය අමතක කර මෙරට දේශපාලනය තීන්දු තීරණ ගත නොහැකි තරම්ම ඔහුගේ අණසක ප්‍රභල විය.

කුමන පසුබිමක වුවද මනුස්සයෙක් වයසට යාම කියන එක පාලනය කළ නොහැකිය. මේ පාර්ලිමේන්තුවේ කාලය අවසන් වන විට වයස අවුරුදු 79ක් වන නිසා මෙය බොහෝවිට මේ මහින්ද රාජපක්ෂ මහතාගේ අවසාන මැතිවරණය වීමට ඉඩ ඇත. ඉන් අනතුරුව ඔහු විශ්‍රාම ගනු ඇත. එසේ නම් ඔහුට තම මැතිවරණ දේශපාලනය අවසන් කළ යුත්තේ අංක 01 ලෙසය. කුරුණෑගල ජනතාව ඔහුට ඒ විජයග්‍රාහී අවසානය ලබා දීමට නම් ඔහුව අවම වශයෙන් ලක්ෂ 5 සීමාවෙන් උඩට ගෙන යා යුතුමය. මේ චිත්‍රපටයේ මා පුද්ගලිකව කැමති අවසානය එයය.

හැබැයි පේන විදියට වැඩේ ඇත්තටම අමාරුය..!!! 

- නීතිවේදී ප්‍රමිත් ගනේආරච්චි