සංස්කෘතිය සදාකාලිකද ?

සංස්කෘතිය සදාකාලිකද ?

6 July 2020 02:00 pm

කෘෂිකාර්මික විප්ලවයෙන් පසුව, මානව සමාජය වඩාත් විශාල හා සංකීර්ණ වූ අතර, සමාජ පිළිවෙළ පවත්වාගෙන යන සිතිවිලි සහ අදහස්ද ඒ සමගම  දියුණු  විය. මේ මිත්‍යාවන් හා ප්‍රබන්ධයන් මිනිසුන්ව පුරුදු කර ඇත්තේ උපතේ සිටම යම් නියමිත ආකාරයකින් සිතීමට, යම් ප්‍රමිතීන්ට අනුකූලව හැසිරීමට, යම් යම් ආශාවන් ඇතිකර ගැන්මට සහ ඇතැම් නීති රීති පිළිපැදීමටය. මෙමගින් කෙනෙකුට, මිලියන ගණනක් ආගන්තුකයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවන පරිදි, බාහිර බලපෑම් වලින් ඇති කරන පෙලබවීම් වලින්, නිර්මාණය වන කෘතිම සමාජ ජාලය, සංස්කෘතිය ලෙස හැඳින්වේ.

විසිවන සියවස මුල් භාගයේ දී, විද්වතුන් ඉගැන්වූයේ සෑම සංස්කෘතියක්ම සම්පූර්ණ සහ සංවෘත  භාවයෙන් යුතු ඒකකයක් බවය.  එහි වෙනස් නොවන හරයන් තිබීමද  සෑම විටකම හුවා දක්වා ඇත. සෑම මානව කණ්ඩායමකටම තමන්ගේම ලෝක දැක්මක් හා සමාජ ක්‍රියා පිළිවෙලක් තිබුණ අතර, සූර්යයා වටා ගමන් කරන ග්‍රහලෝක මෙන් සුමටව දිවෙන, නෛතික හා දේශපාලන විධිවිධානද එහි  විය. මෙම මතය අනුව ඔවුන්ගේ සංස්කෘතින් ඒවා තුලින්ම වෙනස් නොවීය. එම සංස්කෘතීන් එකම වේගයෙන් එකම දිශාවකට ගමන් කළහ. පිටතින් යෙද වූ බලයකට පමණක් ඒවා වෙනස් කළ හැකි විය. මනෝ විද්‍යාඥයන්, ඉතිහාසඥයන් සහ දේශපාලඥයන් "සමෝවන් සංස්කෘතිය" හෝ "ටස්මේනියානු සංස්කෘතිය" ලෙස හැඳින්වූයේ සමෝවානුවන් සහ තස්මේනියානුවන් අතීතයේ සිටම එකම විශ්වාසයන් සම්මතයන් සහ සාරධර්මයන්, වෙනස් නොවන ලෙස පවත්වාගෙන යන බව උපකල්පනය කරමිනි.

අද වන විට සංස්කෘතිය පිළිබඳ බොහෝ විද්වතුන් නිගමනය කර ඇත්තේ, මෙහි අනෙක් පැත්ත නිවැරදි බවය. සෑම සංස්කෘතියකටම සාමාන්‍ය විශ්වාසයන් සම්මතයන් හා සාරධර්ම ඇත, නමුත් මේවා සැමවිටම  ප්‍රවාහයක පවතී. සංස්කෘතිය එහි පරිසරයේ සිදුවන වෙනස්කම් වලට ප්‍රතිචාර වශයෙන් හෝ අසල්වැසි සංස්කෘති සමග අන්තර් ක්‍රියා කිරීමෙන් වෙනස් විය හැක.

නමුත් සංස්කෘතියන් ඔවුන්ගේ අභ්‍යන්තර සිදුවීම් නිසාද වෙනස්කම් වලට  භාජනය වේ. ස්ථාවර වටපිටාවක ඇති පාරිසරික වශයෙන් සම්පූර්ණයෙන්ම හුදෙකලා සංස්කෘතියකට  වුවද වෙනස් කම් වලක්වා ගත නොහැක. අස්ථිර දේවල් වලින් තොර භෞතික විද්‍යාවේ නීති රීති මෙන් නොව, මිනිසා විසින් සාදන ලද සෑම අනුපිළිවෙළක්ම අභ්‍යන්තර පරස්පරයන්ගෙන්  පිරී ඇත. නමුත් මෙම ප්‍රතිවිරෝධතා සමථයකට පත් කිරීමට උත්සාහ කරන ක්‍රියාවලිය, නොයෙකුත්  වෙනස් කම් වලට හේතු සාධක වෙයි.

උදාහරණයක් වශයෙන්, මාධ්‍යකාලීන යුරෝපයේ වංශක්කාරයන්  ක්‍රිස්තියානි ධර්මය සහ යුධ නීති යන දෙකම විශ්වාස කළහ. සාමාන්‍ය වංශාධිපතියෙකු උදේ පල්ලියට ගොස් පූජකයා, ශුද්ධවූ චරිතයන් පිළිබඳව කරණා විස්තරයන්ට කන් දුන්නේය. "නිෂ්ඵල යන්ගෙන් නිෂ්ඵලය" පූජකයා පැවසීය. සියලු දේම නිෂ්ඵලයි. ධනය, රාගය සහ ගෞරවය භයානක පෙළඹවීම් වේ. ඔබ ඒවට වඩා ඉහළ ක්‍රිස්තුස්ගේ අඩිපාරේ යා යුතුය. උන්වහන්සේ මෙන් නිහතමානී විය යුතුය, ප්‍රචණ්ඩත්වයෙන් වැළකිය යුතුය සහ පහර දීමෙන් වලකින්න. ඔබට අනෙකෙකු එසේ පහර දුන්න හොත් අනෙක් කම්මුලත් හරවන්න.

නිහතමානිව සහ දැඩි කල්පනාවකින් යුතුව ආපසු නිවසට පැමිණෙන වංශාධිපතියා ඔහුගේ හොඳම සේද ඇඳුම ඇඳගෙන, තම ස්වාමියාගේ මාලිගාවේ භෝජන සංග්‍රහයකට යයි. එහිදී වයින්, වතුර මෙන් ගලා ගියේය. ප්‍රධාන පූජකයා Lancelot and Guinevere ගීතය ගායනා කළේය. අමුත්තන්ට සුදුසු නැති විහිලු සහ ලේ වැහැරුණු යුද්ධ පිළිබඳ කතා හුවමාරු කර ගත්හ. "බියගුළු ලෙස  ජීවත්  වනවාට වඩා මියයෑම හොඳය, යමෙකු ඔබගේ ගෞරවය ගැන ප්‍රශ්න කරන්නේ නම් එම අපහාසය අතුගා දැමිය හැක්කේ රුධිරයයෙන් පමණි. ඔබේ සතුරන් ඔබ එනවිට පලා යනවා දැකීමටත්, ඔවුන්ගේ සුකුමාල දියණියන් ඔබේ පාමුල වෙවුලනවා දෑකීමත් වඩා යහපත් නේද?”

පරස්පරතාවය කිසිවිටෙක සම්පූර්ණයෙන් විසඳී නැත.
එහෙත් යුරෝපීය වංශාධිපතීන්  පුජ්‍ය පක්ෂය සහ සාමාන්‍ය ජනයා එය විසදන්නට මහන්සි වෙද්දී ඔවුන්ගේ සංස්කෘතිය වෙනස් වුනි. එය විසදා ගැනීමට කරන ලද එක උත්සාහයක් නම් කුරුස යුද්ධයයි. කුරුස යුද්ධයේදී නයිට් වරුන්ට ඔවුන්ගේ හමුදා දක්ෂතාවය සහ ඔවුන්ගේ ආගමික භක්තිය එක් කඩු පහරකින් නිරූපණය කරන්නට හැකි විය. මෙම පරස්පරයන් ටෙම්ප්ලාර්  සහ හොස්පිටේලර්ස් වැනි හමුදාමය සංවිධාන ඇති වන්නට මුලික විය. ඔවුහු ක්‍රිස්තියානි ඉගැන්වීම් වල  සහ සටන්කාමිත්වයේ මුලික අදහස් තවත් තදින් එකතු කරන්නට උත්සාහ කළහ. ආතර් රජුගේ කතා සහ ශුද්ධ ග්‍රේල් වැනි පුරාතන කලාවේ හා සාහිත්‍යයේ විශාල කොටසකටද එම පරස්පරය ප්‍රධාන හේතුවක් විය. කැමිලොට් චරිතය, ඇත්තෙන්ම හොඳ ක්‍රිස්තියානුවෙකුට එලෙසම හොඳ නයිට් වරයෙකුද  වීමට හැකියාව පෙන්වීමයි. 

යුවාල් නොආ හරාරි - සේපියන්ස් 

පරිවර්තනය - සමන්තා ඉලංගකෝන්