වාහනයක් පාරෙන් එළියට පැන්නොත්...

වාහනයක් පාරෙන් එළියට පැන්නොත්...

5 June 2020 08:56 pm

සිංහල අවුරුදු කාලෙට අපි ගොඩක් අය ගෙවල් වලට යනවා. මේ සිද්ධිය වුනෙත් සිංහල අවුරුදු කාලෙක. හැබැයි මම ගෙදර ඇවිත් හිටියේ අවුරුද්ද නිසාම නෙමෙයි. ශිෂ්‍ය විරෝධතාවක් දිග් ගැස්සී සරසවිය වසා දමා තිබුණු නිසා. අවුරුද්දට ගෙදර ආවම ආපහු යන දවසක් ගැන ඉලක්කයක් තියෙනවා. මේ කියන අවුරුද්දේ එහෙම ඉලක්කයක් තිබුණේ නැහැ. සරසවිය අරිනකම් බලා ඉන්න ඕනෑ.

මම ජනේලය ළඟට වෙලා ඔහේ බලා හිටියා. සරසවිය ඇරලද කියලා පේන නිසා නෙමෙයි. වෙන කරන්න කියලා විශේෂ වැඩක් නැති නිසා.

මොකක් හෝ හේතුවක් නිසා පාරේ වාහන තදබදයක්. මෙය සාමාන්‍ය දෙයක් නෙමෙයි. බොහෝ විට වාහන තදබදයක් හැදෙන්නේ වාහන අනතුරක් නිසා. අපේ ගේ ඉස්සරහින් යන පාර ප්‍රධාන පාරක් වුනත් නගරයකින් තරමක් ඈත්ව පිහිටි කොටසක් නිසා බොහෝ විට වාහන එක ගැම්මට වේගයෙන් යනවා. එය එහෙම නොවනවානම් අනිවාර්යයෙන්ම මොකක් හරි අවුලක්.

මහ පාරට සමාන්තරව අපේ ගෙදරට විරුද්ධ පැත්තේ බොරළු පාරක් තිබෙනවා. ඔය පාරේ ඉඳහිට මෝටර් සයිකලයක්, ත්‍රී වීල් එකක් ගියත් ලොකු වාහනයක් යන්නේ නැහැ. ප්‍රධාන පාරේ සිට ඔය බොරළු පාර යා කරන හරස් පාරවල් ගණනාවක් තැනින් තැන තියෙනවා.

මහ පාරේ වාහන තදබදය නිසා වාහන ඔය කියපු සමාන්තර පාරට දමලා. අපේ ගෙදරට ටිකක් කලින් තිබෙන හරස් පාරෙන් ඒ පාරට දමලා ගෙදරට එහායින් තිබෙන ඊළඟ හරස් පාරෙන් නැවත ප්‍රධාන පාරට ගන්නවා.

ඔහොම බලා ඉඳිද්දී අපේ ගේ පැත්තට කණ්ඩායමක් එනවා. ගමේ තරුණයින් පිරිසක්. මම මේ අයත් එක්ක වැඩි සම්බන්ධයක් නැහැ. අපි මේ ගෙදර පදිංචියට ඇවිල්ලත් වැඩි කාලයක් නැහැ. අපි කියා කිවුවත් ගෙදර අය. මම වැඩිපුර හිටියේ සරසවි නේවාසිකාගාරයේ. ඉඳහිට ගෙදර එන දවසක අහල පහළ මිනිස්සු ආශ්‍රය කරන්න වෙලාවක් නැහැ. හැබැයි ඒ මිනිස්සු මාව දන්නවා.

"මහත්තයා පොලීසියට ටෙලිෆෝන් කෝල් එකක් ගන්න පුළුවන්ද?"

තරුණ කණ්ඩායමත් එක්ක විදේශික කාන්තාවක්.

"ඇයි? මොකක් හරි ප්‍රශ්නයක්ද?"

තරුණ පිරිස අර විදේශික කාන්තාව දෙසට මුහුණ හැරෙවුවා. මම ඒ ප්‍රශ්නයම නැවත ඇගෙන් ඉංග්‍රීසියෙන් ඇහුවා.

"මගේ ජංගම දුරකතනයේ සිග්නල් නැහැ. පොලීසියට කෝල් එකක් ගන්න ඕනෑ."

ඒ දවස් වල ලංකාවේ ගොඩක් තැන්වල සිග්නල් නැහැ. අපේ ගෙවල් පැත්තේ සිග්නල් නැති බව අමුත්තක් නෙමෙයි.

"මේ නෝනගේ වාහනේ පාරෙන් පැත්තකට ගිහින්. පොලීසියට කතා කරන්න ඕනෑ කියනවා."

එක තරුණයෙක් පිළිතුරු දුන්නා. අර සාමාන්‍යයෙන් වාහන නොදමන පාරට ඇය ඇගේ වාහනයත් අනිත් වාහන පස්සෙන් දමලා. වාහනය අළුත්, සුඛෝපභෝගී වාහනයක්. පාර පටු පාරක්. යාන්තම් වාහනේ පළලට ඇති. ඔය වගේ පාරක වාහනයක් එළවන එක බටහිර රටක ජීවත් වන අයෙකුට පුරුදු දෙයක් නෙමෙයි. අවුලක් කර ගෙන තියෙන එකේ පුදුමයක් නැහැ.

ඔය වගේ වෙලාවක ගමේ තරුණ කැල පටස් ගාලා උදවු කරන්න ඉදිරිපත් වෙනවා. ලංකාවේ වෙන ගොඩක් ගම් වල වගේම තමයි. වාසියක් බලාගෙන කරන දෙයක් නෙමෙයි.

"කරුණේ මුදලාලිගේ ට්‍රැක්ටරේ ගෙනාවනම් වාහනේ අදින්න තිබුණා. කොහෙද කිවුවට අහන්නේ නැහැනේ. මහත්තවත් කියල බලන්න. අපි කියන දේ තේරෙන්නෙ නැතුව ඇති."

විදේශික කාන්තාව මගේ සහ තරුණයින්ගේ මුහුණු දිහා මාරුවෙන් මාරුවට සැකයෙන් බලනවා.

"මම සල්ලි දෙන්නම්!"

කීයක් හරි කඩා ගන්න බලාගෙන දුරකතන ඇමතුමක් අරන් දෙන්න අදිමදි කරනවා කියල හිතන්න ඇති.

"එන්න."

මම ඇයට දුරකථනය තිබෙන තැනට පැමිණෙන ලෙස ආරාධනා කළා.

"පොලීසියේ අංකය කුමක්ද?"

ඇය මගෙන් ඇහුවේ 999 වැනි ඉලක්කම් තුනේ අංක කිහිපයක් උත්සාහ කිරීමෙන් පසුවයි. ඒ දවස් වල ලංකාවේ ඔය ඉලක්කම් තුනේ හදිසි ඇමතුම් අංක තිබුණේ නැහැ. මම දුරකථන නාමාවලිය පෙරළලා අපේ පොලීසියේ අංකය ඇයට පෙන්නුවා.

පොලීසියට ඇමතුමක් ගන්න කිහිප වරක් උත්සාහ කළත් කවුරුවත් දුරකථනය උස්සන්නේ නැහැ. මේ වෙලාවේ ඕනෑනම් පොලීසියේ නිකම් නමට වගේ එක නිලධාරියෙක් ඇති. අවුරුදු දවස් වල කන්තෝරු වල තත්ත්වය කවුරුත් දන්නවනේ. නමට ඩියුටි හිටියත් එක්කෙනෙක් තියලා අනිත් අය ගෙදර ගිහින් ඇති.

වැඩේ හරියන්නේ නැති බව ඇයට තේරුණා. එහෙත් අපේ ගමේ තරුණයන්ගේ ඉංග්‍රීසි එක්ක ඔට්ටු වී හොඳටම තෙහෙට්ටු වී සිටි ඇයට අඩු වශයෙන් මගේ ඉංග්‍රීසි වලින් කිසියම් හෝ පහසුවක් දැනෙන්න ඇති.

"මට පොලීසියට කියලා ඇදගෙන යන ට්‍රක් රථයක් (tow truck) ගෙන්න ගන්න ඕනෑ"

අපේ පොලීසිය සතුව ටෝ ට්‍රක් නැති බවත්, මේ වගේ දෙයකට පොලීසිය එන්නේ නැති බවත්, අද වගේ දවසක ඔය වගේ දේකට තියා අත්‍යාවශ්‍යම දෙයකටවත් එවන්න අමතර නිලධාරීන් පොලීසියේ නැති බවත් මම අමාරුවෙන් ඇයට පහදා දුන්නා.

ගමේ තරුණයින්ව සම්බන්ධීකරණය කරලා ට්‍රැක්ටරයක් හොයා ගෙන ඇගේ වාහනය නැවත පාරට අරන් දුන්නා. වැඩේට දුරකථන ඇමතුම් කිහිපයක් ගන්නත් සිදු වුනා.  අවුරුද්ද දවසේ ඔය වගේ දෙයක් කරන එකත් ටිකක් කෝස් එකක්. ට්‍රැක්ටරේ වගේම එළවන්න මනුස්සයෙක් හොයා ගන්නත් ඕනෑ. ඒ මනුස්සයාට ට්‍රැක්ටරේ දෙන්න අයිතිකාරයා කැමති වෙන්නත් ඕනෑ.

වැඩේ ගොඩ දාගත්තාට පස්සේ ඇයට ගොඩක් සතුටුයි. ට්‍රැක්ට්‍රරයට අසාධාරණ ගානක් ගත්තේ නැහැ. ඇයට වැඩේට සතුටුයි. වැඩේ කෙරුණට පස්සේ තරුණයින් පිරිස පිරිවරා නැවත අපේ ගෙදර ඇවිත් මට කීයක් හෝ මුදලක් දික් කළා. දුරකථන ඇමතුම් වල වියදමට හරියන්න කියලා දුන්නත් ඊට වඩා ගොඩක් වැඩි මුදලක්. මම මුදල් ප්‍රතික්ෂේප කළා. ගමේ තරුණයින්ට කීයක් හෝ දෙන්න කියා ඉල්ලීමක් කළහම ඇය මගෙන් අසා ගාණක් දුන්නා. කට්ටියට හවසට සෙට් වෙන්න ඒ මුදල ප්‍රමාණවත්.

වාහනේ තිබුණේ අපේ ගෙදරින් ටිකක් ඈත. මට කීයක් හෝ මුදලක් දෙන්න හිතාගෙන ආපු ඇගේ අතේ ඒ වෙලාවේ මුදල් හැර වෙනත් දෙන්න දෙයක් තිබුණේ නැහැ. ඇය පැළඳ සිටි කැප් තොප්පිය ගලවලා මට දීලා ගියා. "LA" අකුරු දෙක ගහපු කැප් තොප්පියක්. ඔය තොප්පිය කාලයක් මා ළඟ තිබුණා.

ඔය සිද්ධිය වෙන කොට මම කවදාවත් ලංකාවෙන් පිට වෙනත් රටකට ගිහින් තිබුණේ නැහැ. පොතකින් පතකින් හෝ චිත්‍රපටියකින් දැනගෙන සිටි දෙයක් මිසක් වෙන රටවල් වල කටයුතු සිදුවෙන පිළිවෙළ ගැන අවබෝධයක් තිබුණේත් නැහැ. විදේශික කාන්තාවගේ හැසිරීම අනුව පෙනුනේ ඔය වගේ අවස්ථාවක ඇගේ රටේනම් මුලින්ම කරන්නේ පොලීසියට කතා කර උදවු ඉල්ලා ගන්න එක බවයි.

මේ කාලය වෙන කොට ජවිපෙ දෙවන කැරැල්ල ඉවර වෙලා වැඩි කාලයක් ගත වෙලා තිබුණේ නැහැ. කැරැල්ල කාලයේ ජවිපෙ කටයුතු කරපු ආකාරය ගැන වගේම පොලීසිය හා හමුදා එකතු වෙලා කැරැල්ල මර්දනය කරපු ආකාරය ගැනත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ජවිපෙට කිසිදු සම්බන්ධයක් නොතිබුණු කෙනෙක් වුවත් ඕනෑම වෙලාවක රාජ්‍ය මර්දනයේ ගොදුරක් විය හැකිව තිබුණා. කොටින්ම ඔය කාලය වෙද්දීත් පොලිස්කාරයෙක් කියන්නේ දකින්න ප්‍රිය උපදවන දර්ශනයක් නෙමෙයි. හදිසියකදී උදවුවක් ඉල්ල ගන්න එක කොහොම වුනත් අහම්බෙන් පොලිස් කාරයෙක් මුණ ගැහුණු වෙලාවක වුනත් අයින් වෙලා පයින් යන එක ඇඟට ගුණයි.

කාලයකට පස්සේ මම ඇමරිකාවේ පදිංචියට ආවා. ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ පොදු ප්‍රවාහන පහසුකම් ඇත්තේම නැති තරම්. නිවුයෝර්ක් වගේ නගර වල තත්ත්වය වෙනස්. මේ කියන කාලයේ මම හිටියේ පොඩි ගමක.

අර ලංකාවේදී කැප් තොප්පිය දුන්නු කාන්තාව අහම්බෙන් ඇමරිකාවේදී නැවත හමු වුනාද? නෑ. මේක හොලිවුඩ් චිත්‍රපටියක් හෝ ටෙලි නාට්‍යයක් නෙමෙයි. ඒ කතාව එතැනින් ඉවරයි. මේක වෙන කතාවක්.

පදිංචියට ඇවිත් ටික දවසකින් මූලික අවශ්‍යතාවයක් වන කාර් එකක් ගත්තා. අලුත් එකක් නෙමෙයි. ලංකාවේදීනම් හිතන්නවත් බැරි පොඩි ගාණකට.

ඊළඟ කාර්යය වුනේ රියදුරු බලපත්‍රය ලබා ගැනීම. ඒ වැඩෙත් කොහොම හරි කර ගත්තා. ඊට පස්සේ ළඟ පාත කඩේකට වගේ යන්න අවශ්‍ය වූ විට වෙන කාගේ හෝ උදවු ඉල්ලන්න අවශ්‍ය වුනේ නැහැ.

කාර් එක අරගෙන ටික දවසකින් ගමෙන් පිටත ආසන්න නගරයකට යන පළමු ගමන. කිලෝමීටර 130ක වගේ දුරක්. අධිවේගී මාර්ගයක වාහනයක් ධාවනය කරපු පළමු දවස. අපි ලංකාවෙන් එන කාලයේ ලංකාවේ අධිවේගී මාර්ග තිබුණේ නැහැ. වෙන රටකදී අධිවේගී මාර්ගයක වාහනයක් ධාවනය කරලා තිබුණෙත් නැහැ.

මේ වෙද්දී බිරිඳගේ මවත් අපේ ගෙදර ඇවිත් හිටියා. අප හිටියේ දෙවන දරුවා බලාපොරොත්තුවෙන්.

ගමේ පාරවල් වල වාහනය ධාවනය කළේ වැඩිම වුනොත් පැයට කිලෝමීටර හැත්තෑවක අසූවක වේගයෙන්. කිලෝමීටර වලින් කිවුවත් ඇමරිකාවේ දුර මනින්නේ හැතැම්ම වලින්. ඒ දවස් වෙද්දීත් ඔලුවේ තිබුණේ ලංකාවේදී කාලයක් තිස්සේ පුරුදු වී සිටි කිලෝමීටර් නිසාත්, පාරවල් හොඳ නිසාත් වේගය ඒ තරම් ඇඟට දැනෙන්නේ නැහැ. ලංකාවේදී පැයට කිලෝමීටර සීය පන්නන්න පුළුවන් තැන් තිබුණේ ඉතා අඩුවෙන් නිසා එය ලොකු වේගයක් වගේ හිතට දැනුනත් කිලෝමීටර සීය හැතැම්ම හැටපහක් වෙද්දී කිලෝ මීටර හැතැම්ම වෙනස අමතක වෙනවා.

ගමන ගිහින් අවුලක් නැතුව ආපහු ආවා. අවුල වුනේ ගමනේ අන්තිම හරියේදී. පැයට කිලෝමීටර සීයක වගේ වේගයකින් ඇවිත් ගමට ඇතුළු වන පාරට වාහනය හරවන්න ඕනෑ. ගමෙන් එළියට ගිය පළමු අවස්ථාව නිසා හරවන තැන ගැන අදහසක් නැහැ. ජීපීඑස් එක කියනකම් ඔහේ එන්නයි තියෙන්නේ.

ජීපීඑස් එක වාහනය පාරෙන් එළියට ගන්න දැනුම් දුන්නා. වාහනයේ වේගය අඩු කළත් රෑම්ප් එකේ වංගුව ගන්න අවශ්‍ය තරමට වේගය අඩු වුනේ නැහැ. පළමු දවස නිසා වංගුවේ වක්‍රතාවයේ තරම ගැන අදහසක් තිබුණේම නැහැ. වාහනය පාරෙන් එළියට පැන්නා. එළියට කියා කිවුවත් බොහොම පොඩ්ඩක්.

පාර දෙපැත්තේ ගල් කැට (gravel) දමලා. වාහනේ නැවතුනේ ඒ නිසා. වාහනයේ වැඩි කොටසක් තවමත් පාරේ වුනත් ඉස්සරහ රෝද පාරෙන් එළියේ.

ඔහොම දේවල් ලංකාවේදී ඕනෑ තරම් වෙලා තියෙන නිසා කිසිම අවුලක් දැනුනේ නැහැ. රිවස් කරලා ආපහු පාරට දාගෙන යන එකනේ තියෙන්නේ.

හැබැයි හිතපු විදිහටම වැඩේ වුනේ නැහැ. රෝද එක තැන කැරකෙනවා. පොඩි තල්ලුවක් ලැබුණානම් වාහනේ පාරට එනවා. ලෑල්ලක් වගේ දැම්මනම් ඒත් හරි.

ඔය තරම් දේවල් හිත හිතා ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. පාරේ ගිය තව වාහන දෙකක් නවත්වා ඒ වාහන වල සිටි අය උදවුවට ආවා. පාරේ මේ හරියේ වාහන මහ ගොඩක් යන්නේ නැහැ. ගෙවල් හෝ කඩ තියෙන හරියකුත් නෙමෙයි. දැකපු අය තමයි තමන්ගේ වාහන නවත්තලා උදවුවට එන්නේ. ඔය වගේ වෙලාවක සාමාන්‍යයෙන් බොහෝ ඇමරිකානුවන් උදවු කරන්න ඉදිරිපත් වෙනවා.

"මොකද වුනේ? මොනවා හරි උදවුවක් අවශ්‍යද?"

"නෑ. ප්‍රශ්නයක් නැහැ. වාහනේ පොඩ්ඩක් පාරෙන් එළියට ගියා විතරයි"

වාහනේ පාරෙන් එළියට ගියාම ප්‍රශ්නයක් නැති වෙන්නේ කොහොමද? අර ඇමරිකානුවා හිතන්න ඇති. කොයි තරම් බඩගිණි වෙලාවක වුනත් හදිසියේ ගෙදරකට ගියාම කෑමට ආරාධනා කළොත් "දැන් කන්න බෑ. කාලා ආවේ." කියල කියන්නනේ කාලයක් තිස්සේ පුරුදු වෙලා හිටියේ. ඔහොම කිවුවට අනිවාර්යයෙන්ම කෑම හම්බුවෙන බව දන්නවා. හැබැයි ඒ ලංකාවේ. ලංකාවෙත් ඒ දවස් වල.

"ටෝ ට්‍රක් එකකට කෝල් කරලද තියෙන්නේ?" ඇමරිකානුවා අහනවා.

"මූට පිස්සුද මන්දා...ටෝ ට්‍රක් එකක් ගෙනත් ගොඩ ගන්න වාහනේ අනිත් පැත්ත ගහල නෑනේ. ඔහොම දේවල්ද අපිට ලංකාවෙදි වෙලා තියෙන්නේ.." මම හිතනවා.

හිතුවේ ඔහොම වුනත් උත්තර දුන්නේ මෙහෙමයි.

"නෑ. ටෝ ට්‍රක් එකක් ගේන්න තරම් දෙයක් නැහැ. ඉස්සරහින් පොඩි තල්ලුවක් දෙන්න පුලුවන්නම් වාහනේ පස්සට එයි."

උදවුවට ඇවිත් හිටපු ඇමරිකානුවන් කිහිප දෙනා එකිනෙකාගේ මුහුණු බලා ගන්නවා. මෙහෙම දෙයක් ඒ මිනිස්සුන්ට ඒ තරම් පුරුදු නැහැ වගේ. හැබැයි වැඩේට ඉදිරිපත් වුනා.

වාහනයකට තල්ලුවක් දාන එකෙත් පොඩි කලාවක් තියෙනවනේ. මේ මිනිස්සුන්ට ඔය කලාව පුරුදු නැහැ. රෝද තවත් එක තැන කැරකුණා විතරයි.

"අපි ඇතුලෙ කට්ටියව බස්සලා ට්‍රයි කරලා බලමු."

ඔය වෙලාවෙම ඔතැනින් ගිය පොලිස් මුර සංචාරක රථයක් නවත්වා පොලිස් නිලධාරියෙක් බැහැලා ආවා. මම හිතන්නේ අහම්බයක්. මේ හරියේ පොලිස් මුර සංචාරක රථ නිතරම යන්නේ නැහැ.

"කාට හරි තුවාලද?"

"නෑ. පොඩ්ඩක් වාහනේ පාරෙන් එළියට පැන්නා විතරයි."

එළියේ උෂ්ණත්වය අඩුයි. ඒ නිසා, බිරිඳ, දරුවා හා බිරිඳගේ මව මේ වන තුරුත් හිටියේ වාහනය ඇතුළේ. පොලිස් නිලධාරියා ඔවුන්ට ඔහුගේ මෝටර් රථයට ගිහින් ඉන්න කියා ආරාධනා කර එහි එන්ජිම හා හීටරය ක්‍රියාත්මකව තැබුවා. එය ලොකු සහනයක් වුනා. ඉන් පසු ඔහු නැවත ආවා.

"ටෝ ට්‍රක් එකකට කෝල් කරලද තියෙන්නේ?"

"නෑ."

"නොම්මරයක් ළඟ තියෙනවද?"

"නෑ"

ඒ දවස් වල අන්තර්ජාල සම්බන්ධතා තිබෙන ස්මාර්ට් ෆෝන් ප්‍රචලිතව තිබුණේ නැහැ.

"මම ටෝ ට්‍රක් එකක් කෝල් කරලා දෙන්නද?"

දැන් වැඩේ කොහොමටත් ගොඩින් බේරගන්න බැරි බව පැහැදිලියි. ටෝ ට්‍රක් එකක් ගෙන්න ගන්න එක හැර වෙන විකල්පයක් නැහැ.

"හා"

පොලිස් නිලධාරියා අවශ්‍ය දුරකථන ඇමතුම ගත්තා.

"අපි දැන් ඉන්න අවශ්‍ය නැහැනේ. එහෙනම් අපි යනවා."

උදවුවට වාහන නවත්තපු ඇමරිකානුවන් පිටත්ව ගියා. ටික වෙලාවක් යද්දී ටෝ ට්‍රක් එක ආවා. ඉතා පහසුවෙන් වාහනයේ ඉදිරිපස ඔසොවා පාරෙන් තියලා දුන්නා. බොහොම පොඩි වෙලාවයි ගියේ. ඊට පස්සේ බිලකුත් දුන්නා.

ඔය අතරවාරයේ පොලිස් නිලධාරියා විසින් මගේ රියදුරු බලපත්‍රය ඇතුළු ලියකියවිලිද පරීක්ෂා කළා.

"ටෝ ට්‍රක් එක යන්න කලින් වාහනය ධාවනය කරන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න." පොලිස් නිලධාරියා මතක් කළා.

එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ටෝ ට්‍රක් යන්න ගියා. බිරිඳ හා මව දරුවාද සමඟ ඇවිත් වාහනයේ වාඩි වුනා. ඉතුරු වෙලා තිබුණේ කරපු හැම දෙයකටම පොලිස් නිලධාරියාට ස්තුති කරන එක පමණයි. මම ඒ සඳහා ඔහුගේ මෝටර් රථය දෙසට ගියා.

"පොඩ්ඩක් ඉන්න."

ඔහු මොකක්ද කොළයක් අතේ තිබ්බා.

"පාලනය කර ගත නොහැකි වේගයකින් වාහනය ධාවනය කිරීම නිසා මට ඔබට දඩ කොළයක් දෙන්න වෙනවා. ඔබ වරද පිළිගෙන දඩය ගෙවනවා නම් එය මේ ආකාර වලින් කළ හැකියි. ඔබ වරද පිළි නොගන්නවානම් මේ දේවල් කරන්න පුළුවන්." ඔහු විස්තර කළා.

"ඔබට මොනවා හරි දෙයක් පැහැදිලි කර ගන්න අවශ්‍යද?"

"නැහැ"

නැහැ නොකියා වෙන මොනවා කියන්නද?

"මේ මගේ බිස්නස් කාඩ් එක. පවුලේ අයත් එක්ක පරිස්සමෙන් යන්න."

ඔය තමයි මට ඇමරිකාවේදී ලැබුණු පළමු දඩ කොළය.

කොයි තරම් පරිස්සමෙන් එළෙවුවත් ඕනෑම වාහනයක් පාරෙන් එළියට පනින්න පුළුවන්. පොලිස් වාහනයක් වුනත් !

ඉකොනොමැට්ටාගේ බොජුන්හල