කැරැලි ගහන කල්ලන්ගේ කැකෑරෙන කලකිරීම

කැරැලි ගහන කල්ලන්ගේ කැකෑරෙන කලකිරීම

3 June 2020 11:45 pm

ඇමරිකාවේ සුදු වර්ගවාදය නැතිකරලීමට Malcolm Xගේ සටන්කාමී හඬටවත්, Martin Luther Kingගේ ජීවිත පූජාවෙන් ඉටුකළ කාර්යභාරයටවත්, Muhammad Aliගේ බොක්සින් ශුරතාවලටවත්, Jesse Owensගේ ඔලිම්පික් පදක්කම්වලටවත්, Ray Charlesගේ මිහිරි ගීතවලටවත්, Barack Hussein Obamaගේ ජනාධිපතිකමටවත් නොහැකිවී ඇත. George Floydගේ කෘර ඝාතනය එහි තවත් එක් පිලිබිඹුවක් පමණි. 

දිනපතා මියයන, වදහිංසාවට ලක්වන, නොසලකා හරින ලද මිලියන ගණනක කළු ඇමරිකානුවන්ගේ ජීවිතවලට සාධාරණයක් ඉටුවීම/නොවීම බොහෝදුරට තීරණය වනුයේ ඇමරිකානු අධිපති දේශපාලන මතවාදය එරට රාජ්‍ය පාලනය තුළ කෙතරම් තීරණාත්මකව නියෝජනය වෙනවාද/නැද්ද යන්න මතය. ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි සුදු-වාර්ගික-ජාතිකවාදී, මිලිටරි දක්ෂිණාංශිකයෙකුගේ රාජ්‍ය පාලනය තුළ පීඩිතයින්ට හිමිවන යුක්තියක් නැති බව කළු ජාතිකයින් මෙන්ම සෙසු සමාජ ස්ථරද දනී. ඔවුන් විදී බැස ඇත්තේ ඔවුන්ගේ විරෝධය සටහන් කිරීමටය. කඩ සාප්පු ගිනිතබමින් නගර වීදී අවුළුවන්නේ සිය හදවත්ව තුළ බුරා බුරා දැල්වෙන ගින්න සටහන් කිරීමට මෙන්ය. පොලීසීයට ගල් ගසමින්, පොලිස් වාහන ගිනි තබමින් ඔවුන් ඉදිරියට ඇදෙන්නේ 'තොපේ නීතිය අපේ මරණයද ?' යන්න මතු කරලමිනි. 

ඇමරිකාවේ මුළු ජනග්‍රහණයෙන් කළු මිනිස්සු සිටින්නේ 13.4% කි. ආසියාතිකයෝ  5% ක් සිටී, ලතින් ඇමරිකානුවන් 18% ක් සිටි. 'සුදු' යැයි කියන යුරෝපීය ජනයා ඇමරිකාවේ ජනග්‍රහණයෙන් 60% ක් පමණ වේ. එම සුදු ජාතිකයින් ස්පාඤ්ඤයෙන්, බ්‍රිතාන්‍යයෙන්, ප්‍රංශයෙන්, ජර්මනියෙන්, ඉතාලියෙන්, අයර්ලන්තයෙන්, පෝලන්තයෙන්, පෘතුගාලයෙන්, රුසියාවෙන් සහ වෙනත් නැගෙනහිර යුරෝපානු රටවලින් සංක්‍රමණය වූවන්ය. සංඛ්‍යාත්මකව තත්වය එසේ වුවත් අප වැනි රටවල බොහෝ දෙනා සිතා සිටිනුයේ ඇමරිකාවේ 'සුදු' සහ 'කළු' ජනයා හරි හරියට, පනහට-පනහක්, පනහට-හතලිහක් වැනි ප්‍රමාණයක් සිටින බවය. 

සමහර විට එසේ සිතීමට හේතුවක් වනුයේ, එරට චිත්‍රපටි, ක්‍රීඩා, සංගීතය සහ වෙනත් ජනප්‍රිය-සංස්කෘතික අංග රාශියක එරට කළු ජනයා කැපී පෙනෙන ලෙස ඉස්මතු වී පෙනීයාමත්, සුවිශේෂ දක්ෂතා දැක්වීමත් නිසා විය හැක. එහෙත් එරට ආර්ථික, දේශපාලන සහ අධිපති සංස්කෘතික ධාරාව තුළ කළු ජාතිකයින් කිසිසේත්ම බලයක්, හැකියාවක්, ආධිපත්‍යයක් උසුලන පිරිසක් නොවේ.

ඇමරිකාව තුළ කළු ජාතිකයින්ට වඩා ආසියාතිකයින් ව්‍යාවසායකින්, වෘත්තීයවේදීන්ව සිටී. නිෂ්පාදන සාධක, නිෂ්පාදන සබඳතා අතිමහත් බහුතරයක් එරට 'සුදු' ජනයාට අයත්ව තිබෙන අතර එහි අයිතිය අනුව ගතහොත් ඇත්තටම කළු ජාතිකයින් සිටිනුයේ ආසියාතිකයන්ට පමණක් නොව ලතින් ඇමරිකානුවන්ටත් වඩා අඩු හිමිකාරත්වයකිනි. දේශපාලන තලය තුළ වුවත්, බැරක් ඔබාමා එරට ජනාධිපතිවරයෙක් ලෙස පත්වුවත්, ඇත්තටම කළු ජාතිකයින්ට වඩා ලතින් ඇමරිකානු නියෝජිතයින් වැඩි පිරිසක් ඇමරිකාවේ මහජන නියෝජිතයින් ලෙස කටයුතු කරනු ලැබේ. අධිපති සංස්කෘතික ධාරාව වන 'බටහිර-ක්‍රිස්තියානු' සංස්කෘතිය තුළත් කළු ජාතිකයින්ට වඩා ලතින් ඇමරිකානුවන් එකී සංස්කෘතික ධාරාව තුළ වඩා අනන්‍ය වී සිටී. අතිමහත් ලතින් ඇමරිකානුවන් පිරිසක් කතෝලිකයින් වන අතර ඔවුන් ඉතාලි, අයර්ලන්ත, ස්පාඤ්ඤ, පෝලන්ත, පෘතුගීසි ජනයා සමග එකම දේවස්ථාන පරිශ්‍රයක් තුළ සමාජානුයෝජනය වීමත්, කළු ජාතිකයින් විවිධ නම්වලින් විවිධ දේවස්ථාන ගොඩනගාගෙන වෙන වෙනම කටයුතු කිරීමත් එයට හේතුවී තිබේ. එය එක්තරා ආකාරයක කළු ජාතිකයින් ප්‍රධාන ධාරාවෙන් විතැන්ව ඔවුන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට ගන්නා උත්සහයක් ලෙසද දැක්විය හැක.

මේ සියලු කාරණා තුළ පෙනී යන්නේ කළු ඇමරිකානු ජනයා ඇමරිකාව තුළ අසාධාරණට, නොසලකා හැරීමට ලක් වූ නිසි පිළිගැනීමකට ලක් නොවූ සුළු ජනකොටසක් බවයි. ඓතිහාසිකව නම් ඔවුන් වහල්ලුන් ලෙස ඇමරිකාවට ගෙනෙනු ලැබූවන්ය. දහසකුත් එකක් වදහිංසාවට ලක්වූවන්ය. 1970 පමණ වනතුරු ඔවුන්ට සුදු ජාතිකයින් සමග එකම අසුනේ ඉඳගැනීමටවත්, එකම පොදු වැසිකිලිය භාවිතා කිරීමටවත් ඉඩක් ලැබුනේ නැහැ.

අද නීත්‍යනුකූලව එවැනි වර්ගවාදී නීතිරීති පැනවිය නොහැකිවූවත්, හමේ පැහැය නිසා කළු ජාතිකයින්ව වෙනස්කොට සැලකිය නොහැකිවුවත්, ඔවුන් දෙස තවමත් බලන්නේ ඒ විදිහටමය. සැකයෙන් සහ වැඩිය ලංකර ගතයුතු නැති පිරිසක් ලෙසය. රස්සාවක් දීමේදී හෝ කළු ජාතිකයින් සමග එකට වැඩකිරීමේදී හිතන්නේ 'මුන් හොරකම් කරයිද', 'තියෙන දෙයක් උස්සන් දුවයිද', 'අහුවෙන දෙයකින් දමල ගහයිද', 'මුණකට කුඩුකරලා දායිද', 'ඇඟ තිබ්බට කට කියෝ කියෝ ඉන්නවා මිසක් වැඩක් කරන්න හරි කම්මැලි ජාතියක්', 'වැසිකියකට ගියත් එ්කත් ඉවරයි නේද' ආදී ද්වේශ සහගත ආකල්ප සමගය.

කළු ජාතිකයිනුත් ඒ ගැන හොඳින් දනී. කොච්චර වුවද ඔවුන් 'සුද්දෝ' සමග පෑහෙන්නේ ඉහත කී තත්වයන් කොයි මොහොතේ හෝ මතුවිය හැකියැයි යන මානසිකත්වය තුලය. කළු ජාතිකයින් සුදු ජනයා ගැන සිතනුයේ 'ඔවුන් අපි දිහා බලන්නේ සමාන මනුෂයෝ ලෙසවත්, දයානුකම්පාවෙන්වත් නොව, සැකයෙන්, බයෙන් ද්වේශෂයේන්' බවය. කළු ජාතිකයින්ට මේ ආතතිය දැඩි පීඩනයක් ගෙන දෙන්නකි. ඔවුන්ට එය තදින්ම දැනේ. ඔවුන් එය හැමදාම අත්විඳී. ඔවුන් එය හිරකරගෙන සිටිනුයේ ඉතාම අමාරුවෙනි.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ (George Floyd) ඝාතනය වැනි සිද්ධියක් ඔවුන්ට සිය විරෝධය එළිපිටම දක්වන්නට අවස්ථාවක් උදා කරයි. පාරට බැස, කඩ කුඩුකර, වාහන ගිනි තබා, පොලිසියට ගල්ගසා, පොලිස් වාහන ගිනි තිබා ඔවුන් සිය විරෝධය පිටාර ගලා යන්නට සලස්වයි.

කල්ලෝ පාරට බැස කඩ කුඩුකරද්දී එයට කළු-සුදු බේදයකින් තොරව ලුම්පන්, ලතින් ඇමරිකන්, අරාජික, හොරු, මිනීමරු, තක්කඩි, මංකොල්ලකාර, සියලු සමාජ විරෝධීන් එක් වේ. ඔවුන් සියල්ලෝම එකට එක්වී පුළුවන් තරම් කඩා බිඳදමා විනාෂය උපරිමයෙන්ම සිදුකිරීමට වගබලා ගනිති. ඔවුන්ට හැකිනම් කඩා බිඳදමා ගිනිතබා දමනවාට අමතරව කපා, කොටා, මරා, පුළුස්සා දැමීමට හැකිනම් එයත් කරති.

ඒ සියල්ල අන්තිමට බැරවෙන්නේ කළු මිනිස්සුන්ගේ ගිණුමටය. 'කල්ලෝ කියන්නේ කලබල ඇතිකරන, කැරලි ගහන, කඩාකප්පල්කාරී ජාතියක්' යන මතය එමගින් තවත් වටයකින් නැවත තහවුරුවීමක් සිදු වේ. අවසාන වශයෙන් පොලිසීය හමුදාව පැමිණ වෙඩිතබා මරාදමන්නේද කළු ජනයාමය. ඔවුන් හැමදාම සෙක්කුවේ බැඳී සතුන් මෙන් එකම ඉරණමක් කරමත තියාගෙන එකම රවුමේ නැවත නැවත කැරකෙන, ඒ මතම හති වැටී මියයන, ගැලවීමක්, විමුක්තියක්, ගැන අස්වැසිල්ලක්වත් නොලත් ජන පිරිසක් වී ඇත.

එය අපව නැවත කැඳවන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ (George Floyd) අවසාන් වචන පෙළටය - 'I Can't Breathe'

පීඩීතයින්ට 'නිදහසේ හුස්ම ගැනීමත්' වෙරදරා අත්කර ගත යුත්තකි.  

මාකස් ප්‍රියන්ත පෙරේරා