ජෝජ් ෆ්ලොයිඩ් හා ආරුමුගම් තොණ්ඩමන්

ජෝජ් ෆ්ලොයිඩ් හා ආරුමුගම් තොණ්ඩමන්

3 June 2020 02:02 pm

බටහිර දේශාංශ 79 ආසන්නයේ වූ නගරයක ඉපදුනු ජෝජ් ෆ්ලොයිඩ් හා නැගෙනහිර දේශාංශ 80 ආසන්නයේ වූ නගරයක ඉපදුනු ආරුමුගම් තොණ්ඩමන් අතර තිබෙන සම්බන්ධය කුමක්ද? එහෙම සම්බන්ධයක් තියෙනවද?

මේ දෙන්නා කවදාවත්ම එකිනෙකා හමු වෙලා නැතුව ඇති. සම්බන්ධයක් ගැන කතා කරන්න දෙන්නෙක් හමු වී තියෙන්න අවශ්‍යම නැහැ.

ජෝජ් ෆ්ලොයිඩ් පසුගිය 25 වෙනිදා රෑ මිය ගියා. ලංකාවටනම් මැයි 26 වෙනිදා උදේ. ආරුමුගම් තොණ්ඩමන් මිය ගියේත් එදාමයි. ජෝජ් ෆ්ලොයිඩ් ඇමරිකාවේ සුළු ජාතිකයෙක්. ආරුමුගම් තොණ්ඩමන් ලංකාවේ සුළු ජාතිකයෙක්. මේ දෙදෙනාගේම මරණ නීතියේ සමානාත්මතාවය ගැන කතිකාවකට මුල පුරා තිබෙනවා.

මේ වගේ සමානකම් පෙන්නන්න පුළුවන් වුනත් මේ සමානකම් අතර වෙනස්කම්ද කැපී පෙනෙනවා.

ජෝජ් ෆ්ලොයිඩ් මිය ගියේ පොලිස් අත් අඩංගුවේදී. මරණ පරීක්ෂක වාර්තාව අනුව එය මිනීමැරුමක්. එහෙත්, ආරුමුගම් තොණ්ඩමන් මිය ගියේ ස්වභාවික හේතුවකින් රෝහලකදී.

ජෝජ් ෆ්ලොයිඩ් ඇමරිකාවේ සුළු ජාතිකයෙක් වෙන්නේත්, ආරුමුගම් තොණ්ඩමන් ලංකාවේ සුළු ජාතිකයෙක් වෙන්නේත් එකම පදනමකින් නෙමෙයි. ජෝජ් ෆ්ලොයිඩ් සුළු ජාතිකයෙක් වෙන්නේ ඔහුගේ හමේ පැහැය කළු නිසා. ඇමරිකාවේ මහ ජාතිය හමේ පැහැය සුදු අයයි. මේ කණ්ඩායම් දෙකට අයත් අය බොහෝ විට දුටු පමණින්ම වෙනස් ලෙස හඳුනාගන්න පුළුවන්. කණ්ඩායම් දෙකේම ඉන්නේ එකම කාලයකදී ලෝකයේ විවිධ රට වලින් ඇමරිකාවට සංක්‍රමණය වූ අය හෝ ඒ අයගෙන් පැවත එන්නන්. උපතින් ලැබෙන දෙයක් වන හමේ පැහැය වෙනස් කර ගැනීම ඉතාම අසීරු කටයුත්තක් නිසා කළු ඇමරිකානුවෙකුගේ දරුවෙකුට සුදු ඇමරිකානුවෙක් වෙන්න ස්වභාවික ජීව විද්‍යාත්මක බාධකයක් තිබෙනවා.

ආරුමුගම් තොණ්ඩමන් ලංකාවේ සුළු ජාතිකයෙක් වෙන්නේ මෙවැනි පදනමකින් නෙමෙයි. සංස්කෘතික සංකේත නොවන්නට ඔහුව රටේ මහ ජාතිය වන සිංහලයෙකුගෙන් වෙනස් කොට හඳුනාගන්න බැහැ. ඔහු අයත්වන ඉන්දියානු දෙමළ කණ්ඩායම ලංකාවේ ජාති හෝ ජනවර්ග ලෙස හැඳින්වෙන ප්‍රධාන කණ්ඩායම් අතරින් ලංකාවට වඩාත්ම මෑතකදී සංක්‍රමණය වූ කණ්ඩායමයි. ආරුමුගම් තොණ්ඩමන්ගේ සීයා ඉන්දියාවේ ඉපදුණු අයෙක්. ඔහු ලංකාවට සංක්‍රමණය වී වසර සියයකටත් අඩුයි. ලංකාවේ ඉපදුණු ආරුමුගම් තොණ්ඩමන් විසින් නියෝජනය කරන ලංකාවේ ඉන්දියානු දෙමළ කුලකය ලංකාවේ මහ ජාතිය වන සිංහලයින්ගෙන් වෙනස් වන්නේ සංස්කෘතික කරුණු මතයි. පෞද්ගලිකව ආරුමුගම් තොණ්ඩමන් ජීවත් වූ  සංස්කෘතිය ඔහු විසින් නියෝජනය කළ ඉන්දියානු දෙමළ සංස්කෘතියම නොවෙන්නත් පුළුවන්.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව රට පුරා විරෝධතා පැන නැගී තිබෙනවා. උද්ඝෝෂකයින්ගේ මතය නීතිය ඉදිරියේ සුළුතර කළු ජාතිකයින්ට සමාන සැලකිලි නොලැබෙන බවයි. ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමඟුල් උළෙල පැවැත්වුණු ආකාරය පිළිබඳවද, මේ ආකාරයෙන්ම නොවූවත්, බොහෝ දෙනෙකු විරෝධය පළ කර තිබෙනවා. එහෙත්, එය සුළුතර කණ්ඩායමකට වැඩි සැලකිල්ලක් ලැබීම පිළිබඳව වන විරෝධයක්.

මෙසේ නීතිය ඉදිරියේ වැඩි සැලකිලි ලැබුවේ ලංකාවේ ජීවත්වන ඉන්දියානු දෙමළ සුළුතර කණ්ඩායම කියා කියන්න බැහැ. එම කණ්ඩායමේ වීම නිසා ලංකාවේදී පුද්ගලයෙකුට වැඩි සැලකිලි ලැබෙන්නේ නැහැ. මෙහිදී ආරුමුගම් තොණ්ඩමන් වැඩි සැලකිලි ලැබුවේ රටේ දේශපාලන බලය හිමි සුළුතර කණ්ඩායමේ අයෙකු ලෙසයි. එම සුළුතර කණ්ඩායම නීතිය ඉදිරියේ බලවත්ව සිටින්නේ වෙනත් විශාල පිරිසක් තමන් සතු බලය ස්වේච්ඡාවෙන් ඔවුන් වෙත ප්‍රදානය කර නිහඬව සිටින නිසයි.

ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය කියන කරුණු තුන ඇතුළත් පැකේජය බටහිර රටවල ආර්ථික-දේශපාලන ව්‍යුහය හැඩගස්වන මූලධර්ම තුනක්. මේ මූලධර්ම බොහෝවිට අනුපූරක වුවත්, ආදේශක වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, ධනවාදී විසඳුම හා ප්‍රජාතන්ත්‍රවාදී විසදුම හැම විටම එකක්ම නෙමෙයි. නීතිය හා නීතියේ ආධිපත්‍යය කියන්නේ මේ දෙකෙන්ම බැහැර වෙනම කරුණක්.

ධනවාදය තුළ නිදහස් ගනුදෙනු කිරීමේ අයිතිය පිළිගැනෙනවා. මේ අයිතිය තියෙන්නේ කාටද? එය ධනවාදයෙන් බාහිරව තීරණය වන දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය තුළ හැම පුද්ගලයෙකුගේම අදහස් වලට ඉඩක් ලැබෙනවා. එහෙත්, මේ පුද්ගලයා කවුද කියන එක තීරණය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වෙනත් මානයකයි.

එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගේ දේපොළක් සේ සැලකුණු, වහලුන් හා වහල් හිමියන් ලොව පුරාම සිටි කාලයක් තිබුණා. ඒ කාලයේදී එක් වහල් හිමියෙකු විසින් තමන්ට අයිති වහලෙකුව වෙනත් අයෙකුට විකිණිය හැකි වීම සමාජ සම්මතයක්. එවැනි තත්ත්වයක් දිගටම පැවතිය යුතුද නැද්ද කියන එක තීරණය වන්නේ එක්කෝ ඒ වන විට ජීවත් වන නිදහස් මිනිසුන්ගේ අදහස් වෙනස් වීම මත. එසේ නැත්නම් වහලුන් ලෙස ජීවත් වන මිනිසුන්ගෙන් එන ප්‍රතිරෝධය මත. නිදහස් වෙළඳාමේ යෙදීමේ අයිතිය ඇති නිදහස් මිනිසෙකු හා වෙළඳ භාණ්ඩයක් වන වහලෙකු වෙන් කරමින් ඉරක් අඳින එක ධනවාදයට පිටින් සිදුවෙන දෙයක්.

සියලු මිනිසුන් සමානයි කියන අදහස සම්මතයක් වෙන්න ආබ්‍රහමික ආගම් වලින් විශාල බලපෑමක් කෙරුණා. මුල්ම මිනිසා හා ගැහැණිය මැවුවේ දෙවියන් වහන්සේ විසින්නම්, අනිත් හැමෝම ඒ අයගෙන් පැවත එන්නන්නම්, මිනිස්සු එකිනෙකාගෙන් වෙනස් වෙන්න මූලධාර්මික හේතුවක් නැහැ.

වත්මන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය වගේම ධනවාදයත් ගොඩ නැගී තිබෙන්නේ සියලු මිනිසුන් සමානයි කියන මූලධර්මය මත පදනම්වයි. සමාජවාදය තුළ මේ මූලධර්මය තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් සියලු මිනිසුන් සමාන නිසා සියලු මිනිසුන්ගේ ශ්‍රමය සමානයි කියන තැන දක්වාම යනවා. ඒ අනුව, සම්පත් සමාන ලෙස බෙදී යාම සාධාරණීකරණය කෙරෙනවා.

ධනවාදය තුළ මිනිසුන්ගේ ශ්‍රමය, හැකියාවන් හා රුචිකත්වයන් සමාන සේ නොසැලකෙන නිසා සම්පත් සමානව බෙදී යා යුතුයැයි සැලකෙන්නේ නැහැ. ඒ වෙනුවට ධනවාදයේ මූලධර්මය වෙන්නේ සම්පත් වල අයිතිය එම සම්පත් නිපදවීමට දායක වන අයට හිමි විය යුතු බවයි.

ධනවාදය තුළත් සියළු මිනිසුන් සමාන බව මූලධාර්මික ලෙස පිළිගැනෙනවා. ඒ නිසා, සම්පත් සමානව බෙදී යාම අවශ්‍ය නොවූවත්, ඕනෑම කෙනෙකුට සම්පත් අත්පත් කර ගැනීමට සමාන අවස්ථා ලැබිය යුතු බව මූලධාර්මික ලෙස පිළිගැනෙනවා.

හැබැයි ඔය සියලු මිනිසුන් සමානයි කියන එක විශ්වාසයක් හෝ සම්මතයක් පමණයි. ඒ නිසා, ඒ සම්මතය තුළ ගොඩ නැගුනු සමාජ ආකෘති, සමාජවාදය වේවා, ධනවාදය වේවා, පවතින්න අදාළ සමාජයේ විශාල පිරිසක් මේ සම්මතය පිළිගත යුතුයි. එසේ නැත්නම් සමාජ ආකෘතියකට පැවැත්මක් නැහැ.

සියලු මිනිසුන් සමානයි කියන සම්මතය පිළිගැනීම හා සියලු මිනිසුන් සමානයි කියා විශ්වාස කිරීම කරුණු දෙකක්. සමාජවාදී වගේම බටහිර ධනවාදී රටවල් ගණනකම සියලු මිනිසුන් සමානයි කියන සම්මතයට පොදු පිළිගැනීමක් තිබුණත් මේ රටවල් වල මිනිස්සු වැඩි පිරිසක් සියලු මිනිසුන් සමානයි කියා විශ්වාස කළා කියලා මම හිතන්නේ නැහැ. සියලු මිනිසුන් සමානයි කියන සම්මතය පිළිගන්වන්න මිසක් එවැනි විශ්වාසයක් තහවුරු කරවන්න ආගම් වලට හැකි වුනේ නැහැ. සමාජවාදයට හැකි වුනෙත් නැහැ. බටහිර ධනවාදයට හැකි වෙලත් නැහැ.

මේ අදහස ආබ්‍රහමික ආගම් වලින් ආ අදහසක් කියා මම කිවුවනේ. හැබැයි බොහෝ විට ආගම් හරහා ඔය වගේ සම්මතයක් ප්‍රචලිත වෙන්නෙත් එයින් සිදු කෙරෙන කිසියම් කාර්ය භාරයක් ඇත්නම් පමණයි. සමාජවාදී රටවල් බොහෝ විට මැවුම්වාදය හා සම්ප්‍රදායික ආගම් ප්‍රතික්ෂේප කළා. ඒ ඉඩ පිරවූයේ පරිණාමවාදය විසින්. හැබැයි මෙහිදී පරිණාමවාදය යොදා ගත්තේත් සියලු මිනිසුන් සමානයි කියන මූලික විශ්වාසය තහවුරු කිරීමේ උපකරණයක් විදිහටයි. එය එහෙම නොවෙයි කියා තහවුරු කරන්න අවශ්‍ය කෙනෙකුට ඒ වැඩේටත් පරිණාමවාදය වගේම ආබ්‍රහමික ආගමුත් යොදා ගන්න පුළුවන්.

මෙතැනදී ආගමික හෝ විද්‍යාත්මක මූලයක් තිබීමට වඩා වැදගත් වුනේ සියලු මිනිසුන් සමානයි කියන සම්මතය පිළිගැනීමේ වාසි බොහෝ දෙනෙකුට තිබීමයි. එහිදී මෙය ආර්ථික විද්‍යාවේ විෂය පථයට සම්බන්ධ වෙනවා.

නීතිය කියන දෙය අවශ්‍ය වන්නේම එවැන්නක් නැත්නම් කිසියම් සමාජයක සියලු දෙනාම පවතින සමාජ ආකෘතිය සමඟ ගැලපෙන පරිදි කටයුතු නොකරන නිසා. මෙහිදී මම නීතිය කියන යෙදුමට සමාජ සම්මත, චාරිත්‍ර වාරිත්‍ර ආදියත් ඇතුළත් කරනවා. නීතියෙන් කරන්නේ පුද්ගල කැමැත්ත පොදු කැමැත්තට යටපත් කරන එකයි. ඒ නිසා නීතියක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ බොහෝ දෙනෙකුගේ පුද්ගල කැමැත්ත පොදු කැමැත්ත සමඟ ගැලපෙනවානම් පමණයි. සුළු පිරිසකගේ කැමැත්ත පොදු කැමැත්ත සමඟ නොගැලපෙනවානම් එක්කෝ ඒ අයට අකැමැත්තෙන් පොදු කැමැත්තට ඉඩ දෙන්න වෙනවා. නැත්නම් දඬුවම් විඳින්න වෙනවා. මේක මිනිස් සමාජයකට වගේම සත්ත්ව ගහණයකට වුවත් පොදු කරුණක්.

බස් එකකට නගින අවස්ථාවක් ගැන හිතන්න. හැමෝම බස් එකට නගින්න පොරකනවානම් මට පැත්තකට වෙලා ඉන්න බැහැ. එහෙම හිටියොත් මළාට සීට් එකක් හම්බ වෙන්නේ නැහැ. හැමදාම හිටගෙන. ඒ නිසා, අනිත් හැමෝම පොරකනවානම් මටත් පොරකන්න වෙනවා. නැත්නම් පාඩුව විඳ දරාගන්න වෙනවා.

කට්ටියම පෝලිමේ බස් එකට නැග්ගොත් මුලින් නගින අයට සීට් ලැබෙනවා. පස්සේ නගින අයට නැති වෙනවා. එක දවසක සීට් එකක් නැති වුනත්, හැමදාම නැති වෙන්නේ නැහැ. අතරින් පතර දවසක සීට් එකක් ලැබෙනවා. පොරකාලා නැග්ගා කියලත් ඔය ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. කොහොම හරි පොර කාලා කලින් නැග්ගොත් සීට් එකක් ලැබෙනවා. නැත්නම් නැහැ.

අන්තිමට වෙනස සීට් එකක් ලැබෙනවාද නැද්ද කියන එක නෙමෙයි. පෝලිමේ ගියත්, පොර කෑවත් බස් එකේ සීට් ගණන වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, පොර කාලා තුවාල කර ගන්න එකේ කිසිම තේරුමක් නැහැ. හැබැයි ඒ හැමෝම පෝලිමේ ඉන්නවානම් පමණයි. අනෙක් අය බස් එකට නගින්න පොරකනවානම් එක් කෙනෙක් පැත්තකට වෙලා ඉන්න එක ඉල්ලං කෑමක් වෙනවා.

පාරේ වාහන එළවන එකත් ඔය වගේ. හැමෝම එකම වේගයකට වාහන එළවනවානම් නිතර නිතර වාහන ඉස්සර කරන්න අවශ්‍ය නැහැ. නිතර නිතර තිරිංග තද කරන්න අවශ්‍යත් නැහැ. කාටත් ඉක්මණින් ගමනාන්තයට යන්න පුළුවන්. නමුත්, හැමෝම එහෙන් මෙහෙන් රිංගලා යන්න හදනවානම් එහෙම නොකරන කෙනාට ගමන යන්න වෙන්නේ සෑහෙන්න පරක්කු වෙලා. හැමෝම ඔය වැඩේ කරන්න ගියාම වෙන්නේ හැමෝගෙම ගමන පරක්කු වෙන එකයි.

මිනිස්සු තනි තනිව පවතින තත්ත්වයට ප්‍රතිචාර දක්වනවා. ඒ තමන්ට වඩාත්ම වාසිදායක වන ආකාරයටයි. සමහර වෙලාවට මේ තනි ප්‍රතිචාර නිසි පරිදි සම්බන්ධීකරණය කරගත් විට හැමෝටම වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. නීති, සම්මත, චාරිත්‍ර වාරිත්‍ර ඇති වෙන්නේ ඒ වගේ තත්ත්වයන් යටතේදීයි.

ඉතා සුළු පිරිසක් විසින් නීතියක් හෝ සම්මතයක් කැඩුවා කියලා සම්මතය බිඳ වැටෙන්නේ නැහැ. නමුත්, මේ ප්‍රමාණය යම් සීමාවකට වැඩිනම් සම්මතය පවත්වා ගන්න බැහැ. එය බිඳ වැටෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම කියා කියන්නේ විශාල පිරිසකට වාසිදායක සම්මතයක් ඉතා සුළු පිරිසකගේ ක්‍රියාවන් හේතුවෙන් බිඳ වැටෙන එක වලක්වා ගන්න දරන උත්සාහයක්.

ඇමරිකාවේදී පුද්ගලයෙකුට නොදන්නා පුද්ගලයෙක් සමඟ කරන ගනුදෙනුවකදී අනෙක් පුද්ගලයා පිළිබඳ කිසියම් විශ්වාසයක් තියන්න පුළුවන්. ඔහු හෝ ඇය මා කැමති මිලට භාණ්ඩයක් ගන්න එකඟ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. ඒ පිළිබඳව මට සහතිකයක් නැහැ. එහෙත්, ඔහු හෝ ඇය මා සතු භාණ්ඩය වෙනුවෙන් මුදල් නොගෙවා එය පැහැරගෙන යන්න ඉඩක් නැහැ. හමුවන හැම නොදන්නා පුද්ගලයෙකු විසින්ම වාගේ මා සතු භාණ්ඩය වෙනුවෙන් මුදල් නොගෙවා එය පැහැරගෙන යන්න ඉඩක් ඇත්නම් භාණ්ඩය විකුණනවා වෙනුවට මට කරන්න වෙන්නේ භාණ්ඩය රැක ගන්නා ආකාරය ගැන හිත හිතා ඉන්නයි.

මට හමුවෙන අහඹු පුද්ගලයෙක් බොහෝ විට මා සතු භාණ්ඩය වෙනුවෙන් මුදල් නොගෙවා එය පැහැරගෙන යන්නේ නැති වුවත් යම් අයෙකු විසින් කලාතුරකින් එසේ කළ හැකියි. බදු මුදල් වැය කරමින් පොලිස් නිලධාරීන් නඩත්තු කරන්නේ ඒ අවදානම අඩු කර ගන්නයි. පොලිස් නිලධාරියා කියා කියන්නේ පිළිගත් සම්මතය කඩන අයට දඬුවම් කර සම්මතය කැඩීම  අධෛර්යමත් කරන යාන්ත්‍රණයේ කොටසක්. ඒ සඳහා පොලිස් නිලධාරියාට බලය ලැබෙන්නේ විශාල පිරිසක් විසින් සම්මතය පිළිගැනීම තුළයි.

දෙදෙනෙකු අතර සිදුවන අන්තර් ක්‍රියාවකදී ඒ දෙදෙනා විසින්ම ගන්නේ තමන්ට වාසිදායක ස්ථාවරයයි. මෙහිදී ප්‍රශ්නයට මැදිහත්වන තෙවැන්නෙකු විසින් ඒ දෙදෙනාම සමාන සේ සැලකිය යුතු වෙනවා. සම්මතය තුළ තෙවැන්නාට භූමිකාවක් තිබෙන්නේම එසේ සියල්ලන්ට සමාන සේ සලකන බවට වන විශ්වාසය මතයි. එහෙත්, පොලිස් නිලධාරීන් කියන්නේ සියලු  මිනිසුන් සමාන සේ සැලකිය යුතු බවට වන සම්මතය පිළිගත් අය මිස සියලු  මිනිසුන් සමාන බව විශ්වාස කරන අය නෙමෙයි. තනි පුද්ගලයින් සේ ගත් විට පොලිස් නිලධාරීන්ට අනෙක් පුද්ගලයින් පිළිබඳ පූර්ව නිගමන තිබෙනවා. ඒවා යටපත් වෙන්නේත් සම්මතය තුළයි. මේ සම්මතයට නීති, චර්යා ධර්ම, සම්මත ආදිය ඇතුළත්.

පොදු සමාජයේ අහඹු පුද්ගලයෙකු ඉඳ හිට පොදු සමාජයේ සම්මත බිඳින විට අප පොලීසිය කැඳවනවා. එහෙත්, පොලිස් නිලධාරීන් අතරද ඉඳ හිට සම්මත බිඳින අයෙකු හමු වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයින් අධෛර්යමත් කෙරෙන යාන්ත්‍රණයක් නැත්නම් සමස්තයක් ලෙස පොලීසිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා. වඩා පුළුල්ව කිවුවොත් නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩු පාඩු හැදුණේ නැත්නම් නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා.

නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු හදන්න වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළමයි. අඩුපාඩු සංස්ථාගත නොවන තාක් කල් එය සාර්ථකයි. එහෙත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු සංස්ථාගත වූ විට බාහිර සමාජයේ මැදිහත්වීමක් නැතිව අඩුපාඩු හැදෙන්නේ නැහැ.

ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය අහම්බයක් වෙන්න පුළුවන්. පොලිස් නිලධාරියාගේ අරමුණ වුනේ ඔහුව මරා දැමීම කියා හිතන්න බැහැ. එහෙත්, මරණයට හේතු වූ ක්‍රියාවලිය අහම්බයක් නෙමෙයි. ඒ වගේ දෙයක් වෙනත් පොලිස් නිලධාරියෙක් අතින් වෙනත් තැනකදී සිදු වෙන්න පුළුවන්. බාහිර සමාජයේ දැඩි ප්‍රතිරෝධය නිසා වෙනත් අයෙකු වෙනත් තැනකදී කරන්නට ඉඩ ඇති මෙවැනි කටයුත්තක් අධෛර්යය කෙරෙනවා. මා ප්‍රතිරෝධය දැක්වීම කියා කියන්නේ පෞද්ගලික හා පොදු දේපොළ විනාශ කිරීම, පැහැර ගැනීම හෝ හොරකම් කිරීම නෙමෙයි. ඒ වගේ වැඩ වලින් වෙන්නේ විරෝධය අයාලේ යාම පමණයි.

ඇමරිකාව තුළ සියලු මිනිසුන් නීතිය ඉදිරියේ සමානය කියන සම්මතයට පිළිගැනීමක් තිබෙනවා. ඒ නිසා, සියයට සියයක්ම නැතත් නීතිය සෑහෙන තරම් සාධාරණ ලෙස ක්‍රියාත්මක වෙනවා. එසේ නොවන විට නීති පද්ධතිය තුළම වැරැද්ද හැදෙනවා. එයත් නොවන විට දැන් සිදු වන ආකාරයෙන් ප්‍රශ්නය නීති පද්ධතියෙන් එළියට පිටාර යනවා. හැබැයි මේ වගේ විරෝධතා ඇති වන්නේත් මිනිස්සු සමස්තයක් ලෙස පවතින සමාජ ආකෘතියට කැමති නිසයි. විරෝධතාවයේ අරමුණ පවතින ආකෘතියේ වැරදි නිවැරදි කර එය කඩා වැටෙන එක වලක්වා ගැනීම මිසක් එහි පදනම දුර්වල කරන එක නෙමෙයි.

නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානයි කියන එක ලංකාව බටහිර රටවලින් ගත් අදහසක් මිස රට ඇතුළෙන් ඓන්ද්‍රීය ලෙස මතු මතු වූ අදහසක් නෙමෙයි. යුරෝපීයයන් එන්න කලින් එහෙම සංකල්පයක් ලංකාවේ තිබුණේ නැහැ. යුරෝපීයයන්ගේ කාලයේදී සංකල්පය ආවත් කවදාවත් නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන වුනේ නැහැ. නිදහසින් පසුවත් එහෙම වුනේ නැහැ. මෙය ලංකාව හා අදාළව ළඟා කර ගත යුතු ඉලක්කයක් පමණයි.

ලංකාවේදී නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන නැති බව ගොඩක් අය දන්නවා. ඒ බව නැවත තහවුරු කරන සිද්ධියක් වීම විශේෂ සිදුවීමක් නෙමෙයි. එවැනි දේ නිතර සිදු වෙනවා. ඒ නිසා, තොණ්ඩමන්ගේ අවමගුල ආශ්‍රිතව වෙනත් අයට නැති වරප්‍රසාද හිමිවීම ලංකාවේ මිනිස්සුන්ව කම්පනයට පත් කරන්නේ නැහැ. හැබැයි මේ සිද්ධිය නිසා ලංකාවේදී නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානවන සමාජ ආකෘතියක් ගොඩ නගා ගැනීම පිළිබඳ විශ්වාසයට බරපතල ලෙස හානි සිදු වී තිබෙනවා.

කොරෝනා නිසා මාස දෙක හමාරක් තිස්සේ ගෙදරටම වී සිටින නමුත් මෙතෙක් කල් අපට ඇඳිරි නීතියක් තිබුණේ නැහැ. දැන් ඒකත් තිබෙනවා. කොරෝනා වෛරසය කළු සුදු භේද සැලකුවත් නැතත් වෛරසය නිසා මිය ගිය අය අතරත්, වෛරසය හමුවේ රජය ගත් ක්‍රියාමාර්ග නිසා රැකියා අහිමි වූ අය අතරත් කළු ජාතිකයින්ගේ ප්‍රතිශතය ජනගහණයේ ඔවුන්ගේ ප්‍රතිශතයට වඩා වැඩියි. වසරකට පොලිස් අත් අඩංගුවේදී මිය යන දහසකට අධික ඇමරිකානුවන් අතර තත්ත්වයත් එසේමයි. කළු ජාතිකයින්ගේ ජීවිත වලට ලැබෙන්නේ අඩු වටිනාකමක් බව බොහෝ දෙනෙකු විසින් සිතනවා.

මේ වෙලාවේ ඇමරිකාවේ නීතිය හා සාමය රකින පොලිස් නිලධාරීන් ගිරයට හසු වූ පුවක් වගේ. විරෝධතාකරුවන් බොහෝ දෙනෙක් සාමකාමී ලෙස විරෝධතා දැක්වූවත් ඔවුන් අතරින් මතු වන කුඩා පිරිස් හිටිවනම සමාජ විරෝධී කටයුතු කෙරෙහිත් යොමු වෙනවා. ඔවුන්ගෙන් ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීම පොලීසියේ වගකීමක් වී තිබෙනවා. එහෙත්, මේ වෙලාවේ චුදිතයින් වී සිටින්නේ පොලීසිය නිසා ඔවුන්ට එම චෝදනාව ඔප්පු කෙරෙන දේවල් කරන්නත් බැහැ. ඒ නිසා, පොලීසිය හැකි පමණින් විරෝධතාකරුවන් හා සහයෝගයෙන් කටයුතු කරන්න සිදු වී තිබෙනවා. මේ තත්ත්වය හමුවේ විශේෂ ඉලක්කයක් හෝ අරමුණක් නැතිව මේ වන විට අටවන දිනටත් විරෝධතා ආරම්භ වී තිබෙනවා.

ඉකොනොමැට්ටා