සහල් මාෆියාව හඹා යමු !

සහල් මාෆියාව හඹා යමු !

26 May 2020 08:25 pm

මේ දවස්වල ලංකාවේ ආණ්ඩුව ආර්ථික කළමනාකරණය හා අදාළ අවුල් ජාලයක පැටලී ඉන්නවා. එක අවුලක් ලෙහන්න ගිහින් තවත් අවුල් ගණනාවක් හදා ගන්නවා. සහල් වෙළඳපොළ සම්බන්ධව දැනට ආණ්ඩුව පැටලී ඉන්න අවුලත් ඒ අවුල් ජාලයේම කොටසක්.

මතු පිටින් පේන්න තිබෙන පරිදි ඩඩ්ලි සිරිසේන හා ආණ්ඩුව අතර අවුලක් තිබෙනවා. ඒ අවුල ගැන කතා කිරීමට කාලය යොදවන්න මම කැමති නැහැ. එය තේරුමක් නැති දෙයක්. මේ අය කොහොමටත් එකම කණ්ඩායමක සාමාජිකයෝ. එළියට පේන්න තිබෙන අවුල තව ටික දවසකින් ඇතුළෙම විසඳිලා තියෙයි. (ලිපියේ මේ කොටස ලිවුවේ ඊයේ. මේ වනවිටත් අවුල ලෙහිලා බව පෙනෙනවා) නමුත්, අවුලට පාදක වී තිබෙන ලංකාවේ ආර්ථික ව්‍යුහයේ මූලික ආකෘතිමය ප්‍රශ්නය ඒ විදිහටම තියෙයි. මම අවධානය යොමු කරන්න කැමති ඒ මූලික ආකෘතිමය ප්‍රශ්නයටයි.

මේ ගැන කතා කරන්න කලින් පැහැදිලි කළ යුතු වෙනත් අවශේෂ කරුණු රාශියක් තිබෙනවා. ඒ හැම එකක්ම පැහැදිලි කරන්න තව ලිපි විසිපහක් තිහක් ලියන්න වෙයි. ඒ වැඩේට මාසයක් විතර යයි. ඒ නිසා, අපි ටිකක් ෆාස්ට් ෆෝර්වර්ඩ් කරමු. ඔය ෆාස්ට් ෆෝර්වර්ඩ් කියන වචනය අපේ තරුණ කාලයේ කැසට් යුගයේ වචනයක්. කැසට් යුගයට පසුව ඉපදුණු තරුණ අයට වචනය නුහුරු ඇති. හුරු වුනත් සමහර විට ඇඟට දැනෙන්නේ නැතුව ඇති.

කොහොමටත් මේ බ්ලොග් එකේ ලිපි ලියැවෙන්නේ වනකතා ස්ටයිල් එකට. එහෙමත් නැත්නම් කථා සරිත් සාගරයේ ස්ටයිල් එකට. හැබැයි ගොඩක් වෙලාවට අළුතෙන් අරින වරහන් වහන්න වෙන්නේ නැහැ. පරිගණක ක්‍රමලේඛන භාෂාවෙන් කියනවා නම් පුනරාවර්තිතව නීඩායානය කරමින් (recursive nesting) යනවා මිසක් එළියට ඒමක් නැහැ. කෘෂිකර්මයට ආවේ කෝවිඩ් හා අදාළ වැදගත් කරුණු ටිකක් කතා කරන්න අවශ්‍ය මූලික ප්‍රවේශයක් විදිහටයි. දැන් යන්නේ වෙනම පැත්තකට. ඒකට කමක් නැහැ. මේ හැම දෙයක්ම වැදගත්නේ.

ප්‍රශ්නයක් ගැන කතා කරන්න කලින් කළ යුතු පළමු දෙය ප්‍රශ්නය නිවැරදිව හඳුනාගන්නා එකයි. ඇතැම් විට ලොකුවට දැඟලුවාට විසඳුම් හොයන්න අවශ්‍ය ප්‍රශ්නයක් නැති වෙන අවස්ථාත් තිබෙනවා.

දැන් සිදුවෙමින් තිබෙන්නේ ආණ්ඩුව විසින් සහල්වලට පාලන මිලක් නියම කිරීමත්, ඒ මිලට සහල් සපයන්න මෝල් හිමියන් එකඟ නොවීමත් පිළිබඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නය ඇති වෙලා තිබෙන්නේම පාලන මිලක් නියම කිරීම තුළයි. පාලන මිලක් නැත්නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. එහෙම නම් ආණ්ඩුව විසින් සහල්වලට පාලන මිලක් නියම කර තිබෙන්නේ ඇයි ?

පාලන මිලක් නොතිබුණා නම් සහල් මිල වෙළඳපොළ තුළ තීරණය වෙනවා. කවර හෝ හේතුවක් නිසා වෙළඳපොළ සමතුලිත මිල නියම මිල නොවන බව ආණ්ඩුව විසින් තීරණය කර වෙනත් නිශ්චිත මිලක් නියම කර තිබෙනවා. ඒ මිල සමඟ මෝල් හිමියන් එකඟ නැහැ. ඒ නිසා ආණ්ඩුව සහ මෝල් හිමියන් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. වෙළඳපොළේ සහල් හිඟයක් ඇති වී තිබෙනවා.

ඉතා පැහැදිලි ලෙසම වෙළඳපොළේ සහල් හිඟයක් ඇති වීම ප්‍රශ්නයක්. විසඳුමක් අවශ්‍ය ප්‍රශ්නයක්. පාලන මිල ඉවත් කළ වහාම ඒ ප්‍රශ්නය විසඳෙනවා. එහෙත්, පාලන මිලක් දැමීමට ආණ්ඩුව පෙළඹුණු කවර හෝ ප්‍රශ්නය එවිට නැවත ඇති වෙනවා. ඒ ප්‍රශ්නය කුමක්ද ?

මෙය ආණ්ඩුව විසින් හඳුනාගෙන තිබෙන ප්‍රශ්නයක්. ආණ්ඩුවට අනුව වී මෝල් හිමියන් විසින් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සහල් මිලට බලපෑම් කරනවා. ඒ නිසා, වෙළඳපොළ මිල නියම මිල නෙමෙයි. වෙළඳපොළ මිල නියම මිල නොවන නිසා ආණ්ඩුවට අනුව ආණ්ඩුව විසින් වෙළඳපොළ මිලට මැදිහත්වීමක් කළ යුතුයි.

දැන් අපිට ආණ්ඩුව දකින ප්‍රශ්නය විශ්ලේෂණය කරන්න පොටක් පෑදී තිබෙනවා.
- ආණ්ඩුව කියන පරිදි මෝල් හිමියන් විසින් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සහල් මිලට බලපෑම් කරනවාද ?
- එවැන්නක් සිදුවනවා නම් එය රජය මැදිහත් වී වෙනස් කළ යුතු තත්ත්වයක්ද ?

පළමු ප්‍රශ්නයෙන් පටන් ගනිමු. එහෙම කිවුවත් මේ ප්‍රශ්න දෙක එකිනෙකට ගැට ගැසී ඇති නිසා එකක් වෙනම ගලවලා ගන්නත් අමාරුයි.

සහල් මිල අවසාන වශයෙන් තීරණය කරන්නේ පාරිභෝගිකයා විසින්. ආනයනික සහල් සැපයුම හා වී අලෙවි මණ්ඩලය හරහා රජයේ මැදිහත් වීම පැත්තකින් තිබ්බොත් පාරිභෝගිකයා වෙත සහල් සැපයෙන සැපයුම් දාම ක්‍රියාවලිය මේ විදිහයි.

දේශීය වී නිෂ්පාදකයා -> වී එකතු කරන්නා/තැරැව්කරුවා  ->  මෝල් හිමියා -> තොග වෙළෙන්දා -> සිල්ලර වෙළෙන්දා -> පාරිභෝගිකයා

මෙතැනින් එහාට යන්න කලින් අපිට ඒකාධිකාරයක් කියන්නේ මොකක්ද කියා පැහැදිලි කර ගන්න වෙනවා. ඒ සඳහා, පළමුව තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද කියන තැනින් පටන් ගන්න වෙනවා.

නිදහස් වෙළඳාමට ඉඩ දුන් පමණින් හැමවිටම තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නේ නැහැ. එය තීරණය කෙරෙන වෙනත් සාධක ගණනාවක් තිබෙනවා. ඇතැම් තත්ත්වයන් යටතේ ස්වභාවිකවම හැදෙන්නේ ඒකාධිකාරයක් වෙන්න පුළුවන්. ඒකාධිකාරම නැතත් බොහෝ විට ඒකාධිකාරයක් හා තරඟකාරී වෙළඳපොළක් අතර අතරමැදි තත්ත්වයන් හැදෙනවා.

තරඟකාරී වෙළඳපොළක මූලික ලක්ෂණ කිහිපයක් තිබෙනවා.
- කිසිදු තනි මිල දී ගන්නෙකුට (තනි පාරිභෝගිකයෙකුට) වෙළඳපොල මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. තිබෙන මිල වාසිදායක නම් මිල දී ගන්න පුළුවන්. නැත්නම් මිල දී නොගෙන ඉන්න පුළුවන්. එච්චරයි.
- කිසිදු තනි විකුණන්නෙකුටත් (තනි නිෂ්පාදකයෙකුටත්) වෙළඳපොල මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. තිබෙන මිල වාසිදායක නම් විකුණන්න  පුළුවන්. නැත්නම් නොවිකුණා ඉන්න පුළුවන්. එච්චරයි.

වෙළඳපොළ මිලට කිසිදු නිෂ්පාදකයෙකු හෝ පාරිභෝගිකයෙකු විසින් බලපෑම් කරන්නේ නැත්නම් මිල තීරණය වෙන්නේ කොහොමද ?

තනි පුද්ගලයෙකුට මිල තීරණය කරන්න බැරි වුනත් සියලුම නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් විසින් තනි තනිව සිතා ගන්නා තීරණවල ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොල මිල තීරණය වෙනවා. මෙය සිදුවන ආකාරය පිළිබඳ වැඩි පැහැදිලි කිරීම් අවශ්‍ය නම් එය වෙනම කරන්නම්. දැනට අපි ඉදිරියට යමු.

මේ කියපු විදිහේ තරඟකාරී වෙළඳපොළක් ඇති වෙන්න නම් ඇතැම් මූලික කරුණු කිහිපයක් ඉටු විය යුතුයි. ඒ කරුණු බොහෝ දුරට නිෂ්පාදන තාක්ෂණය හා සම්බන්ධයි.

- විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටිය යුතුයි. එයින් කිසිදු පාරිභෝගිකයෙකුට වෙළඳපොළට බලපෑමක් වන තරම් විශාල මිල දී ගැනීමක් කිරීමේ අවශ්‍යතාවයක් නැති විය යුතුයි.
- විශාල නිෂ්පාදකයින් පිරිසක් සිටිය යුතුයි. එයින් කිසිදු අයෙකු වෙළඳපොළට බලපෑමක් වන තරම් විශාල නිෂ්පාදනයක් නොකරන්නේ විය යුතුයි.
- කැමති ඕනෑම පුද්ගලයෙකුට ඉතා කෙටි කලක් තුළ නිෂ්පාදකයෙක් වීමට නෛසර්ගික බාධාවක් නොතිබිය යුතුයි.
- කැමති ඕනෑම නිෂ්පාදකයෙකුට වහාම නිෂ්පාදනයෙන් ඉවත් වීමට බාධාවක් නොතිබිය යුතුයි.

දැන් මේ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ මේ විදිහටයි. කිසියම් බාහිර හේතුවක් නිසා ඉල්ලුම අඩු වුනොත්, සැපයුම් අතිරික්තයක් ඇති වෙනවා. එවිට අදාළ භාණ්ඩය විකුණා ගැනීම අසීරු වෙද්දී තරඟය නිසා මිල පහත වැටෙනවා. වඩා කාර්යක්ෂම සැපයුම්කරුවන්ට මෙය විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔවුන්ට ඒ අඩු වූ මිල යටතේත් ලාබ තියෙනවා. එහෙත්, අකාර්යක්ෂම නිෂ්පාදකයින්ට මේ අඩු වූ මිලට භාණ්ඩ සපයා ලාබ ගන්න බැහැ. ඔවුන්ට කර්මාන්තයෙන් ඉවත් වෙන්න වෙනවා. එවිට සැපයුම පහළ ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මිල ස්ථාවර වෙනවා.

කිසියම් බාහිර හේතුවක් නිසා ඉල්ලුම වැඩි වුනොත් මෙහි අනිත් පැත්ත වෙනවා. භාණ්ඩ හිඟයක් ඇති වී මිල ඉහළ යනවා. ඉහළ ගිය මිල යටතේ දැනට ඉන්න නිෂ්පාදකයින් තරමටම කාර්යක්ෂම නැති අයටත් ලාබ ලැබීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා, අලුත් නිෂ්පාදකයින් බිහි වී සැපයුම ඉහළ යනවා. එවිට ඉල්ලුම හා සැපයුම සමතුලිත වී මිල ස්ථාවර වෙනවා.

නිදහස් වෙළඳාමට බාධාවක් නොතිබුණත් හැම විටම තරඟකාරී වෙළඳපොළක් බිහි නොවන බව මම කිවුවනේ. එයට විවිධ හේතු තිබෙනවා. නිෂ්පාදන තාක්ෂනය ගොඩක් සංකීර්ණ වීම එක් බාධාවක්. ලාබ ලැබීමේ අවස්ථාවක් තිබුණත් තාක්ෂනය ළඟ නැත්නම් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න විදිහක් නැහැනේ. ඒ නිසා, නිෂ්පාදන තාක්ෂනය සරල වූ තරමට තරඟකාරී වෙළඳපොළක් බිහි වීමට තිබෙන ඉඩකඩ ඉහළ යනවා. නිෂ්පාදනය ආරම්භ කිරීමට විශාල මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම තවත් බාධාවක්. ඔය වගේ තවත් නෛසර්ගික බාධා තිබෙනවා.

මේ වගේ නෛසර්ගික බාධා ඇති විට, එහෙම නැත්නම් රාජ්‍ය මැදිහත්වීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වන කෘතීම බාධා හේතුවෙන්, ඒකාධිකාර හෝ ඒකාධිකාර හා තරඟකාරී වෙළඳපොළක් අතර අතරමැදි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී වුවත් ගනුදෙනු සිදු වෙන්නේ නිදහසේ නිසා එහි පාර්ශ්ව දෙකෙන් එකකටවත් පාඩුවක් වෙන්නේ නැහැ. එහෙත්, එක් පාර්ශ්වයට අනෙක් පාර්ශ්වයේ ලාබය අඩු කර තමන්ගේ ලාබය වැඩි කර ගන්න පුලුවන්. මෙය සිදු වන්නේ එක් පාර්ශ්වයකට වෙළඳපොල මිලට බලපෑමක් කිරීමේ හැකියාවක් ලැබීම මතයි.

බොහෝ විට මෙසේ වෙළඳපොළ මිලට බලපෑමක් කිරීමේ හැකියාව ලැබෙන්නේ සැපයුම්කරුටයි. එය තනි පුද්ගලයෙකුට හිමි වූ විට ඒකාධිකාරයක් ලෙස හැඳින්වෙනවා. මෙහි අනෙක් පැත්ත, එනම් තනි පාරිභෝගිකයෙකුට මිල තීරණය කිරීමේ හැකියාවක් ලැබීම ක්‍රයෛකාධිකාරයක් ලෙස හැඳින්වෙනවා.

දැන් අපි නැවත සහල් වෙළෙඳපොළේ සැපයුම් දාම ක්‍රියාවලිය වෙත අවධානය යොමු කළොත් එහි අන්ත දෙකේම ඉන්නේ වෙළඳපොල මිල තීරණය කිරීමේ හැකියාවක් නැති අයයි. ඉතා කලාතුරකින් හැර තනි සහල් පාරිභෝගිකයෙකුට මිල හෙට්ටු කිරීමේ හැකියාවක් නැහැ. වී ගොවියන් බොහෝ දෙනෙකු සම්බන්ධව තත්ත්වයත් එවැන්නක්. ලංකාවේ වී ගොවියන්ගෙන් 95%ක් සතුවම තිබෙන්නේ කුඹුරු අක්කර පහකට අඩු ප්‍රමාණයක්. කුඹුරක සාමාන්‍ය ප්‍රමාණය අක්කර දෙකයි. මේ අයට වෙළඳපොළ මිලට වී විකුණනු මිස මිලට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, අපට අවධානය යොමු කරන්න වෙන්නේ සැපයුම් දාමයේ මැද කොටස් වෙතයි.

සැපයුම් දාමයේ පාරිභෝගිකයාට කලින් ඉන්නේ සිල්ලර වෙළෙන්දා. මේ සිල්ලර වෙළෙන්දා බොහෝ විට සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක්. සමහර වෙලාවට සුපිරි වෙළඳසැල් දාමයක වෙළඳසැලක් වෙන්නත් පුළුවන්. ඒත් සුපිරි වෙළඳසැල් වලට තවමත් ලංකාවේ ඒකාධිකාරී බලයක් නැහැ. එක පැත්තකින් සුපිරි වෙළඳසැල් අතරම පවතින තරඟය. අනෙක් පැත්තෙන් සම්ප්‍රදායික සිල්ලර වෙළෙන්දෝ. ඒ නිසා, පාරිභෝගිකයෙකු විසින් සිල්ලර වෙළෙන්දෙක් එක්ක කරන ගනුදෙනුවේදී පාරිභෝගිකයාට විශාල තේරීමක් තිබෙනවා. සිල්ලර වෙළෙන්දාට හිතු මනාපෙට මිලට බලපෑම් කරන්න බැහැ.

අනෙක් කොනේ දේශීය වී නිෂ්පාදකයාට පසුව හමුවෙන වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා මේ සැපයුම් දාමයේ අනිවාර්ය පුරුකක් නෙමෙයි. ඔහු බොහෝ විට වී මෝල් හිමියෙකුගේ නියෝජිතයෙක්. එහෙම නැත්නම් ඔය වී වවන පැත්තක රැකියාව කරන රජයේ සේවකයෙක් වගේ කෙනෙක්. මේ පුද්ගලයා විසින් කරන්නේ වී ගොවියාගෙන් වී ටික මිල දී ගෙන පසුව කීයක් හෝ තියාගෙන මෝල් හිමියාට විකුණන එකයි. ඇතැම් විට වැඩේට යොදවන්නේ වී මෝල් හිමියාගේම සල්ලි.

සාමාන්‍යයෙන් මේ වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා වී මිල දී ගන්නේ අස්වැන්න කැපෙන්න කලින්. අස්වැන්න කැපෙන කොට අනික් පැත්තට විකුණලා දමනවා. ඒ නිසා වී ගබඩා කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ගබඩා කර ගන්නා අයත් ගොඩක් වෙලාවට තමන්ගේම ගෙදර කොටසක ටික කලකට වී ටික ගබඩා කර ගන්නවා මිසක් ඔය වැඩේට කියලා මුදල් ආයෝජනය කරලා වී ගබඩා හදන්නේ නැහැ.

මේ විදිහට කලින්ම වී ටික විකුණන එකෙන් වී ගොවියාට වාසි දෙකක් ලැබෙනවා. පළමුව කලින් අතට මුදලක් ලැබෙන එක. හැබැයි මේ විදිහට බොහෝ විට ලැබෙන්නේ අත්තිකාරම් මුදලක් පමණයි. දෙවැන්න වී අස්වැන්න ලැබෙන විට මිල පහළ වැටී තිබීමේ අවදානමෙන් ආරක්ෂා වීම. ඒ අතින් මෙය ඉදිරි සුරැකුම් ගිවිසුමක් වගේ. වී එකතු කරන්නා හෝ තැරැව්කරුවා විසින් උපයන ලාබය මේ වෙනුවෙන් වී ගොවියා විසින් ගෙවන මිලක් කියා කියන්න පුළුවන්.

මේ වැඩේ සංකීර්ණ වැඩක් නොවනවාක් මෙන්ම බොහෝ දෙනෙක් විසින් කරන වැඩක්. වැඩේ කරන මිනිස්සු ලොකු ධනවතුන් නෙමෙයි. ඒ වගේම වැඩේ පාඩුනම් වී ගොවියා කෙළින්ම වී මෝල් හිමියා වෙත යනවා මිසක් අතරමැදියෙකු හරහා යන්නේ නැහැ.

දැන් ඉතිරි වෙලා ඉන්නේ තොග වෙළෙන්දා සහ වී මෝල් හිමියා. මේ තොග වෙළෙන්දා බොහෝ විට අවට කඩ විස්සකට තිහකට තොග සපයන ප්‍රාදේශීය නගරයක තිබෙන වෙළඳසැලක්. බොහෝ විට සෘජුවම සිල්ලර වෙළඳාමේත් යෙදෙනවා. පාරිභෝගිකයා කෙළින්ම සිල්ලර වෙළෙන්දා වෙත නොඑන්නේ සිල්ලර වෙළෙන්දා විකුණන මිල තොග වෙළෙන්දාගේ මිලට වඩා ගොඩක් වැඩි නැති නිසයි. තොග වෙළෙන්දෙකුට තමන්ගේ ප්‍රදේශයේ කිසියම් ඒකාධිකාරී බලයක් තියෙන්න පුළුවන්. එහෙත් ලංකාවම ගත්තහම මේ කියන මට්ටමේ තොග වෙළෙන්දෝ විශාල පිරිසක් ඉන්න නිසා එක් අයෙකුට සමස්ත වෙළඳපොල තුළ කළ හැකි විශාල බලපෑමක් නැහැ. සහල් වෙළඳපොළේ තොග වෙළෙන්දාගේ භූමිකාව එතරම් විවේචනයට ලක් වෙලත් නැහැ. ඒ නිසා අපි එයාවත් පැත්තකින් තියමු.

දැන් ඉතිරි වී ඉන්නේ වී මෝල් හිමියා. වී මෝල් හිමියා විසින් මේ සැපයුම් දාමය ඇතුලෙ කරන කටයුතු කිහිපයක්ම තිබෙනවා. පළමුව, කෙළින්ම ගොවියාගෙන් හෝ අතරමැදියෙකු හරහා වී මිල දී ගැනීම. මේ වෙනුවෙන් සැලකිය යුතු මුදල් ආයෝජනයක් කළ යුතුයි. දෙවනුව, මේ මිල දී ගන්නා වී සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. ඒ වෙනුවෙන් සැලකිය යුතු මූලික ආයෝජනයක් කළ යුතුයි. තෙවනුව, වී සහල් බවට පත් කිරීම. මේ වැඩේට සැලකිය යුතු මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වනවාක් මෙන්ම සැලකිය යුතු විචල්‍ය පිරිවැයක්ද දරන්න වෙනවා. අවසාන වශයෙන්, සහල් තොග වෙළෙන්දන් වෙත ප්‍රවාහනය කිරීම. බොහෝ දුරට මෙහි තිබෙන්නේ විචල්‍ය පිරිවැයක්.

ඉහත කී කාර්යයන් කරන වී මෝල් හිමියන් විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා. එහෙත්, ඒ අය අතරින් බොහෝ දෙනෙක් සුළු හෝ මධ්‍යම පරිමාණ වී මෝල් හිමියෝ. සහල් මාෆියාවක් පවත්වා ගෙන යන බවට චෝදනා එල්ල වී තිබෙන්නේ වී මෝල් හිමියන් අතර සිටින මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකුටයි.

සහල් මෝල් ව්‍යාපාරය තුළ කෙතරම් පිරිසක් සිටියත් ඒ අතරින් හතර පස් දෙනෙක්ගේ පංගුව ගොඩක් විශාලයි. නිශ්චිත සංඛ්‍යලේඛන නැතත් මේ කරුණ පිළිබඳ පොදු එකඟතාවයක් තිබෙනවා. මේ මොහොතේ වත්මන් ආණ්ඩුව සහල් මාෆියාවක් ගැන කතා කරනවා. මීට පෙර වරින් වර දැන් විපක්ෂයේ ඉන්න එජාප හා ජවිපෙ විසින්ද මේ සහල් මාෆියාව ගැන කතා කරලා තිබෙනවා. ඒ නිසා, මේ කරුණ ලංකාවේ පක්ෂ දේශපාලනයට පිටින් තිබෙන දෙයක් කියා නිගමනය කරන්න පුළුවන්.

මා කලින් විස්තර කළ පරිදි, තරඟකාරී වෙළඳපොළකින් වෙනස්ව, ඒකාධිකාරයක් ඇති තැනක සැපයුම්කරුට වෙළඳපොළ මිලට තමන්ගේ අභිමතය පරිදි බලපෑම් කළ හැකියි. එයින් කියන්නේ සැපයුම්කරුට අසීමිත ලෙස මිල ඉහළ දමමින් තමන්ගේ ලාබ වැඩි කර ගත හැකි බව නෙමෙයි. ඒකාධිකාරයක් ඇති විට පවා ඉල්ලුම් සාධක නොසලකා හැර මිල ඉහළ දමන්න බැහැ. එහෙත්, ඒකාධිකාරයක් ඇති සැපයුම්කරුවෙකුට තරඟකාරී වෙළඳපොලක සැපයුම්කරුවෙකු විසින් උපයන "සාමාන්‍ය ලාභය" ඉක්මවන "සුපිරි ලාබයක්" ලැබීමේ හැකියාව තිබෙනවා.

මේ විදිහට සුපිරි ලාබ ලැබීමේ හැකියාවක් ලැබෙන්නේ ඒකාධිකාරයක් ඇති විට පමණයි. ඒ කියන්නේ එකම එක සැපයුම්කරුවෙක් පමණක් සිටින විට. සහල් මෝල් කර්මාන්තයේ එවැනි තත්ත්වයක් නැහැ. කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ටික පැත්තකින් තිබ්බත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් හතර පස් දෙනෙක්වත් ඉන්නවා. මේ වගේ තත්ත්වයක් කතිපයාධිකාරී වෙළඳපොළ තත්ත්වයක් ලෙස හඳුන්වනවා.

කතිපයාධිකාරී වෙළඳපොළ තත්ත්වයක් ඇති විට අවසන් සමතුලිතතාවය තීරණය වන්නේ මේ සීමිත පිරිස අතර තිබෙන තරඟයේ ප්‍රමාණය අනුවයි. සැපයුම්කරුවන් දෙදෙනෙකු පමණක් සිටියත් ඒ දෙදෙනා ඉතා ආක්‍රමනශීලී ලෙස එකිනෙකා සමඟ තරඟ කළොත් අවසන් ප්‍රතිඵලය තරඟකාරී වෙළඳපොලක සමතුලිතතාවයටම සමානයි. මෙහිදී වෙළඳ තරඟයේ වාසිය පාරිභෝගිකයාට මුළුමනින්ම ලැබෙනවා. විශාල සැපයුම්කරුවන් පිරිසක් නොසිටීම ප්‍රශ්නයක් නෙමෙයි. සැපයුම්කරුවන්ට සාමාන්‍ය ලාභ වලට අමතරව සුපිරි ලාභ කිසිවක් හිමි වන්නේ නැහැ.

මෙහි අනෙක් අන්තය ලෙස සැපයුම්කරුවන් දෙදෙනකු හෝ හත් අට දෙනෙකු තනි කණ්ඩායමක් හෙවත් කාටලයක් ලෙස කටයුතු කරන්න පුළුවන්. එහිදී ඔවුන් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම සඳහා එකිනෙකා සමඟ තරඟ නොකර තම තමන්ගේ පංගු පිළිබඳ සම්මුතියකට එනවා. මෙය ලිඛිත හෝ වාචික ගිවිසුමක් නැතිව අවබෝධය මත සිදු වන දෙයක් වෙන්න පුළුවන්. එවැනි අවබෝධයක් ඇති වෙන්න හමු වී කතාබහ කරන්න අවශ්‍ය වන්නේත් නැහැ. දැන් ඔය විපක්ෂයේ ඉන්න කොට ආණ්ඩු පක්ෂයේ හොරකම් ගැන කොයි තරම් කතා කළත්, ආණ්ඩු මාරු වුනාට පස්සේ ඒවා පස්සේ පන්නලා දඬුවම් නොදෙන්නේ කතාබහ කරගෙන ඩීල් දමාගෙනම නෙමෙයිනේ. ඔය වගේ දේවල් වැඩිදුර නොගෙනියන එක තමන්ට වාසියි කියන අවබෝධය දෙපැත්තටම තිබෙනවා. මේකත් බොහෝ විට ඒ වගේ දෙයක්.

මේ ආකාරයේ කාටලයක් හැදුනු පසු සැපයුම්කරුවන් සියලු දෙනාම තනි ඒකකයක් ලෙස පාරිභෝගිකයාට එරෙහිව කටයුතු කරමින් තමන්ගේ ලාබ හැකි තරමින් වැඩි කරගන්නවා. අවසාන ප්‍රතිඵලය තනි සැපයුම්කරුවෙකු පමණක් සිටින විට ඇති වන තත්ත්වයට සමානයි.

මේ කතා කළ දෙවන තත්ත්වය වගේම මුලින් කිවූ පළමු තත්ත්වයත් කතිපයාධිකාරී වෙළඳපොලක ඇති විය හැකි නමුත් ඔය අන්ත දෙකෙන් එකකට යන්නේ ඉතා කලාතුරකින්. බොහෝ විට සැපයුම්කරුවන් අතර එකිනෙකා කෙරෙහි පරිපූර්ණ විශ්වාසයක් නැහැ. එවැනි විශ්වාසයක් මත කටයුතු කරගෙන යද්දී එක් අයෙකුට අනෙත් අයට වංචා කර තමන්ගේ ලාබ වැඩි කර ගන්න පුළුවන්. ඒ නිසා, පූර්ණ ඒකාධිකාරයක් ඇති වෙන්න කලින් බොහෝ විට සම්මුතිය බිඳ වැටෙනවා.

අනෙක් පැත්තෙන් බොහෝ විට සැපයුම්කරුවන් අතර පූර්ණ තරඟයක් ඇති වෙන්නේත් නැහැ. ටික දුරක් යද්දී දෙපැත්තම හති වැටෙනවා. අවසානයේදී පාරිභෝගිකයින්ට මිසක් තමන්ට යහපතක් නොසැලසෙන බව දෙපැත්තටම තේරුම් යනවා. එවිට තරඟය නැවතී සම්මුතියක් ඇති වෙනවා.

මෙය පැහැදිලි කරන්න අපි හාල් මෝල් කර්මාන්තයටම එමු. අපි හිතමු සැපයුම්කරුවන් දෙදෙනෙකු සිටියා කියා. මේ එක් අයෙකුට හාල් කිලෝවක් හදන්න යන අවම මිල රුපියල් 80යි කියා කියමු. ඒ කියන්නේ ඊට වඩා අඩු මිලකට ඔහු කොහොමටත් හාල් විකුණන්නේ නැහැ. අනෙක් මෝල් හිමියාගේ තත්ත්වයත් එයමයි.

දැන් පළමු මෝල්හිමියා රුපියල් 10ක ලාබයක් තියාගෙන රුපියල් 90 බැගින් සහල් විකුණනවා. දෙවැන්නාත් එයම කරනවා. පාරිභෝගිකයාට විකල්ප දෙකක් තිබෙනවා. දෙකේදීම මිල සමානයි. ගුණාත්මක භාවයේ කිසිදු වෙනසක් නැත්නම් පාරිභෝගිකයා විසින් අහඹු ලෙස කාගේ හෝ හාල් මිල දී ගන්නවා. හාල් ඉල්ලුම කිලෝ 100ක්නම් එක් අයෙකුගේ හාල් කිලෝ 50 බැගින් විකිණෙනවා. කිලෝවකින් ලාබය රුපියල් 10ක් නිසා රුපියල් 10x50 = 500ක ලාබයක් එක් මෝල් හිමියෙක්ට ලැබෙනවා.

මේ වගේ තත්ත්වයක් කිසියම් අලිඛිත එකඟතාවයක් ලෙස දිගු කාලයක් පවතින්න පුළුවන්. ඒ සඳහා මෝල් හිමියන් දෙන්නා යාලුවෝ වෙන්න අවශ්‍ය නැහැ. සමහර විට පෞද්ගලික ජීවිතයේ මරා ගන්න තරම් තරහක් තිබෙන දෙන්නෙක් අතර වුවත් මෙවැනි ව්‍යාපාරික එකඟතාවයක් ඇති වෙන්න පුළුවන්.

අපි හිතමු ඔහොම කාලයක් යද්දී පළමු සැපයුම්කරුගේ ව්‍යාපාරයේ පාලනය ඔහුගේ පුතාට යනවා. පුතා හොයා බලනවා ලාබ වැඩි කරගත හැකි ක්‍රමයක්. එක පාරටම මිල රුපියල් 89 දක්වා අඩු කළොත් මුළු වෙළඳපොළම තමන්ගේ බව ඔහුට තේරෙනවා. ඊට අමතරව මිල අඩු වෙද්දී ඉල්ලුමත් තරමක් ඉහළ යනවා. දැන් කිලෝවකින් ලාබය රුපියල් 9ක් පමණයි. කිලෝ 105ක් විකිණෙනවා. ඒ කියන්නේ රුපියල් 9x105 = 945ක ලාබයක්. කලින් ලාබය රුපියල් 500ක් පමණයි. තාත්තා අවුරුදු ගාණක් තිස්සේ මොනාද කරලා තියෙන්නේ?

මේ වැඩෙන් පළමු සැපයුම්කරුගේ ලාබය විශාල ලෙස ඉහළ ගියත් දෙවන සැපයුම්කරු නැත්තටම නැති වෙනවා. ඔහුට සතයක්වත් නැහැ. ඊළඟ වටයේදී ඔහු රිටර්න් එක දෙනවා. මිල රුපියල් 88 දක්වා අඩු කරනවා. හාල් කිලෝ 110ක් විකිණෙනවා. ලාබය රුපියල් 8x110 = 880ක්. දැන් පළමුවැන්නා හාන්සි. පළමු වටයේදී රුපියල් 445ක් වැඩියෙන් ලැබුණත් දෙවන වටයේදී තිබුණු 500ත් නැති වෙලා. එහෙමයි කියලා වැඩේ අතාරින්නත් බැහැ. ඔහු මිල තවත් අඩු කරනවා.

ඔය වැඩේ දිගින් දිගටම වෙනවා. දෙන්නාම දැඩි ආක්‍රමණශීලී ස්ථාවරයක හිටියොත් අන්තිමට තරඟය නවතින්නේ මිල රුපියල් 80 මට්ටමට වැටුණු පසුවයි. ඊටත් වඩා අඩුවෙන් හාල් විකුණන එක කොහොමටත් පාඩු නිසා කලින් වැඩේ නැවතුනේ නැත්නම් තරඟය එතනදී අනිවාර්යයෙන්ම නවතිනවා. අන්තිමට දෙන්නාටම ඉතිරි වෙන්නේ වෙළඳපොළේ මුලින් තිබුණු 50% පංගුවමයි. නමුත්, ආරම්භයේදී තිබුණු රුපියල් 10ක සුපිරි ලාබය දැන් නැහැ. දැන් තිබෙන්නේ පිරිවැය ආවරණය වන සාමාන්‍ය ලාබයක් පමණයි. තරඟකාරී වෙළඳපොළක තත්ත්වය.

අපි හිතමු ඔය වැඩේ වෙන විදිහකට වුනා කියලා. පළමු සැපයුම්කරුගේ පුතා ව්‍යාපාරයේ පාලනය බාර ගත් වහාම දෙවන සැපයුම්කරු හමු වී ඩීල් එකක් දමනවා. ඩීල් එක අනුව දෙන්නාම වෙළඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝ 50 සිට 45 දක්වා අඩු කරනවා. දැන් වෙළඳපොළට එන්නේ සහල් කිලෝ 90ක් පමණයි. ඒ නිසා රුපියල් 90 සිට 92 දක්වා හාල් මිල ඉහළ යනවා. හාල් කිලෝවකින් ලාබය රුපියල් 12 දක්වා වැඩි වන නිසා විකිණෙන හාල් ප්‍රමාණය අඩු වුනා කියා පාඩුවක් නැහැ. දැන් එක් අයෙකුගේ ලාබය රුපියල් 12x45 = 540යි. දෙන්නාගේම ලාබ ඉහළ ගිහින්.

ඔය වැඩේ තවත් එහාට ගෙනියන්න පුළුවන්. අපි හිතමු සැපයුම කිලෝ 10කින් අඩු කළාම මිල රුපියල් 2කින් වැඩි වෙනවා කියලා. ඒ අනුව, සැපයුම කිලෝ 40x2 = 80ක් වූ විට මිල රුපියල් 94 වී කිලෝවකින් ලාබය රුපියල් 14 දක්වා ඉහළ යනවා. දැන් එක් අයෙකුගේ ලාබය රුපියල් 14x40 = රුපියල් 560ක්.

නමුත් ඔය වැඩේ දිගින් දිගටම කරන්න බැහැ. අපි හිතමු සැපයුම කිලෝ 30x2 = 60ක් දක්වා අඩු කළා කියා. සැපයුම කිලෝ 10කින් අඩු කරද්දී මිල රුපියල් 2 බැගින් වැඩි වී රුපියල් 8 කින්, ඒ කියන්නේ රුපියල් 98 දක්වා ඉහළ ගිහින්. හාල් කිලෝවකින් ලාබය රුපියල් 18ක්. එහෙත්, එක් අයෙකුගේ සමස්ත ලාබය රුපියල් 18x30 = 540ක් පමණයි. ඒ නිසා, මේ විදිහට එකඟතාවයක් ඇති වුනත් මිල යම් නිශ්චිත මට්ටමක් දක්වා වැඩි වී වැඩේ නවතිනවා. ඊටත් වඩා මිල වැඩි කරන එක සැපයුම්කරුවන්ට පාඩුයි. හැබැයි ඒ වෙද්දී පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බැලුවහම මිල ගොඩක් ඉහළ ගිහින්. සැපයුමත් ගොඩක් අඩු වෙලා.

ඔය ආකාරයේ වෙළඳපොල සම්මුති මගින් සැපයුම්කරුවන්ට විශාල සුපිරි ලාබ උපයන්න පුළුවන්. නමුත්, සැපයුම්කරුවන් එකිනෙකා අතර ඔය මට්ටමේ සම්මුතියක් පවත්වා ගත හැකි තරමට එකඟතාවයක් ගොඩ නැගෙන්නේ නැහැ. සැපයුම්කරුවන් වැඩි වන තරමට ඒ අයගෙන් එක්කෙනෙක් සම්මුතිය කඩන්න තිබෙන ඉඩ ඉහළ යනවා.

උදාහරණයක් විදිහට අපි හිතමු රුපියල් 90 මිලට කිලෝ 100ක ඉල්ලුම සැපයුම්කරුවන් පස් දෙනෙක් අතර බෙදී ගිහින් තිබුණා කියලා. එක් අයෙක් කිලෝ 20ක් සපයන නිසා එක් අයෙකුගේ ලාබය රුපියල් 10x20 = 200යි. කිලෝවක ලාබය රුපියල් 12 දක්වා වැඩි කර ගන්නනම් සැපයුම කිලෝ 90 මට්ටමට සීමා කළ යුතුයි. ඒ කියන්නේ එක් අයෙක් සැපයිය යුත්තේ කිලෝ 18ක් පමණයි. එවිට එක් අයෙකුගේ ලාබය රුපියල් 12x18 = 216 දක්වා ඉහළ යනවා.

හතර දෙනෙක්ම එකඟ වූ පරිදි කිලෝ 9 බැගින් වෙළඳපොළට දමද්දී පස් වැන්නා ඒ අඩුව හරියන්න කිලෝ 28ක්ම දැම්මොත් මොකද වෙන්නේ?

දැන් වෙළඳපොළට එන හාල් සැපයුම කිලෝ 18x4 + 28 = 100යි. ඒ කියන්නේ මුල් ප්‍රමාණයමයි. ඒ නිසා මිල රුපියල් 90මයි. කිලෝවකින් ලාබය කලින් ලැබුණු රුපියල් 10මයි. එකඟතාවය අනුව කටයුතු කළ එක් අයෙකුට දැන් ලැබෙන්නේ රුපියල් 180ක් පමණයි. රුපියල් 20ක් පාඩුයි. නමුත්, එකඟතාවය කඩපු සැපයුම්කරුගේ ලාබය රුපියල් 280ක් වෙලා. කලින් ලැබූ රුපියල් 200ක ලාබයට වඩා රුපියල් 80ක් ලාබයි. එකඟතාවය තුළ සිටියානම් ලැබෙන ලාබය වන රුපියල් 216ට වඩා රුපියල් 64ක් ලාබයි.

ගොඩක් වෙලාවට එක් සැපයුම්කරුවෙකු මිල එකඟතාවයකින් බැහැර වෙද්දී එය පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් වුනත් සැපයුම සීමා කිරීමේ එකඟතාවයක් පිළිපදිනවාද නැද්ද කියන එක පහසුවෙන් නිරීක්ෂණය කරන්න අමාරුයි. කවුරු හෝ හොර කරලා බව තේරෙන්නේ හිතපු විදිහට මිල ඉහළ නොගිය විටයි. එයින් පසුවත් හොර කරපු කෙනා කවුද කියලා හරියටම දැන ගන්න අමාරුයි. මේ බව සියලු දෙනාම දන්නා නිසා කණ්ඩායමේ හැමෝම උත්සාහ කරන්නේ හොර කරන්නයි. ඒ නිසා, මේ ආකාරයේ සැපයුම කෘතීම ලෙස සීමා කර මිල ඉහළ යන්න ඇරීමෙන් ලාබ ලබන සම්මුති වලට වැඩි දුරක් යන්න බැහැ.

අනෙක් පැත්තෙන් සැපයුම්කරුවන් එකිනෙකා අතර ඇති වන තරඟත් අවසානය දක්වා යන්නේ නැහැ. වැඩෙන් හැමෝම අමාරුවේ වැටෙන බව කාටත් තේරෙන අවස්ථාවක් එනවා. එවිට සැපයුම්කරුවන් අතර තරඟය නවතිනවා.

මේ හේතු නිසා ලංකාවේ සහල් මෝල් ව්‍යපාරය වගේ කතිපයාධිකාරී වෙළඳපොලක සමතුලිතතාවය තරඟකාරී වෙළඳපොල අන්තය හා ඒකාධිකාර අන්තය අතර යම් තැනක නවතිනවා. ඒ කියන්නේ, මෝල් හිමියන්ට යම් ප්‍රමාණයක සුපිරි ලාබ උපයන්න අවස්ථාවක් සැලසෙනවා. නමුත්, ඒ සුපිරි ලාබ ඒකාධිකාරයක මට්ටමටම යන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය රජය මැදිහත් වී මේ තත්ත්වය වෙනස් කළ යුතුද කියන එකයි. ඒ සඳහා, අපට කතිපයාධිකාරී වෙළඳපොලක් ඇති වී තිබෙන්නේත්, පවතින්නේත් ඇයි කියන එක විග්‍රහ කරගන්න වෙනවා. ඇතැම් විට කතිපයාධිකාරී වෙළඳපොලක් පවතින්නේ තිබිය හැකි වඩාත්ම කාර්යක්ෂම තත්ත්වය එය නිසා වෙන්න පුළුවන්. එහෙමනම්, එය වෙනස් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, බොහෝ විට එය එසේ නොවන්න පුළුවන්.

මෙය නිගමනය කිරීමට හොඳ ප්‍රවේශයක් වන්නේ ලංකාවේ සහල් වෙළඳපොළ හා එහි සැපයුම් දාමයේ පුරුක් ඓතිහාසිකව විකාශනය වී ඇති ආකාරය අධ්‍යයනය කිරීමයි. දැනටමත් ලිපිය ගොඩක් දිග නිසා අපි එය වෙනත් ලිපියකට ඉතිරි කරමු.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල