භූමියේ වාසිය

භූමියේ වාසිය

25 May 2020 04:21 pm

මිනිස්සු ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමීයි. ඒක ජාන වලින්ම එන දෙයක්. පරිණාමයේදී ඉතිරි වෙන්නේ තමන්ගේ පැවැත්ම ගැන වැඩියෙන් හිතන අයගේ ජානයි. හැබැයි එහෙමයි කියලා අනෙකාව මුළුමනින්ම අමතක කරලා තමන්ගේ පැවැත්ම ගැන පමණක්ම හිතන එකත් මිනිස් ස්වභාවය නෙමෙයි. මොකද මිනිස්සු පරිණාමය වෙලා තිබෙන්නේ සාමූහිකව ජීවත් වන සමාජ සත්ත්වයින් හැටියටයි. එහිදී තමන් ගැන පමණක් හිතන අයෙකුට වඩා යම් තරමකින් කණ්ඩායමක් සේ සිතන අයට පැවැත්මක් තිබෙනවා.

ආත්මාර්ථකාමය වගේම සහකම්පනයත් මූලික මිනිස් ස්වභාවයක්. මිනිහෙක් කියා කියන්නේ ස්වභාවයෙන්ම මේ දෙකේ ප්‍රසස්ථ මිශ්‍රණයක්. මිනිහෙක්ට සහකම්පනය දැනෙන්න අමුතුවෙන් ක්‍රමලේඛනය කරන්න අවශ්‍ය නැහැ.

ධනවාදය කියන්නේ මේ මූලික මිනිස් ස්වභාවයට ඉඩ දෙන ක්‍රමයක්. ඒ නිසා, ධනවාදය තුළ කිසිවිටෙකත් සහකම්පනයට ඇති  ඉඩ අහිමි වෙන්නේ නැහැ. රටේ සමාජ ක්‍රමය ධනවාදය අනුව හැඩ ගැසී තිබුණත් නැතත් බොහෝ මිනිසුන්ට තමන්ගේ බඩගින්න වගේම අසල්වැසියාගේ බඩගින්නත් දැනෙනවා. ඒ නිසා මිනිස්සු තමන්ගේ බත් පතෙන් කොටසක් අසල්වැසියා වෙනුවෙනුත් වෙන් කරනවා. හැබැයි රොබින් හුඩ් ක්‍රමයට වෙනත් කෙනෙකුගෙන් උදුරා ගෙන අසල්වැසියාගේ බඩ පුරවන්න ධනවාදය තුළ ඉඩක් ලැබෙන්නේ නැහැ.

ධනවාදී සමාජයක මිනිස්සුන්ගේ අවශ්‍යතාවන් පෙළ ගැහෙන ප්‍රමුඛතා අනු පිළිවෙළ එක් එක් පුද්ගලයාගේ නිදහස් තීරණයක්. ආණ්ඩුව ඒ අනුපිළිවෙල තීරණය කරන්න යන්නේ නැහැ. ඒ නිසා, ධනවාදී සමාජයක මූලික අවශ්‍යතා කියන වචනයට තිබෙන්නේ සාපේක්ෂව අඩු වැදගත්කමක්.

සමාජවාදී සමාජ වල තත්ත්වය වෙනස්. මෙහිදී ආණ්ඩුව විසින් මූලික අවශ්‍යතා ලෙස හඳුනාගන්නා දේවල් වලට වැඩි ප්‍රමුඛතාවයක් දෙනවා. ආහාර හා සෞඛ්‍යය බොහෝ විට ලැයිස්තුවේ ඉහළට එනවා.

සමාජවාදී ක්‍රමයක් යටතේ කෘෂිකර්මය හෝ සෞඛ්‍යය වැනි තෝරාගත් ක්ෂේත්‍රයකට හෝ කිහිපයකට සම්පත් වැඩියෙන් යොමු කිරීම මගින් වෙළඳපොළ සමතුලිතතාව ඉක්මවා යන ඉලක්කයකට යන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලෝකයේ රටවල් අතරින් ජනගහණය දශ ලක්ෂයකට වැඩිම වෛද්‍යවරුන් ප්‍රමාණයක් ඉන්නේ කියුබාවේ. මේ ආකාරයට බොහෝ රටවල ආණ්ඩු තමන්ගේ රටේ කෘෂිකර්මයට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න පෙළඹෙන බව අපට නිරීක්ෂණය කළ හැකියි.

වෙළඳපොළට මැදිහත්වීම මගින් කිසියම් රටක කෘෂිකර්මය එවැනි මැදිහත්වීමක් නැතිව පවතින තත්ත්වයට වඩා ඉදිරියට තල්ලු කරන්න පුළුවන් විය හැකියි. ප්‍රශ්නය වන්නේ එසේ කිරීමේ වාසිය බොහෝ විට ඒ වෙනුවෙන් ගෙවන මිලට තරම් නොවීමයි.

පැරණි සෝවියට් දේශය බිඳ වැටෙන තුරු ඒක පුද්ගල දෛනික කැලරි පරිභෝජනය අතින් ඉදිරියෙන් සිටියේ එම කලාපයයි. එය එක් අතකින් සැලසුම් සහගතව එම අංශය වෙත සම්පත් යොමු කිරීම මගින් අත්පත් කරගත් ඉලක්කයක්. අනෙක් අතින් වෙනත් වාසිදායක තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක්. හරියටම කියනවානම් ජනගහණයට සාපේක්ෂව වගේම නිරපේක්ෂවත් වැඩි වගා කළ හැකි ඉඩම් ප්‍රමාණයක් තිබීමේ වාසිය. උතුරු කොරියාවට එවැනි ඉලක්කයකට යා නොහැකි වුනේ සෝවියට් සංගමයට තිබුණු ආකාරයේ භූමියේ වාසියක් නොතිබුණු නිසයි. අනෙක් අතට ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රට වලටත් මේ භූමියේ වාසිය තිබෙනවා.

රටක් විශාල වෙනවා කියන්නේ එක පැත්තකින් ඒ රට සතුව විශාල වගා කළ හැකි ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා කියන එකයි. අනෙක් පැත්තෙන් මේ වගේ ලොකු රටක ඉඩම් විවිධ, වෙනස් දේශගුණික කලාප වල පිහිටා තිබෙන නිසා විවිධ, වෙනස්  බෝග වර්ග වලට අවශ්‍ය දේශගුණික තත්ත්වයන් රටේ කොහෙන් හෝ හොයා ගන්න පුළුවන්. ලංකාව වගේ පොඩි රටකට මේ වාසිය නැහැ. ඒ නිසා, තිරිඟු, රතු පරිප්පු වගේ රටේ විශාල ඉල්ලුමක් තිබෙන ආහාර ද්‍රව්‍ය මුළුමනින්ම ආනයනය කරන්න වෙනවා.

භූමියේ වාසිය අතින් ලංකාව වගා කළ හැකි බිම් ඇත්තේම නැතියැයි කිව හැකි සිංගප්පූරුව වැනි නාගරික රාජ්‍ය තරම්ම නරක තැනක නැහැ. ඒ නිසා, ලංකාව කෘෂිකර්මයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී ආහාර ආනයනය කරන්න අවශ්‍ය නැහැ. එසේ වුවත්, මේ කාරණයේදී ලංකාවට වෙනත් බොහෝ රටවල් තරමට භූමියේ වාසිය නැති බව පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක්.

පැරණි සෝවියට් දේශයේ කොටස් වූ රුසියාව, කසකස්ථානය, යුක්රේනය වගේ රටවල් සතුවත්, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ පළමු ලෝකයේ රටවල් සතුවත් විශාල භූමි සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. ඒ රටවල ජනගහණයෙන් බෙදුවත් එක් අයෙකුට අක්කර වලින් මැනිය හැකි ඉඩම් ප්‍රමාණයක් හිමි වෙනවා. තායිලන්තය, පකිස්ථානය වගේ කලාපයේ අසල්වැසි රටවල වගේම විශාල ජනගහණයක් සිටින ඉන්දියාව හා චීනය වගේ රට වලත් එක් අයෙකු සතුව වගා කළ හැකි ඉඩම් ලංකාවට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා.

එහෙත් ලංකාවේ ඒක පුද්ගල වගා ඉඩම් ප්‍රමාණය පර්චස් 24.6ක් පමණයි. මේ අතින් ලංකාව ඉන්නේ සංවෘත ආර්ථිකයක් ඇතුළේ වගා සංග්‍රාම වලින් ගොඩ යන්න උත්සාහ කර අසමත්ව සිටින උතුරු කොරියාවටත් පසු පසින්. එහෙම තියද්දීත් මේ තරමින් ඔලුව උස්සගෙන ඉන්න සමත්වීමෙන් පෙනෙන්නේ ලංකාවේ කෘෂිකර්මික අංශයේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳව අසතුටු වීමට විශාල හේතු නැති බවයි. ඒ වගේම තවත් ඉදිරියට යන්න අවශ්‍යනම් මාර්ගය වැටී තිබෙන්නේ උතුරු කොරියාව හරහා නොවන බවයි.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල