ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [9] කුකුළු හැවිල්ල

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [9] කුකුළු හැවිල්ල

21 February 2020 08:30 pm

ඉස්කෝලෙ මහත්තයා - 

අද අපි කතාකරන්න යන්නේ සිංහලෙන් ලියැවුණු ලස්සන ගීතයක් ගැන. භරතමුණි පඬිවරයා ‘නාට්‍ය ශාස්ත්‍ර’ පොතේ සාහිත්‍යමය රසයන් කොටස් නමයකට බෙදනවා. දන්න අය කියමු බලන්න ඒ කොටස් නමය. 

නිමාලි - හාස්‍ය, භයානක…

ප්‍රසන්න - අද්භූත, ශාන්ත….

නිසල් - බීභත්ස්‍ය, ශෘංගාර, කරුණා…

කමනි - වීර…

ඉස්කෝලෙ මහත්තයා - තව එකක් තියෙනවා.

කමනි - මතක් වෙන්නෙ නෑනෙ.

ඉස්කෝලෙ මහත්තයා -

ඉතුරු රසය තමා රෞද්‍ර රසය. අද අපි කතා කරන්න යන ගීතයත් ලියැවිලා තියෙන්නේ රෞද්‍ර රසයෙන්. ගීතය ගායනා කරන්නේ සුනිල් ශාන්ත ලියන්නේ රැපියෙල් තෙන්නකෝන්. රැපියෙල් තෙන්නකෝන් කියන්නේ හෙළ හවුලේ විශිෂ්ටතම කවියා. මේ ගීතය තියෙන්නේ තෙන්නකෝන් මහත්තයගේ ‘හැවිල්ල’ පොතේ. ගම්බද කාන්තාවක් තමන්ගේ කුකුළා මැරිලා ඉන්නවා දැකපු නිසා උන්නැහේ යනවා නා ගහක් ගාවට. එතනට ගිහිල්ලා කතරගම දෙවියන්ගෙනුයි ඒ නා ගසේ ඉන්න වෘක්ෂ දේවතාවුන්නාන්සෙගෙනුයි තමන්ගෙ කුකුළා මරා හාපු හොරාව මරන්නයි කියලා පළිගහනවා. ඒ නිසා තමා මේකට හැවිල්ලක් නැත්නම් සාපයක් කියන්නේ. මේ ගීතයට සම්බන්ද පසුබිම තියෙන්නෙ නම් ගීතයට කලින් තියෙන කවි පද පේලි වල. හොදයි කියමු බලන්න ගීතයේ මුල් පද කිහිපය.

කමනි -

දුදනො'ද බිඳ
ලද තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ!

ඉස්කෝලෙ මහත්තයා -

දුදනන් කියන්නේ නපුරු ගති පැවතුම් තියෙන මිනිස්සු. දුදනන්ගේ බලය බිඳපු නිසා විශාල තේජසක් අත්වුනු කඳ දෙවියො ඒ කිව්වේ කතරගම දෙවියන්ටයි මේ කොටහින් කතා කරන්නේ. ඊළඟ කොටස.

නිසල් -

මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබ ගෙ පාළු යකා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නො දී මකා

ඉස්කෝලෙ මහත්තයා -

මේ කොටසින් කියන්නේ තමන්ගේ කුකුළව මරා දාපු කෙනාට තව එක බදාදා දවසක් ඉන්න දෙන්න නැතුව මරන්න කියලා. මේ එක්කම කතරගම දෙවියන්ව උපහාසෙකටත් මේ කාන්තාව ලක් කරනවා. කතරගම දෙවියන්ගෙ දදය ඒ කිව්වේ කොඩිය පාළුවට ගිහිල්ලයි කියනවා. මොකද කතරගම දෙවියන්ගේ කොඩියෙ ඉන්නෙත් කුකුළෙක්.

සහන් - කතරගම දෙවියන්ගෙ කොඩියට කුකුළෙක් ආවෙ කොහොම ද?

ඉස්කෝලෙ මහත්තයා -

කතරගම දෙවියන්ගේ කොඩියට කුකුළා ආපු විදිහ ගැන ජනප්‍රවාද කිහිපයක් ම තියෙනවා. තාරක කියන අසුරයාගේ වැඩිමල් සොහොයුරා තමා සූරපද්මන්. සූරපද්මන්ගේ බෙල්ල කපලා සූරපද්මන්ව මරන්න කොච්චර උත්සහ කරත් ඒක හරිගියේ නැහැ. මොකද සූරපද්මන් සිංහ , ව්‍යාග්‍ර හා එළු හිස් ඇතිව ආයෙත් ඉපදෙන්න ගත්තා. මේ නිසා කඳ කුමාරයා සූරපද්මන්ගෙ හිස තිරස්ව කපන්නෙ නැතිව සිරස්ව කපලා ශරීරය දෙපලු කළා. ඉතින් සූරපද්මන් කඳ කුමාරයා ගාව වැඳවැටිලා ඉල්ලුවා එයාව මරන්න එපා කියලා. ඉතින් කතරගම දෙයියො මේ කපාපු පලු දෙකට වරයක් දුන්නා. එක පලුවක් මොණරෙක් වෙලා කතරගම දෙවියන්ගේ වාහනය වුනා. අනිල් පලුව කුකුළෙක් වෙලා කොඩිය වුනා.

තවත් කතාවක කියන්නේ අසුරයන්ව පරද්දන්න ශිව දෙවියන් ලවා කතරගම දෙවියන්ව මවන්න මුල් වුනු විශ්ණු දෙවියෝ කඳ කුමාරයාට පොඩි කාලෙ සෙල්ලම් කරන්න කුකුළෙකුයි මොණරෙකුයි තෑගි දුන්නා කියලා. හොදයි ඊලඟ කොටස.

ප්‍රසන්න -

බලා එල්ල
හෙළුව හෙල්ල
මුලැ මැ බෙල්ල
මරු තැනේ,

ඉස්කෝලෙ මහත්තයා -

මේ කොටහින් ගැමි කාන්තාව කියනවා තමන්ගෙ කුකුළව මරාපු කෙනාට දෙන්න ඕන දඬුවම ගැන. කතරගම දෙවියන්ට කියනවා හරියට එල්ලය බලලා මරපු කෙනාගෙ බෙල්ලටම වදින්න තමන්ගෙ හෙල්ලය විදින්න කියලා. ඊළඟ කොටස.

නිමාලි -

කතරගමට රුහුණු රටේ
හිඟා කකා, ලබන විටේ
පයින් මැ ගොස් ඇවිදැ වටේ
පොළොවැ උලා නළල් ඇටේ

දිගට ඇදී
නැඟැ පැහැදී
මහ හඬ දී
“දෙවියනේ,”

ඉස්කෝලෙ මහත්තයා -

මේකෙන් කියන්නේ තමන් ඉල්ලපු දේ, ඒ කිව්වේ කුකුළගෙ මිනීමරුවට දඬුවම දුන්නොත් ගැමි කාන්තාව ඉෂ්ට කරන භාරය ගැන. ඊළඟ වාරයේ කතරගමට හිඟා කාලා ලැබෙන සල්ලි වලින් ඇවිත් කතරගම දේවාලය වටේ පයින්ම ඇවිදලා නළල පොලොවෙ උලා ගන්නවයි කියනවා. මෙතනදී කතරගම දේවාලය වටේ නිකන්ම ඇවිදිනවා නෙමේ පැදකුණු එහෙම නැත්නම් ප්‍රදක්ෂිණා කරන්නේ. යම් දේකට හෝ යම් කෙනෙක්ට කරන ගෞරවයක් විදිහට ඒ කෙනා හෝ දෙය දිහා බලාගෙන තමන්ගේ දකුණු පැත්ත හරවාගෙන ඇවිදීමට තමයි ප්‍රදක්ෂිණා කරනවා කියන්නේ. ඊළඟ කොටසින් කියන්නේ එහෙම කතරගමට ඇවිල්ලා කතරගම දෙවියන් ඉදිරියේ බිම දිගා වෙලා වැඳලා එහෙම නැත්නම් දණ්ඩ නමස්කාරය කරලා ‘දෙවියනේ’ කියලා කෑ ගහනව කියලයි. හොදයි ඊළඟ කොටස.

කමනි -

රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජුවටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි

ඉස්කෝලෙ මහත්තයා -

මෙතනින් කියන්නේ දෙවියන්ට දෙන අල්ලසක් ගැන. රත්තරනින් අඹාපු කුකුලෙක්, රිදියෙන් හදාපු බිත්තරයක් රත්තරනින් හදාපු දුන්නක් හා ඊතලයක් විතරක් නෙමේ කතරගම දෙවියන්ගේ රූපයට සමාන රිදී රූපයක් අඹලා දෙන්නම් කියල කියනවා. මේකෙන් ඒ කාලෙ විතරක් නෙමේ අද ඉන්න සමහර මිනිස්සුන්ගේ මෝඩ කම කවියා උපහාසයකට ලක් කරනවා. කුකුළෙක් මියගියේ. නමුත් ඒකෙ පළිය ගන්න ඒ වගේ සිය ගුණයක් වියදම් කරන්න මිනිස්සු පෙළබෙනවා. ඊළඟ කොටස.

සහන් -

කතරගමේ
බල මහිමේ
දුටු ද එ මේ?
හැම තැනේ

කියමින් නම'කුරු ඔබගේ‍
බොළඳුන් ගෙ ද කිරි තුඬ'ගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකති'න් හිමි සඳිනි මගේ

මට කළ මෙ විපත අනේ
බලා ගන්නැ දෙවියනේ!
වැජැඹෙන නා මෙ විමනේ
බලන්නැ! නා සාමිනේ

ඉස්කෝලෙ මහත්තයා -

කතරගමේ බල මහිමය මේ හැම තැනම පැතිරිලා තියෙනවා දැක්ක ද? කියල ප්‍රශ්නයක් අහනවා. ඒ විතරක් නෙමේ තවම කිරි සුවඳ මුවෙන් ගියෙ නැති කුඩා ළමයින්ගේ මුවෙන් කතරගම දෙවියන්ගේ නම කියැවෙන්න තරමට උන්නාන්සේගේ වටිනාකම වර්ධනය කරනවැයි කියල කියනවා. අන්තිමට මේ ගැමි කාන්තාව කියනවා නා විමනේ ඉන්න නා දෙවියනේ මට විපතක් කල පුද්ගලයාට දඬුවම් දෙන්න කියලා.

මෙතනදී නා විමන කියලා හදුවන්නේ හුඹහක් නෙමේ. නා සාමිනේ කියන්නෙ නාග රාජයෙක් නෙමේ. මොකද මේ ගැමි කාන්තාව තමන්ගෙ නිවස කිට්ටුව තියෙන නා ගසක් ගාවට ගිහිල්ලයි මේ පළි ගැහිල්ල කරන්නේ. ගස් බෙනයක නාගයෝ ඉන්න බවක් වැඩිය අහන්න ලැබෙන්නෙ නැහැ. නමුත් ජාතක කතා පොතේ ‘නකුල ජාතයේ’ නම් එහෙම හිටපු කතාවක් තියෙනවා. "එසමයෙ පන්සල සමීපයෙහි සක්මන් කෙළවර තුඹසක මුගටියෙක් වාසය කෙරෙති. එතනට සමීපයෙහි ගස් බිලක (බෙනයක) සර්පයෙක් වාසය කෙරෙයි" කියලයි තියෙන්නේ. කොහොම උනත් මේ ගැමි කාන්තාව පළි ගැහිල්ල කරන්නේ සංහිදක් ඒ කිව්වේ දෙවියන්ට පහන් දල්වන්න සාදපු තැනකට ගිහිල්ලා. ඉතින් මේ කොටහේ කියවෙන නා සාමින් කියන්නේ නා ගසේ වැඩ හිඳින වෘක්ෂ දේවතාවන්ට.

වාසිතය