වෛරසයේ නොපෙනෙන පැත්ත

වෛරසයේ නොපෙනෙන පැත්ත

21 February 2020 04:30 pm

විසිවන සියවසේ මුල් කාලයේදී උතුරු රුසියාවේ ප්‍රදේශ කිහිපයක පිනිමුවන් මිලියනයකට වඩා ඇන්ත්‍රැක්ස් (anthrax) රෝගයෙන් මියගියේය. ඒ සමගම පිනිමුවන් ඇතිකිරීම ජීවිකා වෘත්තීය කරගත් රුසියානුවෝ බොහෝ දෙනෙක්  වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය විය.  මියගිය පිනිමුවන්ගේ සිරුරු කාලයත් සමග අයිස් තට්ටු වලින් වැසී නොපෙනී ගියේය.

ඊට දශක ගණනාවකට පසු නැවතත් මිනිසුන් මේ ප්‍රදේශවල වාස භූමි ඇතිකරගත්හ. වසර 2016 යේ දිනක, දොළොස් හැවිරිදි බොරිස් පාසැල් ගොස් එන අතර දියවෙමින් පවතින අයිස් ස්ථරයක් තුලින් මතුවූ අං තට්ටුවක් දුටුවේය. කුතුහලය නිසාම ඔහු අයිස් ඉවත් කරමින් අං තට්ටුව මතුකරගැනීමට උත්සහ දැරීය. ක්‍රමයෙන් අයිස් පතුරු ගැලවෙද්දී  ඔහුට දැකගත හැකිවුයේ මරණයට පත්වී සිටි පිනිමුවෙකුගේ සම්පුර්ණ මලසිරුරකි. අං තට්ටුව ගැනීමේ අදහස අත් හැර දැමු බොරිස් ගෙදර ගියේය. දින කිහිපයකින් එම දරුවා මරුමුවට පත්විය. ඒ ඇන්ත්‍රැක්ස් රෝගය වැළඳීම නිසාය. ටික කලකදී පළාතේ පිනිමුවෝ දහස් ගණනින් මෙම රෝගය නිසා මිය යන්න විය. රුසියානු රජයේ මැදිහත්වීම නොවන්න එය ඉතා භයානක තත්වයක් වන්නට තිබුණි. කෙසේ නමුත් අද වන විට ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව නොයෙකුත් පර්යේෂණ සහ බලගැන්වීම් තුලින් ප්‍රබල ජෛව විද්‍යාත්මක අවියක් බවට පත්වී ඇත.  

ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු සඟරාවක් කොරෝනා වෛරසයට අදාලව අනාගත ලෝකය පිළිබඳව සංකල්ප පත්‍රයක් (concept paper) ලියන ලෙස මට ආරාධනා කළේය. සෑහෙන දිග සමීක්ෂණයකින්  පසු මම "Future biological warfare threat - In the eyes of a scientist" (අනාගත ජීව විද්‍යාත්මක යුද තර්ජනය - විද්‍යාඥයෙකුගේ ඇසින්) යන මාතෘකාවෙන් ලියන ලද ලිපිය සඟරාව වෙත යොමු කලෙමි. ඊයේ ඔවුන් මට ලියා එවා තිබුණේ එහි අඩංගු කරුණුවල සමාජ සංවේදීතාවය අධික බැවින් ලිපිය පළකිරීමට ඔවුන් පියවර නොගන්නා බවයි. ඒ පිළිබඳව ඔවුන්ගේ බලවත් කණගාටුවද පළකර තිබුණි. 

ඊයේ රාත්‍රියේදී මම ඒ පිළිබඳව සිතුවෙමි. බටහිර විද්‍යාව හැදෑරු ඕනෑම විද්‍යාඥයෙකුගේ ඇති පොදු ලක්‍ෂණයක් පිළිබඳව බොහෝ දෙනෙක් විශ්වාසය තබති. එනම් ඔවුන් සියළු දෙනාම යම් ගැටළුවක් විසඳීමට ගනු ලබන මූලික පියවර සමාන බවයි. එහෙත් ඔවුන්ගේ ක්‍රමවේදයන් සහ ප්‍රතිඵල එකිනෙකට වෙනස් විය හැක. මෙය සමහර විට හුදෙක් පොදු මතයක් මිස යථාර්තයක් නොවීමටද ඉඩ ඇත. නමුත් සාමාන්‍යයෙන් මෙය සත්‍යයකි. 

මේ අනුව මේ ලිපියේ ලියා ඇති කරුණු මේ වන විටත් ලොව බොහෝ විද්‍යාඥයන් කල්පනා කර තිබෙනු ඇත. සමහර විට ක්‍රියාවේ යොදවා ප්‍රතිඵලද ලබාගෙන ඇතුවා විය හැක. එබැවින්, මේ ලිපිය පලකලාය කියා අමුතුවෙන් යමක් සිතීමට විද්‍යාඥයන් පෙළඹේ යයි මම නොසිතමි. එබැවින් එම ලිපියෙහි සාරාංශයක් සිංහල බසින් මෙසේ පළකිරීමට සිතුවෙමි.

කොරෝනා වෛරසය ජීව විද්‍යාත්මක අවියක හදිසි කාන්දුවීමක් හෝ සිතා මතා කරන ලද පහරදීමක ඵලයක් බව ඒ සිද්ධිය පුරාම ලියැවී ඇති කාරණයකි. ගෝලීය උෂ්ණත්වය ඉහල යාමත් සමගම පසුගිය දශක කිහිපය තුල ලොව පුරා නොයෙකුත් අයහපත් වෙනස් කම් සිදුවෙමින් පවතී. මේ අතර වේගවත්ව සිදුවන ග්ලැසියර දියවීම ඉතා අනිසි ප්‍රතිපල ගෙන දෙන්නකි. ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව මෙන්ම කොරෝනා වෛරසයද මෙලෙස අයිස් දියවීම නිසා මතු වුවාදැයි යන සැකය බැහැර කල නොහැක. එහෙත් රෝගය පැතිරීම ඇරඹුණු කලාපය දෙස බලන විට එය අයිස් දියවීම නිසා මතුවුවක් බව සිතීම උගහටය. 

විද්‍යාඥයන් පවසන්නේ අද පවතින ගෝලීය දේශගුණික විපර්යාස අනුව නුදුරු අනාගතයේදී වසර මිලියන ගණනකට පෙර පෘතුවියෙන් තුරන් වූ වෛරස හා බැක්ටීරියා පවා නැවත මතුවීමට ඉඩ ඇති බවයි. නමුත් ඊටත් වඩා භයානක කාරණය නම් මිනිසුන් මෙම විෂබීජ උවමනාවෙන්ම මතුකරගෙන ඒවා පවතින තත්වයටත් වඩා භයංකාර ජීව විද්‍යාත්මක අවි බවට පත්කිරීමට ඇති ඉඩකඩයි. 

පුද්ගලයෙකුට, සංවිධානයකට හෝ ආණ්ඩුවකට පවා ජීව විද්‍යාත්මක අවියක් ගොඩනැගීමට විශාල තාක්ෂණ පහසුකම් අවශ්‍ය නොවන බව මගේ හැඟීමයි. මෙහිදී මගේ අවධානය යොමු වන්නේ තෝරාගත් ජන කණ්ඩායමකට හෝ සමුහයකට පමණක් පහරදිය හැකි අවියක් තැනීමේ හැකියාව පිළිබඳවයි. උදාහරණයක් ලෙස යම් ආගමික කණ්ඩායමක් ලොව කොතැනක සිටියත් වැඩි වශයෙන්ම ඔවුන් පමණක් මිය යන පරිදි ජීව විද්‍යාත්මක අවියක් තැනිය හැකිද යන්න සලකා බලමු? 

බැලූ බැල්මට මෙය පහසු දෙයක් නොවන බව ඔබට හැඟෙනු ඇත. එහෙත් මෙය පර්යේෂණ ගැටළුව ලෙස සලකා ක්‍රමානුකුල තත්ව විශ්ලේෂණයක යෙදෙන විට මේ සඳහා මාර්ගයක් තනා ගත හැක. 

ඔබගේ අවශ්‍යතාවය අන්‍ය ආගමිකයන් බේරා එක් ආගමකට අයත් පුද්ගලයන් පමණක් වෛරස් ප්‍රහාරයට ගොදුරු කිරීම නම් මූලික වශයෙන් කලයුත්තේ එම ආගමිකයන්ට පමණක් අනන්‍ය වූ හැසිරීම් රටා හඳුනා ගැනීමයි. 

අපි උදාහරණයක් ලෙස පහත දැක්වෙන චර්යා රටා ඇති ජන සමුහයක් සලකමු.

ඔවුන් මත්පැන් පානය නොකරයි
යම් මස් වර්ගයක් නොකයි
නිතරම හිස බිමට නමාගෙන යාඥා කරයි

දැන් ඔබට තමා ගොඩනගන වෛරසය හෝ බැක්ටීරියාව තුල පැවතිය යුතු ගුණාංග පිළිබඳව තර්කනයක් ඇත. එය මත්පැන් හෝ අදාළ මස් වර්ගය කෑමේදී නිකුත් වන රසායනික ද්‍රව්‍යයක් (හෝ එන්සයිමයක්) මගින් මිනිස් සිරුර තුලදී විනාශ විය යුතුය. එනම් මත්පැන් බොන සහ අදාළ මස් වර්ගය බුදින මිනිසුන්ට රෝග කාරකයෙන් පීඩාවක් සිදු නොවේ.  එසේම නිතරම ඔළුව පහලට නැමිමේදී රෝග කාරකය මොලය දෙසට ඇදී ගොස් එහි ක්‍රියාකාරිත්වය අඩපන කිරීම වේගවත් විය යුතුය. ඒ අනුව මේ ආගමික චර්යාවේ යෙදෙන්නන් රෝගය නිසා පීඩාවට පත්වීමේ ශීග්‍රතාවය අධිකය.

දැන් මේ ගුණාංග සහිත විෂබීජයක් හඳුන්වා දුනහොත් එය ලොව කොතැනක සිටියත් අදාළ ආගමිකයාට පහරදෙයි. වෙනත් කිසිවෙකුටත් ඉන් බලපෑමක් නොමැති බව මින් නොකියවේ. මන්ද අදාළ කරුණු පිළිපදින අන්‍ය ආගමිකයන්ද සිටිය හැකි බැවිනි. එහෙත් සමස්ථයක් වශයෙන් ඉලක්ක ජන සමුහය ලොව කොහේ සිටියත් මෙම වෛරසය මගින් ඝාතනය වීමට ඇති ඉඩකඩ ඉතා අධිකය. 

ඉහත දැක්වූ සරල උදාහරණයෙන් ඔබ්බට ගිය ඉතා සංකීර්ණ ඇල්ගොරිතම මගින් යම් ජන සමුහයක් ඉලක්ක කර ජීව විද්‍යාත්මක අවි නිපදවීමේ හැකියාවද ඇත. මේ සඳහා යම් ජාතියකට හෝ සමුහයකට අදාළ DNA විශ්ලේෂණයක් තුලින් අවශ්‍ය තර්කනය ගොඩනැගිය හැක. මෙලෙස ඇතිවන පහර දීමක තාර්කික පදනම තේරුම් ගැනීමට ජනතාවගෙන් අති විශාල ප්‍රතිශතයකට නොහැකිවනු ඇත. එබැවින් ඒවා බොහොමයක් දේව ශාප වලට බැරවනු ඇත. 

මේ තත්වය තුල ලොව කිසිවෙකුත් ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක ගොදුරක් වීමට ඇති අවධානමෙන් මිදෙන්නේ නැත. 

Chandima Gomes