බ්‍රසීල පොලීසියේ මීහරක් සහ ලංකාවේ මී හරක්

බ්‍රසීල පොලීසියේ මීහරක් සහ ලංකාවේ මී හරක්

21 February 2020 01:35 pm

මී හරකෙක් සහ ට්‍රැෆික් මෝටර් සයිකලයක ඇති ප්‍රධානම වෙනස වන්නේ ඒවායින් ලැබෙන අපද්‍රව්‍ය වල වෙනසය. ට්‍රැෆික් මෝටර් සයිකලය පණ ගැන්වූ මොහොතේ සිට වායුගෝලයට කාබන් මුසු කරන අතර, මී හරකා ඉඳ හිට ගොම පිඩක් බිමට දමයි. නමුත් එය අඩුගානේ පොහොර වලට හෝ දැමිය හැක. ලංකා පුරාණයේ නම් මී හරකා සී සැමට යොදාගන්නා ලදී.

බ්‍රවුන් සමාගම මගින් මුලින්ම ලංකාවට ට්‍රැක්ටරයක් ගෙන ආ අවස්ථාවේ එයින් සී සෑම නැරඹීමට පැමිණි ප්‍රධාන අමුත්තා වූයේ එවකට අගමැතිව සිටි ඩී. එස්. සේනානායක මහතා විය. බ්‍රවුන් සමාගමේ ඒජන්ත ප්‍රධානි සුද්දා ගෙන් ඔහු මෙසේ ඇසුවේය. … “කෝ මේකේ ගොම එන්නේ කොහෙන්ද?…?

මේ කතාවට කෙනෙක් සිනහවෙන්නට ඇත. එහෙත් එහි විශාල අරුතක් තිබේ. එදා සී සෑමට භාවිතා කල මී හරකාගේ කුර, කුඹුරේ අවශ්‍ය ප්‍රමාණයට පමණක් මඩ හෑරෙන්නට කුඹුරේ ඇවිද ගියේ, කුඹුරට අවශ්‍ය පෝරද එකතු කරමිනි. දුරදර්ශී අගමැතිතුමාට ඈත අනාගතය පෙනෙන්නට ඇත. පසුව පැමිණි ට්‍රැක්ටර් වලින් කුඹුරට අනවශ්‍ය, ‘කර මැට්ට’ උඩට ගෙන ඒමෙන් කුඹුරු නිසරු වූයේය. එපමණක් නොව වසර ගණනාවක් තිස්සේ මේ ෆොසිල ඉන්ධන වාහන වලින් වායුගෝලයට එකතු කල කාබන් ප්‍රමාණය කොතරම් වන්නට ඇතිද?

අද ඒ දුක අපි අත් විඳිමු.

මිනිසා කෙමෙන් කෘෂි ශිෂ්ටාචාරයට අනුගත වීමේදී, වන සතුන් අල්ලා හීලෑ කරගන්නා ලදී. මිනිසාට සාපේක්ෂව සතුන්ට ඇති විශාල ශක්තියත්, මිනිසාට සාපේක්ෂව සතුන්ට ඇති අඩු ඥාණයත් මෙහිදී ප්‍රයෝජනවත් විය. ඒ සිරිතට යමින් මේ හීලෑ කරන ලද සතුන්ගෙන්, කාලයට, දේශයට ඔබින කාර්යයක් බ්‍රසීලයේ පොලීසිය ඉටු කර ගනී. එනම් බ්‍රසීලයේ සමහර පළාත් වල ට්‍රැෆික් පොලිසිය මගින් පසුගිය වසර 23 තුල, ට්‍රැෆික් මෝටර් සයිකල් වෙනුවට මී හරක් භාවිතා කරයි. ලංකාවේ නම් සමහර ට්‍රැෆික් මෝටර් සයිකල් වල මී හරක් යති. ගොස් ඉරි කපති.

මෙය අපට නම් හාස්‍ය ජනක ආරංචියක් වුවද, පරිසරය සහ යෝග්‍යතාවය සලකන විට, ඉතාම හොඳ ක්‍රියාවක් බ්‍රසීල පොලිසිය කර ඇති බව පෙනේ. එය බහුලව ඇති සම්පතක් නිසි සේ යොදා ගැනීමකි. ඇමසන් ගංගාවේ ඇති ‘මරාජෝ’ යන දිවයිනේ මේ ක්‍රමය භාවිතා වේ. ඒ දිවයින ස්විස්ටර්ලන්තය තරමේ දූපතක් වන අතර එය ගංගාවක් මැද ඇති ලෝකයේ විශාලතම දිවයින වන්නේය. අත්ලාන්තික සාගරයේ මුව විට එය ඇත. මේ දිවයිනේ මී ගවයාගෙන් අයිස් ක්‍රීම්, කිරි, චීස් සහ මස් ලබා ගනී.

ලංකාවේ මී හරක් ගෙන් ගන්නා කිරි, ආයුර්වේදය අනුව නම් ‘ඌෂණ’ යයි කියනු ලැබේ. එහෙත් එම කිරි වලින්ම තැනූ මුදවන ලද මී කිරි ‘සීතල’ යයි කියනු ලැබේ. එකල මැටි හට්ටි වල මුදවන ලද මී කිරි, අද දින අපගේ සහ හෙට ජීවත් වන්නට එන දරුවන්ගේ අවාසනාවට ප්ලාස්ටික් භාජන වල මිදවීම කෙරේ. දරන්න බැරි ප්ලාස්ටික් ගොඩකට තවත් ප්ලාස්ටික් එකතු කිරීමක් එයින්ද සිදුවේ. ප්ලාස්ටික් වල ලිහිණු තනි සෛල පිළිකා කාරක බව සොයා ගෙන ඇත.

ආසියාවේ හැරුණු විට වැඩිම මී හරක් සිටින්නේ මේ දිවයිනේය. මී හරකෙක් සාමාන්‍යයෙන් ලංකාව වැනි තැනක සාගර වෙරළේ දැකීමට නොහැකි වුවද, බ්‍රසීලයේ ඇති මේ දිවයිනේ එය සුලභ දසුනකි. මේ දිවයිනට මී හරක් පැමිණි ආකාරයත් ජන ප්‍රවාදයේ ආකාරයට අමුතු දෙයකි. එනම් ගවයන් රැගත් මුහුදේ යාත්‍රා කල නැවක් මුහුදුබත් වී මේ ගවයන් වතුරට වැටුණු කල, ඔවුන් මේ දිවයිනට පීනා පැමිණියහ යන්න එක මතයකි. තවත් අනුමානයක් වන්නේ විශාල වතු හිමියන් විසින් කලකට පෙර ඔවුන් රැගෙන ආ බවය. අද දින ඔවුන්ගෙන් පැවතෙන මී හරක් සංඛ්‍යාව ලක්ෂ දෙකක් පමණ සිටී.

නමුත් සමහර වාර්ථා කියන්නේ ඔවුන් මිලියනයක් පමණ සිටී යන්නය.
මේ තරම් ප්‍රමාණයකට ගවයන් වැඩි වීමට හේතුව මෙහි ඇති කඩොලාන සහිත මඩ ඇති පරිසරය වේ.

වර්ෂා කාලයේදී මේ ප්‍රදේශය හරහා මෝටර් සයිකලයක්, මෝටර් රථයක් ධාවනය කල නොහැක. එපමණක් නොව අශ්වයෙක් වත් මේ මඩ වගුර හරහා ගමන් කිරීමට මැලි කමක් දක්වයි. මෙසේ හෙයින් මේ දිවයිනේ පොලීසිය මී හරක් ප්‍රයෝජනය ගැනීමට තීරණය කළහ. එය ඇත්තටම ඥාණාන්විත ක්‍රියාවක් වන්නේ, බහුල සම්පතක් භාවිතාවෙන් පමණක් නොවේ. ගංගාව හෝ මඩ වගුර හරහා පැන දුවන හොරෙක් ඇල්ලීම මී හරකෙක්ගේ පිටේ සිට පහසුවෙන් කල හැකි බව ඔවුන් හඳුනා ගත්හ.

කුලප්පු කල විට මී හරක් පැයට කිලෝ මීටර් 25ක පමණ වේගයකින් දුවති.

වාහනයක් වශයෙන්, කිරි හෝ මස් සඳහා, මෙහි සිටින සෑම පවුලකටම පාහේ මී හරක් සිටිති. මී හරකා මේ දිවයිනේ වැසියන්ගේ ප්‍රධාන මාතෘකාවකි. මේ අපූරු ධාවන ක්‍රමය මේ රටට පැමිණෙන විදේශ සංචාරකයන් සඳහා හොඳ ආකර්ෂණයකි.

ලංකාවේ මී හරකා ගෙන් කලකට පෙර කුඹුරු සී සෑම බහුලව සිදු වුවද, අනාදිමත් කාලයකට පෙර මී හරක් ගෙන් ඊටත් වඩා වැදගත් දෙයක් සිදු විය. එනම් අලුතෙන් තනන ලද වැව් වල පත්ල සකස් කිරීම ඔවුන්ගෙන් සිදු විය. මී හරකා මඩේ ලැග ගෙන ඉන්නට කැමති සතෙකි. එහෙත් මී හරකා මඩේ ලැග ගෙන ඉන්නා විට එහෙට මෙහෙට ඇඹරෙන බව දැකීමට හැකිය. එවිට වන්නේ වැව් පත්ල යට ඇති මඩ හොඳින් තද වීමය. [Walloping] පොල් කට්ටක් මෙන් වැව් පත්ලේ සකස්වෙන මේ මඩ තට්ටුව නොමැති නම් ජලය පොලවට කාන්දු වී වැව සිංදී යයි.

වැව් හැරීම හොඳ නැත කියන්නේ මෙන්න මේ නිසාය.

ලංකාවේ මහා වැව්, ගබඩා වැව්, කුඩා වැව්, කුළු වැව් සහ පතස් සේ ජලාශ ඇත. මෙහි, ‘කුළු වැව්’ යන්න මී හරක්ට ලැග ගෙන සිටින්නට තැනූ ජලාශ වේ. මේ ආකාරයේ ජලාශ වැඩි වැඩියෙන් තියෙන්නට, පළාතේ භූමියේ ජල තලය ඉහළ යයි. අපගේ රජ දරුවන් අතීතයේ වැව් නිර්මාණය කලේ ඉන් ජලය ලබා ගැනීමටම පමණක් නොව, ප්‍රදේශ වල ජල තලය ඉහළ දැමීමටද විය.

අද දින ලංකාවේ කකුල් හතරේ මී හරක් අඩු වෙමින් පවතී. එය සමබර වන්නට, විශේෂයෙන් දියවන්නාව ප්‍රදේශයට කකුල් දෙකේ මී හරක් පසුගිය දශක කීපයක් තුල බෙහෙවින් පැමිණ රටම සී සා දමන ලදී.

තවත් කකුල් දෙකේ මීහරකුන් අපට අනවශ්‍යය.

‘ජ්‍යෝෆ්‍රී බේකන්’