ඉරාජ්ගේ මාකටිං : කතාව සංස්කෘතිය, සදාචාරය, ළමාසාරිය ගැන - වැඩ හෙළුවෙන්

ඉරාජ්ගේ මාකටිං : කතාව සංස්කෘතිය, සදාචාරය, ළමාසාරිය ගැන - වැඩ හෙළුවෙන්

17 January 2020 10:34 am

ඉරාජ්ගෙන් මාර්කටින් ඉගෙන ගමු.

ඉරාජ් ගැන මාර්කටින් පර්ස්පෙක්ටිව් එකෙන් ගොඩක් කතා යන හින්ද ඒ විෂයෙම හැපෙන කූඹියෙක් විදිහට මං මගේ තේරුම් ගැනීමත් ෂෙයාර් කරන්න හිතුවා. මොකද ඕනම ගූබෙට්ටක් අපිට නිමිත්තක් කරන්න පුළුවන් විෂයක් ගැන ගැඹුරට හිතන්න. ඉරාජ් ගැන කතා කරද්දි ගොඩක් අය කියනවා එයා මාර මාර්කටියර් කියල. ඒත් මාර්කටියර් කෙනෙක් කියල ඉරාජ් හඳුන්වන එකම මට හිතෙන්නෙ මාර්කටින් ගැන තියෙන දැනීමෙ අඩුවක්. ඒක මාර්කටින් සහ බ‍්‍රෑන්ඞ් කියන වෙනස ටපලගන්න තැනක්.

මාර්කටියර් කෙනෙක් කියන්නෙ තමන්ට දෙන ඕනම දෙයක් සඳහා අනන්‍යතාවක් එහෙම නැත්තං බ‍්‍රෑන්ඞ් එකක් ගොඩනැගීමේ ඉඳන් අලෙවිකරනය දක්වා ස්ට‍්‍රැටජික් හැකියාවක් දක්වන කෙනෙකුට. ඒ කියන්නෙ යම් භාන්ඩයකට හරි සේවාවකට හරි ඒකට අදාලවන කැරැුක්ටර් එකක්, වටිනාකම් පද්ධතියක් ගොඩනගමින් ඒක ඉලක්කගත පාරිභෝගික පිරිසක් අතට ගෙනයන සැලසුම නිර්මාණය කරන කෙනෙකුට. එතනදි එයාට ඒ සඳහා විශේෂිත වූ මාධ්‍යයක් නෑ. ඒක ඕනම මාධ්‍යයක් කාරණයට අදාලව තෝරගන්නවා. ඉරාජ් කියන්නෙ එහෙම විවිධ භාන්ඩ හා සේවාවන් මාර්කට් කිරීමේ වැඩක් කරන කෙනෙක් නෙමෙයි.

ඉරාජ් කියන්නෙ මාර්කටියර් කෙනෙක් නෙමෙයි. එයා බ‍්‍රෑන්ඞ් එකක්.

බ‍්‍රෑන්ඞ් එකක් කියන්නෙ සමාගමක්, නිෂ්පාදනයක්, සේවාවක් හෝ පුද්ගලයෙක් සමාජය එක්ක ගනුදෙනු කරද්දි ගොඩනගා ගන්නා සෙල්ෆ් එක. සමාජයට ලබාදෙන පර්සෙප්ෂන් එක. අනන්‍යතාව. අයිඩෙන්ටිටිය. ඒක ඉරාජ්ටත් තියෙනවා පාරෙ හිගන්නෙකුටත් තියෙනවා. ඉරාජ් වගේම හිගන්නත් තමන්ගෙ බ‍්‍රෑන්ඞ් එක විවිධ දේ කියමින් මාර්කට් කරනවා. එතනදි අපිට අඳුරගන්න පුළුවන් ඉරාජ් කියන්නෙ බෑඩෑස් බ‍්‍රෑන්ඞ් එකක් විදිහට. මොකද එයා සමාජයේ ප‍්‍රතික්‍ෂේප කරන කන්ටෙන්ට් මාර්කට් කරමින් එයාගෙ අයිඩෙන්ටිටිය, අනන්‍යතාව ගොඩනගා ගන්න හින්ද.

මෙතනදිත් ලංකාවෙ බෑඩෑස් බ‍්‍රෑන්ඞ් කියන එකයි නෙගටිව් මාර්කටින් කියන එකයි ටපලගන්නවා. ඉරාජ් කරන්නෙ නෙගටිව් මාර්කටින් කියල ගොඩක් අය කියනවා. ඒත් නෙගටිව් මාර්කටින් කියන්නෙ තමන් ගැන නෙගටිව් ඉමේජ් එකක් හදාගන්න එකට නෙමෙයි. නෙගටිව් මාර්කටින් කියන්නෙ තමන්ගෙ කම්පිටිටර්ස්ලට නෙගටිව් ඉමේජ් එකක් හදන වැඩ කරන අන්එතිකල් ප‍්‍රැක්ටිස් එකකට. ඒත් ඒක සාර්තක වෙන වෙලාවල් තියෙනවා.

එතකොට ඉරාජ් කියන බෑඩෑස් බ‍්‍රෑන්්ඞ් එකේ සාර්තකත්වය අපි මනින්නෙ කොහොමද? මට අනුව නම් මේ බ‍්‍රෑන්ඞ් එකේ තියෙනවා බ‍්‍රෑන්ඩින් දෝෂයක්. බෑඩෑස් බ‍්‍රෑන්ඞ් එකක තියෙන වැදගත්ම ලක්ෂනයක් තමයි තමන්ගේ අදහස වෙනුවෙන් තියෙන නිර්භීතභාවය. අපි දන්න ඉරාජ් කියන බ‍්‍රෑන්ඞ් එක හැදෙන්නෙ බැන්ගින්ග් හාර්ඞ් කියන ටැග් ලයින් එකත් එක්ක. ඒත් ඉරාජ් කතා කරද්දි පෙනී ඉන්න හදන්නෙ සංස්කෘතිය සදාචාරය අපේකම ළමාසාරිය වගේ දේවල් වෙනුවෙන්. එයාගෙ වැඩ තියෙන්නෙ හෙලූවෙන්. ට‍්‍රයිකරන ඉමේජ් එක හෙලයෙන්. මේක බ‍්‍රෑන්ඞ් එකක් විදිහට ස්කිසොෆ‍්‍රිනික් නැත්තං භින්නෝන්මාදී හැසිරීමක්. බ‍්‍රෑන්ඞ් එකේ පැල්මක්. එහෙම වුනහම අපි ඒ වගේ බ‍්‍රෑන්ඞ් ස්ට්‍රෝන්ග් බ‍්‍රෑන්ඞ්ස් විදිහට අඳුරගන්නෙ නෑ.

ඉරාජ්ගෙ බ‍්‍රෑන්ඞ් වැලියු එක නැත්තං ඒකට අපි කියනවා ඉක්විටි එක බැලූවොත් මේ ඇත්ත තත්වය පැහැදිලි වෙනවා. ඉරාජ් කියන බ‍්‍රෑන්ඞ් එකත් එක්ක ඇසෝසියේට් වෙන්න කැමති ඕඩියන්ස් එක කවුද, ඒ අයගෙ සමාජ තත්වය කෙබඳුද, ඒ බ‍්‍රෑන්්ඞ් එක විසින් සමාජයට කරමින් සිටින යහපත කොයි වගේද, ඒ බ‍්‍රෑන්ඞ් එක සමාජයේ පැවතීමේ පර්පස් එක මොකක්ද, මෙන්න මේ වගේ කාරනා ඔස්සේ තමයි අපිට ඉරාජ් කියන බ‍්‍රෑන්ඞ් එකේ ඉක්විටි එක තේරුම් ගන්න සිද්ද වෙන්නෙ. ඒක කොහෙත්ම ඔන්ලයින් ෂෙයාර්ස් ගානෙංවත්, ටෙ‍්‍රන්ඩින්ග් යාමෙන්වත් සිද්ද වෙන දෙයක් නෙමෙයි.

ඉරාජ් කියන බ‍්‍රෑන්ඞ් එක වික්ටර් රත්නායක, සන්නස්ගල ආදී ප‍්‍රසිද්ද සමාජ චරිතවලට අපහාසාත්මක, මඩ නිර්මාණය කරමින් අත්පත් කරගන්න පොපියුලරිටි එකක් උඩයි පවතින්නෙ. හොඳම උදාහරනය චන්දයකදි පවා මැතින්ටා වගේ වීඩියෝවක් තමයි එයාගෙ ප‍්‍රකාශනය වෙන්නෙ. නොයිස්ටීවී වගේ වැඩ ඔස්සේ, පුද්ගලික හඩපට එලියට දැමීම් ඔස්සේ තමයි ඉරාජ් තමන්ගේ බ‍්‍රෑන්ඞ් රිලේටඞ් ඇක්ටිවිටි එලියට දාන්නෙ. එතනදි ඉරාජ් කියන බ‍්‍රෑන්ඞ් එකේ සෝෂල් රෙස්පොන්සිබිලිටි වගේ කාරණා අපිට කියවගන්න පුළුවන්.

ඉරාජ් කියන බ‍්‍රෑන්ඞ් එක පැලූනු, භින්නවුනු බ‍්‍රෑන්ඞ් එකක් වග මං කලින් කිව්වා. ඉරාජ්ගෙ අතීතය සහ වර්තමානය විදිහට ගත්තත් එතන අපිට දකින්න තියෙන්නෙ බ‍්‍රෑන්ඞ් අයිඩෙන්ටිටි දෙකක්. අලූත් ඉරාජ්ගෙ සොෆ්ට් පෝර්න් මියුසික් වීඩියෝ එක්ක එයාගෙ පොලිටික්ස් ගත්තත් අපිට දැනෙන්නෙ නොගැලපීමක්. බ‍්‍රෑන්ඞ් එකක් විදිහට ඉරාජ්ට කන්සිස්ටන්සි එකක් නෑ.
මෙතනදි සමාන කම්පිටිටර් බ‍්‍රෑන්ඞ් එකක් විදිහට මං යෝජනා කරන්නෙ වස්ති. වස්ති මෙතනදි මං ගන්නෙ ලංකාවෙ අතිසාර්තක බෑඩෑස් බ‍්‍රෑන්ඞ් එකක් විදිහට. තමන්ගෙ අනන්‍යතාවය, තමන්ගෙ ප‍්‍රකාශනය, පැවැත්ම, විකාශනය හැම කාරණයක් අතින්ම වස්ති මෙතනදි ඉතා දියුණුයි.

ඉරාජ් කරන්නෙ මාර්කටින්වල ඉතාම මතුපිට කාරණයක්වන ඇටෙන්ෂන් ගැනීම විතරයි. ඒ වගේම එයා මූමන්ට් මාර්කටින්වල නැත්තං ඒ මොහොතෙ නැගලා යන තේමාව ඔස්සේ ලකුනු ටිකක් දමාගැනීමේ උපක‍්‍රමයට ඇබ්බැහියි. මුමන්ට් මාර්කටින්ග් පිපාසය කියන්නෙ දුර්වල බ‍්‍රෑන්ඞ් එකක ලකුනක්. පොප් වෙන මොකක් හරි කාරණයක එල්ලිලා මිසක් බ‍්‍රෑන්ඞ් එකක් විදිහට ස්වාධීනව පවතින්න බැරි අවුලක්. ඒක හරියට ප‍්‍රමෝෂන්වලින් සබන්කුඩු එකක් විකුනනවා වගේ වැඩක්.

අපි බ‍්‍රෑන්ඞ් එකක් විදිහට තෝරගන්න දේ අනිත් පැත්තට පාරිභෝගිකයෙක් විදිහට අපේ අයිඩෙන්ටිටිය එහෙම නැත්තං අපේ පර්සනල් බ‍්‍රෑන්ඞ් එක ගැනත් ලොකු කතාවක් කියනවා. අපි ඉරාජ් කියන්නෙ මාර බ‍්‍රෑන්ඞ් එක්ක කියල බාරගන්නවා නම් අපි කන්සියුමර් කෙනෙක් විදිහට කොයිතරම් දුක්ඛිතද කියන කාරණයත් එතනදිම එලිවෙනවා. මොකද බ‍්‍රෑන්ඞ් කෝර් එකක් එහෙම නැත්තං දර්ශනයක් අහිමි, පුද්ගලයන්ට මඩගහමින්, අපහාස කරමින්, කුණු හොයමින් ලයික්ස් ෂෙයාර්ස් වැඩිකරගැනීමේ දිළිදුකමෙන් පෙලෙන, තමන් කරමින් ඉන්නෙ මොකක්ද, තමන් කවුද කියලවත් නොදන්නා බ‍්‍රෑන්ඞ් එකක පාරිභෝගිකයෙක් විදිහට අපි ජීවත් වෙනවා නම් ඒක අපේ බරපතල අවුලක්. එහෙම බ‍්‍රෑන්ඞ් එකක් රටේ බ‍්‍රෑන්ඞ් එකක් විදිහට ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න තෝරගන්නවා නම් ඒක රටේ අවුලක්.

හැබැයි මේ තියෙන්නෙ ලෝකෙ මාර්කටින් කියන විෂය පැත්තෙන් අපි මේ බ‍්‍රෑන්ඞ් එක කියවීමක්. සමහර විට අපේ 2500 හෙළ මාර්කටින් හිස්ටරිය ඇතුලෙ මේක වැරදි කියවීමක් වෙන්න පුළුවන්.

- චින්තන ධර්මදාස