භාණ්ඩයක වටිනාකම කියන්නේ මොකක්ද ?

භාණ්ඩයක වටිනාකම කියන්නේ මොකක්ද ?

15 December 2019 02:19 pm

මම මුලින්ම පේරාදෙණි සරසවියට ගියේ නමසිය අසූ හයේ අවුරුද්දේ දවසක. නමුත්, ඒ සරසවි සිසුවෙකු ලෙස නෙමෙයි. ඒ වෙද්දී, සරසවියට තේරිලා හිටියේ නැහැ. පේරාදෙණි ගියේ අසූ හයේ අවුරුද්දේ පැවැත්වුනු වෛද්‍ය ප්‍රදර්ශනය බලන්නයි. මේ ගමන හේතු ගණනාවක් නිසා හොඳින් මතක තිබෙන ගමනක්. ඉන් පසුව, පේරාදෙණියේ සරසවි සිසුවෙකුව සිටි කාලයේදී, නමසිය අනූ තුනේදීත් පේරාදෙණියේ වෛද්‍ය ප්‍රදර්ශනයක් පැවැත්වුණා. කියනවානම් කියන්න ඒ හා සමාන්තරව සිදුවුණු ගොඩක් දේවලුත් තියෙනවා.

ඔය කාලය වෙද්දී භීෂණ යුගය ආරම්භ වෙලා තිබුණේ නැහැ. අපි හිටියේ උසස් පෙළ පන්ති වල. වෛද්‍ය ප්‍රදර්ශනය බලන්න ගිය ගමන සඳහා පංතියේ සහෝදර සිසුසිසුවියන් වගේම ගුරුවරු කිහිප දෙනෙක්ද සහභාගී වුණා. ප්‍රදර්ශනය බලන්න සෑහෙන සෙනඟක් ඇවිත් හිටපු නිසා ප්‍රදර්ශන කුටි ඉදිරිපස දිග පෝලිම් තිබුණා. ගොඩක් කුටි වල තිබුණේ ශරීරය ගැන හෝ ලෙඩ රෝග ගැන විස්තර. බොහෝ විට ෆෝමලින් දමපු මිනී හෝ ශරීර කොටස් එක්ක. පේරාදෙණියේ පරිසරය සුන්දර වුනත් ප්‍රදර්ශන කුටි ඇතුළේ සුන්දර දේවල් ඒ තරම් තිබුණේ නැහැ.

එක ප්‍රදර්ශන කුටියක තේමාව වුණේ පෝෂණය. ඒ කුටියේනම් ෆෝමලින් දමපු ශරීර කොටස් වගේ "අප්‍රසන්න" දේවල් තිබුණේ නැහැ. ඇතුළු වෙන්න ලොකු පෝලිමක් තිබුණේත් නැහැ. ඔය කුටියේ මුල්ලක පෝෂ්‍යදායී ආහාර වේලක් ප්‍රදර්ශනය කරලා තිබුණා. පිඟානකට බෙදපු ඇත්තම බත් එකක්. තව මාළු කෑල්ලක්, පරිප්පු, බෝංචි, කොළ මැල්ලුමක් වගේ දේවලුත් තිබුණා. පැත්තක පොඩි දීසියක අතුරුපසත් තිබුණා. ලොකු ඇම්බුන් කෙහෙල් ගෙඩියක්!

ප්‍රදර්ශන කුටියෙන් එළියට ආවට පස්සේ අපේ එකෙක්ට ඔය ඇම්බුන් කෙහෙල් ගෙඩිය ගැන පොඩි දොළ දුකක් ඇති වුනා.

"කොහොමද අර තිබ්බ ඇම්බුන් ගෙඩියේ සයිස් එක? මෙන්න!" පොර අත මිට මොළවලා අනෙක් අත වැලමිටට උඩින් තියලා කෙහෙල් ගෙඩියේ සයිස් එක පෙන්නනවා. දැන් කට්ටියගේ සැලසුම කෙහෙල් ගෙඩියට ගේමක් දෙන්න. පේරාදෙණි කැම්පස් ඇවිදින් ඔහොමවත් දෙයක් නොකර ආපහු යන්න බෑනේ!

ඉතිං මොකද කරන්නේ? බහුතර ජනතා කැමැත්ත අනුව එකට හිටපු හතර පස් දෙනාම ආපහු පෝලිමේ මුලට එකතු වුණා. කට්ටියට තියෙන්නේ අර පෝෂ්‍යදායී ආහාර වේල ගැන එතැන හිටපු වෛද්‍ය ශිෂ්‍යාවගෙන් මොන මොනවා හරි ප්‍රශ්න අහමින් ඇගේ අවධානය රඳවා ගැනීමයි. ඔය අතරේ අපේ යාලුවා කෙහෙල් ගෙඩිය උස්සනවා.

සැලසුම අවුල් වුනේ නැහැ. අපි එළියට ගියාට පස්සේ අර පෝෂ්‍යදායක ආහාර වේලට අතුරුපස නැහැ. හිස් පිඟාන විතරයි. ඔය කතාව ඔතැනින් ඉවරයි. අපි කෙහෙල් ගෙඩිය බෙදාගෙන කාලා ප්‍රදර්ශනයත් බලලා ගෙදර ආවා. ප්‍රදර්ශනයකින් කෙහෙල් ගෙඩියක් ඉස්සුවා කියලා පත්තර වල වැටුණේ නැහැ. ඒක ඒ තරම් වැදගත් ප්‍රවෘත්තියක් නෙමෙයිනේ. කෙහෙල් ගෙඩිය උස්සලා බව දැක්කහම එතැන හිටපු වෛද්‍ය ශිෂ්‍යාවට සමහර විට මළ පනින්න ඇති.

ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස තබා තිබෙන කෙහෙල් ගෙඩියක් කන එක සාමාන්‍යයෙන් ලොකු ප්‍රවෘත්තියක් නෙමෙයි. නමුත්, මේ කෙහෙල් ගෙඩිය ඩොලර් 120,000ක්, ඒ කියන්නේ රුපියල් කෝටි දෙකකටත් වැඩිය වටින කෙහෙල් ගෙඩියක්නම් තත්ත්වය ටිකක් වෙනස්. කෙහෙල් ගෙඩියේ විස්තරේ අජිත් පැරකුම් විසින් ලියා තිබෙනවා. මම නැවත ලියන්නේ නැහැ.

ඩොලර් 120,000 කෙසෙල් ගෙඩිය කාපු කලා රඟදැක්වීම

ප්‍රශ්නය මේකයි. කිසියම් භාණ්ඩයක වටිනාකම කියා කියන්නේ මොකක්ද?

ධනවාදය හා මාක්ස්වාදය වෙනස් වන නිශ්චිත තැන තියෙන්නේ මේ ප්‍රශ්නයට ලැබෙන පිළිතුරේ. මාක්ස්වාදය අනුව භාණ්ඩයකට නිශ්චිත නෛසර්ගික වටිනාකමක් තිබෙනවා. ඒ වටිනාකම අදාළ භාණ්ඩය පරිභෝජනය කරන පුද්ගලයා මත වෙනස් වෙන්නේ නැහැ. නමුත්, ධනවාදය අනුව භාණ්ඩයකට එවැනි නිශ්චිත නෛසර්ගික වටිනාකමක් නැහැ. වටිනාකම තීරණය වන්නේ අදාළ භාණ්ඩය පරිභෝජනය කරන පුද්ගලයා මතයි. ඒ අනුව, වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

නිදහස් ගනුදෙනු වලින් ගනුදෙනුවේ දෙපාර්ශ්වයටම වාසි සැලසෙන්නේ මේ ආකාරයට එක් එක් පුද්ගලයා එකම භාණ්ඩයට ලබා දෙන වටිනාකම වෙනස් නිසයි. කෙහෙල් ගෙඩියක් මට වටින්නේ රුපියල් දහයක් වුනත් තවත් කෙනෙකුට එයම රුපියල් පණහක් වටින්න පුළුවන්. දැන් මම මේ කෙසෙල් ගෙඩිය රුපියල් තිහකට විකිණුවොත් මට රුපියල් විස්සක වාසියක් ලැබෙනවා. කෙහෙල් ගෙඩිය මිල දී ගන්නා ගැනුම්කරුවාටත් රුපියල් විස්සක වාසියක් ලැබෙනවා. ගනුදෙනුව සිදු වුනේ රුපියල් විස්සකට හෝ හතළිහකට වුවත් ලැබෙන වාසි වෙනස් වුවත් දෙදෙනාටම වෙන්නේ වාසියක්. ගැනුම්කරුවාට කෙසෙල් ගෙඩිය රුපියල් දහයක්වත් වටින්නේ නැත්නම් ගනුදෙනුවක් සිදු වන්නේ නැහැ. ඒ නිසා, කිසිවෙකුට අවාසියක් වෙන්නෙත් නැහැ.

රුපියල් කෝටි දෙකකට කෙහෙල් ගෙඩියක් මිල දී ගන්න මටනම් අවශ්‍ය නැහැ. සල්ලිත් නැහැ. එහෙත්, මිල දී ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් කෙහෙල් ගෙඩියකට ටේප් එකක් ගහලා කවුරු හෝ විසින් එය වටිනා කලා කෘතියක් ලෙස නම් කරලා ඩොලර් 120,000කට මිල කරන එකේ කිසිම වැරැද්දක් නැහැ.

ඇමරිකාව වගේ රටක ඕනෑම කෙනෙකුට තමන්ගේ කලා කෘතියක් කැමති මිලකට මිල කර වෙළඳපොළට දමන්න තහනමක් නැහැ. එහෙම දැම්ම පලියට ඕනෑම කෙනෙකුට ටේප් එකක් ගහපු කෙහෙල් ගෙඩියක් ඩොලර් 120,000කට විකුණන්න බැහැ. හැබැයි ඒ වගේ මිලකට කෙහෙල් ගෙඩියක් මිල දී ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් දෙන්නාට නිදහසේ ගනුදෙනුවක් කර ගන්න කිසිම බාධාවකුත් නැහැ. මොකද ධනවාදය අනුව කෙහෙල් ගෙඩියක හෝ කෙහෙල් ගෙඩියක් යොදාගෙන හදපු කලා නිර්මාණයක නිශ්චිත නෛසර්ගික වටිනාකමක් නැහැ. වටිනාකම තීරණය කරන්නේ එය මිල දී ගන්නා පුද්ගලයා විසින්. භාණ්ඩයකට එවැනි නිශ්චිත නෛසර්ගික වටිනාකමක් නැති නිසා සූරාකෑම කියා දෙයකුත් නැහැ.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල