ජනමාධ්‍යවේදියා, අමරසේකර හා රෝසි

ජනමාධ්‍යවේදියා, අමරසේකර හා රෝසි

14 December 2019 12:03 pm

ලෝකය පුරා ජාතිකත්ව මත පැතිරෙනවා. එංගලන්ත (එක්සත් රාජධානිය) මැතිවරණය කොන්සර්වෙටිව් පක්‍ෂය ජයගෙන ඇත්තේ විශාල බහුතරයක් සහිතව. ඊයේ ලිපිය ලියන විට සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් වී තිබුණේ නැහැ. එංගලන්තය හා ස්කොට්ලන්තය ඡන්දය දී ඇති අයුරින් පැහැදිලි වෙනවා ඔවුනොවුන්ගේ ජාතිකත්වය. එංගලන්තයට (බිරිතානියට) යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා ජොන්සන්ට වරමක් ලැබී තිබෙනවා. ඉංගිරිසින්ට අවශ්‍යයි යුරෝපා සංගමයෙන් වෙන් වන්න. ස්කොට් ජාතිකයන්ට අවශ්‍යයි බිරිතානියෙන් වෙන් වන්න. එක්සත් රාජධානිය කියන්නේ පඬියන් අපට කුමක් කීවත් ඒකීය රාජ්‍යයක් නොවෙයි. එය සහසන්ධීය රාජ්‍යයක්. එංගලන්තය හා ස්කොට්ලන්තය වෙනම රාජ්‍ය දෙකක්. ඒ එකතු වීමෙන් තමයි (වේල්සයත් සමග) බිරිතානිය සෑදී තිබෙන්නේ. ස්කොට්ලන්තය බිරිතානියෙන් වෙන් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. 

ජාතිකත්ව රාජ්‍ය ගැන මා කියන්නේ කාලයක සිට. මා ට්‍රම්ප් හැඳින්වූයේත් ජාතිකවාදියකු ලෙස. පුටින් තවත් ජාතිකවාදියෙක්. දෙරණේ පඬි මාධ්‍යවේදියකුට අනුව ජාතිකවාදී රාජ්‍ය කියන්නේ ඊනියා සභ්‍යත්ව රාජ්‍යයන්ට. උදේ පාන්දර මේ ජනමාධ්‍යවලට සවන් දීමට පුරුදු වී සිටින අපටයි දඬුවම් කළ යුත්තේ. ජාතිකවාදී රාජ්‍ය, ජාතික රාජ්‍ය, සභ්‍යත්ව රාජ්‍ය කියන්නේ එකම වර්ගයක් නොවෙයි. මා කිහිප වතාවක්ම කියා ඇති පරිදි ගුණදාස අමරසේකර සභ්‍යත්ව රාජ්‍යය කියන අදහස ගත්තේ මාටින් යක්ගෙන්. මාටින් යක්ට අවශ්‍ය වුනෙ චීන රාජ්‍යය ජාතික රාජ්‍යයක් නොවන බව කියන්න. ඔහු ඒ සඳහා චීන රාජ්‍යය ඊනියා සභ්‍යත්ව රාජ්‍යයක් ලෙස නම් කළා. එහෙත් එය වැරදි අදහසක්. බටහිරයන්ට අනුව ජාතික රාජ්‍ය (යුනිටරි ස්ටේට්)  ඇති වුනේ මැතකදී. එහෙත් චීනයේත් තිබුණේ ජාතික රාජ්‍යයක්. බටහිරයන් ඒ බව පිළිගැනීමට කැමති නැහැ. ඒ නිසා යක් ඊනියා සිවිලිසේෂනල් ස්ටේට් කියන අදහස ඉදිරිපත් කළා. බටහිර අදහස් සිංහලට පරිවර්තනය කරන අමරසේකර එය සභ්‍යත්ව රාජ්‍යය කියා පරිවර්තනය කළා. අර මාධ්‍යවේදියා මෙළෝ අදහසක් නැතිව ජාතිකවාදී රාජ්‍ය සභ්‍යත්ව රාජ්‍ය ලෙස නම් කරන්න හදනවා. ජාතිකවාදී රාජ්‍යයත් ජාතික රාජ්‍යය. ඒ රාජ්‍ය ජාත්‍යන්තරවාදයට විරුද්ධයි. එංගලන්තයට  අද ජාත්‍යන්තරවාදයෙන් ගැලවෙන්න ඕන. 

අපේ රටේ තිබුණේ එක්සේසත් රාජ්‍යයක්. එයත් ජාතික රාජ්‍යයක් මෙන්ම ජාතිකවාදී රාජ්‍යයක්. ඒ රාජ්‍යය පිහිටුවනු ලැබුයේ ගැමුුණු රජතුමා විසින්. එය සිංහල බෞද්ධ රාජ්‍යයක්. ගුණදාස අමරසේකරට මේ සංකල්ප ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඔහුට නිරවුල්ව හිතන්න බැහැ. අර මාධ්‍යවේදියාට වගේම. මා කැමතියි මේ සම්බන්ධයෙන් අමරසේකර හා මා අතර සාකච්ඡාවක් ඒ මාධ්‍යවේදියාගේ මාධ්‍ය ආයතනයෙන් සූදානම් කරනවා නම්. 

මා කොතෙකුත් කියා ඇති මා උගතකුවත් බුද්ධිමතකුවත් නොවන බව. මාධ්‍යවේදීන් ඒ බව දන්නවා. ඔවුන් මා සමග කතා කිරීමටවත් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන්ගේ බුද්ධියට මා සමග කතා කිරීම කැළලක් වෙන්න පුළුවන්. ඒත් මට ඊයේ ප්‍රශ්නයක් ඇති වුනා. ඒ ජාතිකවාදී රාජ්‍ය ගැන නොවෙයි. මිලියන ගැන. ඊයේ මා අහගෙන හිටියා රෝසි සේනානායක තම අයවැය කතාවේ පස්මිලියන පන්දාහක් වැනි සංඛ්‍යා කියනවා. මේ කියන්නේ රුපියල් මිලියන පහකුත් තවත් දහස් ගණනකුත් වෙන්න ඕන. නැතිව පස් කැට මිලියනයක් ගැන වෙන්න බැහැ. 

අපට තවමත් මිලියනය යන්න අපේ සංස්කෘතියට ඇතුල් කර ගන්න බැරි වෙලා. අපේ දේ රැකගෙන අලුත් දේ අරගන්නේ කොහොමදැයි අප දන්නේ නැහැ. මිලියනයක් කියන්නේ දස ලක්‍ෂයකට. මිලියන පහක් කියන්නෙ පනස් ලක්‍ෂයකට. මිලියනවලින් කියනවා නම් අප කිව යුත්තේ පස්මිලියනයක් කියාද නැත්නම් පන්මිලියනයක් කියාද ? දෙමිලියනයක් තුන්මිලියනයක් හතර මිලියනයක් හය මිලියනයක් ආදියෙහි ප්‍රශ්නයක් නැහැ. දස මිලියනයක් කියාත් කියන්න පුළුවන්. 

මිලියන විස්සක් සහ එක් මිලියන විස්සක් අතර වෙනසක් තියෙනවා. ලක්‍ෂ විස්සක් සහ එක් ලක්‍ෂ විස්සක් අතර වගේම. එක් මිලියන පන්ලක්‍ෂයක් කිව්වොත් ඉන් කියැවෙන්නෙ පහළොස් ලක්‍ෂයක්. එහෙත් එක් මිලියන දස ලක්‍ෂයක් කියන්න බැහැ. මොකද දස ලක්‍ෂයක් කියන්නෙ මිලියනයක නිසා. මිලියනය ලක්‍ෂය හා කෝටිය අතර සංඛ්‍යාවක්. එය සිංහල වහරට හුරු නැහැ. අප දන්නේ දහය, සීය, දහස, දසදහස, ලක්‍ෂය, දසලක්‍ෂය, කෝටිය, දසකෝටිය වැනි ඒකක. මිලියනය කියන්නේ දසලක්‍ෂයට කියන තවත් නමක්. එචිට විසි ලක්‍ෂය දෙමිලියනය වෙනවා. විසිපන් ලක්‍ෂය දෙමිලියන පන්ලක්‍ෂයක් කියා කියන්න පුළුවන්. 

රෝසි සේනනායකට ඇත්තේ වෙනත් ප්‍රශ්නයක්. මිලියන පහ කියන්නේ කොහොමද ? පස්මිලියනයද පන්මිලියනයද ? පහ කියන පදය වෙනත් නාමයක් සමග කියන්නේ කෙසේද ? සියල්ල දත් ජනමාධ්‍යවේදීන් නම් දන්නවා ඇති. අර ජනමාධ්‍යවේදියාට පිළිතුරක් දෙන්න පුළුවන්ද ? දහය කියන නාමය තවත් නාමයක් සමග යෙදීමේදී අප දහඅට කියා කියනවා. දහදාහ කියාත් කියනවා. ඒත් දහසීය කියා කියන්නේ නැහැ. එයට හේතුව දහසීය වෙනුවට දාහ නමින් වෙනත් වචනයක් තිබීමත් දහදාහ වෙනුවට වෙනත් වචනයක් නොතිබීමත්. අනූව කියන නාමය තවත් නාමයක් සමග යෙදීමේදී අනූදාහ කියන රූපය ගන්නවා. ඒත් අප සියදාහ කියන්නේ නැහැ. ලක්‍ෂය තියෙන නිසා. සංඛ්‍යා නාමයක් අපට ඒක වචනයක් ලෙස හිතන්න පුළුවන්. ඒ නාමය වෙනත් නාමයක් සමග යෙදීමේදී සිංහල සම්ප්‍රදාය අනුව බහුවචන ස්වරුපයක් ගන්නවා. අනූව අනූ වන්නේත් තිහ තිස් වන්නේත් එසේයි. මෙයින් කියන්නේ නැහැ අනූව කියන ඒක වචනයේ බහු වචනය අනූ කියා. සිංහල සම්ප්‍රදායේ නාමයක්  විශේෂණයක් වන විට බහු වචන ස්වරූපය ගන්නවා.   

ප්‍රශ්නය පහ සම්බන්ධයෙන් කියන්නේ කොහොහමද ? එය පස් යන ස්වරූපය ගන්නේද නැත්නම් පන් යන ස්වරුපය ගන්නේද? රෝසි සේනානායක එය පස් යනුවෙන් ගන්නවා. ඇය පස්මිලියන තුන්දාහක් වැනි කතා කියන්නේ එබැවිනුයි. එය පන්මිලියන තුන්දාහක් වෙන්න ඕනද ? අප පස්පව්, පස් මහා බැලුම්, පස් ගෝරස, පස් යොදුන්, පස් වග මහණුන් ආදී වචන මෙන්ම පසිඳුරන් (පස් ඉඳුරන්), පසඟ (පස් අඟ) පිහිටුවා වැනි යෙදුම් ව්‍යවහාර කරනවා. ඒ අතර පන්සිල්, පන්සිළු, පන්සිය පනස් ජාතක පොත,  පන්සීය, පන්දහස, පන්ලක්‍ෂය, පන්කෝටිය, ආදියද භාවිතා කරනවා. මෙහි යම් රටාවක් තිබෙනවා. පන් යෙදෙන්නේ කොතැනකද පස් යෙදෙන්නේ කොතැනකද යන්න තීරණය වන්නේ කිනම් රටාවකටද ? සිංහල භාෂාව හදාරණ අයකුට ඒ රටාව හඳුනා ගන්න පුළුවන්ද ? 

එතෙක් සංඛ්‍යාවකට පරව තවත් සංඛ්‍යාවක් යෙදීමේදී  පහ යන්න පන් ස්වරූපය ගන්නා බව පේනවා. ඒ නිසා මිලියනය අප සංස්කෘතියට ගැනීමේදී එය පස්මිලියන ලෙස නොව පන්මිලියන ලෙස (පන්ලක්‍ෂය මෙන්) කිව යුතු යැයි මා විශ්වාස කරනවා. කෙසේ වෙතත්  රෝසි සේනානායක නිසා මතුවන ප්‍රශ්නය අපේ දේ රැකගෙන අලුත් දේ අරගන්න උත්සාහ කරන ජනමාධ්‍යවේදීනට වැදගත් වේවි. ඔවුන් මා මෙන් නොව උගතුන් හා බුද්ධිමතුන්.

මහාචාර්ය නලින් ද සිල්වා - කාලය