පශ්චාත්තාප්ප පශ්චාත්තාප නොවන්නට...

පශ්චාත්තාප්ප පශ්චාත්තාප නොවන්නට...

13 December 2019 02:30 pm

තාප්ප පින්තාරු කිරීමේ රැල්ල තවමත් නැගලා යනවා. මේ තාප්ප චිත්‍ර ඇඳිල්ලට විවිධ විවේචනත් එල්ල වී තිබෙනවා. මුල් වචන වලින්ම නොවූවත් මේ ඒවායින් සමහරක්.

- චිත්‍ර වල දැකිය හැකි සිංහල බෞද්ධ ආධිපත්‍යය
- යුද මානසිකත්වයක් නිරූපනය කිරීම
- බුද්ධිමය දේපොළ අයිතිය ගරු නොකරමින් චිත්‍ර හොරකම් කිරීම
- මෙවැනි තාප්ප චිත්‍ර දිගටම නඩත්තු කිරීමේ අසීරුව.

මේ පශ්චාත්තාප්ප විවේචන වලට යම් පදනමක් නැතුවා නෙමෙයි. කොහොම වුනත්, මම කතා කරන්න යන්නේ මේ විවේචන  ගැන නෙමෙයි. තාප්ප පින්තාරු කිරීමේ රැල්ල මතු වී තිබෙන පසුබිම ගැනයි.

හැම වයස් කාණ්ඩයකම වගේ අයගේ කිසියම් දායකත්වයක් පේන්න තිබුණත්, වැඩේට වැඩිපුරම බැහැලා ඉන්නේ දහඅටේ විස්සේ, එහෙමත් නැත්නම් විසි ගණන් වල ඉන්න, තරුණ තරුණියෝ. විවිධ ප්‍රදේශ වල තනි තනිව සංවිධානය වන මේ තරුණ කණ්ඩායම් විසින් තාප්ප පින්තාරු කරනවා වගේම කාණු සුද්ද කිරීම වගේ තවත් දේවලුත් කරනවා. මේ වයසේ තරුණ තරුණියන් මේ ආකාරයට දීප ව්‍යාප්තව මේ වගේ වැඩකට බහිනවා දකින්න ලැබුණු මුල් අවස්ථාව මෙය කියා කියන්න පුළුවන්. ඇතැම් විට වෙන වෙන අරමුණු ඉස්මතු වුනත්, මේ ගොඩක් අයගේ අරමුණ රට ලස්සන කිරීමයි.

මේ වැඩෙන් පේන්නේ රටේ මිනිස්සුන්ට මොනවා හෝ දෙයක් කරන්න සැබෑ උවමනාවක් ඇති වුනොත්, රජයෙන් බාධාවක් නොවන පසුබිමක කොයි තරම් දේවල් කරන්න පුලුවන්ද කියන එකයි. මේ වගේ වැඩක් ආණ්ඩුවෙන් කරන්න ගියානම් කොයි තරම් මුදලක් හා කාලයක් වැය වෙයිද? අන්තිමේදී මධ්‍යගත සැලසුමක් යටතේ වැඩේ මීට වඩා හොඳින් වෙයිද?

මේ චිත්‍ර වලට අයිතිකාරයෙක් නැහැ. චිත්‍ර වෙනුවෙන් බරපැන දරන අය, මහන්සි වෙන අය එයින් ලබන සතුට හැර බලාපොරොත්තු වන වෙන දෙයක් නැහැ. එහෙම අවස්ථා ඇති. නමුත්, බොහෝ විට නැහැ. වැඩේ කරන නිශ්චිත කෙනෙක්, නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. නමුත්, වැඩේ කෙරෙනවා. ඒ වගේම, කඩේ යාමක් කියා කිව හැකි දෙයකුත් නෙමෙයි. වැඩේට බැහැලා ඉන්න හැමෝම වැඩේ කරන්නේ කැමැත්තෙන් හා සතුටෙන්. නියම සමාජ ක්‍රියාකාරිත්වයක් කියා කියන්න පුළුවන් අවස්ථාවක්.

එක තැනක අඳින චිත්‍ර තව තැනක කොපි වෙනවා. සමහර විට ඒ විදිහටම. සමහර විට තරමක් වෙනස් වෙලා. සමහර වෙලාවට විවේචන එනවා. විවේචන එන විට චිත්‍ර වල ස්වභාවය වෙනස් වෙනවා. නියාමනයක් සිද්ධ වෙන්න හැම විටම නියාමකයෙකු අවශ්‍ය නැහැ.

තාප්ප වල චිත්‍ර අඳින එක ආණ්ඩුවක් මැදිහත් වී කළ යුතු තරම් වැදගත් දෙයක් නෙමෙයි කියා කාට හරි කියන්න පුළුවන්. නමුත්, හිතලා බැලුවොත් පොදු අරමුදල් වැය කරලා ඔයිට වඩා තේරුමක් නැති දේවල් කොයි තරම්නම් කරනවද? ඒ වගේ වෙලාවක බරපැන දරන්න වෙන්නේ රටේ සියලු දෙනාටමයි. නමුත්, දැන් මේ චිත්‍ර අඳින්න කාලය, ශ්‍රමය හා මුදල් වැය කරන්නේ එසේ කිරීමෙන් කවර හෝ සතුටක් ලබන අය පමණයි. ආණ්ඩුව කරන තුරු බලා නොඉන්නවානම් ඔයාකාරයට මිනිස්සුන්ටම එකතු වෙලා කරගන්න පුළුවන් දේවල් රාශියක් තිබෙනවා.

ගෝඨාභය දිනන්න කලින් රට පුරා තිබුණු රැල්ලක් වුනේ 225ම එපා කියන රැල්ල. මේ කතාවෙන් කියැවුනේ සම්ප්‍රදායික දේශපාලනඥයින් ප්‍රතික්ෂේප වෙමින් ඇති බවයි. ඔය 225ම එපා රැල්ලේ පීනන්න ගොඩක් අය ඉදිරිපත් වුනා. ඇතැම් දේශපාලන පක්ෂත් රැල්ල දිහා බලාගෙන ඔරු මූදට තල්ලු කළා. නමුත්, අන්තිමට රැල්ල කැරකුණේ ගෝඨාභය දිශාවටයි.

සම්ප්‍රදායික දේශපාලනඥයින් එපා කියන රැල්ලක් පැවතුනු බව බොරුවක් නෙමෙයි. එහෙම එකක් තිබුණා. අන්තිමේදී ඒ රැල්ල ගෝඨාභය පැත්තට කැරකුණා. ගෝඨාභයගේ ජයග්‍රහණයට හේතු වූ විවිධ රැළි අතර 225ම එපා කියා හිතූ විශාල පිරිසක්ද ඉන්නවා. මේ අයගෙන් විශාල කොටසක් මෙවර පළමු වරට ඡන්දය භාවිතා කළ තරුණ තරුණියන්.

ගෝඨාභය පසුගිය ආණ්ඩුව ඇතුළේ සිටියත්, ඒ ආණ්ඩුව ඇතුළේ විශාල කාර්යභාරයක් කළත්, සම්ප්‍රදායික දේශපාලනඥයෙක් වී සිටියේ නැහැ. සරලවම කියනවානම් ඔහු අර 225න් කෙනෙකු වූයේ නැහැ. ඒ නිසා, 225ම එපා වූ අයට ගෝඨාභය පිළිබඳව බලාපොරොත්තු තියන්න පුළුවන්කම තිබුණා. ජාතිකත්වය පිබිදීම වැනි වෙනත් ප්‍රවාද ගණනාවක් තියෙනවා තමයි. නමුත්, ඊට අමතරව මෙවර ක්‍රම විරෝධීන්ගේ ඡන්ද විශාල ප්‍රමාණයකුත් ගෝඨාභය විසින් ලබාගත්තා. සිංහල බහුතර ප්‍රදේශ වල අලුත් ඡන්ද වලින් සියයට අනූවක් පමණම ලැබුණේ ගෝඨාභයට වෙන්න පුළුවන්.

දහ අටේ විස්සේ තරුණ තරුණියෝ බොහෝ දෙනෙක් නිසගවම ක්‍රම විරෝධීන්. ඒ සඳහා කවුරුවත් ඔවුන්ව පොළොඹවන්න අවශ්‍ය නැහැ. අවුරුදු දහතුනක් දාහතරක් වන තුරු ළමයින්ගේ වීරයින් වෙන්නේ දෙමවුපියන්. ගොඩක් වෙලාවට තාත්තා. ඒත්, ඒ වයස පනින කොට, අර රවියා කියන විදිහට පස් පොල කළු වෙන්න පටන් ගන්න කොට, මේ අයට ස්වාධීන වෙන්න අවශ්‍ය වෙනවා. ඒ වයසේදී දෙමවුපියන් කරන දේවල් වල වැරදිමයි පෙනෙන්නේ. දහඅටක් වගේ වෙනකොට ඔය තත්ත්වය ඔඩු දුවනවා. ගෙදර විතරක් නෙමෙයි රටේම වැඩ සිද්ද වෙන්නේ නුහුරට බව පේන්න ගන්නවා. ඔය තත්ත්වය වෙනස් කරන්න ඇම්මක් ඇති වෙනවා.

පහුගිය දශක කිහිපය පුරාවටම ඔය රට වෙනස් කරන ඇම්ම හැදුනු තරුණ තරුණියන්ගේ ඇම්ම සනීප කරලා දෙන්න ඉදිරිපත් වුනේ වාමාංශික පක්ෂ. අන්තිම අවුරුදු පණහ ගත්තොත් දකුණේදී ජවිපෙ. උතුරේදීනම් එල්ටීටීඊ ප්‍රධාන විවිධ සංවිධාන. පස්සේ පස්සේ දකුණේ ඇම්ම තිබුණු සමහර තරුණයෝ හමුදා වලටත් ගියා.

හැත්තෑ එකේදී හා අසූ අට අසූ නවයේදී ජවිපෙ එක්ක විනාශ වෙලා ගියේ රට හොඳ අතට වෙනස් කරන්න ඇම්මක් අවංකවම තිබුණු තරුණ තරුණියෝ. ඒ යුග වලදී මේ තරුණ තරුණයින්ට ආදර්ශයට ගන්න සමාජවාදී ලෝකයක් පේන්න තිබුණා. එහෙම පේන්න තිබුණු ලෝකය කඩා වැටිලා සමාජවාදය මායාවක් බව පෙනුනට පස්සෙත් ජවිපෙට දිගින් දිගටම ලංකාවේ තරුණ තරුණියන් ආකර්ෂණය කර ගන්න පුළුවන්කම තිබුණා. හැබැයි මේ ගොඩක් අයට ජවිපෙ අම්බලමක් වුනා පමණයි. අම්බලමේ දිගටම සෙනඟ හිටියත් ඒ එකම පිරිසක් නෙමෙයි.

දහඅටෙන් විස්සෙන් ජවිපෙ අම්බලමට ගොඩ වුනු ගොඩක් අය විසිපහක් තිහක් වෙද්දී අම්බලමෙන් පිට වුනත්, ඔය වැඩේ දිගින් දිගටම සිදු වුනු නිසා ජවිපෙට රටේ 5%ක පමණ ස්ථිර ඡන්ද පදනමක් තිබුණා. ස්ථිර කිවුවත් මේක ගලන ගඟක තැන් දෙකක් අතර තිබෙන වතුර ටික වගේ. පහළින් වතුර අයින් වෙන කොට උඩින් වතුර එනවා. මෙවර ජවිපෙ 3%ට බැස්සේ වෙනදා වගේම පහළින් වතුර අයින් වුනත්, උඩින් වතුර ආවේ නැති නිසයි. මෙවර පළමු වරට ජවිපෙ තරුණයින් අතින් ප්‍රතික්ෂේප වුනා. හොඳට හෝ නරකට තරුණ ඡන්ද ගියේ ගෝඨාභයට. එක පැත්තකින් එය පෙන්වන්නේ පක්ෂයක් ලෙස ජවිපෙ පරිණත වීම.

දැන් ඉන්න තරුණයෝ අන්තර්ජාලය එක්ක හැදුණු පරම්පරාවක්. කලින් පරම්පරා වගේම දූපතේ හතර මායිම් ඇතුළේ කොටු වෙලා හිටියත්, අලුත් පරම්පරාවට අන්තර්ජාලය හරහා ලෝකය දකින්න පුළුවන්. ඒ නිසා, අපේ තරුණ කාලයේ අපි හිර වී සිටි දූපත් මානසිකත්වය ඔවුන්ට නැහැ. තමන්ට තිබෙන රට වෙනස් කරන, රට හදන ඇම්මට බේත සමාජවාදය කියා ඔවුන්ව රවට්ටන්න බැහැ. බටහිර ධනවාදී රටවල් වල තමන්ට ලංකාවේ නොපෙනෙන ගොඩක් දේවල් තිබෙන බව ඔවුන් දකිනවා. ඔවුන්ගේ සිහිනය ලංකාව ඒ වගේ රටක් කර ගන්න එක මිසක් සමාජවාදය කරා යන එක නෙමෙයි.

දහඅටේ විස්සේ තරුණයින්ගේ තිබෙන ප්‍රධානම යහපත් ලක්ෂණයක් තමයි අනුන් යමක් කර දෙන තුරුම නොසිට තමන්ට කළ හැකි දේ කරන්න ඉදිරිපත් වන එක. කාලයක් තිස්සේම ජවිපෙ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න තරුණ තරුණියන් හොයා ගන්න අමාරු නොවුනේ මේ වයස් කාණ්ඩයේ දැකිය හැකි මේ ලක්ෂණය නිසා. දැන් තීන්ත බාල්දි අරගෙන මේ අය කරන්නේත් කවුරුවත් කියන තුරු නොසිට තමන්ට පුළුවන් තරමින් හා තමන්ට තේරෙන ආකාරයෙන් රට වෙනුවෙන් තමන්ගේ වගකීම් යුතුකම් ඉටුකරන එකයි.

අපේ පරම්පරාවේ තරුණයෝ තීන්ත බාල්දි උස්සගෙන ගිහින් "ඉන්දීය වඳුරු හමුදා පන්නනු!", "පළාත් සභා අහෝසි කරනු!" කියා තාප්ප වල ලිවුවා. දැන් තරුණයෝ තීන්ත බාල්දි උස්සගෙන ගිහින් තාප්ප වල චිත්‍ර අඳිනවා. ප්‍රතිඵලය වෙනස් වුවත් අරමුණු වල ලොකු වෙනසක් නැහැ.

ගෝඨාභය පැමිණීමත් එක්ක ලංකාවේ දකුණේ තරුණ තරුණියන්ට කිසියම් බලාපොරොත්තුවක් ඇති වී තිබෙනවා. ඒ බලාපොරොත්තුව දැන් තිබෙනවාට වඩා හොඳ රටක් පිළිබඳවයි. ඒ වෙනුවෙන් තමන්ට හැකි දෙයක් කරන්නත් ඔවුන් සූදානමෙන් ඉන්නවා. මේ වගේ උතුරන තරුණ ජවයක් හරි අච්චුවකට දමලා නිවෙන්න ඇරියොත් හදා ගන්න බැරි දෙයක් නැහැ. ඒ වගේම, මේ රැල්ල නිවැරදිව තේරුම් නොගත්තොත්, වැඩි කල් නොගොස්, ඔය උතුරන තරුණ ජවයටම පිච්චිලා ගොඩක් දේවල් විනාශ වෙලා යන්නත් පුළුවන්. එහෙම වෙලා පශ්චාත්තාප්ප පශ්චාත්තාප සිදු නොවෙන්න වග බලාගැනීම ආණ්ඩුවේ වැඩක්!

ඉකොනොමැට්ටා