බිත්තිවල තාප්ප වල පින්තුර ඇඳීම සහ ග්‍රැෆිටි

බිත්තිවල තාප්ප වල පින්තුර ඇඳීම සහ ග්‍රැෆිටි

13 December 2019 11:35 am

අන් සතුන් මෙන්ම මිනිසා යන සත්වයාද තම අදහස් ප්‍රකාශ කිරීමට එක් එක් ක්‍රම භාවිතා කරයි. බල්ලෙක් තමා ගේ සීමාව ලකුණු කිරීමට මුත්‍රා කරයි. එහෙත් බළලෙක්, විශේෂයෙන්ම බැළලියක් මුත්‍රා සහ අශුචි වසා දමන්නේ ඒ සීමාව සැඟවීමටය. මිනිසා ඊට වඩා ඈතට සිතා චිත්‍ර ඇඳීම කරයි. අනාදිමත් කාලයක සිට මිනිසා විසින් චිත්‍ර සහ සටහන් ඇඳි බවට ගල් ගුහා වැනි ස්ථාන වල සොයාගත් චිත්‍ර වලින් පෙනී යන්නේය.

 මේ කාලයේ කුමක්දෝ පිබිදීමක් නිසා බොහෝ අය බිත්ති තාප්ප වල පින්තුර අඳිති. විශේෂයෙන් තරුණ අය ,ඒ කෙරෙහි ලොකු උනන්දුවක් ඇති බව පෙනේ. පින්තුරය කුමක් වුවත් ඉන් යමක් කියා පාන්නට ඔවුන් වෙරදැරීම වටිනා දෙයකි. බොහෝ පින්තුර ස්වභාවික දර්ශන වලින් යුතු වුවද, Graffiti සේ යයි කියන පින්තුරද ජනප්‍රිය වේ. ඒවාට නම් ඉතා ඈත අතීතයක් ඇති අතර රෝමන් ගෘහ නිර්මාණ ශිල්පය තෙක් ඒවා ඈත අතීතයට යයි. Graffiti යන්නේ තේරුම ‘To write’ යන්නය.
 
මින් වසර දෙදහසකටත් පෙර විසුවියස් ගිනි කන්ද පිපිරීමෙන් අහසට විසි වූ අළු කන්දරාවෙන් අඩි ගණනාවක් පොම්පේ නගරය යට විය. නැවත ඒ අළු ඉවත් කර නගරයේ පැරණි ශ්‍රී විභූතියේ සළකුණු යළිත් මතු කර ගැන්මට ඉතාලි ජාතික මහාචාර්ය ෆියොරෙල්ලි ඇතුළු පිරිස සමත් විය. එහිදී ඔවුන් එහි තිබි සුඛෝපභෝගී නිවාස සහ වෙනත් ගොඩනැගිළි වල ඇඳ තිබුණු චිත්‍ර දැක පුදුමයට පත් වූහ. අද දිනද පොම්පේ සංචාරය කරන කෙනෙක්ට ඒ මනස්කාන්ත පින්තුර දැකිය හැක.
 
ඇත්තටම Graffiti යනු ස්වභාවික දර්ශනම නොවේ. ස්වභාවික දර්ශන මෙන්ම නූතන කළා [Modern arts] වැනි නොයෙක් ආකාරයේ සිතුවම් Graffiti මගින් දැක්වේ. Graffiti සේ ගූගල් කල විට ලැබෙන චිත්‍ර වලින් ඒ ගැන යම් අදහසක් ලැබිය හැක. වර්තමාන Graffiti කලාවේ ආරම්භය, 1960 වසරේ පිලඩෙල්ෆියා හී පාරේ කල්ලි [Street gang] වල සීමා පෙන්වීමටය. ඒ ගැන පසුකලෙක විරෝධතා සංවිධානද බිහි විය. ඉන් එකක් වූයේ 1984 බිහි වුනු Philadelphia Anti-Graffiti Network යන්නය.
 
එහි ප්‍රතිඵලයක් සේ වඩාත් කලාත්මක චිත්‍ර ඇඳීමත් ආරම්භ විය. නමුත් මේ චිත්‍ර වල මෝස්‌තර පිළිබඳ ඇති වූ සටන නිසා “bomb,” or “hit,” යන සංකල්පය ඇති වූයේ, ඉතා කෙටි කාලයක කිසියම් තෝරා ගත් ස්ථානයක ග්‍රැෆිටි චිත්‍ර ඉතා වේගයෙන් ඇඳීමෙනි. මෙම ග්‍රැෆිටි සිත්තරුන්ගේ නිර්මාණ එකිනෙකට වෙනස් වූ බව පැහැදිළිය. කෙසේ වුවද වුන්ගේ අනන්‍යතාවය පෙන්වීම සඳහා ‘අත්සනක්’ යෙදින. මෙම ග්‍රැෆිටි කලාව ‘හිප් හොප් සංස්කෘතියේද’ අංගයක් විය.
 
ඔබ ග්‍රැෆිටි පින්තුරයක් දුටු විට එයට කැමති වේ. නැති නම් අකමැති වේ. එය තීරණය වන්නේ එකිනෙකාගේ රුචි අරුචි කම් මතය. පාලම් යට, එසේ නැත්නම් වාහන නොනවත්වා යන පාරවල් අසළ ඇති තාප්ප වල හෝ දුම්රිය මාර්ග පමණක් නොව දුම්රිය වල පවා අඳින මේ චිත්‍ර බළධාරීන් ගේ උදහසට පාත්‍ර වූ නිසා, ඒවා ඉවත් කිරීමේ උත්සාහද ඇති විය. මේ ග්‍රැෆිටි තදින් පැතිරී ගිය දේශයක් නම් රුමේනියාව වේ. ලංකාවට කලකට පෙර කෝච්චි පෙට්ටි රුමේනියාවෙන්ද ආනයනය කරන ලදී.
 
රුමේනියාවේ බුකාරෙස්ට් නගරයේ භාවිතා කරන එම කෝච්චි පෙට්ටි වලද මේ ග්‍රැෆිටි ඇඳ තිබිණ. ඒ කාලයේ රුමේනියාවේ ඇතිවූ ග්‍රැෆිටි රැල්ලට සමගාමීව, ලංකාවේ නම් මේ ග්‍රැෆිටි එතරම් ප්‍රසිද්ධ වූ දෙයක් නොවිණි.
 
ග්‍රැෆිටි ගැන අපූරු කතා ඇත. මුල් කාලයේ මේ ග්‍රැෆිටි සිත්තරුන් හැඳින්වූයේ ‘කෝන්බ්‍රෙඩ් වරු’ ලෙසිණි. ඊට හේතුව වූයේ, ඇමරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ‘ෆිලඩෙල්ෆියා’ නගරයේ සිටි ‘කෝන්බ්‍රෙඩ්’ නම් වූ තරුණයෙක් කළ දෙයකි. ඔහු ආදරය කල ‘සින්තියා’ යන තරුණිය ගැන, ‘කෝන්බ්‍රෙඩ් සින්තියාට ආදරෙයි’ [Cornbread Loves Cynthia] යන්න නගරයේ සෑම තැනකම ලියමින් යාමය. ඔහු මේ වදන ජෙට් ගුවන් යානයකද ලිවීය.
 
අවසානයේ නගරයේ සත්ව උද්‍යානයේ සිටි අලියෙක් ගේ බඳේ මෙසේ ලිවීම නිසා ඔහු සිර ගෙටද නියම විය.
 
මා දන්නා එක්තරා පොදු වැසිකිළියක ඉතා කලාත්මක ග්‍රැෆිටි තිබිණි. එහෙත් ඒවායේ අන්තර්ගතය, සකල්බර්ග් විසින් දින තුනකට පිටුවෙන් බෑන් කිරීමෙන් වැළකීමෙන් මෙන්ම, සම්මතයෙන් සදාචාරාත්මක සහ සභ්‍ය වූ සමාජයක් වූ මුහුණු පොතේ දැක්විය නොහැක. කෙසේ වුවද කලකට පෙර මමද මේ වැසිකිළියේ තරඟයට චිත්‍ර ඇඳි එකෙක් වීමි. 70 දශකයේ, ඉන්දියාවෙන් ලංකාවේ පාසැල් වලට ඉදිරිපත් කල ‘ශංකර්’ නම් චිත්‍ර තරඟයක් විය. එයට ඇඳ සැනසිලි තෑගීද දිනා ගැනීමට මටද හැකි වුවද, පසු කලෙක ඒ චිත්‍ර වලට ‘නරක ඇසුරේ’ ආභාෂය ලැබී අසභ්‍ය විය.
 
ඔවුන්ගේ බල කිරීම නිසා වැසිකිළි වල ඇඳි චිත්‍ර මගේ වරදක් නොව, යහළුවන්ගේ වරදමය.
 
පසු කලෙක වැසිකිළි වල චිත්‍ර ඇඳීම වෙනුවට නොයෙක් වදන් ලිවීමද ඒ කාලයේ කොල්ලෝ කළහ. ඒවාද ලිවීමට නොහැකි තරම් වූ දේවල් විය. මා එසේ ලියු සභ්‍ය වූ වදන් දෙකක් නම්, නහය වහගෙන මළපහ කරන කෙනෙක්ගේ පින්තූරයක් ඉදිරියේ ලියන ලද, ‘වැසිකිලියක් වුනාම කොච්චර ගඳ ද ?… යන්න සහ කිසියම් ආරෝග්‍යශාලාවක බිත්තියක මිණී පෙට්ටියක් ඇඳ, පොල් ගෙඩි අකුරෙන් ලියු, … “ඉස්පිරිතාලයක් වුනාම කොච්චර ලෙඩ්ඩු මැරෙනවාද ? … යන්නය.
 
පළමු අවස්ථාවේ වැසිකිළි අවශ්‍යතාවයේ ඇති වූ දැඩි බව නිසාම යන්නට සිදු වූ ඉතා අපිරිසිදු වැසිකිළියක එසේ ලීවෙමි. දෙවන අවස්ථාව වූයේ, හදිසි අනතුරක් නිසා මිතුරෙක් ආරෝග්‍ය ශාලාවට ඇතුල් කල විට, ඔහුට පෙනෙන්නට විය. එහෙත් වාසනාවට ඔහු මිය ගියේ නැත. ආරෝග්‍යශාලා බළධාරීන්ට එය ලියූ තැනැත්තා සොයා ගැනීමටද නොහැකි විය. බිත්තිය ආණ්ඩුවේ වියදමෙන් නැවත පාට කරන ලදී.
 
නැවත ග්‍රැෆිටි වලට.
 
ග්‍රැෆිටි යන්න අපරාධයක්ද, කලාවක්ද යන්න ගැන නොයෙක් මත තිබේ. ස්ප්‍රේ කිරීම, ඇඳීම, පාට කිරීම, තියෙන පාටක් සූරා දමා චිත්‍ර ඇඳීම යනාදිය ඒ ඒ තාප්ප අයිති කරුවන්ගේ නොකැමැත්ත මත කෙරෙන්නේ නම් එය අපරාධ ගණයට වැටෙන වරදකි. නමුත් තාප්පයක් හෝ වාහනයක් වැනි දෙයක අයිතිකරුවාගේ කැමැත්තෙන් ඇඳීම කළාවකි. මෙයද නැවත තීරණය වන්නේ ඒ ඇඳි චිත්‍රය කුමක්ද, ඒ චිත්‍ර එම ස්ථානයට ගැලපී යන්නේද සහ ඒ චිත්‍ර සම්මතයෙන් බැහැර යන්නද වැනි කරුණු මතය.
 
මෙය නැවතත් පුද්ගල රුචි අරුචි කම් අනුව තීරණය වේ. උදාහරණයක් සේ ගැහැණියකගේ ඉදිරිපසින් දකින ආකාරයේ නිරුවත් සම්පූර්ණ චිත්‍රයකට වඩා කලාත්මක බවක්, සැඟවුණු නිරුවතේ තිබීම කෙනෙක් අගය කරන්නට පුළුවන. ලංකාවේ මෙකළ අඳින සමහර චිත්‍ර මේ මුල් ආකාරයේ චිත්‍ර හෝ අඩුම වශයෙන් උඩු කය නිරාවරණය කරන ලද චිත්‍ර දැකිය හැක. ඒවා නිරුවත සඟවා අඳින්නේ නම් වඩාත් කලාත්මක වනු ඇත. මගේ අදහස එය වුවද, ඔබේ අදහස සමහරවිට වෙනස් විය හැක.
 
ලංකාවේ සංස්කෘතියට බද්ධ වූ තොරන් කලාවේද කලාත්මක චිත්‍ර ඇත්තේය. කෙසේ හෝ තොරණකට වඩා වැඩියෙන් ජනතාව ආකර්ෂණය කර ගැනීමට අඳින චිත්‍ර වලට, කඩවසම් පිරිමින් සහ සුරූපී කාන්තාවන්ගේ පින්තුර ඇඳීමේ සිරිතක්ද නැත්තේ නොවේ. බුදුන් වහන්සේගේ අතීත භවයන් සිහිපත් කරන ජාතක කතාවන්ට අමතරව ‘පටාචාරා ජාතක කතා වස්තුව’ ඇඳීමේ හේතුව, ඒ ජාතක කතාව දත් අය දනිති.
 
කළුතර බෝධියේ සිට චෛත්‍යයට යෑමට ඇති උමඟ තුල චිත්‍ර අඳින අපූරු සිත්තරෙක් දුටුවෙමි. ඔහුගේ නම ටී.ඒ.ඩී. නන්දන නම් වේ. ඔහු ජීවත් වන්නේ හොරණ බව දැන ගතිමි. ඔහු ඇඳි පින්තුර කීපයක් මෙහි දමා ඇත. නන්දන මහතා ඔහුගේම ආරකින් මේ චිත්‍ර අඳින්නේ තීන්ත ස්ප්‍රේ කිරීමෙනි. ඒ සඳහා කිසිම ආකාරයේ මුල් කටු සටහනක් ඔහු අඳින්නේ නැත. සමාධියකට සම වැදුනාක් මෙන් ඔහුගේ කාරිය පාඩුවේ කරගෙන යයි.
 
කුමන ආකාරයේ චිත්‍ර ඇන්දද, එය ගම නගරය සහ රට ලස්සණ කරන චේතනාවෙන් සහ, සදාචාරාත්මක සේ කරන්නේ නම් එය අගය කළ යුතු දෙයකි.
 
…“අපිට චිත්‍ර අඳින්න බැහැ – ඒ නිසා අපි වැව සුද්ධ කරනවා”… යයි කොල්ලෝ සෙට් එකක් ලියා තිබිණි. උන්ට,… ‘අහස තරම් ආදරේ”… යයි කියමින් ලිපිය සමාප්ත කරමි …

ලලිත් කරුණාරත්න