ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [4] සක්‍රයා සහ ගුත්තිල කාව්‍යය

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [4] සක්‍රයා සහ ගුත්තිල කාව්‍යය

21 November 2019 08:30 pm

ඉස්කෝලෙ මහත්තයා - හරි දැන් කියමු බලන්න ඊළඟට තියෙන කවිය

ප්‍රසන්න - කැර මිණි බරණ    රැස්
රසින් සුර සැව්                සුවහස්
සුරන් සහ                     සහසැස්
නො කැර සිටියේ අහස් කුස හිස්

ඉස්කෝලෙ මහත්තයා - මේ කවිය එන්නෙ වෑත්තෑවේ හිමි ලිව්ව ගුත්තිල කාව්‍යයෙන්. ගුත්තිල හා මූසිල තරඟය වෙලාවේ දෙවියන්ගේ මැණික් ආභරණවලින් පිටවුණු රශ්මියෙන් දේදුණු රාශියක් හැදුනා. මුලු අහසම වසාගෙන සුරයන් එහෙම නැත්නම් දෙවිවරු සහ සක්‍රයා සිටියා කියලයි මේ කවියෙන් කියන්නේ. සුරස් සැව් කියන්නේ දෙවියන්ගේ දුන්න එහෙම නැත්නම් දේදුන්න කියන තේරුම. සහසැස් කියන්නේ ඇස් දාහක් ඇති තේරුමෙන් සක්‍රයාට.

නිසල් - ඇයි සක්‍රයාට සහසැස් කියන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - ඕකට උත්තරේ හින්දු සාහිත්‍යයේ තියෙනවා. මහා බ්‍රහ්මයා ලෝකයේ තියෙන සියලු සුන්දරත්වයන් එකතු කරලා මවනවා කාන්තාවක් ව. මේ කාන්තාවගේ නම තමා ආහල්‍යා. මහා බ්‍රහ්මයා හිමාල වනයේ හිටපු ගෞතම නම් බමුණට මේ සුන්දර ආහල්‍යා ව විවාහ කර දෙනවා.

ටික කාලයක් ගියාට පස්සේ සක්‍රයා දකිනවා මේ ආහල්‍යා ව. ක්‍රමක්‍රමයෙන් මේ දෙන්නා අතරේ අනියම් සබදතාවක් ඇති වෙනවා. දෙන්නට එකතු වෙන්න වැඩි කාලයක් ඕන නිසා ගෞතම බමුණව අසපුවෙන් තරමක් වෙලාවට ඈත් කරලා තියන්න සැලැස්මක් හිතනවා. ගෞතම බමුණා හැමදාම උදේට ශිව දෙවියන්ට පූජා ඔප්පු කරන්න. උදේට කුකුළා හඬලනකොටයි ගෞතම බමුණා ගෙයින් එලියට යන්නෙ.

දවසක් සක්‍රයා කුකුළෙක්ගේ වෙස් අරගෙන මධ්‍යම රාත්‍රිය උදා එනවාත් එක්කම ගෞතම බමුණගෙ අසපුව ළඟට ගිහින් කුකුලෙක් වගේ හඬලන්න පටන් ගත්තා. ඉතින් බමුණත් උදේ වෙලා කියල හිතලා පූජා භාණ්ඩත් අරගෙන එලියට ගියා. මේ යන තරමග අහස බැලුවම තවම තරු පේනවා. ඉතින් මොකක් හෝ වැරැද්දක් ඇති කියලා ආපහු අසපුවටම යන්න ගත්තා. අසපුවට ගියහම සක්‍රය යි ආහල්‍යයි එකට ඉන්නවා දැකලා කේන්තියට ආහල්‍යාව ගල් පිළිමයක් කරනවා. ඒ සාපය කරන්නේ රාම කුමාරයාගේ පාද ස්පර්ෂය ලැබුනහම නැවත පන එන විදිහට.

සක්‍රයට සාප කරනවා මුලු ඇඟේම ස්ත්‍රී යෝනි 1000ක් මැවෙන්න කියලා. ඉතින් සක්‍රයා ගෞතම බමුණගේ කකුල් දෙක අල්ලලා සමාව ඉල්ලනවා. මොකද ස්ත්‍රී යෝනි 1000ක් ඇගේ තියාගෙන ආපහු දිව්‍යලෝකෙට යන්න බැහැනේ. මේ ගැන දුක හිතිලා බමුණා මේ ස්ත්‍රී යෝනි 1000 ඇස් 1000ක් බවට හරවනවා. මෙන්න මේ නිසයි සක්‍රයාට සහසැස් කියන්නේ.

කමනි - සර් එතකොට වෑත්තෑවේ හිමිගේ ගුරුවරයා කව්ද?

සහන් - මම දන්නවා ඒකට උත්තරේ. තොටගමුවේ රාහුල හිමිගේ ගෝලයෙක් තමා වෑත්තෑවේ හිමි කියන්නේ.

ඉස්කෝලෙ මහත්තයා - ගුත්තිල කාව්‍යය ලිව්ව කෙනෙක් ගැන කාව්‍යයේ කොතනකවත් සඳහන් වෙලා නැහැ. ජනප්‍රවාදයේ තමා කියන්නේ වෑත්තෑවේ හිමි ගුත්තිල කාව්‍යය ලිව්වා කියලා. වෑත්තෑවේ හිමිට රාහුල හිමිගෙන් ඈත් වෙලා යන්න වුනු ජනකතාව අහලා තියෙනවද?

ප්‍රසන්න - පළ නොකියා පළා බෙදුවා වගේ කතාව නේද?

ඉස්කෝලෙ මහත්තයා - වෑත්තෑවේ හිමි කියන්නේ ගුරුවරයා වගේම ඉතා දක්ෂ කවියෙක්. සමහරු කියන්නෙ නම් ගුරුවරයාටත් වඩා දක්ෂයි කියලා. මේ හැකියාවට තමන්ගෙ අප්‍රසාදය පලකරන්න දානය බෙදනකොට වෑත්තෑවේ හාමුදුරුවන්ගේ දානයේ තුන් පොළකට පළා බෙදන්න කියලා රාහුල හාමුදුරුවො අතවැසියෙක්ට කිව්වා. පල කියන්නෙ නැතුව පළා බෙදුවා කියලා දැනගත්තු වෑත්තෑවේ හාමුදුරුවෝ පන්සල අතහැරලා යනවා. ඊට පස්සෙ තමා ගුත්තිල කාව්‍යය ලිව්වා කියලා ජනප්‍රවාදයේ තියෙන්නේ.

ප්‍රසන්න - වෑත්තෑවේ හාමුදුරුවන් ගුත්තිල කාව්‍යය ලියන්නේ පන්සලෙන් පිට උනාට පස්සෙද?

ඉස්කෝලෙ මහත්තයා - පන්සල අතහැරලා ගියාට පස්සේ මේ කාලේ රජතුමා ඒ කිව්වේ හය වන පරාක්‍රමභාහු රජතුමාගේ සේවකයෙක් වුනු සලාවත ජයපාල මැතිතුමාගේ ආරාධනයෙන් තමා ගුත්තිල කාව්‍යය ලියන්නේ. සලාවත කිව්වේ ඒ කාලෙ හලාවතට. පැරණි සාහිත්‍ය කෘති ගොඩක් ගත්තහම ඒ හැම එකක්ම පාහේ ඒ කාලේ සමාජයේ වැදගත් කෙනෙක්ගේ ආරාධනයක ප්‍රථිපලයක් විදිහටයි ලියැවිලා තියෙන්නේ. ගුත්තිල කාව්‍යය ලියන්න ආරාධනා කලේ සලාවත ජයපාල කියලා කාව්‍යයේම තියෙනවා 11 හා 12 කවි වල.

‘පිරිසිඳු යස              සඳුන්
සලාවත ජයපාල   මැතිඳුන්’

‘බැදි යවර                       බසින්
කෙළෙන් ආරාධනා   සතොසින්’

නිමාලි - එතකොට වෑත්තෑවේ හාමුදුරුවන්ට අන්තිමට මොකද වෙන්නෙ?

ඉස්කෝලෙ මහත්තයා - ජනකතා වල නම් තියෙන්නේ වෑත්තෑවේ හාමුදුරුවෝ සිවුර හැරලා රටින් පිට වෙලා ගියා කියලයි. වෑත්තෑවේ හිමි ගැන ලස්සන කෙටි කතාවක් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ලියලා තියෙනවා ‘මගේ කතාව’ පොතේ. කෙටිකතාවේ නම තමා ‘මූසිල වෑත්තෑවේ වාදය’.

වාසිතය