පහ පාස් නැති අයගේ ප්‍රශ්නය

පහ පාස් නැති අයගේ ප්‍රශ්නය

21 November 2019 06:00 pm

ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසුවත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව දිගටම පවත්වා ගැනීම ප්‍රායෝගිකව ඉතා අසීරු දෙයක්. අමාරුවෙන් ආණ්ඩුව තව මාස කිහිපයක් ඇද ගත්තා කියා කළ හැකි දෙයක් ඇත්තේත් නැහැ. යහපාලන ආණ්ඩුවේ "ඓතිහාසික කාර්ය භාරය" දැන් අවසන්. ඒ නිසා, අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම රනිල්ට මේ වෙලාවේ කළ හැකි හොඳම දෙය බව ඉතාම පැහැදිලියි. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලින් පසුව මෙවැනි තත්ත්වයක් ඇති වී තිබුණේ නැහැ. ඒ වෙලාවේ පොදුජන පෙරමුණට ලැබුණේ 40.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

රටේ ජනමතය වෙනස් වී ඇති බව පැහැදිලි වුවත්, ඒ හේතුව මත මහ මැතිවරණයකට යාම අනිවාර්ය නැහැ. නියමිත කාලයට මහ මැතිවරණය තැබීමේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හරිනවානම් එය කරන්න වෙන්නේ නියමිත ක්‍රමයටයි. නියමිත ක්‍රමයට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිනම් එහි ඇති වරදකුත් නැහැ. මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ඔය දෙකෙන් එකක්වත් ගැන නෙමෙයි.

වාර්තා වී තිබෙන ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන එක ගැන රනිල්ගේ විරුද්ධත්වයක් නැහැ. නමුත්, පාර්ලිමේන්තුවේ සිටින නවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වීම ගැන සලකා බලා පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමට රනිල් හා ගෝඨාභය එකඟ වී ඇති බව වාර්තා වෙනවා. කෝටි දෙකකගේ ජීවිත වලට විශාල ලෙස බලපාන තීරණයක් ගැනීමේදී පුද්ගලයින් හතළිස් දෙනෙකුගේ අනාගතය සුරක්ෂිත කිරීමේ  අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය ලැබීමේ පැහැදිලි අවුලක් තිබෙනවා. මේ මෙවැන්නක් සිදුවන පළමු අවස්ථාව නෙමෙයි. බොහෝ විට අවසන් අවස්ථාව වන එකකුත් නැහැ.

ප්‍රසිද්ධියේ මොනවා කිවුවත් මහජන නියෝජිතයින් කියන බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ පළමුව තමන් දෙවනුව රට කියන පදනමින් බව රහසක් නෙමෙයි. එය සාමාන්‍ය මිනිස් ස්වභාවය. මේ තත්ත්වය යොදා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට බලපෑම් කිරීම ජනාධිපතිවරුන් කිහිප දෙනෙක් විසින්ම කළ දෙයක්. දහනවවන සංශෝධනයෙන් පසුව තත්ත්වයේ වෙනසක් සිදු වී තිබෙනවා. කළින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියමින් නවක මන්ත්‍රී වරුන් බිය ගන්වා ඔවුන්ගේ තීරණ වලට බලපෑම් කළ හැකි වුනා. දැන් එය කළ නොහැකි නිසා රටටම බලපාන තීරණයක් ගැනීමේදී ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික අභිලාශවලට මුල් තැන දෙනවා. ඔය දෙකෙන් එකක්වත් හොඳ දේවල් නෙමෙයි.

පස් අවුරුද්දක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන අයෙකුට ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් ලැබීම හා පස් අවුරුද්ද සම්පූර්ණ නොකළ අයට එය නොලැබීමෙන් මන්ත්‍රී වරුන් ගන්නා "ස්වාධීන" තීරණ වල විශාල විකෘතියක් ඇති වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීමටත් මෙහි සම්බන්ධයක් තිබෙනවා. මේ විකෘතිය කවදාවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ස්වේච්ඡාවෙන් නිවැරදි කරන්නේ නැහැ. විවිධ මත දරන පක්ෂ වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙවැනි කටයුත්තකදී ක්‍රියා කරන්නේ වෘත්තීය සමිතියක සාමාජිකයින් ලෙසයි. තත්ත්වයේ වෙනසක් විය හැක්කේ ඔවුන් මත බාහිරින් පීඩනයක් ඇති වුනොත් පමණයි.

සාමාන්‍යයෙන් කිසිම රැකියාවක් කරන කෙනෙකුට වසර පහකින් පසුව ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් හිමි වන්නේ නැහැ. ඒ නිසා, මේ විශ්‍රාම වැටුප මුළුමනින්ම අහෝසි කළ යුතුයි කියා කෙනෙකුට තර්ක කළ හැකියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුත්තේ මන්ත්‍රීකම නැති වූ පසු කිසිදු රැකියාවක් කළ නොහැකි නිකමුන් පිරිසක් නොවන බවත් කෙනෙකුට කියන්න පුළුවන්. අනෙක් අතට සී. ඩබ්ලිවු. ඩබ්ලිවු. කන්නන්ගර වැනි පුද්ගලයින්ට අවසන් කාලයේ ජීවත් වීමට ක්‍රමයක් නොතිබුණු බව වැනි ප්‍රතිවිරුද්ධ තර්ක ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ එක්කම, හැත්තෑ හතට පෙර මන්ත්‍රීවරුන් හා ඉන්පසු කාලයේ මන්ත්‍රීවරුන් අතර වෙනස සසඳමින් කන්නන්ගර උදාහරණය අදට නොගැලපෙන බව කියන්නත් පුළුවන්. ඔය මොන තර්ක ඉදිරිපත් කළත් තමන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර ගැනීම සඳහා ඔය පිරිස අත උස්සන එකක් නැහැ.

වඩා හොඳ හා ප්‍රායෝගික ක්‍රමයක් වන්නේ මන්ත්‍රී විශ්‍රාම වැටුප දායක විශ්‍රාම වැටුපක් බවට පරිවර්තනය කිරීමයි. සෑම මන්ත්‍රීවරයෙකුගේම මාසික වැටුපෙන් යම් ප්‍රතිශතයක් කපා ගෙන, සමානුපාතිකව තවත් මුදලක් එකතු කර විශ්‍රාම වැටුප් අරමුදලකට යොමු කිරීමෙන් මෙය කළ හැකියි. ඉන් පසුව, එක් එක් පුද්ගලයාට තමන් කැමති විශ්‍රාම වයසකින් පසුව මාසිකව මේ අරමුදලින් විශ්‍රාම වැටුපක් ලබාගත හැකියි.

අරමුදලේ ඇති මුදල් ප්‍රමාණය හා විශ්‍රාම ගන්නා වයස අනුව මසකට ලැබෙන මුදල නිර්ණය කිරීමෙන් ගෙවීම් හා ලැබීම් අතර ආයුගණක සමතුලිතතාවය පවත්වා ගත හැකියි. මේ ක්‍රමය අනුව ජීවිත කාලයම මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කරන අයෙකු සතුව සැලකිය යුතු මුදලක් එකතු වන අතරම වසර කිහිපයක් පමණක් මන්ත්‍රී ධුරය දරන අයෙකුට වුවත් යම් මුදලක් ලැබෙන නිසා පහේ සීමාව ජාතික වැදගත් කමක් තිබෙන තීරණ වලට බලපාන එක අවම කර ගත හැකියි.

ඉකොනොමැට්ටා