මම දැන ගතිමි මම සැක කෙළෙමි

මම දැන ගතිමි මම සැක කෙළෙමි

15 November 2019 05:30 pm

බටහිර විද්‍යාවේ නිතර කියැවෙන දෙයක් තමයි යම්කිසි සංසිද්ධියක් නැවත නැවතත් පරීක්‍ෂණයට ලක් කිරීමට හැකි විය යුතු බව.  යම් කිසි පරීක්‍ෂණයක් අද කළත් හෙට කළත් ලන්ඩනයේ කළත් මොස්කව්හි කළත් එක ම ප්‍රතිඵලයක් ලබා දිය යුතු ය යන්නත් ඒ සමග කියැවෙනවා. මේ තමයි ඊනියා සාධාරණීත්වය නැත්නම් පොදු බව. ඒ සිද්ධිවල පොදු බව තේරුම් ගෙන ඒ සඳහා තමයි කතන්දර ගොතන්නෙ. එහෙමත් නැත්නම් ඊනියා ප්‍රවාද ගොඩ නගන්නෙ. ප්‍රවාදයක් කියන්නෙ කතන්දරයක්. 

කාටත් තේරෙන උදාහරණය තමයි ගෙඩි වැටීම. එහෙමත් නැත්නම් උඩ දැමූ වස්තුවක් ආපසු පොළොවට වැටීම. එය හුදෙක් ඇපල් ගෙඩියක් හරි පොල් ගෙඩියක් හරි පොළොවට වැටීම නො වෙයි. නිව්ටන් එක ඇපල් ගෙඩියක් වැටුනෙ මොකද කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න නොවෙයි කතන්දරයක් ගෙතුවෙ. ඔහුගේ කතන්දරය සියළු ගෙඩි පමණක් නොව සියළු වස්තු පිළිබඳවයි. ඔහු එතැනිනුත් එහාට ගියා. හඳ පොළොවට වැටෙන්නෙ නැත්තෙ මොකද ඉර පොළොවට වැටෙන්නෙ නැත්තෙ මොකද ආදී ප්‍රශ්නවලටත් ඔහු තම කතන්දරය මගින් උත්තර සැපයුවා.

ඔහුගෙ කතන්දරය විශ්වීය ගුරුත්වාර්ෂණ ප්‍රවාදය ලෙස හඳුන්වනවා. ඔහු කියා සිටියේ විශ්වයේ ඕනෑම වස්තු දෙකක් යම්කිසි නියමයකට අනුව එකිනෙක ආකර්ෂණය කරන බවයි. ඒක නිව්ටන්ගෙ හිතළුවක්. ඒත් ඒ හිතළුව වැඩ කෙරුවා. එහෙමත් නැත්නම් හරි ගියා. නැවතත් කියන්න ඕන ඒක හරි බව නොවෙයි එයින් කියැවෙන්නෙ. නිව්ටන්ගෙ කතන්දරය යොදා ගෙන ගලක් යම්කිසි වේගයකින් උඩට විසි කළොත් ආපසු වැටෙන්නෙ කොයි වෙලාවට ද, හඳ පොළොවට නොවැටෙන්නෙ ඇයි ද වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්. 

ඒත් ගුරතේවාකර්ෂණය දැකපු මිනිහෙක් අතගාපු මිනිහෙක් ලෝකෙ ඉඳලා තියෙන්නෙ එක්කෙනයි. ඔහු ඒ දවස්වල කැලණිය විශ්වවිද්‍යාලයෙ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. දැන් සමහරව විට මහාචාර්යවරයෙක් වෙන්න ඇති. ඔහු දවසක් මා සමග පැවසුවා ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර බව. මා ඔහුට ඒ ඉන්ද්‍රිය පෙන්වන්න කිව්ව ම ඔහු යන්න ගියා. නිව්ටන්ටවත් ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර වුණෙ නැහැ. ඉන්ද්‍රිය ගෝචර නොවන බලයක් යොදා ගෙන ඔහු ඇපල් පොළොවට වැටෙන්නෙ කොහොමද කියල තේරුම් කළා. මේ තේරුම් කරනවා කියන එකත් තේරෙන්නෙ නැති දෙයක්. 

මෙරට පඬියන් මගෙන් ඉල්ලා හිටියා නාථ දෙවියන් පෙනන්න කියා. මා ඔවුන්ට කීවේ ගුරුත්වාකර්ෂණය පෙන්නුවොත් මා නාථ දෙවියන් පෙන්නන්නන් කියලා. මේ වන තුරුත් කිසිවකු මට ගුරුත්වාකර්ෂණය පෙන්නලා නැහැ. පඬියන් ඉන්ද්‍රිය ගෝචර නොවන දේ පිළිගන්නෙ නැහැ. ගුණදාස අමරසේකර මාටින් වික්‍රමසිංහ වගේ අය පුනබ්භවය කර්මය පිළිගන්නෙ නැහැ. ඒක ඉන්ද්‍රිය ගෝචර  නැති හින්ද. ඒත් ඉන්ද්‍රිය ගෝචර නැති ගුරුත්වකර්ෂණය පිළිගන්නවා. ගුණදාස අමරසේකර තමන් දෙවියන් නොපිළිගන්න බව මහත් අභිමානයෙන් කියනවා. ඒත් නාඩිවාක්‍ය කියව ගන්නවා. මාටින් වික්‍රමසිංහ මොනව කියව ගත්තද කියල මා දන්නෙ නැහැ.

නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණ කතන්දරෙ යොදා ගෙන තනි ඇපල් ගෙඩියක් වැටෙන හැටි විස්තර කරන්න පුළුවන්. ඒත් ඒක තනි සිද්ධියක් නොවෙයි. ඒක ඊනියා සාධාරණ සංසිද්ධියක එක් උදාහරණයක් පමණයි. බටහිර විද්‍යාවට සාධාරණ නොවූ තනි සිද්ධි විස්තර කරන්න බැහැ. ආධ්‍යාත්මික ශක්තියක් ඇති පුද්ගලයකු කරන දෙයක් විස්තර කරන්න තේරුම් කරන්න බටහිර විද්‍යාවට බැහැ.

අපේ රටේ මිනිසුන් බටහිර දැනුමේ වහලුන් වෙලා. ගණිතය භෞතික විද්‍යාව බැරි අයත් ගණිතය භෞතික විද්‍යාව විශ්වාස කරනවා. ඒවයෙන් කියැවෙන දේ විශ්වාස කරනවා. මටත් ගණිතයත් භෞතික විද්‍යාවත් බැහැ. ඒත් මා ඒ විශ්වාස කරන්නේ නැහැ. යම් යම් අවශ්‍යතා යටතෙ ඒ හරියන බව පමණක් මා දන්නවා. මෙරට මිනිසුන්ගෙන් ඉතා ටික දෙනාටයි යම් ආධ්‍යාත්මික ශක්තියක් තියෙන්නෙ. එහෙම තියෙනවයි කියන අය අතරෙ බොරු කාරයන් ඉන්නත් පුළුවන්. භෞතික විද්‍යාව පුළුවන් ය කියන අය අතරෙත් බොරු කාරයන් ඉන්න පුළුවන්. ඒත් මෙරට බුද්ධිමත් ය කියන ජනයා  භෞතික විද්‍යාව බැරි වුනත් තමන්ට භෞතික විද්‍යාව පුළුවන් යැයි කියන්නන් කියන දේ පිළිගන්නවා. ඒත් ආධ්‍යාත්මික ශක්තියක් නැති අය ආධ්‍යාත්මික ශක්තියක් ඇතැයි කියන්නන් කියන දේ පිළිගන්නෙ නැහැ. ඒ බටහිර දාස කම. 

ගුරතේවාකර්ෂණය බටහිර ඊනියා දැනුම බවට අවුරුදු දෙසීයක් පමණ පිළිගත්තා. ඒක බටහිරයන් දැන සිටියා. ඒ ඔවුන්ගෙ දැනුම වුනා. ඒත් ඒක සැක කරන්න පටන් ගත්තා. ග්‍රහ වස්තුන් ඉර වටා අචල ඉලිප්සවල ගමන් කරන්නෙ නැහැ. නිව්ටන්ට අනුව ග්‍රහ වස්තුන් අචල ඉලිප්සවල ගමන් කරන්න ඕන. මුලින්මත් ඒ සැකය තිබුණා. පස්සෙ සැකය වැඩි වුනා. අයින්ස්ටයින් ඇපල් වැටෙන්නෙ මොකද කියන එකට වෙන ම කතාවක් ගෙතුව. ඒක දැනුම වුනා. අද ඒකත් සැක කෙරෙනවා.

කාලෝ ෆොන්සේකා මෙරට හිටි මහා ප්‍රාඥයකු ලෙසය පඬියන්ගෙන් සැලකිලි ලබන්නෙ. පහුගිය දවස්වල කාලෝ චින්තනය ගැන සම්මන්ත්‍රණයකුත් තිබුණා. ඔහුට අලුත් චින්තනයක් තිබුණෙ නැහැ. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියට පක්‍ෂපාති බව පෙන්වමින් එයට පරිභව කළ අයෙක්. ඔහු බටහිර විද්‍යාවෙ දාසයෙක්. 

දවසක් කාලෝ මහාචාර්ය සරච්චන්ද්‍රගෙන් අහල සිංහබාහු නාට්‍යයෙ මම දැන ගතිමි මම සැක කෙළෙමි යනුවෙන් කියන්නෙ ඇයි කියල. කාලෝ කියල තියෙන්නෙ මිනිසුන් පළමුවෙන් යමක් සැක කරල පසුව දැන ගන්නවා මිසක් දැන ගෙන සැක කරන්නෙ නැහැ කියල. සරච්චන්ද්‍ර කිව්වලු සිංහයන් හිතන්නෙ එහෙමයි කියල. ඒක හොඳ උත්තරයක්. ඒත් කාලෝ එක් පැතතකින් ඒක  ගීතයක් බව අමතක කරලා. ගීතයක කවියක පද පිළිවෙළ සිදු වු පිළිවෙළ ම වෙන්න ඕන නැහැ. අනෙක් පැත්තෙන් කාලෝ ඔහු විශ්වාස කළ ඊනියා විද්‍යාත්මක ක්‍රමය අමතක කරලා. බටහිර දැනුම පස්සෙ සැකයට භාජනය වෙනවා. අද අයින්ස්ටයින්ගෙ කතන්දරෙත් සැක කෙරෙනවා. 

සිංහයාට සමහර විට දැනෙන්න ඇති (දැනුම කියන්නෙ අවසාන වශයෙන් ගත්ත ම දැනෙන දෙයක්, ඒකෙ ඇති ඊනියා යථාර්ථයක් නැහැ ) ගල්ලෙන බින්දෙ සිංහබාහු කියලා. ඊට මොහොතකට පස්සෙ ඒ දැනුම ගැන සැකයක් ඇති වෙන්න ඇති. ගල්ලෙන බිඳීම සිංහයාට ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඔහු එය දැක්කෙ නැහැ. ඔහුට සුප්පා දේවි මුන ගැහුන නම් අහගන්න තිබුණ ගල්ලෙන බින්දෙ කවුද කියල. ඒත් සුප්පා දේවි කියයි ද දන්නෙ නැහැ. කොහොම වුනත් එතකන් ඔහුට කරන්න පුළුවන් හිතළු ඇති කර ගන්න එක. හිතළුවක් (ඊනියා දැනුමක්) ඇති කර ගන්නවා, ඒක සැක කරනවා. සිංහයො විතරක් නොවෙයි බටහිර විද්‍යාඥයොත් එහෙමයි. කාලෝ ඒක දැන හිටියෙ නැහැ.       

Kalaya