දෙවෙනි මනාපය

දෙවෙනි මනාපය

15 November 2019 08:00 pm

ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රමය සුවිශේෂී එකක්. මා දන්නා තරමින්, මේ ක්‍රමය තියෙන්නේ ලංකාවේ පමණයි. ලංකාවේ පමණක් දැකිය හැකි තවත් බොහෝ දේ තිබුණත්, ඒ ගොඩක් දේවල් ලංකාවට ආඩම්බර විය හැකි දේවල් නෙමෙයි. එහෙත්, මෙයනම් එවැන්නක් නෙමෙයි.

මම හිතන්නේ කිසියම් තනතුරකට තනි පුද්ගලයෙක්ව තෝරා ගැනීමේදී වඩාත්ම ප්‍රචලිත හා පැරණිම මැතිවරණ ක්‍රමය වැඩිම ඡන්ද ලබන අපේක්ෂකයාව තෝරා ගන්නා ක්‍රමයයි. මේ ක්‍රමයේ තිබෙන එක් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ වැඩිම දෙනෙක් අකැමැති අපේක්ෂකයෙකු තනතුරට තේරී පත් වෙන්න ඉඩක් තිබීමයි. උදාහරණයක් විදිහට අපි කිසියම් මැතිවරණයකදී ඡන්ද බෙදී යන්නේ පහත ආකාරයට කියා හිතමු.

A  35%
B  33%
C  31%

වැඩිම ඡන්ද ක්‍රමයට තේරී පත් වෙන්නේ A. නමුත්, C වෙනුවෙන් ඡන්දය දුන් 31% Aට කොහෙත්ම කැමති නැති, Bටත් කැමති එහෙත් Cට වඩා කැමති පිරිසක්නම් මේ ප්‍රතිඵලය නිසා 64%ක පිරිසක් සතුටු වෙන්නේ නැහැ. යම් හෙයකින් C තරඟයට ඉදිරිපත්ව නොසිටියානම් B ඉතා පහසුවෙන් දිනනවා. මනාප ලකුණු කිරීමට ඉඩ ලැබෙන මැතිවරණ ක්‍රමයක් මේ ප්‍රශ්නයට විසඳුමක්. දෙවන මනාප සලකා බැලු විට A අභිබවා B ඉදිරියට එන නිසා තේරී පත් වෙන්නේ වැඩිම දෙනෙකුගේ කිසියම් හෝ කැමැත්තක් තිබෙන අපේක්ෂකයා.

යුක්රේනය වැනි තවත් රටවල් වල මීට ආසන්නව සමාන මැතිවරණ ක්‍රමයක් තිබෙනවා. එහිදී වෙන්නේ කිසිදු අපේක්ෂකයෙකු පළමු වටයෙන් 50% ලබා නොගත්තොත් ඉහළින්ම සිටින දෙදෙනා අතර දෙවන ඡන්ද විමසීමක් පැවැත්වීමයි. පළමු වටයේදී දෙවැනි තැන සිටි අපේක්ෂයින් ඇතැම් විට දෙවන වටයෙන් තේරී පත් වී තිබෙනවා. ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රමය සුවිශේෂී වන්නේ මේ විදිහට වට දෙකකදී කරන දෙය එකවරම කරන නිසයි. මෙය බොහෝ ඉදිරිගාමී මැතිවරණ ක්‍රමයක්.

මේ මැතිවරණ ක්‍රමය ලංකාවට හඳුන්වා දෙනු ලැබූයේ ජේආර්ගේ 1977 ව්‍යවස්ථාවෙන්. එය වෙනත් රටක මැතිවරණ ක්‍රමයක් කොපි කිරීමක් නෙමෙයි. අලුත්ම ක්‍රමයක්.

බොහෝ ප්‍රචලිත අදහසක් වන්නේ ජේආර් විසින් ලංකාවේ වත්මන් මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන්නේ එජාපය සදහටම බලයේ තැබීමට බවයි. කුඩා කළ සිට දිගින් දිගටම ඇසී හිතට කා වැදී තිබුණු මේ අදහස ඇත්තක්ද කියන එක ගැන හිතන්න නොපෙළඹීම ගැන දැන් මා කණගාටු වෙනවා. මේ කතාවත් ඇමරිකාව තිරිඟු පිටි මිල අඩු වීම වළක්වන්න තිරිඟු පිටි මුහුදට දමනවා කියන ජනප්‍රිය කතාව වගේ එකක් කියා දැන් මට හිතෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන සමානුපාතික මැතිවරණ ක්‍රමය පිළිබඳව සැලකූ විට එකල එහි එජාපයට වාසියක් තිබුණු බව පැහැදිලියි. 1977ට පෙර එක් මැතිවරණයකදී හැර අනෙක් සියලු මැතිවරණ වලදී තනි පක්ෂයක් ලෙස ලංකාවෙන්ම වැඩිම ඡන්ද ලබා තිබුණේ එජාපයයි. ඒ නිසා, සමානුපාතික ක්‍රමයක් යටතේ එජාපයට අවම පාර්ලිමේන්තු නියෝජනයක් හිමිවන බවට සහතිකයක් තිබුණා. නමුත්, 1997ට පෙර එජාප අපේක්ෂකයෙකුට දෙවන මනාප ලබා වෙනත් අපේක්ෂයෙකුව අභිබවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

ශ්‍රීලනිපය හැරුණු විට ඡන්ද පදනමක් තිබුණු ලසසප, කොප, මඑපෙ වැනි පක්ෂ සියල්ලම එවකට හිටියේ දැඩි එජාප විරෝධී ස්ථාවරයකයි. ඒ වගේම, සම්ප්‍රදායිකව උතුරේ දෙමළ ජනතාවගේ වැඩි කැමැත්ත තිබුණේත් එජාපයට වඩා ශ්‍රීලනිපයයි. ඒ නිසා, දෙවන මනාප ක්‍රමය ඒ වන විට පැවති තත්ත්වය අනුව එජාපයට අවාසිදායකයි. ශ්‍රීලනිපයට වාසිදායකයි. එහෙමනම්, මේ ක්‍රමය හඳුන්වා දී ජේආර් බලාපොරොත්තු වුනේ කුමක්ද?

මම හිතන විදිහට මේ ක්‍රමය ගේන්න හේතු වුනේ ලංකාවට සුදුසු දේශපාලන ක්‍රමය සිංගප්පූරු ක්‍රමය කියා ජේආර් විසින් සිතීම වෙන්න පුළුවන්. ජේආර්ගේ සිහිනය වී තිබෙන්නේ ප්‍රබල ජනාධිපතිවරයෙක් හා දුර්වල පාර්ලිමේන්තුවක්. ඒ ප්‍රබල ජනාධිපතිවරයා තමාම විය යුතු බව ඔහු සිතුවා කියා කියන්න බැහැ. දෙවරකට වඩා ජනාධිපතිධුරය දැරීමට නොහැකි බවට සීමාවක් දැමූ ජේආර් තමන්ගේ වාසියට ඒ සීමාව ඉවත් කරගන්න උත්සාහ කළේ නැහැ.

ජේආර් විසින් මේ තරම් දියුණු ක්‍රමයක් හඳුන්වා දුන්නත් මෙතෙක් කල් ලංකාවේ පැවති කිසිදු මැතිවරණයකදී දෙවන මනාප ගණන් කරන්න අවශ්‍ය නොවූ නිසා, බොහෝ දෙනෙකුට මේ ක්‍රමයේ වටිනාකම ගැන හැඟීමක් නැහැ. ඇතැම් අය විසින් පුරෝකථනය කළත්, මෙවරත් එවැනි අවශ්‍යතාවයක් ඇති නොවෙන්න පුළුවන්. ඒ වගේම, බොහෝ දෙනෙක්ට අදටත් මේ මනාප ක්‍රමය ගැන නිසි අවබෝධයක් නැහැ. 1977 කාලය සැලකූ විට ලංකාවේ වත්මන් ජනාධිපතිවරණ ක්‍රමය රටේ මිනිස්සුන්ට සාපේක්ෂව ඕනෑවට වඩා ඉදිරියෙන් තිබුණු ක්‍රමයක්. සර්වජන ඡන්ද අයිතිය ලැබෙන කාලයේ තත්ත්වය වගේමයි.

මනාප ක්‍රමයේ වැදගත්ම ලක්ෂණය වන්නේ තෙවන අපේක්ෂකයෙකුට පහසුවෙන් මතු වෙන්න හැකි වීමයි. එහෙත්, සිදු වී නැත්තේත් එයමයි. ඒ, මැතිවරණ ක්‍රමය ගැන නිසි අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති නිසයි.

අපි හිතමු රටේ සැබෑ පළමු කැමැත්ත මේ විදිහයි කියා.

A  35%
B  33%
C  31%

මීට අමතරව, Cට වැඩිම කැමැත්තක් දක්වන පිරිසට Aව පෙන්නන්න බැහැ. නමුත්, B පිළිබඳව එවැනි අකැමැත්තක් නැහැ.

මනාප ක්‍රමයක් නැත්නම් තත්ත්වය කුමක්ද? තමන් Cට ඡන්දය දුන්නොත් Aට විරුද්ධ පිලේ ඡන්ද කැඩෙන නිසා A දිනන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, Cට වඩාත්ම කැමති අය Cට ඡන්දය නොදී Bට ඡන්දය දෙනවා. Cට කවදාවත් ඔලුව උස්සන්න බැහැ.

නමුත්, මනාප ක්‍රමයක් තිබෙන විටක Cට වඩාත්ම කැමති අයට වෙනත් විකල්පයක් තිබෙනවා. ඔවුන්ට C වෙනුවෙන් ඡන්දය දී Bට දෙවන මනාපය දිය හැකියි.

-B විසින් 50% ගත්තොත්, දෙවන මනාප ගණින්න අවශ්‍ය වන්නේ නැහැ. A දිනලා නැති නිසා Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.
-A විසින් 50% ගත්තත්, දෙවන මනාප ගණින්න අවශ්‍ය වන්නේ නැහැ. A කොහොමටත් දිනන නිසා Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.
-කිසිවෙක් 50% අරගෙන නැත්නම්, Cට පළමු මනාපය දුන් අයගේ දෙවන මනාපයටත් පළමු මනාපයකට ලැබෙන වටිනාකමම ලැබෙනවා. ඒ නිසා, Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.

සරලවම කියනවානම්, මනාප ක්‍රමයක් තිබෙන විටක අවසන් ප්‍රතිඵලයට බලපෑමක් නොවන පරිදි කීයටවත් දිනන්නේ නැති අපේක්ෂයෙකුට වුවත් ඡන්දය දිය හැකියි. ලංකාවේ ජනාධිපතිවරණයකදී පමණක් ලැබෙන මේ අවස්ථාව වෙනත් මැතිවරණ වලදී ලැබෙන්නේ නැහැ. වෙනත් මැතිවරණයකදීනම් කීයටවත් දිනන්නේ නැති අපේක්ෂකයෙකුට ඡන්දය දෙන එක තේරුමක් නැති වැඩක්.

ඉකොනොමැට්ටා