මැකොස යුද්ධ, ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය හා භූමිකාව

මැකොස යුද්ධ, ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය හා භූමිකාව

18 October 2019 03:07 pm

ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය හා භූමිකාව ඒ සම්මේලනයේ රැස්විමක දී සම්මත කර ගත් නමුත් එය පසුගිය දා පදනම් ආයතනයේ දී පැවති රැස්වීමේ දී ජනතාවට ඉදිරිපත් කෙරුණේ නැහැ. එහෙත් එදින ගුණදාස අමරසේකරගේ  අත්සන යැයි කිව නොහැකි අත්සනක් සහිත ව මුද්‍රණය වූ ප්‍රකාශ දෙකක් නම් වෙනත් සංවිධානයක නමින් බෙදා හරිනු ලැබුවා. ඒ පත්‍රිකා අමරසේකරට ලැබුණා ද නැද්ද කියන්න මා දන්නේ නැහැ. ජාතික සංවිධාන තම දේශපාලනය සඳහා යොදා ගැනීමට මාන බලන පිරිසක් ජාතික ව්‍යාපාරයේ ක්‍රියාත්මක වනවා. 

දෙමළ ජාතික සංධානය සිංහල විරෝධී ඉල්ලීම් නැවතත් ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් කළ යුතු නැහැ. ඔය දෙමළ ජාතිවාදී ඉල්ලීම් නන්දිකඩාල්හි දී පරාජය කෙරුණා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නට්සි ඉල්ලිම් නැවතත් ඉදිරිපත් වුණා නම්  චර්චිල් කුමක් කියන්න තිබණා ද? එහෙත් රනිල් දෙමළ ජාතික සංධානයට ප්‍රතිඥාවක් දී තිබෙනවා. 

ඒ අතර බැසිල් උපරිම බලය බෙදීමට එකඟ වී තිබෙනවා. මෙහි බලය කියන්නේ ව්‍යවස්ථාදායක බලය හෝ විධායක බලය හෝ නො වේ යැයි බැසිල්ට ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් ද? වෙනත් බලය බෙදීමක් ගැන දෙමළ ජාතිවාදීන් කතා කරනවා ද? බලය බෙදීමේ ප්‍රශ්නය විසඳා ඉවරයි. බැසිල් හදන්නේ තම අයියලා නන්දිකඩාල්වල දී දුන් විසඳුම ප්‍රතික්‍ෂෙප කරන්න ද?

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති කියනවා යුද්ධය ජනාධිපතිවරණයට ඈඳා ගන්න එපා කියා. මෙරට 1945 න් පමණ පසුව යුද්ධයක් තිබුණේ නැහැ. ඒ තිබුණෙත් අපේ යුද්ධයක් නො වෙයි. යටත් විජිතයක් ලෙස අප යුද්ධයට පිටත් කරනු ලැබුවා. සභාපති මේ කියන්නේ ජ වි පෙරමුණේ ත්‍රස්තවාදයට විරුද්ධව රජය කළ මෙහෙයුම් ද? එහෙමත් නැත්නම් දෙමළ කොටි ත්‍රස්තවාදයට විරුද්ධව රජය කළ මෙහෙයුම් ද? මේ එකක් යුද්ධයක් වී අනෙක යුද්ධයක් නොවන්නේ කුමන දේශපාලන, යුදමය, අධිකරණ සිද්ධාන්ත මත ද? මැතිවරණ කොමිසමේ සභාපති කියන්නේ ඒ එකක් ගැනවත් නොව ඊනියා දෙවැනි ලෝක යුද්ධය ගැන ද? එහෙමත් නැත්නම් ගැමුණු එළාර යුද්ධය ගැන ද? 

මේ අතර ඇතැම් අයියලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න උත්සාහ දරනවා. ජාතික ව්‍යාපාරය ද ඒ සඳහා යොදා ගැනීමට ඒ අයියලා උත්සාහ කරනවා.  එහෙත් ජාතික සංවිධාන සම්මේනය එයට එකහෙළා විරුද්ධයි. මේ සියල්ල ගැන කතා කිරීම පසුවට කල් තබා දැනට මා ජනාධිපතිවරණයේ දී ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය හා භූමිකාව මෙහි පළ කරනව.

ජනාධිපතිවරණය 2019
ජාතික සංවිධානයන්හි ස්ථාවරය හා භූමිකාව

ස්ථාවරය

1.  ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය සුරැකෙන, එක පොදු සිවිල් නීතියක් සහිත, ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම.

2. (i) 13වන සංශෝධනය ඉවත් කිරීම.
 (ii) 19වන සංශෝධනය ඉවත් කිරීම.

3.  'විධායක ජනාධිපති ධූරය' අහෝසි නොකිරීම.
(විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා හෝ එම ධූරයේ බලය අවම කිරීම සඳහා හෝ එම බලය අන් අයකු අතට පත් කිරීම සඳහා හෝ කෙරෙන යෝජනා සියල්ල, අප රටේ නායකත්වය දුර්වල කොට, අපගේ රාජ්‍යය දුර්වල කිරීම සඳහා වූ අරමුණින් කෙරෙන යෝජනාවන් ලෙස අප සලකන අතර, එවන් යෝජනාවන්ට අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමු.)

4.  ඉදිරි ජනාධිපතිවරණය 'නව ව්‍යවස්ථාවක්' ගෙන ඒම සඳහා වන ජනමත විචාරණයක් බවට පත් නොකිරීම.

5. සියලුම   1. ආගමික අන්තවාදී ත්‍රස්තවාදයන් හා
     2. දේශපාලනික අන්තවාදී ත්‍රස්තවාදයන්
මුලුමනින්ම පරාජය කිරීම.

6.  පරිසරය සුරැකෙන, තිරසාර සංවර්ධනයක් සහිත, සිංහල බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා වන ජාතික ආර්ථික, සමාජයීය හා සංස්කෘතික සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.

7. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව නිසි පරිදි බලාත්මක කිරීම වෙනුවෙන්, එනම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම යන වගකීම නිසි පරිදි ඉටු කිරීම.

8.  ලංකාවේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන සහ නශ්ඨාවශේෂ ආරක්ෂා කොට පවත්වා ගෙන යෑම පිණිස, ඓතිහාසික උරුම කළමනාකරණ පනතක් ගෙන ඒම.

9. ශ්‍රී ලංකාවට හිතකර, ස්වාධීන, රාජ්‍ය ආරක්ෂාව තහවුරු වන, දේශපාලන නිදහස කේවල් නොකෙරෙන, ජාතික ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා වන පරිදි සැකසුණු, නොබැඳි, බෞද්ධ රටවල් සමග විදේශ සබඳතා ශක්තිමත් කරන, බෞද්ධ ධර්මය මුල් කර ගන්නාවූ විදේශ ප්‍රතිපත්තියක් සකස් කිරීම.

10.  රටේ ඉතිහාසය සංස්කෘතිය අනුදත් විදේශ දූත පිරිසක් බිහිකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගයන් ගැනීම.

11. රටට අහිතකරව සැකසුණු විදෙස් ගිවිසුම් අහෝසි කිරීම හෝ රටට හිතකර පරිදි සංශෝධනය කිරීම.

12. විදේශිකයන්ට මේ රටේ ඉඩකඩම් මිලට ගැනීම සඳහා සකස් වූ නීති සියල්ල අහෝසි කිරීම හෝ රටට හිතකර පරිදි සංශෝධනය කිරීම.

භූමිකාව

1.  ඉහත විස්තර කළ ප්‍රතිපත්තිමය කරුණුවලට සහ ඉලක්කයන්ට එරෙහිව ක්‍රියාත්මක වන සහ විජාතික බලවේගයන්ට වහල්ව සිටින, වර්තමාන දේශද්‍රෝහී  ආණ්ඩුව පළවා හැරීම.

2.  සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ආදී සියලුම සහෝදර ජනතාවන්ට එකසේ පිළිගත හැකි, අපගේ දේශයට සැබැවින්ම ඇළුම් කරන,
 එමෙන්ම ඉහත කී ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා ශක්‍යතාවක් සහිත නායකයකු බලයට ගෙන ඒම.

3. එම නායකයාට යථාර්ථවාදී ලෙස සහයෝගය ලබාදෙන දේශපාලන ධූරාවලියක් සහ සිවිල් පරිපාලනයක් බලගැන්වීම සඳහා කටයුතු කිරීම.

4. අපගේ මාතෘභූමිය බේරාගැනීම සඳහා වන උක්ත ව්‍යායාමය උදෙසා, දිවයින පුරා විසිරී ඇති  
1. විහාරස්ථාන හා දේවාල
2. හින්දු කෝවිල්
3. ක්‍රිස්තියානි පල්ලි
4. මුස්ලිම් පල්ලි
මූලීක කරගනිමින් ජනතාව දැනුම්වත් කිරීම සහ ජනතාව ඒකරාශී කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීම.

5. දිවයින පුරා ප්‍රාදේශීය 'සම්මන්ත්‍රණ', දිස්ත්‍රික් මට්ටමේ 'දිසා සමුළු' සහ ජාතික 'මහා සමුළු' සංවිධානය කර ජනතාව දැනුම්වත් කොට, ඉහත ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාතික සංවිධාන සම්මේලනයේ' ධජය යටතට සමාජය පෙළ ගැස්වීම.

ජාතික සංවිධාන සම්මේලනය

නලින් ද සිල්වා - කාලය