යුද්ධය අවසන් වීමෙන් වසර 10 කට පසු?

යුද්ධය අවසන් වීමෙන් වසර 10 කට පසු?

16 October 2019 01:32 pm

ඊයේ සවස යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් උතුරේ ප්‍රධාන දේශපාලනඥයන් ගෙන්වා සිදු කරන ලද සාකාච්ඡාවකින් අනතුරුව යාපනය මහා ශිෂ්‍ය සංගමය විසින් ඉදිරිපත් කරන ලද ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන කොන්දේසි මාලාවට උතුරේ දේශපාලන නායකයින් අත්සන් තැබීම මේ වනවිට දේශපාලන වේදිකාව ගිනියම් කරවන මාතෘකාව වී ඇත.

ඉහත කොන්දේසි මාලාව හරහා ගම්‍ය වනුයේ දෙමළ ඊළම් කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීම උතුරේ ගැටළුවෙහි අවසානය නොවන බවය. කෙසේ නමුත් සමාජජාලා හී සංසරණය වන ප්‍රචලිත මතයක් වන "දෙමලුන්ට ඕන දේ දෙන්න අවුරුදු තිහක් යුද්ධ කලේ මොකටද?" යන්න මෙකී ගැටලුව කෙරෙහි සාමාන්‍ය සිංහල ජනතාවගේ යම් සාතිශය කොටසක මතය කියවා ගැනීමට රුකුලකි. එම මතය සමඟම 2009 යුධ ජයග්‍රහණය සමඟින් මහින්ද රාජපක්ශ සිදු කරන ලද ප්‍රකාශයක් උපුටනය කිරීමට මා කැමැත්තෙමි.

"අප යුද වැදුණේ දෙමළ ජනතාවට විරුද්ධව නොව අප යුධ වැදුණේ ත්‍රස්තවාදයට විරුද්ධවය"

මෙම ප්‍රකාශය මහින්ද රාජපක්ශ තම වේදිකාවන් හී නිරන්තරයෙන් සිදූ කරන ලද ප්‍රකාශයක් වූ අතර ඒ ප්‍රකාශය තුලින්ම උතුරේ දෙමළ ජනතාවගේ සියලුම දේශපාලනික ගැටලුවට පිළිතුර යුද්ධය නොවන බව මහින්ද රාජපක්ශ ගම්‍ය කර ඇත.

එසේ නම්, මේ මොහොතේ උතුරේ සිවිල් සංවිධාන බැරෑරුම් හා බරපතල ඉල්ලීම් ප්‍රමාණයක් ජාතික දේශපාලන ප්‍රවාහය තුලින් සිදු කරන අවස්ථාවක ප්‍රධාන ධාරාවේ සියලුම අපේක්ශකයන් හට මෙම දේශපාලනික අභියෝගය පිළිබඳ නිශ්චිත දැක්මක් සහ ප්‍රතිපත්තියක් පැවතිය යුතුමය. එය හුදෙක් මස් රාත්තලම දීම හෝ මුළුමනින්ම බැහැර කිරීම නොකල යුතුය. එකි දෙඅන්තයෙන්ම සිදු වන්නේ දෙයාකාරයක අවුල් ජාලාවකට ලංකා රාජ්‍ය මුහුණ දීම පමණි.

ගෝඨාභය රාජපක්ශ මේ වනවිටත් සිංහල යුධ සිරකරුවන් නිදහස් කිරීමක් පිළිබඳව ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව දමිල දේශපාලන සිරකරුවන් වෙනුවෙන් වන අදහසක් ද ඔහු සතුව පැවැතිය යුතුය. එමෙන්ම බැසිල් රාජපක්ශ මහතා විසින් ද හින්දු පුවත්පත සමඟ සිදුකල සම්මුඛ සාකාච්ඡාවකදී බලය විමධ්‍යගත කිරීම සහ නව ව්‍යවස්ථාවක් සඳහා ධනාත්මක අදහස් ඉදිරිපත් කිරීම තුලින් උතුරේ ගැටලුව පිලිබඳව උතුරේ ජනතාව සමඟ යම් ආකරයක එකඟතාවයකට ඒමේ ඔවුන් සතුව තිබෙන හැකියාව පෙන්නුම් කරයි. නමුත් එම හැකියාව සහ උනන්දුව දැඩි ප්‍රශ්ණයකට ලක්වන්නේ ඔවුන් මෑත ඉතිහාසය තුල උතුරේ ගැටළුව පිළිබඳ චේතාන්විත නොසැලකිලිමත්භාවයකින් කටයුතු කිරීම නිසාය.

කෙසේ නමුත්, ඔවුන් විසින්ම මෙහෙයවන ලැබූ සිංහල ස්වාධිපත්‍යයක් සඳහා වන අදහස් හේතුවෙන්ම රට තුල ඔවුන්ගේ පාක්ශිකයන් බහුතරය දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් පිලිනොගන්නා අභියෝගය ඔවුන් සතුව ඇත.

මේ මොහොතේ සිංහල සමාජය තේරුම් ගත යුතු වැදගත්ම දේශපාලන සත්‍යය නම් මිලිටරි ජයග්‍රහණය හුදෙක්ම ජනවාර්ගික ගැටළුවේ පරම විසඳුම නොවන බවත් මිලිටරි ජයග්‍රහණය හරහා උතුරේ ජනතාවගේ දේශපාලන ගැටලු යටපත් කිරීමත් කල නොහැකි බවත් යන්නය. ජාතීන් දෙක අතර විශ්වාසය සහ සහයෝගය ඉහළ නැංවෙන අන්දමෙ ස්ථිරසාර විසඳුමක් සෙවීම සඳහා වන අභියෝගය මේ මොහොතෙ සිංහල සමාජයේ උර මත ලංකා රාජ්‍යයෙ බහුතර ජනකොටස ලෙස පැටවී ඇති වගකීමකි.

මේ මොහොතේ නියම රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සඳහා සාකාච්ඡාවක් දකුණු දේශපාලනය තුල ඇරඹීමත් ආවේගශිලි දඩ බල්ලන් නිශ්ශබ්ද කර තැබීමත් අනිවාර්යයෙන්ම සිදු කල යුතුය. මේ මොහොතේ සිංහල ජනතාවගේ රාජ්‍ය තාන්ත්‍රික අසමත්භාවය ලංකා රාජ්‍යයේ අනාගතය ප්‍රශ්ණාර්ථයකට රැගෙන යා හැකි අතර තව දුරටත් විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි ආවේගශීලි පුද්ගල චරිත සිංහල ජාතියේ අවශ්‍යතාවට සරිලන නායකත්වයන් නොවන බවද තේරුම් ගත යුතුය.

සියල්ල අවසානයේ මා නැවතත් පළමු වාක්‍යය මෙහි ලියා තබමි. "යාපනය මහා ශිෂ්‍ය සංගමය විසින් උතුරේ දේශපාලනඥයින් ගෙන්වා..." ද්‍රවිඩ සමාජය තුල විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් මෙහෙයවන ආකරයත් එම ශිෂ්‍ය සංගම් කෙරෙහි සවන් දෙන සෙසු සිවිල් සහ දේශපාලන නායකයනුත් දකුණේ ශිෂ්‍ය සංගම් සහ දකුණේ සිවිල් ප්‍රජාව ඊට දක්වන ප්‍රතිචාරයත් සඳහා හීනියට නමුත් ඉතා තදින් කණ පැලෙන්නට කණ අතගා ඇත.

අසංක අරඹෙගොඩ