පොත් ප්‍රදර්ශනය සහ ලේඛකයෝ - Writers? Who are they?

පොත් ප්‍රදර්ශනය සහ ලේඛකයෝ - Writers? Who are they?

22 September 2019 01:13 pm

මේ දිනවල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වේ. මමද එය ඇරඹුණු සිකුරාදා එහි ගියෙමි. එහිදී මා නොදන්නා ලේඛකයෙකුගේ පොත් එළිදැක්වීමක අවසන් පැය කාලට සහභාගී වීමට මට ඉඩකඩ ලැබුණි.

ප්‍රදර්නය කෙසේ වෙතත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී විකිණෙන්නේ පොත්ය.

පොත් ලියන්නේ ලේඛකයින්ය. එනිසා පොත් ප්‍රදර්ශනයේදී ලේඛකයින් යනු ඉහළින්ම සැළකුම් ලබන පිරිස යැයි නොදන්නා අයට සිතෙනු ඇත.

එහෙත් යථාර්තය ඊට වෙනස්ය.

පොත් ප්‍රදර්ශනයේ නොවැදගත්ම පිරිස පොත් ලියූ ලේඛකයින් බව මට පැහැදිලි විය. ඒ සඳහා හොඳම උදාහරණය නම් පොත් එළිදැක්වීම සඳහා ලබා දී ඇති මෙම ඡායාරූපවල දැක්වෙන හරක් මඩුවක් වැනි ස්ථානයයි.

මෙම ස්ථානය, පොත් එළිදැක්වීම සඳහා භාවිතා කිරීම යෝජනා කර අනුමත කළ අය නම් පොත් ලියන අය හෝ පොත් කියවන අය හෝ පොත් අගය කරන අය හෝ විය නොහැකිය.

මෙම මඩුව අවට විවිධ ශබ්ද විකාශන පණිවිඩ සහ සංගීතයෙන් පරිසරය පිරී පවතී. එහි බිමට ඇත්තේ තණකොළ නිසා අවශ්‍ය නම් උලාකෑමද කළ හැක. මඩුව තුන් පසකින් විවෘත නිසා වැස්සොත් අබ සරණය.

ගිය වසරේ තමන් සහභාගි වූ දෙල්පචිත්‍ර නම් නාට්‍යකරුවාගේ පොත් එලිදැක්වීමේ උත්සවයේදී මේ පිළිබඳ විරෝධය පෑ මා මිත්‍ර ලේඛක හෙන්රි වර්ණකුලසූරිය ඒ සතිඅන්තයට නියමිත වූ ඔහුගේ පොත් එළිදැක්වීමේ උත්සවය විජේරාම මාවතේ ඉංජිනේරු ආයතනයට තැන් මාරු කළේය.

නමුත් මේ වසරේද වෙනසක් සිදුවී නොමැති හැඩයි.

චීන පොත් එළිදැක්වීමක් නම් මීට වඩා හොඳ ශාලාවක සිදුවෙනු පෙනුනි.

හෙට (22) ඉරිදා හවස, මෙම ස්ථානයේදීම, මා මිත්‍ර පාලිත ගනේවත්තගේ ඇනා ගෙළ පැළඳ කෘතියේ එළිදැක්වීමට සහභාගී වීමට මට සිදුවේ.

අහෝ ඛේදයකි.

රසිකලොජි