ඉරාජ් - ගේමක් දීලා?

ඉරාජ් - ගේමක් දීලා?

16 September 2019 02:55 pm

ඉරාජ් වීරරත්න 2008 දි කරනවා "ගේමක් දීලා.." කියලා සින්දුවක් ! අදටත් ඒ සින්දුවෙ වචනයක් නෑර මට මතකයි.

ඒ සින්දුව පටන් ගන්නෙ මෙහෙම..

"පාර්ලිමේන්තුව.. ඔව්.. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතරම ආයතනය.. සැබැවින්ම එය එසේමද..? කලක එය උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පිරී ගිය ස්ථානයක් විය... ඒත් ඒ උත්තරීතර ආයතනය අද මැරවරයින්ගේ රස්තියාදුකාරයන්ගේ ග්‍රහණයට හසුවී අවසානය........."

ඔහොම පටන් අරගන්න සින්දුව ඉවර වෙද්දි ලංකාවේ මජර, තක්කඩි, මිනීමරුවන්ට උරුම වෙලා කුණුවෙලා තියන සක්‍රීය දේශපාලනය ගැන විනාඩි තුන හතරකදි කියනවා. මත්ද්‍රව්‍ය, පාතාලය, ඇතුළු නීතිවිරෝධී ව්‍යාපාර එක්ක කොහොමද ලංකාවේ දේශපාලනය බැඳිලා තියෙන්නෙ.. ඒක පවත්වගෙන යන්නෙ කොහොමද.. මැරයො, ජාවාරම්කාරයො, හොරු, මේ බල දේශපාලනය ඇතුලෙ වැජඹෙන විදිහ, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය පවා අනීතික විදිහට බල අරමුණු වෙනුවෙන් ලංකාවේ දේශපාලනය ඇතුලෙ යොදාගන්න විදිහ ගැන ඉරාජ් කියනවා..

මේ සමාජ ආර්ථික ක්‍රමය ඇතුලෙ පහල පන්තිවල ඉන්න පීඩිත මිනිස්සු බල දේශපාලනයේ අරමුණු වෙනුවෙන් යොදාගන්නෙ, ඉත්තො වෙන්නෙ කොහොමද.. ආර්ථික සමාජ සාධකය ඒ දේවල් එක්ක බැඳිලා තියෙන්නෙ කොහොමද, ඒ සිද්දි චක්‍රයක් විදිහට මේ සිස්ටම් එක නොකැඩී පවත්වගෙන තියාගන්න දායක වෙන්නෙ කොහොමද කියන එක ගැන ඉරාජ් ඒ විනාඩි හතර ඇතුලෙ කියනවා...

ඒ වගේම ඉරාජ්, "ගේමක් දීලා" සින්දුවෙ අල්ලන බරපතලම තැන තමයි මේ කිසිම දේකට සම්බන්ධයක් නැති අහිංසක දරුවො මේ දේසපාලන සමාජ ආර්ථික ක්‍රමයේ වැරදිවලට ජීවිතවලින් පවා වන්දි ගෙවනවා කියන එක. අවසානයේ මේ සිස්ටම් එකේම ගොදුරක් බවට පත්වෙලා ඔවුන් ඉන්න සමාජ ආර්ථික තත්වය මත දරුවෙක්ගෙ තරුණයෙක්ගෙ සමස්ත ජීවිත කාලයම තීරණය වනවා කියන බරපතළ දේශපාලන විවේචනය ඉරාජ් කරනවා.. එහෙම එකක් මෑත කිසිම ගීතයකින් කවුරුත් කරනවා මම දැකලා නැහැ..

ඉරාජ් සින්දුව අවසන් කරන්නෙ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙ කතාවක කොටසකින්..

"දසක කිහිපයක් ඇතුලත මේ ඇතිවුණ මහා සමාජ විපර්යාසය, සංස්කෘතික විපර්යාසය, දේශපාලන විපර්යාසය, අපට විශේෂයෙන්ම අපේ පරපුරේ අයට මානසිකව බලපෑවා කියන එක මං විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. පළමුවෙන්ම කුඩා දරුවාගෙන් පටන් ගත යුතුයි. ඒ දරුවා තමයි වයස ගිහිල්ලා.. අවුරුදු 14, 15 වෙනකොට තුවක්කු බෝම්බ අතට අරගෙන එහෙ මෙහෙ දුවලා සමාජය සහ තමාව විනාස වෙන්නෙ. ඒ දරුවන්ම තමයි ඒ ආකල්පයන්ම අරගෙන පාර්ලිමේන්තුවට ආවම පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි. මුළු රටම විනාශ කරන්නෙ..."

ඔහු ඒ කොටස සින්දුවට නිකන් ඇතුලත් කළා වෙන්න බැහැනෙ. ඒ කොටස ඇහුවම තේරුම් ගන්න පුළුවන් ඉරාජ් තමන්ගෙ විනාඩි හතරක ගීතය කොයි තරම් පුළුල් දේශපාලන සමාජමය කියවීමක් මතද කළේ කියන එක.

ඒ වගේම තමයි සංකල්පය, වචන පැත්තකට දැම්මත් ඒ සින්දුවෙ සංගීතය, ඒකෙ රූපරචනාව ගත්තත් මට ඉතා විශිෂ්ට නිර්මාණයක් ඒක. මොකද ඔය දේ විදග්ධව ප්‍රබුද්ධව කිව්වම හැමදාම අහන්නෙ එකම මිනිස්සු කණ්ඩායමක්. හැබැයි ඒ වගේ බරපතල දේශපාලනික කාරනාවක් රැප් එකක් ඇතුලෙන් ඔය විදිහට එලියට දාපු එකම ඉතා නිර්මාණශීලී දෙයක්.

උදාහරණයකට මාව ගත්තොත්. ඉරාජ් ඔය සින්දුව කියන කාලෙ මං පරණ සින්දු හෝ ඔය විදග්ද ප්‍රබුද්ධ ලේබල් එකේ සින්දු අහන්නෙ නෑ.. ඉරාජ්ලා රනිදුලා බාතිය සංතුස්ලව ඇහුවෙ.. එතකොට මං ඕක ආසාවෙන් ඇහුවා. ඒ කියන්නෙ කවදාවත් අර විදිහට කිව්වනං ඔය කතා අහන්නෙ නැති මං වගේ පිරිසකට ඉරාජ් අර සංකල්ප අරගෙන ගියා. එතනම ඉරාජ් ආටිස්ට් කෙනෙක් විදිහට දිනුම්..

එතකොට ලංකාවේ සමාජය, දේශපාලනය ගැන ඒ විදිහෙ කියවීමක් තිබුණ කලාකරුවෙක් වෙච්ච ඉරාජ් ඇයි මැතින්ටා තත්වයේ නොදියුණු නිර්මාණයක් හරහා දේශපාලනික විවේචනයක් ගේන්නෙ..?

මම අහන්නෙ එජාපෙට හෝ සිරිසේනට ගහනවනං ඉරාජ්ගෙ ශක්‍යතාවයට අනුව ගහන්න ඕනෙ ඔහොමද ? ඔය වගේ එකක් අර හො හො හෝ යාලුවනේ කියලා youtube එකේ කෑම හදන දරුවට උනත් කරන්න බැරිද කැමරා බඩු ටික දුන්නනං..?

එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නෙ තවදුරටත් මේ රටේ දේශපාලනය ඇතුලෙ නොසිටිය යුතු කාලකන්නි පක්ෂයක්, ඒක දේශපාලන පක්ෂයක් නෙමෙයි. අලියා ලකුණෙන් ඉල්ලුවොත් ඕන ගොනෙක්ට ඡන්දෙ දෙන හරක් පට්ටියක් නඩත්තු කරන මරණාධාර සමිතියක්..! හැබැයි, ආණ්ඩු කරපු අවුරුදු පහේ පොත් ගණන් ලියන්න පුළුවන් මන්ද මානසික වැඩ කරලා තියන එහෙම unp එක විවේචනය කරන්න ඉරාජ් තෝරගන්නෙ ලිංගික නැමියාවක් සම්බන්ධ කතාවක්..

අඩු තරමෙ මහබැංකු හොරකම ගැන, රනිල් වික්‍රමසිංහ අවුරුදු මිලියන ගාණක් ඒකාධිපති නායකකමේ ඉන්න එක ගැන, පාස්කු ඇටෑක් එක ගැන, රංගෙ බණ්ඩාරලගෙ පුතාලා ගැන, මංගල සමරවීර මිල සූත්‍රය ගෙනල්ලා රටේ මිනිස්සුන්ව ජෝක් එකට ගත්ත එක, එංගලන්තෙන් සායනික අපද්‍රව්‍ය ගෙනාව එක වගේ සිද්දියක්වත් සින්දුවෙ කියන්නෙ නෑ. Unp එකට ගහන්න පුළුවන් අඩුම හානියක් වෙන සීනිබෝල කතා ඉරාජ් මෙතන අල්ලගන්නෙ. තවත් මනුෂ්‍ය කොට්ටාසයක් ලිංගිකත්වය මත අපහාසයට ලක් නොකර, unp එකට ගේන්න දේශපාලනික විවේචන හොයාගන්න බැරි මනුස්සයෙක් නෙමෙයි ඉරාජ් කියන්නෙ. අමාරුවෙන් ගවුම් ඇඳගෙන මඩේ නටන්න ඕන නැහැ.. සිරිසේනව විවේචනය කරන්න විජේකලාගෙ කෝල් එකකට වැඩිය බරපතල දේශපාලනික කාරණා හොයාගන්න බැරි තරම් හිඟන තත්වයකට ඉරාජ් වැටුණෙ කොහොමද ?

සංකල්ප පැත්තකින් තිබ්බත් තාක්ෂණික කාරණා පැත්තෙන් පවා ඒක තියෙන්නෙ 2008 කරපු සින්දුවට වඩා ගව් ගාණක් පහලින්..

ඉරාජ්ට මොකද උනේ..

ඒකට උත්තරේ තියෙන්නෙත් ගේමක් දීලා සින්දුවෙ..

මේ සිස්ටම් එකෙන් අපි කොච්චර එලියට යන්න හැදුවත් ඒක ඇතුලට අපිව ඇදලා ගන්නවා. ඒක තේරුම් අරගෙන ට්‍රැක් එකට වැටුනෙ නැත්තං අන්තිමට ඕනම මනුස්සයෙක් නවතින්නෙ ඉරාජ් නැවතුන තැන..හිතලා හරි නොහිතලා හරි, කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒ දේ කරන්න මේ සිස්ටම් එක අපිට බල කරනවා.. ඉරාජ් ගේමක් දීලා සින්දුවෙ ඒක කියනවා..

වචනාර්ථයෙන්ම ගන්නෙ නැතුව සම්පූර්ණ අදහසක් විදිහට ගේමක් දීලා සින්දුවෙ මේ වචන ටික කියවන්න...

මගෙ නම අජිත් මම මෙඩිසින් කලේ
ආප්ප පුච්වලා university ගියේ
හාඩ්වෙයාර් එකේ වැඩ දැන් නෝ මනි පුතේ
ලෙඩින් ඉන්න අම්මට බෙහෙත් ගන්න සල්ලි නැතේ..
පොඩි පොඩි ගේම් දීලා මම සල්ලි හොයන්නෙ..
මේ දවස් වල ඡන්දෙ හින්දා ලොක්කට වැඩ කරන්නෙ..
අනිත් පිලේ කොල්ලො අපිව දැක්කම හයියෙන් දුවන්නෙ..
වලි සීන් ආවම බොක්කෙන් බහින්නෙ..
මට තියෙන්නෙ බෝතලේ හොඳට වත්තට බෙදන්න..
බෝතල් වෙනුවෙන් ලොක්කට කතිරෙ ගහන්න කියන්න..
මැරිච්ච අයගෙ ඡන්දෙ තියනවනං මටම කෝල් කරන්න..
ආ මැගි අක්කා.. ඔය කාඩ් එකට මේක තියාගන්න...

අජිත් වෙනුවට ඉරාජ්ව දාලා ආයෙ කියවන්න..

මේ වෙනකොට ඉරාජ් ඉරාජ්ගෙම සින්දුවෙ කියන ලංකාවට ආවේණික ඛේදවාචකය ඔප්පු කරමින් ඉන්නෙ..

ඉරාජ් දැන් ගේමක් දීලා සින්දුව කරපු ආටිස්ට් ඉරාජ් නෙමෙයි. වනාතමුල්ලෙ අජිත් !!

#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ