පොත් මිල අඩු කරගත හැක්කේ කොහොමද?

පොත් මිල අඩු කරගත හැක්කේ කොහොමද?

12 September 2019 03:00 pm

පොත්වල මිල වැඩියි කියා මැසිවිලි නගන ගොඩක් අයට තිබෙන ප්‍රශ්නය ආකල්පමය ප්‍රශ්නයක් මිසක් පොත්වල මිල පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයේ මුල තිබෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙකු සමාජවාදී ක්‍රමයට හිතන්න පුරුදු වී හෝ පුරුදු කරනු ලැබ තිබීමයි.

සමාජවාදය, වඩාත් නිවැරදිව කියනවානම් මාක්ස්වාදය, කියා කියන්නේ ද්‍රව්‍යවාදය මත පදනම්ව බිහි වූ කතන්දරයක්. මාක්ස්වාදී ආර්ථික විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේත් මේ කතන්දරයට ගැලපෙන ආකාරයටයි. ඒ අනුව කිසියම් දෙයක වටිනාකම තීරණය වෙන්නේ එය නිෂ්පාදනය කරන්න යෙදවූ අමුද්‍රව්‍ය ආදී සාධක මතයි. මේ අනුව, පොතක් මිල දී ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ අකුරු මුද්‍රණය කර තිබෙන කඩදාසි මිටියක් තමා සන්තක කර ගැනීමයි.

සමාජවාදී චින්තනය අනුව දැන් මේ පොතක් කියා කියන කඩදාසි මිටියේ වටිනාකම කීයද? එය තීරණය වන්නේ එහි නිෂ්පාදන වියදම මතයි. පොත තිබෙන්නේ කා සන්තකවද කියන එක අනුව පොතේ වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. මේ පදනමෙන් බැලූ විට රුපියල් දෙසීයක වියදමින් නිපදවූ පොතක් රුපියල් හාරසීයකට විකිණීම පෙනෙන්නේ පොත් ප්‍රකාශකයා විසින් අසාධාරණ ලාබයක් ඉපැයීමක් ලෙසයි.

ධනවාදය මාක්ස්වාදය මෙන් ද්‍රව්‍යවාදය මත පදනම්ව බිහි වූ කතන්දරයක් නෙමෙයි. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව ගනුදෙනු වල යෙදෙන්නේ හිතන පතන මිනිස්සු මිසක් යන්ත්‍ර නෙමෙයි. ඒ අයට එකිනෙකාගෙන් වෙනස් වූ රුචිකත්වයන් තිබෙනවා. ධනවාදී චින්තනය අනුව කෙනෙක් පොතක් මිල දී ගැනීමේදී ඒ මිල ගෙවන්නේ පොත තමා සන්තක කර ගැනීමේ සතුට වෙනුවෙන් මිසක් පොතක් කියා කියන කඩදාසි මිටිය වෙනුවෙන් නෙමෙයි.

බොහෝ දෙනෙකු හා අදාළව පොතක් තමා සන්තක කර ගැනීමෙන් ලැබෙන සතුට කියා කියන්නේ පොත කියවීමෙන් ලැබෙන සතුට මිසක් පොත ගෙදර රාක්කයක තියාගෙන සිටීමෙන් ලැබෙන සතුට නෙමෙයි. අවශ්‍ය අයෙකු දෙවන ආකාරයේ සතුටක් ලැබීම ධනවාදී චින්තනය සමග ගැටෙන දෙයක්ද නෙමෙයි. පොතක් තමා සන්තක කර ගෙන යමෙක් මේ කවර ආකාරයෙන් හෝ ලබන සතුට පුද්ගලයා අනුව වෙනස්වන දෙයක් නිසා පොතක වටිනාකම කියන එකත් පුද්ගලයා අනුව වෙනස් වන දෙයක්. එහි නිශ්චිත නිරපේක්ෂ අගයක් නැහැ.

ධනවාදී ක්‍රමයට හිතනවානම් වැදගත් වෙන්නේ පොතක් තමන් සන්තක කර ගැනීමෙන් ලැබිය හැකි සතුටේ වටිනාකම ගෙවන මිල නිසා අහිමිවන සතුටට වඩා අඩුද වැඩිද කියන එක පමණයි. යමෙක් පොතක් මිලදී ගන්නේ ඔහුට හෝ ඇයට සාපේක්ෂව පොතේ වටිනාකම ගෙවන මිලට වඩා වැඩිනම් පමණයි. ඒ නිසා, පොතක් මිල දී ගන්නා කෙනෙකුට හැම විටම වාසියක් වෙනවා මිසක් පාඩුවක් වෙන්නේ නැහැ. මේ ගනුදෙනුවේදී පොත් ප්‍රකාශකයා කොයි තරම් ලාබයක් උපයනවාද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් වන්නේ තමන්ට ලාබයක් ලැබුනේද යන්නයි.

ධනවාදී ක්‍රමයට හිතුවොත් පොතක් කියවා අවසන් වූ පසුව ඒ පොත මිල දී ගැනීමෙන් ලබන්න අපේක්ෂා කළ සතුට ලබා අවසන්. ඒ නිසා, තව දුරටත් ඒ පුද්ගලයාට ඒ පොතේ වටිනාකමක් නැහැ. මේ කරුණ හැම පොතකටම අදාළ නැහැ. කිසියම් විෂයයකට අදාළ පාඨ ග්‍රන්ථයක් වගේ එකක්නම් එහි තිබෙන්නේ තරමක් දිගුකාලීන වටිනාකමක්. එවැනි පොතක වුවත් වටිනාකම වසරකට හෝ කිහිපයකට පසුව නැති වී යනවා. එසේ නොවන්නේ ශබ්දකෝෂයක් වැනි පොතක් හා අදාළව පමණයි.

නවකතා වැනි පොත් වලට බොහෝ විට මෙවැනි දිගුකාලීන වටිනාකමක් නැහැ. පොත කියවා අවසන් වූ පසු එය මිල දී ගැනීමෙන් අපේක්ෂා කළ සතුට ලබා අවසන්. හරියට චිත්‍රපටයක් හෝ වේදිකා නාට්‍යයක් බැලුවා වගේ. නමුත්, සමාජවාදී ක්‍රමයට හිතුවොත්නම් කියෙවුවත් නැතත් පොතේ වටිනාකම එක ලෙසම පවතිනවා. ඒ වටිනාකම නැති වෙන්නේ පොත භෞතිකව විනාශ වුවහොත් පමණයි.

තමන් කියවා අවසන් කළ, නැවත වරක් කියවන්න කිසිදු ඉඩක් නැති පොත් එකතු කර ගෙන ඉන්න ලංකාවේ ගොඩක් අය පෙළඹෙන්නේ ඔවුන් හුරු වී සිටින සමාජවාදී චින්තනය නිසා. ලංකාවේ ඉන්න තාක් කල් මම හිටියේත් ඔය ගොඩේම තමයි. පොත් මිල දී ගෙන නොකියවා ගොඩගහගෙන ඉන්න හේතුවත් මෙයමයි. කවදාවත් වාඩි නොවෙන පුටු සෙට්, ක්‍රියාත්මක නොකරන ශීතකරන, මාසයකට වරක් ස්ටාට් කරන කාර් ගෙවල් වල තියා ගෙන ඉන්නේත් තමන් මිල දී ගෙන තිබෙන්නේ අදාළ භාණ්ඩය කියා හිතන්න පුරුදු කරනු ලැබ ඇති නිසයි. ධනවාදී ක්‍රමයට හිතනවානම් කෙනෙක් මුදල් ගෙවන්නේ සුවපහසුවට අසුන් ගැනීමෙන් ලබන සතුට, කෑම නරක් කර නොගෙන සීතල බීම වීදුරුවක් බීමේ සතුට හා පහසුවෙන් ගමනක් යාමේ සතුට වෙනුවෙන් මිස අදාළ භාණ්ඩ තමා සන්තක කර ගැනීම වෙනුවෙන් නෙමෙයි. ඒ නිසා, මේ වාසි නොලබනවානම් අදාළ භාණ්ඩ වෙනුවෙන් වැය කළ මුදලේ තේරුමක් නැහැ.

බටහිර රටවල මිනිස්සු සාමාන්‍යයෙන් තමන් පරිභෝජනය කරන භාණ්ඩ මිස අනාගතයේදී පරිභෝජනය කරන්න හිතාගෙන ඉන්න භාණ්ඩ හෝ අතීතයේදී පරිභෝජනය කළ භාණ්ඩ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට මිල දී ගන්නවා. අවශ්‍ය නැති වෙලාවට කීයකට හෝ විකුණලා දමනවා. සක්‍රිය හා පුළුල් වෙළඳපොළක් තියෙන නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙයක් අවශ්‍ය මිලකට මිල දී ගන්න ගන්න බැරි වෙයි කියන බය ඔවුන්ට නැහැ. අලුත් බඩුවක් ගන්න සල්ලි නැත්නම් අතේ තිබෙන මුදලට සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් හරි ගන්න පුළුවන්.

පෞද්ගලික අයිතියට මුල් තැන ලැබෙන සමාජ ක්‍රමයකදී භාණ්ඩයක් පරිභෝජනය කිරීමේ අයිතිය වෙනුවෙන් වැය කළ යුත්තේ තමන්ගේම ප්‍රාග්ධනය නිසාත්, ඒ ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැයක් තිබෙන නිසාත් වර්තමානයේ පරිභෝජනය නොකරන භාණ්ඩයක් වෙනුවෙන් මුදල් යට කිරීම අවාසිදායකයි. එක්කෝ ඒ මුදලින් වර්තමානයේ පරිභෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න වෙනත් දෙයක් මිල දී ගත හැකියි. එහෙම නැත්නම්, මුදල් ආයෝජනය කර (ණයට දී) ආදායමක් ඉපැයිය හැකියි. ධනවාදී චින්තනය තියෙන මිනිස්සු හිතන්නේ ඔය විදිහටයි.

අනෙක් අතට පොදු දේපොළ ක්‍රමය යටතේ ඕක වෙනස් විදිහකට සිදු වෙනවා. භාණ්ඩයක් පරිභෝජනය කරන්න තමන්ගේම මුදලක් වැය කළ යුතු නැත්නම්, හොඳම දේ ඉඩක් ලැබුණු වෙලාවට පුළුවන් තරම් පරිභෝජනය කරන එකයි. තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ පරිභෝජනය කරන්න ලැබෙයි කියා විශ්වාසයක් නැති නිසා ආණ්ඩුවෙන් දෙන දේ දෙන වෙලාවට පරිභෝජනය නොකළොත් ඒ අවස්ථාව ගිලිහී යනවා. ලංකාවේ රජයේ සේවකයින් උදාහරණයට ගත්තොත් සහන දුම්රිය ප්‍රවේශපත්, රජයට අයත් නිවාඩු නිකේතන, අඩු පොලී ණය (උත්සව අත්තිකාරම්) වගේ වසරකට වරක් හෝ කලාතුරකින් ලැබෙන සහන තමන්ට අවශ්‍යම නොවුනත් ගන්න පෙළඹෙන්නේ මේ පදනමිනුයි.

ලංකාවට වෙලා තිබෙන්නේ, ධනවාදී ක්‍රමයක තිබෙන, අවශ්‍ය වෙලාවට අවශ්‍ය මිලකට අවශ්‍ය දේ මිල දී ගන්න ඉඩ සැලසෙන වෙළඳපොළ යාන්ත්‍රණයක් රටේ නැහැ. මිනිස්සු වෙළඳපොළ ක්‍රමය විශ්වාස කරන්න පටන් ගන්න තුරු එවැනි යාන්ත්‍රණයක් හැදෙන්නේ නැහැ. ඒ වගේම, පරිභෝජනයට අවශ්‍ය බොහොමයක් දේවල් ආණ්ඩුවෙන් නිකම් ලැබෙන තරමේ සමාජවාදයකුත් නැහැ. එවැනි ක්‍රමයක් පවත්වාගත හැකි ආර්ථික ශක්තියක් රටට නැහැ. ඒ නිසා, ඉඩක් ලැබෙන වහාම පොදු දේපොළ ඕනෑවටත් වඩා පරිභෝජනය කර නාස්ති කරන අතරම පෞද්ගලික දේපොළ පරිභෝජනය නොකර ගොඩ ගසා ගන්නවා. ඔතැන තියෙන්නේ ගොඩක් මිනිස්සු දැන හෝ නොදැන මතවාදී ලෙස සමාජවාදීන් වුවත්, රටේ සමාජ ආර්ථික ක්‍රමය ඔවුන්ට අවශ්‍ය තරමටම සමාජවාදී කරගත නොහැකි වීමේ අවුලයි.

දැන් මගේ ධනවාදී යෝජනාව මෙයයි. පොතක් කියවා අවසන් වුනාට පස්සේ, එය නැවත වරක් කියවන්න අදහසක් නැති පොතක්නම් පොඩ්ඩක් අඩුවෙන් කාට හෝ විකුණන්න. උදාහරණයක් විදිහට රුපියල් පන්සීයකට මිල දී ගත් පොතක් රුපියල් තුන්සීයකට විකිණුවා කියා ඔබට පාඩුවක් වෙන්නේ නැහැ. රුපියල් පන්සීය ඔබ වැය කර අවසන්. එය නැවත නොලැබෙන ගිලුණු පිරිවැයක්. ඒ වගේම, පොත කියැවීමෙන් පසුව ඔබට එයින් ලැබිය හැකි සතුටත් ඔබ විසින් ලබා අවසන්. එසේ තිබියදී පොත ඔබ සන්තකයේ තබා ගැනීමෙන් ඔබට ලැබෙන විශේෂ වාසියක් නැහැ. නමුත්, කියවා අවසන් වූ පොත රුපියල් තුන්සීයකට විකිණුවොත් ඔබට අතට මුදලක් ලැබෙනවා. මේ විදිහට කියවා අවසන් පොත් දෙකක් විකිණුවොත් තවත් අලුත් පොතක් මිල දී ගන්න මුදලක් අතට ලැබෙනවා.

රුපියල් පන්සීයක පොතක් මුද්‍රණද්වාරයෙන් පැමිණි අලුතම අයෙක් වරක් කියවූ පොතක් රුපියල් තුන්සීයකට මිල දී ගන්න කෙනෙක් හොයා ගැනීම අමාරු නැහැ. ඔබ මේ වැඩේ කරනවානම් හොඳම ක්‍රමය පොත ගැන හා ඔබ එය විකුණන මිල ගැන වත්පොත හෝ වට්ස්ඇප් වැනි තැනක් හරහා ඔබේ මිතුරන්ට දැනුම් දීමයි. එවිට ඔබේ කාර්යාලයේම සේවය කරන හෝ දුම්රිය සගයෙකු වන මේ පොත මිල දී ගන්න හිතාගෙන ඉන්න අයෙකු ඉදිරිපත් වෙන්න පුළුවන්.

යහළුවන් විසින් කියවීම සඳහා පොත් ඉල්ලාගෙන යාම ලංකාවේ සුලබව සිදුවන දෙයක්. මේ පොත් ඇතැම් විට ආපහු ලැබෙන්නේ නැහැ. එය යහළුවන් අතර නොහොඳ නෝක්කාඩු වලටත් හේතු වෙනවා. බොහෝ විට මේ විදිහට යාළුවෙකුගෙන් ඉල්ලාගෙන යන පොත ආපසු නොදෙන්නේ යාලුවා එය කියවා නැති නිසයි. යාලුවා හිතාගෙන ඉන්නේ කියවා අවසන් වූ පසු පොත ආපහු දෙන්නයි. නමුත්, එය කවදාවත් වෙන්නේ නැහැ. කියවන්න ලොකු උනන්දුවක් නැතුව යාලුවා පොත අරන් යන්නේ එය නිකම් ලැබෙන නිසයි.

පොත නිකම් කියවන්න නොදී අඩු මුදලකට විකිණීම දෙන්නාටම හොඳ විකල්පයක්. පොත යාළුවාට දෙන්නේ මුදලක් අරගෙන නිසා පොත එතැනින් අමතක කර දැමිය හැකියි. ඒ වගේම, යාලුවා මුදල් ගෙවා පොත ගන්නේ එය ඔහුට වටිනවානම් පමණයි. මේ වගේ වැඩක් රැල්ලක් විදිහට බෝ කළොත්, ඉතා ඉක්මණින් පොත් වලට සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළක් හැදෙනවා. එවිට, ඔබටත් පොත් සාප්පුවේ මිල නොගෙවා යාළුවෙක් කියවූ පොතක් අඩු මිලකට මිල දී ගත හැකියි. ගනුදෙනුව සිදුවන්නේ යාළුවෙක් සමඟ වුවත් නිසි පරිදි ගනුදෙනු පියැවීම වැදගත්.

රුපියල් පන්සීයක පොතක් ඔබ මිල දී ගත්තේ රුපියල් තුන්සීයකට වුවත් ඔබට එය නැවත රුපියල් දෙසීයකට හෝ දෙසිය පණහකට විකිණිය හැකියි. වැඩි දෙනෙකු මේ කටයුත්තට සහභාගී වන තරමට ඔබට පොතක් මිල දී ගන්න වැය වන මුදල හා කියැවූ පොත නැවත විකිණිය හැකි මුදල අතර වෙනස, එනම් ඔබ පොත කියවා ලැබූ සතුට වෙනුවෙන් ගෙවිය යුතු මුදල අඩු වෙනවා.

මේ විදිහට පොතක් අතින් අත යද්දී ක්‍රමක්‍රමයෙන් එහි මිල පහළ වැටී අන්තිමේදී අලුත් පොතක් වෙනුවෙන් ලොකු මුදලක් වැය කළ නොහැකි පාසැල් සිසුවියක හෝ රැකියා විරහිත තරුණියක වැනි අයෙකුට සුළු මුදලක් ගෙවා පොතක් මිල දී ගැනීමේ අවස්ථාව ලැබෙනවා. නමුත්, පොත ලැබෙන්නේ නිකම්ම නොවන නිසා එය අනවශ්‍ය අයෙකුගේ අතට යාමත් වැළකෙනවා. සමහර විට මාස කිහිපයකට පෙර රුපියල් පන්සීයකට මිල කර එළියට දැමූ පොතක් මේ ආකාරයට අතින් අත යාමෙන් පසු රුපියල් පණහකට මිල දී ගන්න පුළුවන් වෙයි. නැවත විකිණීමේ බලාපොරොත්තුව නිසා පොත කියවන හැම කෙනෙක්ම පුළුවන් උපරිමයෙන් පොත පරිස්සම් කරන්නත් පෙළඹෙනවා.

අවසාන වශයෙන් සිදු වන්නේ පන්සලේ මල් වට්ටි වෙන්දේසියේදී වගේ පොතේ මිලට හත් අට දෙනෙක් සම්මාදම් වීමකුයි. මෙය ධනවාදී ලෙස හිතන මිනිසුන් සිටින තැනක කටයුතු සිදුවන සාමාන්‍ය පිළිවෙළ මිස අමුතු දෙයක් නෙමෙයි. ලංකාවේ කාර් ගන්න මිනිස්සු හිතන්නේ ධනවාදී ක්‍රමයට වුනත්, පොත් ගන්න මිනිස්සු තවමත් හිතන්නේ සමාජවාදී ක්‍රමයටයි. ඒ නිසා, ලංකාවේ මිනිස්සු පරණ කාර් ගෙවල් වල ගොඩ ගහගෙන ඉන්නේ නැතත් පරණ පොත් ගොඩගහගෙන ඉන්නවා. මම මේ කියන්නේ මූලාශ්‍රයක් සේ නිතර පරිශීලනය කළ යුතු වර්ගයේ පොත් ගැන නෙමෙයි.

කවුරු හෝ තමන් කියැවූ පොත් යාළුවන් අතර නැවත විකිණීමේ වැඩේ පටන් ගත්තොත් තත්ත්වය ඉක්මණින් වෙනස් වෙයි. එවිට දැන් රුපියල් පන්සීයකට අලුත් පොතක් කියවීමේ සතුට මිල දී ගන්නා කෙනෙකුට ඒ මිලටම පොත් දහයක් කියවීමේ සතුට මිල දී ගන්න පුළුවන් වෙයි.

ඒ වගේම, රටේ තරුණ පරම්පරාව අතර පොත් කියවීමේ පුරුද්ද ඇති කරන්න බොක්කෙන්ම උවමනාවක් තිබෙනවානම් තමන්ගේ රාක්කයේ තිබෙන කියවා අවසන් වූ පොත් හා කවදාවත් නොකියවනු ඇති අලුත් පොත් වලින් කිහිපයක් අඩු මිලකට ප්‍රසිද්ධියේ විකුණා දමන්න. කණ්ඩායමක් එකතු වී සංවිධානාත්මකව පාසැල් සිසුන් හෝ සාමාන්‍යයෙන් පොත් නොකියවන ජන කණ්ඩායම් සිටින තැන් ඉලක්ක කළ හැකි තැනක මේ පොත් විකිණිය හැකිනම් වඩාත් හොඳයි. හැබැයි රුපියල් පණහක් හෝ අය කර මිස නිකම් පොත් දෙන්න එපා. නිකම් දුන්නොත් වෙන්නේ නැවතත් මේ පොත් පොත් නොකියවන අයෙකු ළඟ රැඳෙන එක පමණයි.

වැදගත් වෙන්නේ පොත් කියවීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරනවාත් එක්කම වෙළඳපොළ යාන්ත්‍රණයටත් පොඩි තල්ලුවකුත් දීමයි. එසේ නැත්නම්, මෙවැනි හුදෙකලා වැඩකින් දිගුකාලීනව ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. නමුත්, පොත් වලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් මොන විදිහකින් හෝ හැදුනොත් දිගුකාලීනව එයින් බොහෝ දෙනෙක්ට යහපතක් සැලසෙනවා.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල